උතුර - දකුණ ආර්ථික වර්ධනයට නව පිම්මක් | සිළුමිණ

උතුර - දකුණ ආර්ථික වර්ධනයට නව පිම්මක්

අඩු වියදම් මෝටරයක්

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියල කියමනක් තියෙනවා. මේ කියමන ඇත්තෙන්ම අපට හුඟක්ම වටින්නේ අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් නිසයි. අපේ රටේ අපනයන ආර්ථිකයක් තියෙන්නේ. දේශීය ආර්ථිකය නංවන්න නම් අපට අලුත් අලුත් නිෂ්පාදන තියෙන්නම වෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මය වගේම වෙ‍ළෙඳාම් ඉහළ නංවාගන්න පුළුවන් ක්‍රමෝපායයන් හඳුන්වා දෙන්න වෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය මැනවින් හසුරුවා ගන්න නම් ඒ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන විදිහේ ක්‍රමවේදයන් තියෙන්න ඕන.

අපේ රටේ නව නිපැයුම් ප්‍රදර්ශන කියලා එළි දක්වන බොහෝ ප්‍රදර්ශන එතැනින්ම කෙළවර වෙනවා. ඒ නව නිෂ්පාදකයන්ට අත දෙන්න පේටන්ට් බලපත්‍ර අරගෙන දෙන්න උපකාරී වෙන්න ඉන්නවනම් ඒ ආයතන ඉතාම අතළොස්සක්.

අපේ ර‍ට පුරා වෙළාගත්ත යුද්ධයක් අවුරුදු 30ක් විතර කාලයක් තිබුණා. යුද්ධය අවසන් වුණා. දැන් යුද්ධයෙන් වඩාත් බලපෑම් ඇතිවුණු උතුරේ ජනතාවත් සම්බන්ධ කරගෙන මේ ගමන යන්න ඕන. මේ කටයුත්ත බොහෝ දුරට කරන්න පුළුවන් වෙන්නේ ආගමික නායකයන්ට වගේම ඒ පැත්තේ අඛණ්ඩව හිටපු හමුදාවන්ට විතරයි. ඒ නිසාම වෙන්න ඇති ආරක්ෂක හමුදාව හැම තිස්සෙම උතුරේ ජනතාව දකුණට සම්බන්ධ කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයන් සකස් කරන්නේ.

මෙහි තවත් පියවරක් විදිහටයි ‘කිලිනොච්චි නව නිපැයුම් - 2017’ ප්‍රදර්ශනය පසුගියදා කිලිනොච්චියේ ‘නෙළුම් පියස‘ විශේෂ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වූයේ. උතුරේ ජනතාවට විතරක් නෙමෙයි රටේම ජනතාවට තම වෙළෙඳාම් වැඩි දියුණු කර ගන්න මේ ප්‍රදර්ශනයේදී ගොඩක් දැනුම ලැබුණා. විශේෂයෙන්ම පහසුකම් අඩු කිළිනොච්චි ප්‍රදේශයේ ජනතාවට වගේම පාසල් සිසුන්ටත් ‍ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. නිපැයුම් ප්‍රදර්ශනය සංවිධානය කෙළේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින්. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත දසිල්වා මහතාගේ උපදෙස් පරිදි මේ ප්‍රදර්ශනය පැවැත්වූවා. මේ ප්‍රදර්ශනයේදී නව නිෂ්පාදන 52ක් එළි දක්වා තිබුණා. ඒ සියල්ලම ව්‍යාපාර ලෝකයට අලුත් නිෂ්පාදන බව ඉතාම පැහැදිලියි. මෙහිදී එලවළු කැපීමේ යන්ත්‍රයක් වගේම නව සම්ප්‍රේෂණ පද්ධතියක්, නිවාස ආරක්ෂක පද්ධතියක්, ඇතුළු නව නිපැයුම් රැසක් ඉදිරිපත් කර තිබුණා. විශේෂයෙන්ම ව්‍යාපාර ලෝකයට වඩාත් අවශ්‍ය කරනු ලබන එළවළු කැපීමේ යන්ත්‍ර වගේම නැතිවම බැරි ගොඩක් දේවල් මේ ප්‍රදර්ශනයේදී එළි දක්වා තිබුණා. මේ නිසා වසර 30ක් පමණ දැඩි ආර්ථික පීඩනයකට පත් වුණු ජනතාව වගේම පාසලේ වාණිජ විෂය ධාරාව හදාරණ සිසුන්ටත් මේ ප්‍රදර්ශනය ලොකු පිටිවහලක් වුණා.

පාසල් දරු දැරියන් වඩාත් උනන්දුවෙන් මේ ප්‍රදර්ශනය බලන්න ආවේ ඒ අයට ඉගෙන ගන්න ‍ගොඩක් දේවල් තිබුණු නිසයි. පාසල්වලින් වේලාවන් වෙන් කරගෙන මේ ප්‍රදර්ශනය බලන්න ආපු දරු දැරියන් වගේම උතුරේ ජනතාව හොඳ පණිවුඩයකුත් දුන්නා. ඒ කවුරු මොනව කිව්වත් උතුරේ ජනතාව හමුදාව සමඟ ඉන්න පණිවුඩයයි ලබා දුන්නේ.

අපේ රටේ ආර්ථිකයෙන් විශාල කොටසක් උතුරේ ජනතාවගෙන් ලැබුණා. ඒ තත්ත්වය තවත් වර්ධනය කර ගන්න වගේම ඒ අයගේ ජීවනෝපාය නංවන්න ආර්ථික වගේම සමාජීය තත්ත්වය නංවන්න මේ ප්‍රදර්ශනය ගොඩක් හේතු වුණු බවත් අපට පෙනුණා.

මේ ප්‍රදර්ශනයට කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් බිමල් විතානගේ මහතා ඇතුළු 57, 65 සහ 66 යන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ඇතුළු නිලධාරීන් රැසක් පැමිණ සිටීමත් විශේෂත්වයක් වුණා.

ඡායාරූප- ආරක්ෂක සේනා මූලස්ථානය
කිළිනොච්චි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.