ඩෙංගු මර්දනයට සැවොම එක්වෙමු | සිළුමිණ

ඩෙංගු මර්දනයට සැවොම එක්වෙමු

ස්වාභාවික විපත්වලින් පසුව ඇතිවන ආපදා තත්ත්වයට මුහුණ දුන් ජනතාව අතර ඩෙංගු, මී උණ, ස්වසන රෝග, සමේ රෝග වැනි බෝ වන රෝග මෙන්ම හෘදයාබාධ, අධික රුධිර පීඩනය, මානසික රෝග වැනි බෝ නොවන රෝග ඉහළ යාමේ අවදානමක් පවතියි. මෙම රෝග කල් ඇතිව හඳුනා ගනිමින් යෙදිය යුතු පිළියම් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරිණ.

හදිසි ආපදා තත්ත්වය

හදිසි ආපදා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය ද ව්‍යාප්ත විය හැකිය. සාමාන්‍යයෙන් මේ කාලයේදි ඩෙංගු රෝගය මෙරට ව්‍යාප්ත වීම සිදු වේ. පසුගිය වසරේදී ද ඩෙංගු රෝගය මේ කාලය වන විට වැඩි වීමක් පෙන්වීය. මෙම හදිසි ව්‍යසනය බලාපොරොත්තු නොවූ තත්ත්වයකි. ගංවතුර ඇති වීමට පෙර ද ඩෙංගු රෝගයේ වසංගත තත්ත්වයක් මෙරට පැවතිණි. එම නිසා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අපේක්ෂා කළ තත්ත්වයට වඩා දෙගුණයකින් සූදානම් වීමක් සිදු විය යුතුය. මී උණ වැනි රෝග ද වැළඳීමේ අවදානමක් පවතියි. ඒවා කළමනාකරණය කර ගැනීම මේ අවස්ථාවේදී බොහෝ වැදගත් ය. රෝග වළක්වා ගැනීම සඳහා ජනතාවගේ සහාය අවශ්‍ය වේ. ජනතාවට අවශ්‍ය පහසුකම් මෙහිදී ලබාදීම ඉතා වැදගත් ය. එසේ නොමැතිව සෞඛ්‍ය පණිවුඩ ලබා දුන්න ද ඔවුන් ඒවා පිළිපැදීමක් නොකරයි. ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමෙන් පසුව රෝගවලින් වැළකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැදගත් ය. මෙවැනි ව්‍යසනයකින් අනතුරුව මැස්සන්ගෙන් බෝ වන රෝග පැතිර යාමේ අවදානමක් ඇති නිසා දරුවන්ට පාචනය, අතීසාරය වැනි රෝග වැළඳීමේ ඉඩකඩ පවතියි. ඒවා වළක්වා ගැනීම සඳහා මාස හයට අඩු දරුවන්ට මව්කිරි ලබාදීම අතිශයින් වැදගත් වේ.

පෙර සූදානම

මේ ගංවතුර තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානමක් පවතියි. බෝ වන ස්ථාන හඳුනා ගැනීම මෙහිදී සිදු කළ යුතුය. ඩෙංගු මර්දනය කිරීමට සියලු දෙනා එක්විය යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් නොව වෙනත් අන්තර් අමාත්‍යාංශ ඇතුළු ආයතන ඒ සඳහා එක්විය යුතුය. ආරක්ෂක අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන ඒකබද්ධව වාහක පාලන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය. පොලිතීන් බහුලව මේ අවස්ථාවේදි භාවිතා කරයි. ආහාර එතීම ඇතුළු කාරණා සඳහා පොලිතීන් වැඩිපුර යොදා ගැනීමක් සිදු කරයි. ඩෙංගු රෝගය වැඩි වීමට එයම ප්‍රමාණවත් ය. මේ අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර පෙළගැස්විය යුතුය. ගොවි සංවිධාන, ගොවි නියාමක, සමෘද්ධි නිලධාරින් මේ ව්‍යසනයන් සම්බන්ධයෙන් පුහුණු කර දැනුවත් කළ යුතුයි. රෝගී වන අය සුවපත් කිරීමට අවශ්‍ය වේ. ඒ සඳහා අවශ්‍ය ඖෂධ තොග තබා ගැනීම වැදගත් ය. උදාහරණයක් ලෙස ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය තොග වශයෙන් තබා ගත යුතුයි. ඩෙංගු රෝගීන් වෙනදා වාර්තා වූවාට වඩා වැඩිපුර සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානම වැඩි වීම එයට හේතුවයි. වසංගත තත්ත්වයක් පැමිණියහොත් එයට මුහුණ දීම සඳහා පෙර සූදානම වැදගත් වේ. රෝගීන් වාර්තා වූවාට පසුව ඖෂධ තොග ගෙන්වීම ප්‍රායෝගික නොමැත. වසංගත තත්ත්වයන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මඟින් ජනතාවට දැනුම් දිය යුතුයි. ඩෙංගු සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ නම් උණ රෝගයක් වැළඳුණු පසුව රෝහල්ගත වීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාවට පණිවුඩ ලබා දිය යුතුයි. එසේ නොවුණහොත් රෝගීන් වාර්තා නොවී මරණ සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් ද පවතියි. 2017 වර්ෂයේ ගත වූ මාස 06 තුළදී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 68,053 රට පුරා ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

