දීර්ඝ කාලීන ආයෝජනයකට නොවරදින මඟ කොටස් වෙළෙඳපොළ | සිළුමිණ

දීර්ඝ කාලීන ආයෝජනයකට නොවරදින මඟ කොටස් වෙළෙඳපොළ

කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති රේ. අබේවර්ධන

කොළඹ කොටස් වෙළෙඳපොළ ගැන පසුගිය කාලයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වූ ස්ථානයක්. කොටස් වෙළෙඳපොළ තුළ සිදු වූවා යැයි කියන යම් යම් විනිමය ගැටලු මෙන්ම වෙළෙඳපොළ මිල හදිසියේ ඉහළ යෑම් මෙන්ම කඩා වැටීම් ඇතුළු කරුණු රැසක් ගැන පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක කතා බහට ලක් වුණා. අවස්ථා කිහිපයකදී එහි සභාපති ඇතුළු නිලධාරීන්ගේ මාරුකිරීම් සිදු වුණු අතර සති කිහිපයකට පෙර නව සභාපතිවරයා ලෙස පත් කරන ලද්දේ වෙළෙඳපොළ ගැන පමණක් නොව ව්‍යාපාරික ලෝකය ගැන මනා දැනුමක් ඇති රේ. අබේවර්ධන මහතායි. කොටස් වෙළෙඳ පොළ අද පවතින තත්ත්වය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ඔහු සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සකස් කෙරේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙරට ආර්ථිකයේ තීරකයා බවට පත් කළ යුතු වුවත් තවම එවැනි ගමනක් කරා යාමට අපට හැකියාවක් ලැබී නැහැ. විශේෂයෙන්ම වර්තමානයේ වෙළෙඳ පොළ දෙස බලා රටේ ආර්ථිකය තීරණය කිරීම කිසිසේත්ම සිදු කළ නොහැකි තත්ත්වයකයි පවතින්නේ.

රජයේ ඒකායන අරමුණ වී ඇත්තේ වෙළෙඳ පොළ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. එය තනිව රජයකට හෝ කොටස් වෙළෙඳපොළ සභාපතිවරයාට හෝ කොටස් ආයෝජනය කළ සමාගමකට හෝ තැරැව්කාර සමාගමකට හෝ සිදු කළ හැක්කක් නොවේ.

අප කොහේද?

අප පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හා අන්තර්ජාතික තලයේ අප සිටිනා ස්ථානය දෙසයි.

අපේ කොටස් වෙළෙඳ පොළ දිනක පිරිවැටුම සාමාන්‍ය වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 7-8 අතර ප්‍රමාණයකයි පවතින්නේ. බංග්ලාදේශයේ එය ඇමරිකන් ඩොලර් මිලියන 100ක් පමණ වනවා. වියට්නාමය වගේ කොමියුනිස්ට් රටකත් දිනක කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම ඇමරිකන් ඩොලර් මිලියන 88ක් පමණ වනවා. මැලේසියාවේ මේ තත්ත්වය ඇමරිකන් ඩොලර් 200ක් පමණ වන අතර සිංගප්පූරුවේ එම අගය ඇමරිකන් ඩොලර් 800ක් පමණ වනවා. ඒ අනුව අප සිටින ස්ථානය සිතා ගන්න පුළුවන් වනවා.

මේ නිසා කොටස් වෙළෙඳ පොළ පළමු ඉලක්කය වී ඇත්තේ අවම වශයෙන් අපේ දිනක පිරිවැටුම ඇමරිකන් ඩොලර් මිලියන 10ක් 12ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමටයි. එය අනෙක් රටවලට සාපේක්ෂව නොසැලකිය හැකි තත්ත්වයක් වුවත් අපේ රටේ වෙළෙඳ පොළට යම් වර්ධනාත්මක ඉලක්කයක් වන බවට අපට විශ්වාසය පළ කළ හැකියි.

ඒ තත්ත්වයකට වෙළෙඳ පොළ ගනුදෙනු ගෙන එන්නට හැකි වුණොත් වෙළෙඳ පොළ ආර්ථිකය ඉහළ නැංවෙන අතර තැරැව්කාර සමාගම්ද ලාභදායක මට්ටමකට පැමිණේවි. දැනට මේ පිරිස් පාඩු පිට තම ව්‍යාපාරය පවත්වාගෙන යන බවයි පෙනෙන්නට ඇත්තේ.. ඒ තුළින් අදාළ තැරැව්කාර සමාගම් වෙළෙඳ පොළට දක්වන උනන්දුව තවත් වැඩි වන බවට විශ්වාස කළ හැකියි.

