මුලතිව්වල මාළු මැරුණ, සාම්පූර්වලට තල්මසුන් ආව හේතු මෙන්න!

 එල්ටීටීඊ නායක ප්‍රභාකරන් මියගිය මුලතිව් නන්දිකඩාල් කළපුවට පසුගිය දිනවල තවත් ප්‍රසිද්ධියක් ලැබිණි. ඒ එහි සිටි විවිධ වර්ගවල මසුන් ලක්ෂ ගණනක් ගිය සතියේ මිය යෑම නිසාය. ඒ සමඟම ත්‍රිකුණාමලයේ සාම්පූර්වලට පසුගිය සතියේ තල්මසුන් හා ඩොල්පින් සතුන් විශාල ප්‍රමාණයක් පැමිණ තිබිණි.

මේ කරුණු පිළිබඳව සමහර ජ්‍යොතිෂවේදීහු අවිද්‍යාත්මක කරුණු පදනම් කරගෙන සුනාමි අනතුරක් ගැන හා දේව කෝපයක් ගැන අනාවැකි කීමට පටන් ගත්හ. එහෙත් මේ පිළිබඳව එම ක්ෂේත්‍රයට ගොස් අධ්‍යයන කළ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (නාරා) ආයතනයේ ප්‍රවීණ විද්‍යාඥයන් පවසන්නේ නන්දිකඩාල් කළපුවේ මාළු මියයෑමට ප්‍රධාන හේතුව ඒ කළපු ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය බින්දුවට බැසීම බවයි. මේ සිදුවීම පාරිසරික විපර්යාසයක් බවත්, මෙහි සුනාමියකට සම්බන්ධයක් නැති බවත් ඔවුහු අවධාරණය කරති.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ නාරා ආයතනයේ පරිසර පර්යේෂණ අංශයේ ප්‍රධානි ඒඑස්එම් අස්වි මහතා පවසන්නේ සාමාන්‍ය ජලයේ මාළුන්ට ජීවත් වීමට ජලය ලීටරයකට ඔක්සිජන් මිලි ග්රෑම් 5ක් තිබිය යුතු බවයි.

“‍මේ ප්‍රමාණය මිලි ග්රෑම් 3 වන විට මාළුන්ට ඒ ජලයේ ජීවත් වෙන්න බැහැ. අපේ කණ්ඩායම එහි කළ ගොස් කළ පර්යේෂණ අනුව ඒ කලපුවේ ජලයේ තිබුණේ ලීටරයකට ඔක්සිජන් මිලි ග්රෑම් 0ක් පමණයි. සමහර තැන්වල ඔක්සිජන් ඍණ මට්ටමට පත්වී තිබුණා. ඒ නිසා තමයි ඒ මාළු මැරුණේ. මෙහිදී ඔක්සිජන් අඩුවීමට කළපුවේ රොන්මඩ කැලතීම හේතුවක්” රිස්වි මහතා පවසයි.

“ඒ වගේම මේ මාළු මියයෑම සෑම වසරකම මෙතැනත් රටේ තව තැන්වලත් සිදු වෙනවා. ඔබ වැඩ කරන ලේක්හවුස් අසල බේරේ වැවෙත් මේක සිදු වෙනවා. ඒත් නන්දිකඩාල්වල ඒක මෙවර වැඩිපුර සිදුවුණා. මාළු ලක්ෂ ගාණක් එක්වර ම මැරුණා. ආඳා, ඉස්සෝ වගේ මාළුත් මැරුණා.

මීට පෙරත් මෙය සිදු වෙනවා. එලෙස සිදුවන්නේ විශාල නියඟයක් එක්කයි. මේ කළපුව වැහිලා තියෙන කළපුවක්. ඒකට මුහුදු ජලය මිශ්‍ර වෙන්නේ වැහැලා වතුර ගැලුවොත් විතරයි.

