මට හමු වූ විමලරත්න කුමාරගම | සිළුමිණ

මට හමු වූ විමලරත්න කුමාරගම

දිනක මා කුමාරගම සොයා ගිය සැටි මට මතකය. කඳු ගැට මැදින් එරබදු මල් හැළී තිබුණ සුදු දූවිලි මඟක් දිගේ ගැරඬි ගමනින් ගිය සැටි මතකය.

නොයෙක් කිවියන්ගේ ඇතැම් කවි පේළි පණගෙන පත පොතෙන් හොරෙන් බැස ගොස් මේ සොඳුරු කඳුකරයේ චිත්‍රාහිනයක් මතු කළා සේ ය මට පෙනුණේ.

කේයස්ගේ ඡායා එහි දියට යනු පෙනිණි. ප්‍රේමතිලකගේ කෝපි කඩය ගමට හැරෙන තැනම තිබිණ. ඇහැළ මල් ඉත්තකට “මැළ වෙන්නට එපා රන්වන් ඇහැළ මල” කියා මා ගියා මට මතකය.

කිවියකුගේ ගෙට යන මඟ කවියෙන් සරසා තිබුණා වැනිය.

කුමාරගමගේ ගෙයත් මා දුටුවේ ඔහු විසින් අඹනු ලැබූ කවියක් සැටියටය. මිනිසා ප්‍රිය කරන දෙයක් ඔහුම ය. ඔහුගේ දිග්ගැස්මකි.

මුල් මිනිසා සුගති උයනක මවනු ලැබූ බවක් ද, වැඩි කල් යනු පෙර ඉන් ඔහු නෙරපා දමනු ලැබූ බවක් ද, අප බයිබලය සඳහන් කෙරෙයි. එය ඇත්තකි.

එහෙත් ප්‍රතිභා හීනයා තමාගේ කැති හා උදලු කර ගහ ගෙන ඩාදිය වැල් පිසිමින් අව්වේ හා වැස්සේ කටු මාවත් දිගේ ඇදෙන විට කලා කාමියා ගී ගයා රසලීලා මතු කෙරෙමින් තමා හා සුගති උයනත් ගෙන ගියහයි යනු ය මගේ ඇදැහීම.

ඒ කලාකාමියා ගේ කුලයෙන් පැවැත එන්නෙකි කුමාරගම.

කුමාරගම මළහයි ටික දිනකට පෙර පළ විය. එහෙයින් ඔහු පැසැසිණි. ඔහු ගැන කියැවිණි. ලියැවිණි.

මේ කෙටි වැකි වැල ලියැවෙනුයේ පෙබරවාරි 17 වැනිදා (1963) රෑ 10.15ට ය. මැද රැයට ළඟ හෙයින් මගේ කුටියේ එළිය වඩාත් දීප්තිමත්ව පැතිරෙයි. කොනක, හඬවාහිනිය මධුර සමූහ වාදනයක් විකාශනය කෙරෙයි. එය මා අමුතු ඉරක් ඇති, අමුතු හඳක් ඇති ලොවකට ගෙන යයි.

මේ වාදනය ලෝ ප්‍රකට අමරණීය බේතෝවන්ගේ මැවිල්ලකි.

බේතෝවන් මළේ 1828 දීය. එහෙත්, මේ දැන් මට ඇසෙන්නේ ඔහුගේ හඬය. ඒ මිහිරියාවේ නාඩිය අනුව ඔහුගේ අත් පැද්දෙනු, හිස ඒ මේ අත හැරෙනු, දෑස තරු මෙන් දැල්වෙනු, දෙතොල වෙව්ලනු මට පෙනේ. නැත. බේතෝවන් මළේ නැත. ඔහු අමරණීය ලොවකට පා තැබුවා පමණි. මළත් ජීවත්වන පිරිසට අයත් කෙනෙකි ඔහු. ඔහුගේ රැයත් දවාල මෙන්ය. එක මොහොතේ ම ඔහුට ලොවේ සෑම තැනම සිටිය හැකිය.

