විමලරත්න කුමාරගම තෝරාගත්කවි | සිළුමිණ

විමලරත්න කුමාරගම තෝරාගත්කවි

දේදුන්න - 1951

සිව් වස­ර­කට පෙර විත් මගෙ ඇසුර බලා
මේ වන තුරුම මගෙ තනි­කම බැහැර කළා
අද අලු­ය­මම උණු­සුම් වෙන විටදි වලා
පිංචිත් මාත් මර­මින් ටාසන්ද මළා

හඟු­ර­න්කෙතේ පෙර­හැර පැව­තුණු දාක
මා උඹ ගෙනාවේ මහ කළු­වර රෑක
මා පම­ණක්ම දුටු ඉඩ­කඩ ඇති ගේක
උඹ මා සෙවූ සැටි මට වැට­හෙන දේක

රෑ සුළැ­ඟිල්ල උර­මින් නිදි වැදුණු ඇඳේ
මගෙ කට, නහය ලෙව­කෑ­වෙහි නැඟිට උදේ
උඹ ගැන මතක නොනැ­වත හද­ව­තට ඇදේ
මගෙ හිස ඇසද පපු­වද එක විලස රිදේ

පිටි­සර ලියන් දිය සැන­හෙන තැනට පැන
දිව ආවෙ­හිය තන­පට හෝ හවරි ගෙන
උන් උඹ අඹා ආ විට හුර­ත­ලට බැන
උඹ දත්තෙ­හිය මා නැවතී සිටිය තැන

දිව දිව පෙරළි පෙරළී උඩ පැනපු හැටි
ගස් දිග යන්ට ඉගි­ළෙ­න්නට හැදුව හැටි
පූසී සමඟ උඹ සෙල්ලම් කරපු හැටි
මා උඹ මෙන්ම මිය­යෙන තුරු මතක හිටී

දරු සය­දෙ­නෙ­කුගේ පියෙ­කුව මළද උඹ
මම 'නිදරු වී' වැඩු­වෙමි උඹ නිතර සිඹ
මීයන් අඹා දොළ බඩ ගල් තුළට පිඹ
උඹ යළි එතිද පීරා මඩ වතුර ගොබ

සන් දෙන වෙණක් සේ සිහි­පස හඳ පානේ
දුන්නෙහි උඹත් මට හුදු සෙනෙ­හස දානේ
දැන් මට දැනෙන්නෙ හැබැ­හින් හෝ සීනේ
රන් කිරියා මල් සුව­ඳයි උඹෙ මූණේ

මිය­ගිය පසුව උඹ ඉව කර යුතුව සෙනේ
පිංචී කිමද මා ළඟ­ටම තුරුලු වුණේ
ඇය හට දැනුදු තනි වූ බව හොඳට දැනේ
මට අද උඹෙන් මුළු ලොව එක තැනක පෙනේ

මහ කළු­ව­රක් බිහි විය හැක උදා­ස­නින්
මළ බෙර හඬක් සැන­සු­ම­කට යොදා­ග­නින්
ටාසන් මළා මගෙ පා ළඟ නිදා­ග­නින්
මා මෙන් උඹත් පිංචී හිත හදා­ග­නින්



වැඩි­විය බලා යන බිලි­ඳුගෙ සිනා මත
අඩි­යෙන් අඩිය දුක් රස­යක් කවා ඇත
වැඩි පද කුමට කටු අකු­ලක නිවා සිත
පොඩි පෙඳ පැළය මට කඳු­ළට පවා ඇත
(1941)

අත­පය දෙ ඇස දන් දී ඔබගෙ නාමෙට
අස­ර­ණ­ය­කුගෙ සර­ණින් දොරට ආ විට
කිසි­වක් එපා මිහි­රිය කුසට කෑමට
මඳ­හස පානු මැන දොර­ටු­වට ආවට
(1941)

පසු වන අතර රුක් අත්තන තුරු වදුලේ
පව­නක් වුයෙහි නම් ඔබ වගු­රන සිහිලේ
හැපෙ­මින් බිඳී දිය වෙන්නට ඔබ දෙතොලේ
සැඟ­වෙමි සොරා ගොස් පෙණ බුබු­ළක් ඇතුළේ
(1941)


රස කවි­ය­කුගෙ විජි­තයෙ මිස සුපි­ය­කරු
ආලය කියන පිරි­සිදු පද තුළෙහි සරු
අද­හස උරා­ග­න්නට නැත ලොවට හුරු
ආලය ලොවට යා යුතු පාල­මකි දිරු
(1945)

රිදු­මක සුසුම් හඬ මෙන් ගඟ දිය ඇද්දේ
තුරු ලිය හඬ­හඬා උම­තුව මෙන් පැද්දේ
කේතකි ගුහා­වල කළු උණ බට මැද්දේ
සුළ­ඟින් වැයේ සෝකී මළ බෙර සද්දේ
(1945)

ගෙඋ­යන් ලතා ගල් මුල් බැමි මැඳුරු තුරු
මීදුම් පලස හළ විට වැද උදය මරු
බිලි පුද පිණිස ගැලවූ පිළි සිරුරු දැරු
හිර­කා­ර­යන් පිරි­සක් වැනි දුටුව මරු
(1945)

දින දින දියුණු වන විට මිනි­සු­නගෙ මොළේ
දන රැස් කිරී­මෙන් ළං කර ගනිති බලේ
වෙන දේ කිවොත් මෙහි මගෙ කවි රසය තැළේ
ගුණ­ව­ත්කම තිබෙ­නුයේ අස­රණ ම පැලේ
(1945)

වැර­දුණු තෙමී සිය ලැගු­මට යන ගමනේ
කවු­ඩන් පෙළකි වෙවු­ලන උණ අතු සෙවණේ
පොල් ගස් තුරුලු වී සිට­ගත් ගඟ අයිනේ
හිස හප­හපා වැල­පෙති ගන­ඳුරු සෙවණේ
(1945)