නියඟය කාලයට තමයි මේ නන්දිකඩාල් කළපුවේ මේ තත්ත්වය ඇති වන්නේ. පසුගිය මාස 7 - 8 තිස්සේ නියඟයක් එහි තිබුණා. ඒ අනුව වියළි කාලයට කළපුවේ ජලය හි‍ඳෙනවා. එවිට මාළු කළපුවේ රොන් මඩ අස්සේ රිංගනවා. ඒ එක්කම ධීවර ජනතාවත් මේ රොන්මඩ අස්සෙන් මාළු අල්ලනවා. මේ කටයුත්ත නිසා රොන් මඩවල සිටින බැක්ටීරියා වර්ග කළපුවේ ඉතිරි වී තිබෙන පුංචි ජල ප්‍රමාණයේ මිශ්‍ර වී ඒ ජලයේ තිබෙන ඔක්සිජන් උරා ගන්නවා. ජලය ලීටරයකට ඇති ඔක්සිජන් ප්‍රමාණය මිලි ග්රෑම් 3 ට අඩු විට මාළු මැරෙනවා. ඒකයි ඔතන වුණේ. ඒ බැක්ටීරියා ජලයේ ඇති ඔක්සිජන් වේගයෙන් උරා ගන්නවා. ඒ නිසයි මාළුන්ට හුස්ම ගැනීමට අවශ්‍ය ඔක්සිජන් අඩු වෙන්නේ,” නාරා ආයතනයේ පරිසර අංශ ප්‍රධානී රිස්වි මහතා අපට කරුණු පැහැදිලි කළේය.

බේරේ වැවේ, ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා ඔයේ, කරුගාගල වැවේ වරින් වර මේ මාළු මැරීම සිදු වේ. නාරා ආයතනයේ පරිසර අංශයේ සමුද්‍ර ජීවී විද්‍යාඥයන් කළ පර්යේෂණ අනුව ඒ ස්ථානවල මාළු මැරීමට පෙර ඇල්ගි වර්ධනය වීමක් සිදුවී ඇත. ඒත් නන්දිකඩාල් කළපුවේ සිදු වී ඇත්තේ වියළි කාලයත් අධික උත්ස්වේදනයත් නිසා කළපුවේ ජලය අඩු වන විට එහි සිටින මාළුන් විසින්ම එහි රොන්මඩ ඇවිස්සීමයි. ඒ සමඟම අවට ධීවර ජනතාවද එය අවුස්සමින් මාළු අල්ලාගැනීමට කටයුතු කළහ. ඒ මඩවලින් නිකුත් වූ බැක්ටීරියා තිබුණු ජල ප්‍රමාණයේ දිය වී ඇති ඔක්සිජන් උරාගනු ලැබීය. ඒ අනුව ජලයේ දිය වී පැවැති ඔක්සිජන් ප්‍රතිශතය ‍බින්දුවට පහළ බැස තිබූ බව නාරා ආයතනය කළ පරීක්ෂණ අනුව අනාවරණය වී තිබේ.

“අපි මේකට විසඳුමක් ඉදිරිපත් කළා. මේ වැහිලා තිබෙන කළපුව මැයි මාසයේ 15 - 20 වන විට කපා මුහුදට සම්බන්ධ කිරීමයි. එවිට මුහුදු ජලය මිශ්‍ර වී කළපුවේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනවා. මාළු මැරීම් සිදු වෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි මුලතිව් දිසාපතිට හා යුද හමුදා කඳවුරේ ප්‍රධානියාට උපදෙස් දුන්නා.

