රජරට ජනතාවගේ ප්‍රාර්ථනා දල්වන දෙවැනි මහවැලිය | සිළුමිණ

රජරට ජනතාවගේ ප්‍රාර්ථනා දල්වන දෙවැනි මහවැලිය

 දුක, කඳුළ මේ රටේ ගොවිජනතාවගේ ජීවිතවලට අරුමයක් නොවීය. තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම පැහැබර අනාගතයක් පිළිබඳ සිහින මැවූ ඔවුහු වරෙක එම සිහින බිඳගනිමින් අහස් ගැබ දෙස බලා සුසුම් හෙළූහ. ඒ තම එදා වේල සරි කරගන්නට මෙන්ම එකී මෙකී සියලු දෑ වෙනුවෙන් සිදු කරන එකම කර්මාන්තය වූ ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය ජලය නැතිව බව බෝග විනාශ වූ ගිය කලය.

රජරට ගොවි පවුලක උපන් මිනිසකු වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටද මේ දසුන් දුලබ නොවීය. එදා ඔහු මේ ගොවි ජනතාව වෙනුවෙන් සිහිනයක් දුටුවේය. ඒ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියයි.

රජරට ගොවි ජනතාවගේ දුක් කඳුළු පිසලන්නට එතුමා එදා දුටු ඒ සිහිනය සියලු ජනතාවගේ ප්‍රාර්ථනා දල්වමින් දුම්බර නිම්නයේ නකල්ස් කඳු මිටියාවතේ අද සැබෑ වෙමින් පවතී.

අපේ රටේ ක්‍රියාත්මක බහුකාර්ය වාරි සංවර්ධන ව්‍යාපාරයේ සුවිශාලතම වාරි විස්මිතය වන මොරගහකන්ද ව්‍යාපෘතිය තවදුරටත් රජරට ජනතාවට සිහිනයක් නොවේ. එය අද ඔවුන්ගේ දෑස් ඉදිරිපිට මල් ගැන්වෙන සොඳුරු දසුනක් බවට පත්ව තිබේ. රජරට ගොවිබිම් හෙක්ටයාර් 82, 000ක් අස්වද්දන්නට දෙවැනි මහවැලිය හෙවත් මොරගහකන්ද දැන් සූදානම්ය. මහවැලි මහා සැලැස්මේ අවසාන වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ කටයුතු අද වන විට අවසන් වෙමින් පවතින අතර අක්කර අඩි 120, 000ක පමණ ජල ධාරිතාවකින් මේ වන විට ජලාශය පිරි පවතී.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මායිමේ ඉදි වූ මොරගහකන්ද ජලාශය යෝජනා වන්නේ මහවැලි මහ සැලැස්මටත් පෙර සිටය. එතැන් පටන් කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කළ 1979 වර්ෂය දක්වා මොරගහකන්ද, ප්‍රධාන ජලාශ පහ තුළ පැවැති නමුත් එය පංචමහා ජලාශ ව්‍යාපෘතියෙන්ද අත්හැරිණි.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ඉවත් වුවද මොරගහකන්ද ජලාශයේ අත්‍යාවශ්‍යතාව යළි අවධාරණය කරන අධ්‍යයනයක් 1979 සිදු කෙරිණි. ඒ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය හෙවත් 'ජයිකා' අනුග්‍රහයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් මඟිනි. ඒ මඟින් යළි තහවුරු කරනු ලැබුවේ රජරට ජල හිඟයට එකම තිරසර විසඳුම මොරගහකන්ද ජලාශය බවයි.

1989 දී මේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව යාවත්කාලීන කරනු ලැබුවද ව්‍යාපෘතිය පිළිබඳ එම යුගයේද කිසිදු පියවරක් නොගැනිණි. 1970 දශකයේ දුටු මොරගහකන්ද ජලාශය පිළිබඳ සිහිනය යළි අවදි කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාය.