ළැව් ගිනි නැගෙන තර­මට පවනින් ගින්නේ
බිහි­සුණු විජි­ත­යක රුදු වග වල­සුන්නේ
මෙලෙ­සින් කටුක ජීවි­ත­යක් ගෙන යන්නේ
අප වැනි අය ම බව නැත සම­හරු දන්නේ
(1946)

නමා ගැරැහු මුත් නින්දිත පදම දිවේ
සමා­ජයේ නිවැ­රදි කිසි කෙනෙකු නොවේ
පමා­ද­යෙන් බැඳු­ණත් අති­ද­රුණු පවේ
සමා නොදිය හැකි වර­දක් නොමැත ලොවේ
(1946)

ඉති­රි­ය­කගේ කැළැ­ලක් ඇගෙ කඳුළු වැලේ
සෝදා­ග­තොත් ඒ ලප­යෙන් අඩය මළේ
සෙසු අඩ මක­න්නට සත් සමු­දු­රෙහි ජලේ
දුබ­ලය - මැරුණු පසු එය ඇගෙ නමට ඇලේ
(1946)


මගෙ හොඳ නොහොඳ මම කිසි­විට නොම වැසිමි
මා පිස්සෙක් ද සම­හර විට­කදි ඇසිමි
මල් වී පිපෙමි මම පිනි පොද වී වසිමි
අද පැර­දු­ණත් හෙට මර­ණින් එළි බසිමි
(1953)



ඔබ ගෙයි නැතිව ආපසු ගොස් කඳුළු පුදා
යම් කිසි තැනක සඳ­රැස් බොන සුළඟ බදා
උණ මදු­රු­වන් හට පපු­වත් වතත් පුදා
ජනේ­ල­යක් ළඟ සැතපී ගතිමි එදා
(1947)

හොඳ දිය තිබෙන හේවා­හැට උඳුන තනා
මෙය බිම යුතුය රස­වත් රස නහර පිනා
තේ නැති රිදුම දැක ඔබ එවු ලියුම ගෙනා
මගෙ හද­වතේ ලේ ටික තේව­තුර වුණා
(1950)

සංසා­රයේ හැටි උප­තයි වැන­සි­ල්ලයි
මර­ණය උපත වැන­සුණ කල නැව­ති­ල්ලයි
දුක පසු පස ඇදී එනුයේ සැන­සි­ල්ලයි
වියෝ­ග­යක් හමු­වී­මක සෙව­ණැ­ල්ලයි
(1951)


මෙද­වස කුමන මොහො­ත­කදී රෑ වේද
ගිලි­හුණු බිඳුණු සම­නළ තටු හා වේද
පවනේ සුනිල් මුදු කෙස් රොද පා වේද
තිගෙ නෙත් කැලුම මගෙ නෙත්වල ගෑවේද
(1956)


විම­ල­රත්න කුමා­ර­ගම කවියා
අව­සන් වරට ලියූ
කවි දෙක:

අලුත් එළි­යක ලකුණු මතු වෙයි
එදෙස තරු රැස් අනුව යන්නම්
මගේ අද­හස් මැරෙන්නේ නෑ
ඔබට එය අඩු නැතිව දෙන්නම්
උදෑ­සන මල් වී පිපෙ­න්නම්
රෑට හඳ එළි­ය­කින් එන්නම්
ඔබේ සුව­ඳත් මගේ සුව­ඳත්
එකට කැටි කළ හුළඟ වෙන්නම්

මට දැන් අමා­රුයි - හද­ව­තෙහි දිය රතු
නික්මී කටින්, ගෑ මෙන් දැනෙයි ඇඟ ලතු
සොහො­යුර, ලොවේ ඉර හඳ අතට ගෙන මතු
මගෙ නිද­හ­සට ඔබෙ නිද­හ­සද දිය යුතු

විම­ල­රත්න කුමා­ර­ගම කවියා 1962 දෙසැ­ම්බර් 29 වන දා එළි වන යාමයේ සද­හට ම දෙනෙත් පියා ගත්තේ ය. රම්බොඩ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි කුමා­ර­ග­මගේ අන්තිම කවි දෙක ලියා තිබුණේ ඔහුගේ රෝගය අසාධ්‍ය වන්නට පැය දෙක­කට කලිනි. ඔහු ඒ කවි දෙක ලියා රෝහල් සේව­ක­යකු අතට දී තිබුණේ එය පීබී අල්විස් පෙරේරා කවි­යාට තැපැල් කර යවන ලෙස දන්වාය. නමුදු අල්විස් පෙරේරා කවියා අතට කවි දෙක ලැබී තිබුණේ විම­ල­රත්න කවියා මිය ගොස් දින එකො­ළ­හක‍ට පසු­වය. ‍මේ කවි දෙක ලියා විනාඩි දහ­ය­කට පමණ පසු කුමා­ර­ගම කවියා සිහි­සුන් වී තිබෙන අතර, අව­සන් හුස්ම හෙළන තුරු ම කුමා­ර­ග­ම­යන්ට ප්‍රකෘති සිහිය ලැබී නැත.


සංස්කරණය - සුමුදු චතුරාණී ජයවර්ධන
සංස්කරණ සහාය - ජයත් පියදසුන්, ඉනෝකා සමරවික්‍රම
පිටු සැකසුම - හේමන්ත චන්ද්‍රසේකර
සිතුවම් - කුමුදු පීරිස්
පරිගණක අක්ෂර සංයෝජනය - එච්. ඒ. සමරවංශ, අමිල මලවිසූරිය, දිනුක්ෂි පෙරේරා 

Comments