නිදහස් හැසිරීමට බාධා

එසේම කොටස් වෙළෙඳ පොළ නිදහස් ලෙසින් හැසිරීමට හැකි අවකාශයක් ඇතැම් සමාගම්හි කොටස් ලබා දී ඇති ප්‍රතිශත අනුව සිදු කළ නොහැකි තත්ත්වයක්ද පවතිනවා. යම් සමාගමක කොටස් සියයට 90ක් හිමිකරු සහ ඔහුගේ ඥාතීන් අතර තබා ගෙන ඉතිරි 10% පමණක් වෙළෙඳ පොළ තුළ ගනු දෙනු සඳහා සැලැස්වීමෙන් වෙළෙඳ පොළට එය බලපෑමක් සිදු නොකරනවාක් මෙන්ම ආයෝජකයන්ද එවන් ක්‍රියාදාමයන් නිසා එතරම් උනන්දුකින් ගනුදෙනු කරන බවක් ද පෙනෙන්නට නැහැ.

විශේෂයෙන්ම වර්තමාන කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මෙන්ම ආයෝජකයන්ගේ දායකත්වය ගැන අපට කිසිසේත්ම සෑහීමකට පත් වීමට හැකියාවක් නැහැ. අපේ රටේ කොටස් වෙළෙඳ පොළ තිබෙන ප්‍රාථමික තත්ත්වය මේ අනුව අපට තේරුම් ගැනීමට අපහසු නැහැ.

පසුගිය වසර 15කට පමණ පෙර අතීතයේ සැලකිය යුතු ලෙසින් ඉහළ නැඟ තිබුණු කොටස් වෙළෙඳ පොළ යම් පසු බැස්මකට පසුගිය කාල වකවානුවේදී සිදු වුණා. මේ සඳහා බලපැවැත්වූ හේතු ගණනාවක් දැක්විය හැකියි.

එයින් පළමුවැන්න වන්නේ විදෙස් ආයෝජකයන්ට මෙරටට වඩා ආයෝජනය කළහැකි වෙනත් රටවල වෙළෙද පොළ විවෘතව තිබීමයි. එසේම දේශීය ආයෝජකයන්ද වෙනත් ප්‍රතිලාභ හිමිවන මාර්ගවලට යොමු වීමත් මෙහිදී ගෙන හැර දැක්විය හැකියි. තුන්වැන්න වෙළෙඳ පොළ සංසරණ ක්‍රමවේදයේ තිබූ අක්‍රමවත් බව යි. එසේම නව සමාගම් වෙළෙඳ පොළට පැමිණීම අඩු වීමත් මේ සඳහා බල පා ඇති තවත් හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. මේ නිසා වෙළෙඳ පොළ ආරක්ෂා කර ගැනීමට මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා.

එයින් පළමුවැන්න වන්නේ නව සමාගම් වෙළෙඳ පොළට ගෙන්වා ගත හැකි ක්‍රමවේද සම්බන්ධයෙන් සොයා බැලීමයි. දෙවැන්න ආයෝජකයන් දිරි ගැන්විය හැකි මාර්ග සම්බන්ධව සොයා බැලීමයි.

සමාගම් අඩුයි

මෙවන් ක්‍රම මාර්ගයන් වෙළෙඳපොළ ආයෝජන නැංවීමට බලාපොරොත්තුවක් පවතී. එසේ වුවත් මේ වන විටත් කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 250කටත් අඩු ප්‍රමාණයක් නිසාත් නව සමාගම්හි පැමිණීම අල්ප වශයෙන් සිදුවීම නිසාත් ආයෝජකයන් ඒ පිළිබඳව එතරම් උනන්දුවක් දක්වන බවක්ද පෙනෙන්නට නැත. එසේම කොටස් වෙළෙඳ පොළ නිදහස් ලෙසින් හැසිරීමට හැකි අවකාශයක් ඇතැම් සමාගම්හි කොටස් ලබා දී ඇති ප්‍රතිශත අනුව සිදු කළ නොහැකි තත්ත්වයක්ද පවතී.

අවම වශයෙන් හිමිකරු සහ අනෙක් අය අත 60%ක කොටස් තබා ගෙන ඉතිරි 40% වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ලබා දුනහොත් එතැන නිදහස් සංසරණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට ආයෝජකයන්නට හැකියාව ලැබෙනු ඇත.

එසේම අපේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයත් අපට සෑහීමකට පත් විය තත්ත්වයක නැහැ. දළ ජාතික නිෂ්පාදිතයේ 23% ක පමණ ප්‍රතිශතයක් පමණයි අපගේ කොටස් වෙළෙඳ පොළ හරහා දායකත්වය ලැබී ඇත්තේ. මැලේසියාවේ මේ තත්ත්වය 100%කටත් වැඩියි. තායිලන්තයේත් එවන් තත්ත්වයක් දක්නට තිබෙන්නේ. විශාල ජනගහනයක් සිටින ඉන්දියාවේ 74%ක්.