වත්මන් ඩෙංගු තත්ත්වය

ඩෙංගු මරණ 200 කට වඩා වැඩිය. ඩෙංගු මරණ සංඛ්‍යාව රටට හෙළි කළ යුතුය. ඒවා සැඟවීමෙන් යහපතක් නොවේ. මේ මරණවලින් උගත යුතු පාඩම් ඇත. ප්‍රතිකාර කිරීමේදි පවතින අඩුපාඩු මොනවාද කියා මේ මරණවල පසුවිපරමක් කිරීමෙන් හඳුනාගත හැකිය. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් සියයට 42 කට වැඩි සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වේ. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 20 වන සතිය තුළදීය. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව පවතියි. කිසියම් පුද්ගලයකුට උණ රෝගය පවතින්නේ නම් දෙවැනි දිනයේදි රුධිර පරීක්ෂාවක් කර ගත යුතුය. එම පරීක්ෂාව සාමාන්‍ය තත්ත්වයෙන් තිබුණ ද උණ සුවපත් වූවත් තෙවැනි දිනයේදීත් රුධිර පරීක්ෂාවක් කර ගැනීම වැදගත්ය. ඩෙංගු වෛරසයේ වෙනසක් සිදුව පවතින නිසා මේ පරීක්ෂාව සිදු කිරීමෙන් රෝගය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකිය. රට පුරා සිටින ව්‍යාජ වෛද්‍යවරුන් වෙත ප්‍රතිකාර සඳහා උණ රෝගීන් යොමු වීම ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවකි.

ව්‍යාජ වෛද්‍යවරුන්

ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් රට පුරා ව්‍යාප්තව සිටියි. රෝගීන් තමා වෙත ඇද ගැනීම සඳහා ඉබියුප්‍රොෆේන් වැනි ඖෂධ ඔවුන් ලබාදීමක් සිදු කරයි. ඉබියුප්‍රො‍ෆේන් ඖෂධය භාවිතා කිරීමෙන් උණ රෝගය ඉක්මණින්ම අඩු වුවත් ඩෙංගු රෝගීන්ගේ සංකූලතා ඉහළ ගොස් ජීවිත හානි වීමේ අවදානමක් පවතියි. පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ‍ඖෂධයක් උණ රෝගයට භාවිතා නොකළ යුතුය. මීට වසර පහ හයක පමණ කාලයක සිට ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තොරතුරු තම සංගමය රටට හෙළි කර තිබේ. අදාළ නිලධාරින් මේ සම්බන්ධයෙන් මෙතෙක් පියවර නොගැනීම කනගාටුවට කරුණකි. වෛද්‍යවරුන් යැයි කියා ගන්නා නීති විරෝධී පුද්ගලයින් වසර 5 ක් 10 ක් තිස්සේ ප්‍රතිකාර කටයුතුවල නිරත වෙමින් ජනතා විශ්වාසය දිනාගෙන සිටියි. එම විශ්වාසයම ජනතාවගේ ජීවිත හානි වීමට මේ අවස්ථාවේදි බලපා තිබේ. තමා ප්‍රතිකාර ලබා ගැනීමට යන වෛද්‍යවරයා සම්බන්ධයෙන් ජනතාව විමසා බැලීමක් කළ යුතුය. සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ජනතා අවධානය යොමු විය යුතුය.

විද්‍යාත්මක ප්‍රවේශයක්

‍ඩෙංගු මර්දනය සඳහා වඩාත් විද්‍යාත්මක ප්‍රවේශයක් සඳහා වූ යෝජනා මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සකස් කර ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා වෙත බාර දීම ඉදිරි සතියක කාලය තුළදී සිදු කිරීම අපගේ අපේක්ෂාව වේ. සංගමයේ ඩෙංගු ක්‍රියාකාරී කමිටුව මේ යෝජනා මාලාව සකස් කර තිබේ. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් රට මුහුණ දී සිටින බැරෑරුම් තත්ත්වය කළමනාකරණ කිරීම සඳහා එම යෝජනා මාලාව උපකාර වේ. කසල කළමනාකරණය විධිමත්ව සිදු නොකිරීම ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වීමට හේතුවකි. හැකි ඉක්මණින් ප්‍රාදේශීය ආයතනවලට එම වගකීම ඉටු කිරීමට අවශ්‍ය බලය ලබාදීම ඉතා වැදගත්ය. ඩෙංගු ක්‍රියාකාරි කමිටුව පසුගියදා (20) රැස් විය. සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරන ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් වඩාත් විද්‍යාත්මක පසුබිමක් තුළ සිදු විය යුතුය. ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් පවතින දිස්ත්‍රික් සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් පත් කර ඒ ඔස්සේ බිම් මට්ටමින් අදාළ කටයුතු නිසි පරිදි සිදු වන්නේ ද යන්න පසුවිපරම් කිරීමට ද මේ කමිටුව තීරණය කර තිබේ. මහජනතාව සඳහා අවශ්‍ය තොරතුරු ලබාදීම වෙනුවෙන් දුරකථන අංකයක් විවෘත කිරීමට ද එහිදී තීරණය විය. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරි දින කිහිපය තුළදි මාධ්‍ය මඟින් ජනතාව වෙත ලබාදීමට අපේක්ෂිතය. ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්‍ය නිසි නායකත්වය හා තාක්ෂණික මඟ පෙන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදිය යුතුය.