අඹන් ගඟ හරස් කිරීමෙන් අක්කර අඩි හාරලක්ෂයකට වැඩි ජල ධාරිතාවක් රැස් කර, ඒ ජලය පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය හා උතුරු පළාත් ජල හිඟයෙන් පීඩා විඳින ගොවි ජනතාව වෙත මෙන්ම දරුණු ලෙස වකුගඩු රෝගයට ලක්ව සිටින රජරට වැසියා ඉන් මුදාගැනීමට මේ දියවර යෙදාගැනීමේ හැකියාව දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා 1998 දී කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා වශයෙන් පත් වීමත් සමඟ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට පියවර ගත්තේය.

ජර්මනියේ ලාමයාර් අන්තර්ජාතික උපදේශන සමාගම හා ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය විසින් 2000-2004 වසරවල සිදු කළ ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනය අනුව 2007 වසරේ එවකට ජනාධිපතිවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමු කරවා එහි වැඩ ආරම්භ කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය.

එහෙත් මේ සිහිනය ඉටු කරගැනීම එතරම්ම පහසු කාර්යයක් වූයේ නැත. ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුග්‍රහය හා දායකත්වය එවකට පැවැති රජයෙන් නොලැබිණි. වසර 5ක් ගත විය. 2007 ආරම්භ කර 2012 වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ මන්දගාමිවය.

මොරගහකන්ද ව්‍යාපෘතියේ ස්වර්ණමය යුගය උදා වන්නේ 2015 ජනවාරි 08 වනදාය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති ධුරයට පත් වීමත් සමඟය.

මොරගහකන්ද - කළුගඟ ජලාශය ලංකාවේ සුවිශාලතම වාරි සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් සැලකෙන්නේ ඒ මගින් දියවර ලබන ප්‍රදේශ හා වැව් සංඛ්‍යාව අනුවය. ඒ අනුව මොරගහකන්ද - කළුගඟ ජලාශයට සම්බන්ධ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැවි 1200ක්ද වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය මගින් ලොකු කුඩා වැව් 303ක්ද, ලග්ගල සංවර්ධන ප්‍රදේශ යටතේ වැවි 13ක්ද පෝෂණය කෙරේ.

විශේෂඥයන් විසින් ගණන් බලා ඇති ආකාරයට මේ ප්‍රදේශයන්හි වගා තීව‍්‍රතාවේ සාමාන්‍ය අගය වන 100% සිට 154% දක්වා වන සාමාන්‍ය අගය 181% දක්වා ඉහළ නැංවීමට මෙමඟින් අවස්ථාව ලැබේ.

මීට අමතරව මේ ප්‍රදේශවල අතිරික්ත කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ යෑමක් සි දුවනු ඇති අතර, එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 4000 ක පමණ ආර්ථික ප්‍රතිලාභ හිමි වනු ඇත.

අක්කර අඩි 660, 000ක් පමණ ප්‍රදේශයක් පුරා පැතිරෙන මොරගහකන්ද - කළුගඟ ජලාශය මඟින් මිරිදිය ධීවර කර්මාන්තයට සුවිශේෂ දායකත්වයක් ලබාගත හැකිය. මේ වන විට ගණන් බලා ඇති පරිදි වාර්ෂිකව ටොන් 300ක් පමණ වන මිරිදිය ධීවර අස්වැන්නක් බලාපොරොත්තු වන අතර, එහි අගය රුපියල් මිලියන 22ක් වශයෙන් සැලකේ.

මේ අතර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක ධාරිතාවක් එක් කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් තිබේ. ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති. මේ අනුව ලංකාවේ කෙටිම කාලයකින් ඉදි කෙරුණු විදුලි බලාගාරය ලෙස මොරගහගකන්ද ජල විදුලි බලාගාරය ඉතිහාසයට එක් වෙයි.