අන්තර්ජාතික දර්ශකයක් වන එම් එස් සී අයි දර්ශකය ඉහළ තත්ත්වයක තිබෙන වෙළෙඳපොළ කරා ආයෝජකයන් ඇදී යන නිසා අපේ වෙළෙඳ පොළත් ඒ තත්ත්වයට ඉහළ නංවා ගත යුතුයි.

අපනයන ආර්ථිකයේ ගැටලු

එසේම අපේ අපනයන ආර්ථිකය හා වෙළෙඳ පොළ අතරත් සබඳතාවක් නොමැතිවීමත් මෙහිලා ඇති තවත් ගැටලුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයේ වැඩි වශයෙන් අපනයනය හා සම්බන්ධ වන්නේ ඇගලුම් හා තේ වැනි අපනයනයන් වුවත් වෙළෙඳපොළ ආර්ථිකය වැඩි වශයෙන් බැංකු සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වැනි ආයතන හරහා වැඩි දායකත්වයක් සපයා ක්‍රියාකාරී වනවා.

පසුගිය වසරේ අය වැයෙන් පසුව හිල්ටන් ජී.ඕ.එච්. වැනි සමාගම් වෙළෙඳ පොළට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් එවැනි තත්ත්වයක් සිදු වූයේ නැහැ.

එසේම දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව වෙළෙඳ පොළ ක්‍රියාකාරීත්වය සිදු විය යුතු වනවා. 1965 වසරේ සිංගප්පූරුවේ නායක ලී ක්වාන් යූ පැවසූ පරිදි අද සිංගප්පූරුව ලංකාවත් ඉක්මවා ගිහින්. නමුත් අපේ ආර්ථිකය අඩාළ වන්නට බලපෑ හේතූන්ද කොටස් වෙළෙඳ පොළටත් බලපෑම් සිදු කර තිබෙනවා. ඇත්තෙන්ම අපේ ආර්ථිකය බොහෝ දුර ආපස්සට ගිහින්.

ඩොලරයෙන් ලොකු බලපෑමක්

විදේශීය ආයෝජකයන්ගේ ආයෝජන අඩුවීමත් කොළඹ කොටස් වෙළෙඳ පොළ අඩාළ වීමට හේතුවක්ව තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ රුපියලේ අගය අඩුවීම නිසා විදේශීය ආයෝජකයන් වෙළෙඳ පොළ මඟ හැරීමට හේතුවක් ව තිබෙනවා. උදාහරණයක් වශයෙන් යම් විදේශ ආයෝජකයෙක් මෙරට ආයෝජනය කළ විටදී කොටස් මිල ඉහළ පහළ යාම කෙසේ වෙතත් ඩොලරයට සාපේක්ෂව රුපියල අඩුවීම නිසා ඔහුගේ ආයෝජනයත් සමඟම ඔහුට සැලකිය යුතු මූල්‍ය පාඩුවක් සිදු වෙනවා.

ඇතැමුන් විසින් පවසන පරිදි කොටස් වෙළෙඳ පොළ කෘත්‍රීමව යම් වෙනසක් කිරීමට පුළුවන් වුවත් එය හැම විටම සිදු කරන්න බැහැ. උදාහරණයක් ලෙසින් රුපියල් 100ක නාමික අගයෙන් යුත් කොටසක් රුපියල් 600ක් දක්වා මිල වැඩි වුවහොත් එම කොටසක මිල ඉතා ඉක්මනින් අඩු වී යන බව තේරුම් ගැනීම අසීරු නැහැ.

ඒ තත්ත්වය ආයෝජකයා විසින් අවබෝධ කර ගත යුතුයි. අද රුපියල් 10.00ට අලෙවි වන කොටස හෙට දිනයේ රුපියල් 20.00ක් දක්වා ඉහළ යන්න පුළුවන්. ඊ ළඟ දිනයේ රුපියල් 17.00ක් දක්වා අඩු වී යන්නට පුළුවන්. මේ නිසා කොටස් වෙළෙඳ පොළ ආයෝජනය කළ යුත්තේ ක්‍රමානුකූලව අවබෝධයෙන් යුක්තවයි.

ඇතැම් අය කොටස් වෙළෙඳ පොළ ආර්ථික වශයෙන් ලැබිය හැකි ලාභය දෛස බලා තමන් අත තිබෙන සියලු මුදල්ද එහි ආයෝජනය කර ණයට පවා මුදල් ලබා ගෙන එහි ආයෝජනය කරනු ලබනවා. නමුත් කළ යුත්තේ එය නොවෙයි. අවබෝධයෙන් යුක්තව තමන් ළග ඇති මුදලෙන් කොටසක් පමණක් ආයෝජනය කර කොටස් මිල දෝලනය පිළිබඳව අවබෝධයෙන් සොයා බලා පසුව ක්‍රමයෙන් ආයෝජනය වැඩි කිරීමයි.