වැසි ලැබුණු පසු හෝ මේ කළපුවට අලුත් ජලය පොම්ප කළොත් හෝ මේ මාළු මැරීම නවතීවි. ඊට පෙර මේ මැරුණු මාළුන් ජීවත් කළ යුතුයි. කළපුවේ ධීවර කර්මාන්තයේ යෙදෙන අය ධීවර පරීක්ෂකවරුන්ගේ උදව් ඇතිව එම කටයුතුවලට අවධානය යොමු කළ යුතුයි. අවශ්‍ය උපදෙස් දෙන්න අපි නිතර ම සූදානමින් සිටිනවා,” නරා ආයතනයේ ප්‍රධානී රිස්වි මහතා පැවසීය.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ නාරා ආයතනයේ සමුද්‍ර ජීවි විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය සිසිර හපුතන්ත්‍රි මහතා ද පැවසුවේ මේ තත්ත්වය ඇතිවී ඇත්තේ කළපුවේ ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණ අඩුවීමත් මුහුදු ජලයේ හා වායුගෝලයේ උෂ්ණත්වය තරමක් වැඩිවීමත් නිසා බවයි. තල්මසුන් ගොඩබිම දෙසට ඒමට ඒ දිනවල තිබූ සුළි කුණාටුව හේතු විය හැකි බවද ඔහු කීය.

නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශයේ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා තල්මසුන් පිළිබඳව පර්යේෂණ රැසක් කර ඇත. ඒ මහතා පවසන්නේ සාම්පුර්වලට තල්මසුන් වැඩිපුර පැමිණ ඇත්තේ කෑම සොයාගෙන බවයි.

ඒ මහතා කළ පර්යේෂණ අනුව දැන් අපේ රටේ මිරිස්ස, කල්පිටිය හා ත්‍රිකුණාමලය අවට වෙරළෙ සිට කිලෝමීටර 05-10 අතර මුහුදු ප්‍රදේශයේ තල්මස් හා ඩොල්පින් සත්ව ගහනය වැඩි වී තිබේ.

“1973 සිට ඉන්දීය සාගරය ඇතුළත් මේ ප්‍රදේශය උතුරු ඉන්දීය සමුද්‍ර ක්ෂීරපායි අභයභූමිය ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව මෙහි තල්මසුන් දඩයම් කිරීම තහනම්. එය දඬුවම් ලැබිය හැකි වරදක්. කෙසේ වුවත් මේ අභය භූමිය ඇතුළත දැන් නිතර නිතර තල්මසුන් ඩොල්පින් සතුන් අනතුරට පත්වෙනවා. ඉන් අපට වාර්තා වෙන්නේ සියයට 6ත්-13ත් අතර ප්‍රමාණයක් පමණයි. සංඛ්‍යාත්මකව බලන විට ඒ ප්‍රමාණය ඉතා වැඩියි. වැඩිම අනතුරු සිදුවන්නේ ශ්‍රී ලංකාවට දකුණු හා නැගෙනහිර දෙසින් ඇති ලෝකයේ ප්‍රධාන ම නැව් මාර්ගය නිසා මේ අනුව දෙස් විදෙස් සත්ව විද්‍යාඥයෝ යෝජනා කළ මේ නැව් මාර්ගය තව කිලෝමීටර් 18ක් ඈත් කරන්න කියලා. ඒත් අපේ රටට ආර්ථික ප්‍රශ්න ඇති වන නිසා ඒක කළේ නැහැ.

“ත්‍රිකුණාමල‍යට තල්මසුන් එන්න ඇත්තේ ඒ තර්ජනලින් බේරිලා කෑම වැඩිපුර සොයාගන්න වෙන්න ඇති. පසුව ත්‍රිකුණාමලය වරාය නිසා ඒ අය අතරමං වෙලා. මේ වගේ දේවල් ලෝකේ විවිධ ස්ථානවල සිදු වෙනවා. අපේ අඩුයි. කෙසේ වුවත් මේක ජීව විද්‍යාත්මක ජීවත් වීමේ තරගයක ප්‍රතිඵලයක්. මේ ප්‍රදේශයේ තල්මස් සතුන් ඩොල්පින් සතුන් වැඩි නිසා මෙහෙම කෑම සෙවීමේ තරගයක ප්‍රතිඵලයක් ලෙස ගොඩට එන්න ඉඩ තිබෙනවා,” උපුල් ලියනගේ මහතා අප සමඟ පැවසීය.