ඩෙංගු මරණ

මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට විස්සකට වැඩි සංඛ්‍යාවක් පාසල් දරුවන් බව පවතින වාර්තාවන්ට අනුව හෙළි වී ඇත. දැනට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාවෙන් සියයට 25 ක්ම දරුවන් බව ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ප්‍රකාශ කරයි. පාසල් කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන අවම වී ඇත. නමුත් විමසිල්ලෙන් සිටීම වැදගත්ය. පාසල් කාලය තුළ දරුවන් ඩෙංගු රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරයි. මේ වැඩසටහන් විධිමත් ලෙස කිරීම වැදගත්ය. පාසල් දරුවකුට උණ රෝගය වැළදී ඇත්නම් පාසල් නොයවා නිවසෙහි විවේකීව තබා ගැනීමට වැඩිහිටියන් උනන්දු විය යුතුය.

ඩෙංගු රෝගයට අමතරව හදිසි ආපදා තත්ත්වයකදී අපේ අවධානය යොමු කළ යුතු තවත් රෝගයක් වන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝග තත්ත්වයයි. මෙම වෛරසය සම්බන්ධයෙන් ද ජනතාවට තොරතුරු ලබා දිය යුතුය. එය ස්වසන ආබාධයකි. සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානයක එක් පුද්ගලයකුට මේ වෛරසය ශරීරගත වීමෙන් බොහෝ පිරිසකට රෝගය බෝ විය හැකිය. ඉන්ෆ්ලුවෙන්සා සඳහා ලබා දිය යුතු ටැමිෆ්ලූ ඖෂධය තොග වශයෙන් තබා ගැනීම ද මෙහිදී ප්‍රතිකාර ලබාදීමට වැදගත් වේ. ස්වසන රෝගයකදී මුඛ ආවරණ පැළඳීම සිදු කළ යුතුය යනාදිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතුය.

මානසික සෞඛ්‍යය

මී උණ රෝගය ද පැතිර යාම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එය වළක්වා ගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධයක් ලෙස ඩොක්සසයික්ලින් ඖෂධය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් ලබාදීම සිදු කරයි. වසංගත ලෙස පැතිර යාමේ අවදානමක් ඇති මෙවැනි රෝග වළක්වා ගැනීම සඳහා ගත හැකි උපරිම පියවර මේ අවස්ථාවේදි ගැනීම ඉතාම වැදගත්ය.

මානසික සෞඛ්‍යයට මුල් තැනක් දිය යුතුය. ලක්ෂ හයක පමණ ජනතාවට මේ ව්‍යසනය හේතුවෙන් හානියට පත්වීමට සිදු විය. මේ අනතුරට මුහුණ දීමට සූදානම් නොවුණොත් හදිසි ආපදාවෙන් සිදු වූවාට වඩා මරණ සංඛ්‍යාවක් සහ අවතැන් වූ පිරිසට වඩා මරණ සංඛ්‍යාවක් සිදු වීමේ බලපෑමක් ඉදිරියේදි ඇති විය හැකිය. ඩෙංගු ඇතුළු වසංගත රෝග මර්දනය සඳහා අන්තර් සම්බන්ධතා කළමනාකරණයට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජනාධිපති කාර්ය සාධක බලකාය නායකත්වය ගෙන කටයුතු කළ යුතුය. පක්ෂ පාට, ජාති ආගම්, කුල භේදයකින් තොරව මේ උවදුරට මුහුණ දිය යුතුය. දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් සිදු වුවහොත් එය දරුවන්ගේ මුළු අනාගතයටම ගැටලුවක් වේ.

එය වළක්වා ගැනීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සමඟ එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. වසංගත තත්ත්වයන් ඇති වීමට පෙර වළක්වා ගැනීමට අප සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුය. නොඑසේ නම් ඒවාට මුහුණදීමට සිදු වීමේදි කළ යුතු දේ කලින් නොකිරීම ගැන පසුතැවීමට සිදු වනු ඇත.

Comments