රට රකින්න පෙරට ආ තවත් පුතුන් පිරිසක් | සිළුමිණ

රට රකින්න පෙරට ආ තවත් පුතුන් පිරිසක්

 අදට අවුරුදු 10කට 15කට විතර කලින් නම් යුද හමුදාවට යාම ගැන සමාජයේ තිබුණේ පුදුමාකාර දෙගිඩියාවක්. එක් පැත්තිකන් රට රැක ගැන්මට යන ගමනක්. අනෙක් අතට ජීවිතය පරදුවට තියල රට රකින්න යන ගමනක්. ලෝක යුද්ද කාලෙ ඉඳල යුද හමුදාවට කොහොමත් පුදුමාකර ගෞරවයක් සමාජ බැඳීමක් තිබුණා. අදටත් ඒ තත්ත්වයේ අඩුවක් නැහැ. ත්‍රස්තවාදය අවසන් වුණාට යුද හමුදාවේ කාර්යයන් අඩු වෙලා නැහැ.

ඕනෑම ස්වාභාවික ව්‍යසනයකදී වගේම ජාතික ආවශ්‍යතා ඇති ඕනෑම කාර්යයක් සඳහා යුද හමුදාව මැදිහත් වෙනවා. ඒ සඳහා යුද හමුදා නිලධාරී්න වගේම හමුදා සෙබළුන් දක්වන්නේ අප්‍රතිහගත දායකත්වයක්.

මේ නිසා වසරකට කිහිපවරක්ම හමුදාවට නවක නිලධාරීන් බඳවා ගැනීම සිදු වෙනවා.

ආසන්නහ බඳවා ගැනීම සිදු වුණේ පසුගිය 17 වැනිදා දියතලාව පුහුණු විද්‍යා පීඨයේදී‍. එහිදී සාර්ථකව පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු වර්ණවත් පෙළපාලියකින් පසුව විසිර ගියා.

ඒ අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වුණේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ආරාධනයෙන්.

එදින සියල්ලටම පෙර සිදු කළ කාර්යය වුණේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා රට දැය වෙනුවෙන් තම ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකිරිමයි. ඒ කාර්යය ඇමැතිවරයා සිදු කළා.

විසිරයෑමේ පෙළපාලියේ ආරම්භය සනිටුහන් කරමින් එහි අණදෙන්නා වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් එච්.ආර්.ඒ.ජේ.කේ.කේ බස්නායක ආරාධිත අමුත්තාගෙන් අවසර ගැනිමෙන් අනතුරුව පෙළපාලියේ මුලික අදියර ආරම්භ කළා. එහිදි මෙම කෙඩෙට් නිලධාරීන් වෙත අධිකාරිය සංකේතවත් කරමින් ආරාධිත අමුත්තා අසිපත් පිළිගැන් වූ අතර, අනතුරුව නව නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබුවා.

මෙහිදි කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 83 සහ ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 57 හි පිළිවෙළින් බළඇණි මෙහෙයුම් නිලධාරී ඩි.යූ.අයි.එල් ගොඩකුඹුරේගෙදර සහ ඛණ්ඩ මෙහෙයුම් නිලධාරී ඒ.සී.පී. කුමාර දක්ෂතම කෙඩෙට් නිලධාරීන්ට හිමි අසිපත් හිමි කර ගත්තා. මාස 30 ක කාලයක් පැවති කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 83 යටතේ කෙඩෙට් නිලධාරීන් 36 ක් ද, මාස 18 ක කාලයක් පුරා පැවති ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 57 යටතේ කෙඩෙට් නිලධාරීන් 24 ක් ද මෙහිදි අධිකාරියට පත් කරනු ලැබුවා‍.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේ දී දෙමාපියන් නව අධිකාරියට පත් නිලධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිල ලාංඡන පැළඳ වූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහතාද එක්ව සිටියා.

මේ සියලුම නිලධාරීන් අධිකාරියට පත් කිරීමෙන් පසුව රට දැය රැක ගැනීමේ තවත් මහ සටනකට උර දෙන්න පිටත් වුණා.

තාරක

Comments