මේ පිළිබඳව කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (පූර්ව අනාවැකි) අතුල කරුණානායක මහතා පැවසුවේ ‍ලොව පුරා බලපාන දේශගුණ විපර්යාසවල ප්‍රතිශතයක් ලෙස අපේ මුහුදු ජලයේ හා උෂ්ණත්වය වැඩිවීම නිසා මෙලෙස මේ තල්මසුන් ගොඩබිමට ඒමට ඉඩ ඇති බවයි.

“ඉස්සර අපි සිතුවේ දේශගුණ විපර්යාස අපිට බලපාන්නේ නැහැ කියලා. ඒත් දැන් අපේ රටේඑම එක් පැත්තක නියඟය; අනෙක් පැත්තේ ගංවතුර. මේ අනුව මේ මාළු මැරීමට, තල්මසුන් ගොඩට ඒමට දේශගුණ විපර්යාස බලපාන්න පුළුවන්,” අතුල මහතා කීය.

“අද මුළු ලෝකයම දේශගුණ විපර්යාසවල ආදීනව හඳුනාගෙන තිබේ. ඒ අනුව දේශගුණ විපර්යාස වැඩිකරන හරිතාගාර වායුව පරිසරයට නිකුත් කිරීම අවම කිරීමට අප රට ඇතුළු ලොව රටවල් ප්‍රබල උත්සාහයක යෙදේ. ඒත් ඉන් ප්‍රතිඵල ලැබී නැහැ.”

මේ අපේ රටේ සිදු වන දේශගුණ විපර්යාස ජීව විද්‍යාත්මක සංසිද්ධි පිළිබඳ කරුණු දක්වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික උපදේශක මහාචාර්ය ඩබ්එල් සුමතිපාල මහතා පවසන අදහසකි. මේ මාළු මැරීමටත් තල්මසුන් ගොඩ ගැසීමටත් දේශගුණ විපර්යාස නිසා සිදුවන උෂ්ණත්ව හා ගෝලීය කාලගුණ වෙනස්වීම් බලපෑමට ඉඩ ඇති බවද ඔහු පවසයි.

මේ තල්මසුන් ගොඩට ඒම පිළිබඳව කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ මහතා පවසන්නේ විදෙස් විද්‍යාඥ පර්යේෂණ අනුව මේ සංසිද්ධියට පසුගිය මාසවල තිබූ එල්නිනෝ තත්ත්වය අපේ රටට බලපා ඇති බවයි.

එල්නිනෝ නිසා ඇති වන ඝර්ම කලාපීය සුළි කුණාටු කිලෝමීටර් ලක්ෂ ගණනක් උණුසුම් දිය වැල් අයුරින් ගමන් කිරීම නිසා මෙලෙස තල්මසුන් ගොඩබිම් ප්‍ර‍දේශයට පැමිණීමට ඉඩ ඇති බවද අභයසිංහ මහතා පවසයි.

ඊට අමතරව පසුගිය දිනට තිබූ සුළි කුණාටු තත්ත්වය අධිපීඩන තත්ත්වය අනුව දියඹ කැලතීමෙන් මේ තල්මසුන් ගොඩබිමට ඒමට ඉඩ ඇති බවද අභයසිංහ මහතා පවසයි.

මේ අනුව සමස්ත ලෙස ගත් විට මේ සියලු විද්‍යඥයන් පවසන්නේ මේ නන්දිකඩාල්වල මාළු මිය යෑමත් ත්‍රිකුණාමලයට සාම්පූර්වලට තල්මසුන් විශාල ලෙස ගසාගෙන ඒමත් සමුද්‍ර ජීවි විද්‍යාත්මක පාරිසරික හා දේශගුණ විපර්යාසවලට අදාළ සංසිද්ධියක් පමණක් වන බවයි.

නිහාල් පී. අබේසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.