හිත් හදන්නට අත්වැලක් වූ සමාජ සත්කාරය | සිළුමිණ

හිත් හදන්නට අත්වැලක් වූ සමාජ සත්කාරය

 කටුපඳුරු, ගිරිදුර්ග මැද පවා සොඳුරු සුවඳවත් මල් පිපෙයි. රළු පොළොවේ දැඩි බව උසුලා සිටීමට අපහසු මුත් ඔවුහු ඒ බිම මත පය ගසා නැඟී සිටිති. මිහිමව තුරුලේ කොහේ කොතැනක පිපී සැලුණද සුවඳ අඩුවැඩි වුවද හැම මලක්ම එක සේ සොඳුරුය. දරුපැටවුන්ද ලොවේ කොතැනක ජන්ම ලාභය ලැබුවද මල් වැනිම ළපටිය; පිවිතුරුය; සුවඳවත්ය.

මේ කතා කරන්නට සැරසෙන්නේ පිවිතුරු මෙන්ම සුවඳ නමුත්, අතිශය වේදනාවන්ගෙන්, පීඩාවන්ගෙන් ගැහැට විඳි දරුවන් පිරිසක් පිළිබඳ පුවතකි. අම්පාර දිස්ත්‍රික්කයේ 'මංගලගම' යනු වසර තිහක කුරිරු යුදබියෙන් පීඩා විඳි ගම්මානයකි. අගහිඟකම් කර පින්නාගත් එදිනෙදා දිවිය මැද අකුරු අහුලන මෙහි පොඩි පැටවුන්ට පාසල් ගමනට අවශ්‍ය පොත්පත්, බෑග, ඇඳුම් පැලඳුම් අවශ්‍ය පමණට තිබුණේ නැත. දහම් අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක්ද නොතිබිණි. කටුමැටියෙන් සැකසූ වරිච්චි බිත්තියෙන් පිරියම් කළ කුඩා මඩුව ඔවුන්ගේ දහම් පාසල විය. එම මඩුවද වැසි කලට මඩ වගුරකි. එහි එක් පසක් කැඩී බිමට සමතලා වී තිබිණි.

එනමුදු අද ඔවුහු සිමෙන්තියෙන් පිරියම් කළ වර්ණවත් ගොඩනැගිල්ලකට හිමිකම් ලබන්නට වාසනාව ලබා ඇත. ලියන්නට පොත්ද පැන්සල්ද පෑන්ද , වතුර බෝතල, කෑම පෙට්ටි, සුදු ඇඳුම් හා පාසල් බෑග යන සියලු දෑ මෙන්ම අලුත්ම ඩෙස්බංකුවලද හිමිකරුවෝය. මේ සියල්ල තිළිණ කර පුංචි පැටවුන්ගේ සිත්මල් පුබුදු කරන ලද්දේ එක්තරා අපූරු පිරිසක් විසිනි. ආගමට දහමට, සමාජයට උතුම් ප්‍රජා සත්කාර රැසක් සිදු කරන ලද මේ කණ්ඩායම කඩුවෙල බටේවල වෙසෙන තරුණ පිරිසකි. සමාජයට මෙහෙවර කිරීමේ වැඩපිළිවෙළ ඔවුන් අරඹන්නේ 1997 වසරේදීය. කුඩා මිතුරු හවුලකින් ඇරඹි ඔවුන්ගේ සංගමය අද බටේවල තුරුණු බොදු සංසදය ලෙසින් වසර විස්සක් පුරා සමාජ සත්කාර රැසක් ඉටු කළ තරුණ සංගමයකි.

සෑම වසරකම බටේවල තුරුණු බොදු සංසදය තමන්ගේ ප්‍රජා සත්කාරය ලබා දීමට සුදුසු පිරිසක් සොයා විවිධ දිස්ත්‍රික්කයන්හි සංචාරය කරන අතර, මෙවර ඔවුන්ගේ සංචාරයේ ප්‍රතිඵලය ලෙස හමුව ඇත්තේ, අම්පාර, මංගලගම අඩුපාඩු රැසකට මුහුණ පා සිටින කුඩා දහම් පාසලකි. ඒ අනුව බටේවල තුරුණු බොදු සංසදයේ විසිවන සංවත්සරය වෙනුවෙන් අම්පාර, මංගලගම, සිරි අරියමිත්ත දහම් පාසලේ අඩුපාඩු මැද අකුරු කරනා කුඩා දරුවන්ගේ දුක නිවා සැනහීම ඔවුගේ එකම අරමුණ වී තිබිණි. සියල්ල දෑසින් දුටු මේ තුරුණු බොදු සංසදය යළි කොළඹට පැමිණි විගස සියලු සාමාජිකයන් මෙන්ම දානපතීන් හා ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාරද සහිතව මංගලගම දහම් පාසල ගොඩනැගීමට අවශ්‍ය සියලු දේ සම්පාදනය කිරීමට පියවර ගත්හ.