ඔව්, කලා කුලයට මරණයක් නැත.

කුමාරගම මළා....?

අප සාහිත්‍ය ඉතිහාසය කෙටියෙන් කිය හැකි එකකි. හෙළ කවියේ දෙවැනි වසන්තයේ පිපුණ මලකි කුමාරගම. සර්පයකු හැව අරින්නා සේ - කුරුල්ලකු පිහාටු හළන්නා සේ - පැරැණි යුගයේ බැමි හළා නව යුගයට පා තැබූ කිවියෙකි කුමාරගම.

පෙර ඉසිතිජය ඔසවා නව ඉසිතිජ අනාවරණය කළවුන් ගෙන් එක් අයෙකි.

සසදා යුගයේ කිවියා දුටු ලිය පණ ගෙන සඳළු තලයට පැමිණි හඳය.

කුමාරගම ඇය සිටි සේ දිටි. ඇගේ තොල් පෙති දෙක බුලතින් පැහැය ලැබ රත්ය. ගම්බද නිසා ඇගේ අවිහිංසක නෙත්ය. පැරණි යුගවල කිවියෝ නැති දෙයක ඇති දෙයක් සෙවීමට සමත්හු වූහ. නව යුගයට අයත් කුමාරගම පෙනෙන දෙයක නොපෙනෙන දෙයක් ඇසට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට සමතෙක් වූයේය. ඇස නොමැති නම් සොබාව කිසිත් නොවේ.

අපට සැන්දෑව සිද්ධියකි. කුමාරගමට එය සත්පායකු වැනි සතෙකි.

“මොහොතින් මොහොත බඩගා පැතිරිණි අඳුර” කියයි කුමාරගම.

යුග රැසක් තුළ මැවුණ ලොව, ඉඳුරන් ලවා මොහොතකින් නව ලොවකට පෙරැළිය හැකිය. එතැනය කිවියාගේ බලය රඳා ඇත්තේ, මෙන්න හපුමලියගේ මුහුල කුමාරගම දුටු සැටි;

“යටිකුරු සුනිල දුම් ගොබයක් වැනියි හිස.”

මෙවැනි චිත්‍ර මින් පෙර දුටු අන්‍ය කිවියෝ ද සිටියහ.

ටැනිසන් ඒ චිත්‍රය අන් තැනක දිටී. ඔහුගේ Lotos Eaters යන කවියේ හඳපානේ කඩා හැලෙන කඳුරක් “යටිකුරු දුම් ගොබයක්” සේය පහතට ඇදුණේ.

And like a downward smoke the slender stream

A long the cliff to fall and pause and fall did seem

කුමාරගම මේ වාඛ්‍යාලේකය ටැනිසන්ගෙන් උපුටා ගත්හයි ‍කිය නොහේ. එහෙත්, තණ පතක් දෙස බලා සුළඟ හමන අත සොයා ගත හැකි වනු සේ කුමාරගම ටැනිසන්ගේ යුගයට, එනම්, විචිත්‍ර යුගයට අයත් බවත් එහෙයින් හනමිටි යුගය ඉක්මවා ගිය අයකු බවත් කිය හැකිය.

කවිය බිහි කිරීමට පැහැදිලි ගැඹුරු හැඟීමක් හා මිණි මුතු වැනි වචන වැලක් ද උවමනා කෙරේ. මේ වචන යෙදිය යුත්තේ රන් කරුවා සිහින් කැටයමක් කරන්නා සේ ය. මාලයකට මැණික් කවන්නා සේ ය.