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියෙන් අවතැන්වන පවුල් 3000කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් පැරණි ලග්ගල නගරය වෙනුවට නව ලග්ගල නගරයේ ඉදි කිරීම් මේ වන විට අවසන් අදියරේ පවතී. අනාගත අවශ්‍යතා සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මේ නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500කි. නගරයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 300ක වපසරියකින් යුක්ත වන අතර දැනට රෝහල් සංකීර්ණය, මධ්‍ය මහා විද්‍යාලය, ප්‍රධාන ක්‍රීඩා පිටිය, ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විවිධ සේවා සමුපකාරය, තැපැල් කාර්යාලය හා ප්‍රධාන බස් නැවතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් පවතී.

මීට අමතරව ප්‍රාථමික විද්‍යාලය ඇතුළු අලුත් පාසල් 03ක් ඉදිකෙරෙන අතර, ඇතැම් රාජ්‍ය ආයතන දැනටමත් නව නගරයේ ආරම්භ කර තිබේ.

ලග්ගල නව නගරය දඹුල්ල, මාතලේ, නාවුල, මොරගහකන්ද, පල්ලේගම, වස්ගමුව ජාතික වනෝද්‍යානය හරහා ගිරාඳුරුකෝට්ටේ, මහියංගණය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අතර, දඹුල්ල නගරයට ඍජුව සම්බන්ධ වන ප්‍රධාන මාර්ග පද්ධතිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන මේ ප්‍රදේශයට ළගා වීම සිදු වේ.

එමෙන්ම මේ නගරය සඳහා තෝරාගනු ලැබූ භූමිය ප්‍රදේශයේ ජනතාව විසින්ම තෝරාදෙනු ලැබීම විශේෂත්වයක් වන අතර නව නගරය සලසුම් කිරීමේ දී ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම, ජනගහනය කේන්ද්‍රගත වීම වැනි කරුණු සැලකිල්ලට ගෙන තිබෙන අතර ස්වාභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති පරිසරයක් වීමද වැදගත් කරුණකි.

මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සමඟ ඒ පළාත්වල සංචාරක ව්‍යාපාරයේ පිබිදීමක්ද අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මේ ප්‍රදේශවලට අයත් වස්ගමුව ජාතික උද්‍යානය, ගිරිතලේ - මින්නේරිය වනෝද්‍යානය, නකල්ස් කඳුවැටිය ආශි‍්‍රත රිවස්ටන්, පිටවල පතන හා සේරඇල්ල වැනි සංචාරක කලාපද දඹුල්ල පන්සල, දඹුල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගණය, කණ්ඩලම සංචාරක හෝටලයද අන්තර්ගත වන කලාපය මධ්‍යයේ මොරගහකන්ද - කළුගඟ ජලාශය පිහිටීම මීට හේතුවයි.

මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ පාරිසරික වශයෙන් අතිසංවේදි දුම්බර කඳුකරයේ හෙයින් එයින් වන පරිසර හානිය අවම කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙහි දී මොරගහකන්ද ජලාධාර ප්‍රදේශයන්හි ගංගා, ඇළදොළ රක්ෂිතයන්හි හෙක්ටයාර් 1365ක නැවත වන වගා කිරීමට පියවර ගෙන ඇති අතර, මොරගහකන්ද ජලාශය වටා මීටර් 100ක රක්ෂිත ප්‍රදේශයක් වෙන් කිරීම හා හෙක්ටයාර් 650ක නැවත වන වගා කිරීම සිදු කෙරේ.

මීට අතිරේකව මින්නේරිය - ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම, අලිමංකඩ දෙපස විදුලි වැට පිහිටුවීම, අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම, මින්නේරිය ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සත්ත්ව වාසභූමි වැඩිදියුණු කිරීම යටතේ අතහැර දමන ලද වැව් 04ක් ප්‍රතිසංස්කරණය, ආක්‍රමණශීලි පැළෑටි ඉවත් කර අලුතින් ශාක හා තෘණ වගා කිරීමට පියවර ගැනීම ආදිය සිදු කර තිබේ.

රජ රට ගොවි ජනතාවගේ අනාගතය අස්වැන්න රන් දියවර බවට නුදුරේදීම මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය පත්වනු නිසැකය.

පී.ඒ.එස්. ප්‍රදීපිකා
ඡායාරූපය - සුසන්ත විජේගුණසේකර

Comments