එතනින් නොනැවතුණු මේ තරුණයෝ මංගලගම දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු කෙටි කාලයකින් නිමා කරන්නට සමත් වූහ. අනතුරුව ඔවුහු තවත් අපූරු කාර්යයකට අත ගැසූහ. ඒ සොඳුරු දවස උදා වූයේ පසුගිය 16 දාය. අම්පාර මංගලගම දහම්පාසලේ ප්‍රධාන හිමිනම, දරු දැරියන් සියයකට අධික ප්‍රමාණයක්, ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම දහම් පාසල් ගුරු භවතුන් සැම කොළඹ, කඩුවෙල පිහිටි බටේවලට කැඳවාගෙන එන්නට ඔවුන් කටයුතු කර තිබිණි. කිසිදු දිනයක කොළඹ නොදුටු අම්පාර, මංගලගම දරුදැරියන් මුවේ ඇඳුණු සතුටු මල් රැගෙන පැමිණ සිටි අයුරු සැබවින්ම චමත්කාරජනකය. මේ දරුදැරියන්ට දැඩිගමුව බෝමළුව විහාරස්ථානයේ නේවාසික පහසුකම් ලබා දෙමින්, අහාරපානාදියෙන් සත්කාර සැලසීමෙන් අනතුරුව පසුදිනයේ කොළඹ අවට අධ්‍යාපන චාරිකාවක් සූදානම් කර තිබූ අතර, එහිදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, කෞතුකාගාරය, ග්‍රහලෝකාගාරය ආදි ස්ථාන මෙන්ම මුහුද දකින්නටද අවකාශ සලසා තිබිණි. එමෙන්ම ඊට පසු දිනය තුළ කළුතර බෝධිය වන්දනා කරන්නට මේ දරුවන් රැගෙන යන ලද්දේ මින් පෙර කිසි දිනෙක ඔවුන් ගමන් කර නොතිබූ දුම්රියෙනි. කොළඹ, මරදාන සිට කළුතර බලා දුම්රියේ ගිය ඔවුන් නැවත අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙලට රැගෙන එන ලද්දේද තවත් අපූරු අත්දැකීමක සතුට ලබා දෙමිනි.

මංගලම දරුවන් මුහුණ දුන් අපූරු වූද සොඳුරු වූද අනෙක් අත්දැකීම වූයේ සොඳුරු ගීත සැන්දෑවයි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ, ජනප්‍රිය කලාකරුවකු සංගීත ශිල්පියකු ලෙස ජන හදවතේ රැඳි විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා මේ දරුවන් සඳහාම සිය ස්වේච්ඡා සහභාගීත්වය ලබා දුන්නේය. දරුවන්ගේ අතිශය ජනාදරයට පත් 'සිඳූ' නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන කවීශ් විහඟ දරුවා සහ හීන්බබා සීයාගේ චරිතයට පණ පොවන සේන ගුණවර්ධන කලාකරුවාගේ රංගනයෙන්ද චමිල මධුසංඛ, අජිත් රත්නවීර යන සංගීත ශිල්පීන්ගේ ගීත ගායනාවන්ගෙන්ද සුමියුරු වූ සංගීත සැඳෑව අම්පාර මංගලගම කුඩා දරුවන්ගේ ගීත ගායනයෙන්ද රස ගැන්වීම තවත් සුවිශේෂත්වයකි.

දරුවන් වෙනුවෙන් ත්‍යාග, දහම් පාසල් උපකරණ ආදි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ අවසාන උත්සවය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා නායක රුක්මලේ විජයාලෝක විහාරාධිපති ආචාර ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, රණාල ශ්‍රී මහින්දාරාම විහාරාධිපති ගිණිගත්හේනේ රාහුල හිමිපාණන්, දැඩිගමුව, බෝමළුව විහාරාධිපති කහතුඩුවේ රාහුල හමියන් මෙන්ම මංගලගම ශ්‍රී සුනේත්‍රාරාම විහාරාධිපති කරපුටුගල ඉන්ද්‍රරත්න හිමියන්ගේ සහභාගීත්වයද ලැබිණි. නවගමුව පොලිස් ස්ථානාධිපති මංජුල ද සිල්වා මහතා මෙන්ම මාධ්‍යවේදී ධර්ම ශ්‍රී තිලකවර්ධන මහතා ඇතුළු ප්‍රදේශවාසීන් මේ සත්කාරය සමඟ එක්ව සිටියේ සිය හද පිරි කැමැත්තෙනි.

සිත පිරෙනන්ට, දෝතින් දරාගන්නට පවා නොහැකි තරම් ත්‍යාගයන්ගෙන්, රස මසවුළුවලින් රසයෙන්, ප්‍රීතියට පත්ව දෑස් අග රැදි කඳුළු මැද මේ පුංචි පැටවුන්ගේ නික්ම යෑම සිදු විණි. සිය දහස් වාරයක් ඔවුන් සිය හද පත්ලෙන්ම තුති ඝෝෂා නැගුවේ බටේවල තුරුණු බොදු සංසදය ඔවුන් වෙනුවෙන් පුද කළ උත්තම මෙහෙවර අගයමිනි.

අපට ඇත්තේ එක් අහසකි; එක පොළොවකි; එක් ඉරකි; එක් හදකි. අප සැම වෙසෙන්නේ මේ අහස යට නම්, සෑම දරුවෙක්ම එක හා සමානය. ඔවුන් සියලුදෙනා වෙත දයාව පෑ යුත්තේ එකම අයුරිනි. කොළඹය, අම්පාරය කියා වෙනසක් නොකර, හදවතේ නැගෙන පිරිසුදු හැඟුම් විකසිත කරමින් මේ උතුම් සත්කාරය දරුවන්ට ලබා දුන් තුරුණු බොදු සංසදයේ සභාපති ලංකා සුදේශ් අත්තනායක, ලේකම් චවීන්ද්‍ර සේනාධීර ඇතුළු සාමාජික සගයන් මෙන්ම ආධාර උපකාර කළ සැම වෙත ප්‍රසාදයේ, පහන්බවේ එක් මලක් නොව මල් සහසක් පුද කළ යුතුය.

සමන්ති මිරියගල්ල
කඩුවෙල සමූහ ඡායාරූප විස්තරය 

Comments