නව රසයෙන් එකක් හෝ වැඩි ගණනක් සිතෙහි කැළැඹෙන මොහොතක දී බොහෝ දෙන ගොළු වෙති. ගල් ගැසෙති. කිවියා ඒ හැඟීමට පණ දීමට සුදුසු වචන සොයා ඒවා එක්කොට කවිය මවයි. කවිය යනු රස හැඟීම නිවිසැනැහිල්ලේ වචනයට පෙරැළීමයැයි වර්ඩ්ස්වත් නමැති ඉංගිරිසි කිවියා කියනුයේ එහෙයිනි.

මේ මිමිවලින් මනින විට විමලරත්න කුමාරගම අප රටේ උපන් කිවියන් අතර උසස් තැනක් ගත යුතු බව පෙනේ.

ඔබත් මාත් දිනපතාම දකින මල කුමාරගම මෙසේ ය දුටුවේ.

මැළැවුණ කුසුම දලු වටයක පපුව මැද
බිම දැමුවොතින් කුණු වේ වට තැනම ඉඳ
පුදසුන මතේ සිට අතු ගා දමන ලද
මල යා යුතුය විසුමට කුණු ගොඩක වැද

මුතු නොවේ කුමාරගමයි පහත දැක්වෙන දේ දුටුවේ

 “... හිත ඇතුළෙ ලෙඩින්”
කොකු නැගගන්න හැටි ඉපනැලි අතර මඩින්
සුදු පෑ වලා ඉගිළෙන හැටි හිසට උඩින්
ඇකිළෙන හැටිය ගොළුබෙල්ලන් ගමන හඬින්
මෙන්න අනික් අය ගොළු වෙන තැන කුමාරගම ගීයට බහින රඟ:

මස් ලේ දන් දිදී මේ ලෝකය රකින
ලස්සනවතිය ඔබගේ සේවය පමණ
බැලුවොත් සමය නායකයින්ටද වටින
අසුනකි ඔබට හිමි මල් සුවඳින් ගහන

පෙනෙන දෙයින් නොපෙනෙන දෙය මතු කොට හේරත් හාමිට අමරණීය බවක් දුන් කුමාරගමගේ පෑන් තුඩෙන් මේ සිවු පෙළ පමණක් බිහි වූයේ නම් නියතින් ම කවි කුලය ඔහුට හිමිය.

මුල අග දෙකම මේ ගංගාවේ අඳුරුයි
මැද ඇති සලා ගල්පර ආදිය රුදුරුයි
එගොඩින් එහා සැනසිලි ඇති රට සොඳුරුයි
මෙගොඩට වඩා එගොඩේ තොට ළඟ ගැඹුරුයි

එගොඩේ තොට මෙන්ම කිවියාගේ අරුත ද ගැඹුරුය.

ලොකු චිත්‍රයක් කුඩා කර අඳින විට දුර සිට පැන්සලය චිත්‍රය කෙරේ එල්ල කොට රූපය ප්‍රමාණ කර ගන්නා සේ කුමාරගමගේ රුව මේ වචන අතළොස්සට කැටි කිරීමටය මෙය ලියැවුණේ.

කුමාරගමගේ තෙවැනි ඇස යොමු වූයේ දුකට වුවද ඔහුෙග් කවිය කවිය ය. ගැඹුරු හැඟීම් මැණික් වැකියෙන් සැරසුණ කවිය ය.

පැරණි කවියේ වදන් ඔහු තැනින් තැන නොයෙදුවා නොවේ. කවියට වඩා චිත්‍රය ඔහු අගේ කළ තැන් ද තැනින් තැන ඇත. හපුමලීගේ හතර වැනි පස් වැනි කවි ඊට නිදසුන්ය.

එහෙත් සවැනි වසරේ සිට පණ සැඟැවෙන තුරු නව පැදියේ මඟ ගත් කුමාරගම නිසැකවම විචිත්‍ර කවි යුගයේ පුරෝගාමියෙකි.

මේ විවේචනයක් නොවේ. රචනයකුත් නොවේ. කුමාරගමයන් සිහි කිරීමට මා නෙළූ ප්‍රතිමාවෙකි.

Comments