කොටස් මිල හැමදාම ඉහළ නොනඟින් අතර පහළ යාමද එසේම බව මතක තබා ගත යුතු වනවා. කොටස් වෙළෙඳ පොළ අද ආයෝජනය කර හෙට ලාභය ලබා ගන්න උත්සාහ නොකළ යුතුයි. එහි වසර 3 සිට 5 දක්වා වූ කාලයක් තුළ ලාභ ලැබිය හැකි ලෙසින් සිතා කටයුතු කළ යුතුයි. යම් විදිහකින් ක්ෂණිකව ලාභ ලැබිය හැකි වන්නට පුළුවන්. නමුත් සැම විටම දිගු කාලීන ආයෝජනයක් බව සිතා කටයුතු කළ යුතු වනවා.

පොලී ප්‍රතිශතය ඉහළයි

එසේම වෙනත් රටවල මෙන් නොව අපේ රටේ බොහෝ දෙනා කොටස් වෙළෙඳ පොළ තවමත් ආයෝජන ක්‍රමයක් ලෙස සිතා කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. ඊට රටේ ආර්ථික ක්‍රමවේදයත් බලපා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ බැංකු පොළී මුදල් ප්‍රතිශතය ඉතා ඉහළයි. 14%ක් 15%ක් දක්වා පමණ පොලී මුදල් ගෙවනු ලබනවා. මේ නිසා තම මුදල් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක හෝ ආයෝජනය කර අවදානමක් හෝ කිසිදු වෙහෙසක් හෝ නොමැතිව කටයුතු කර ලාභ ලැබිය හැකි තත්ත්වයක ආයෝජකයාට කටයුතු කළ හැකි වනවා. වෙනත් රටවල පොළී ප්‍රතිශතය දැක්වෙන්නේ 1%ක් 2%ක් වගේ ඉතා අඩු ප්‍රතිශතයක් නිසා ආයෝජකයාට කොටස් වෙළෙඳ පොළ කරා ඒමට සිදු වනවා.

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී සැම විටම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඒ සඳහා සුදුසු සමාගමහි ආයෝජනය කිරීමත් වැදගත් වනවා. වෙළෙඳ පොළ දර්ශක දැක්විමේදී ප්‍රධාන පුවරුවේ දැක්වෙන්නේ කිසිදු ගැටලුවක් නැති සමාගම්. එමෙන්ම දෙවන පුවරුව ලෙසින් (DIRI SAVI BOARD) කොටස් දැක්වෙන සමාගම් හා DEFAULT යනුවෙන් දැක්වෙන සමාගම් කෙරෙහිත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

වාර්ෂික මහ සභා ගැටලු

තැරැව්කාර සමාගමේ උපදේශකයා මගින් තමන්ගේ ආයෝජනය විශ්වාසදායී අවදානම අඩු ලෙසින් සිදු කළ හැකි ආකාරය ගැන ක්‍රමයෙන් අවබෝධ කර ගත යුතු වනවා.

කොටස් හිමියන්ට බලපවත්වන ලබන ගැටලුවක් ලෙසින් වාර්තා වී ඇති සමාගම්හි වාර්ෂික මහ සභා එකම දින එකම වේලාවන්හි පැවැත්වීම සම්බන්ධව කොටස් වෙළෙඳ පොළට කළ හැකි කාර්යයක් ඇත්දැයි ඉදිරියේදී සොයා බලන්නට කටයුතු යෙදීමත් වැදගත් වනවා. කොටස් හිමියාට සමාගමේ අධ්‍යක්ෂවරුන් හමුවේ අදහස් දැක්වීමට ඇති එකම අවස්ථාව වන මහ සභාව එකම දින පැවැත්වීම තුළ ඇතැම් ආයෝජකයන්ට මඟ හැරෙන්නේ එකම දින එකම වේලාවන්හි පැවැත්වීම නිසයි.

කෙසේ වෙතත් ඉදිරියේදී ආයෝජකයන් සම්බන්ධ ගැටලුවලට වැඩි අවධානයක් ලබා දෙන්නා සේම ජනමාධ්‍යවේදීන් කොටස් වෙළෙඳපොළ ගැන පුහුණු කිරීම තුළින් වැඩි පිරිසකගේ අවධානය වෙළෙඳ පොළ කෙරෙහි යොදවන්නත් කටයුතු කර තිබෙනවා.

ඉදිරියේදී වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය සහ පිරිවැටුප වැඩි කර ගන්නට කටයුතු කළහොත් එය කොටස් හිමියන්ට පමණක් නොව සමස්ත වෙළෙඳ පොළටත් සමස්තයක් ලෙසින් ශ්‍රී ලංකාවටත් විශාල ආර්ථික වාසියක් වන බව පෙන්වා දිය යුතු වනවා.

ඡායාරූප - රුවන් ද සිල්වා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.