දේශගුණික කලාපය අනුව පොල් වගාව කළමනාකරණය | සිළුමිණ

දේශගුණික කලාපය අනුව පොල් වගාව කළමනාකරණය

ශ්‍රී ලංකාවේ පොල් වගා කරන ප්‍රදේශයන්හි ප්‍රධාන වශයෙන් කෘෂි දේශගුණික කලාප 4ක් දැකිය හැකිය. එනම්: තෙත්, වියළි, අතරමැදි තෙත් සහ අතරමැදි වියළි වශයෙනි. මෙයින් තෙත් කලාපය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වර්ෂාව ලැබෙන බැවින් මේ කලාපයේ පොල් සිටුවීමේදී පස පිළිබඳ පමණක් විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එසේ වුව වියළි කලාපය සහ අතරමැදි වියළි කලාපයේ පොල් සිටුවීමේදී පාංශු ජලය සංරක්ෂණය කළ ක්‍රම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් පොල් ලෙලි වළවල් යෙදීම, කෘත්‍රිම ජල සම්පාදනය, ආවරණ බෝග වගා කිරීම, කාබනික පොහොර යෙදීම සහ ගස වටා වසුන් යෙදීම මඟින් ජලය ගස වටා රඳවාගැනීම වැඩි දියුණු කිරීම සහ මෝසම් වර්ෂා කාලයේ ලැබෙන වැසි ජලය රඳවාගැනීම (Rain Water Harvesting) වැනි ක්‍රම වැදගත් ක්‍රමෝපායන් වේ.

මේ කළමනාකරණ ක්‍රමවේද භාවිතයේ දැකිය හැකි අනෙක් දුර්වලතාව වන්නේ මේ කළමනාකරණ ක්‍රමවේද නොකඩවා සිදු වන ආකාරයක් දැකිය නොහැකි වීමයි. පොල් වැනි බහුවාර්ෂික භෝගයකදි යම් කිසි කළමනාකරණ තත්ත්වයක් ලබා දී එහි ප්‍රතිඵලය සම්පූර්ණයෙන් අත්විඳීමට වසර 1½- 02 ක පමණ කාලයක් ගත වේ. ඒ අනුව ඉහත කළමනාකරණ තත්ත්වයන් නොකඩවා සිදු නොකිරීමෙන් මේ ප්‍රතිලාභයන් දිගින් දිගටම ලබාගැනීම අපහසු කාර්යයකි.

ඉඩමේ පසට සහ දේශගුණික කලාපයට සුදුසු පොල් වර්ග තෝරාගැනීම

පොල් වගා කිරීමේදී තවත් එක් ප්‍රධාන සාධකයක් වන්නේ වගාකරුවා විසින් තමන්ගේ හැකියාව පිළිබඳව යම් නිගමනයකට එළැඹීම වේ. එයින් අදහස් වන්නේ විවිධ පස් කාණ්ඩ සහ විවිධ කෘෂි දේශගුණික කලාපවල පොල් වගාව සිදු කර එය සාර්ථක වගාවක් ලෙස දියුණු කිරීමට යම් කිසි මුදලක් වැය කළ යුතු වේ. මෙහිදී එම වැය කළ යුතු මුදල අප විසින් වගා කිරීමට බලාපොරොත්තු වන පොල් වර්ගය සහ එම වගාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පස සහ කෘෂි දේශගුණික කලාපය අනුව විවිධ වේ. CRIC 60CRISL98 සහ උසස් ශාක පොල් වර්ගය ඕනෑම කෘෂි දේශගුණික කලාපයක් තුළ සාමාන්‍ය වර්ෂා ජලයෙන් නඩත්තු කළ හැකි මට්ටමේ ශාකයක් වේ. එසේ වුවද CRIC 60 සහ CRISL 98 සාමාන්‍යයෙන් දුර්වල පාංශු තත්ත්වයන් සහිත ඉඩම්වල වගා කිරීමේදී පස සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. එයට හේතුව CRIC 60සහ CRISL98 සාමාන්‍ය උසස් ශාක (Plus PalmTall) වර්ගයට වඩා යම් වැඩිදියුණු කළ වර්ගයක් වන බැවින් මේ ගසට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් උසස් මට්ටමින් ලබා දීම තුළින් උසස් අස්වැන්නක් ලබා ගත හැකිය. එසේ නොවුණ විට මේ CRIC 60සහ CRISL 98 ගස් අකල් පරිහානිය වැනි තත්ත්වයන්ට මුහුණ දේ.

දෙමුහුම්පොල් වර්ග භාවිතයේදී අවශ්‍ය කළමනාකරණය

දෙමුහුම් වර්ග වගා කිරීමේදී එම වර්ග වඩාත් හොඳින් අස්වැන්න ලබාදෙන්නේ ඉතා හිතකර පරිසර සාධක ඇති විට පමණි. එබැවින් යම් අයෙකු දෙමුහුම් පොල් වගාවක් ආරම්භ කරනු ලබන්නේ නම් එම වගාව නඩත්තු කිරීම පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත් වේ.

වියළි කලාපය හෝ අතරමැදි කලාපයේ දෙමුහුම් වගාවක් ආරම්භ කිරීමේදී ප්‍රධාන වශයෙන් ජල සම්පාදනය පිළිබඳව අවධානය යොමු කළ යුතු වේ. එමෙන්ම කුමන කලාපයක වගා කළද දෙමුහුම් වගාවක් ආරම්භ කරන විට එම ඉඩමේ පස පිළිබඳවද මනාව අවධානය යොමු කළ යුතු වේ. එයට හේතුව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇති දෙමුහුම් ප්‍රභේදයන් ඉතාමත් ඉහළ අස්වනු විභවයක් ඇති වර්ගයන් වන අතර මේ ඉහළ අස්වනු විභවය ලබා ගැනීමට කළමනාකරණය කළයුතුය.

ඉහත සඳහන් ආකාර තුනෙන් කුමන ආකාරයකට දෙමුහුම් පොල් පැළ වගා කළද, මේ දෙමුහුම් වගාවන් පිළිබඳව වගාකරුවන් දුර්මතයන් තවමත් පවතින අතරම මේ දෙමුහුම් වගාවන් ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳවද විශේෂ කරුණු කිහිපයක් සඳහන් කළ යුතුය. දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දී ඇති CRIC 65, කප්රුවන, කප්සුවය හා කප්සෙත යන දෙමුහුම් වර්ගවල ඉතා ඉහළ අස්වනු විභවයක් ඇති බව තහවුරු වී ඇත. ඒ අනුව මේ වගාවන් සඳහා අවශ්‍ය ප්‍රශස්ත තත්ත්වයන් සැපයීම මඟින් ඉතා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිය. බොහෝ වගාකරුවන් අසන ප්‍රධාන ප්‍රශ්නයක් වනුයේ දෙමුහුම් පොල් ගස්වල ආයු කාලය අඩු වීම පිළිබඳව ඇති දුර්මතයකි. බොහෝ දෙනකු අදහස් කරන්නේ මේ දෙමුහුම් පොල් ගස් අවුරුදු 25–30 අතර කාලයකදී අස්වැන්න විනාශයට පත් වන බවය. එහෙත් මෙය ඉතා වැරැදි මතයක් වන අතර, දැනට පොල් පර්යේෂණ ආයතනය සතුව CRIC 65 වර්ගයේ අවුරුදු 55ක් පමණ වයස ඇති වගා පවතියි. මේ ගස්වලින් මේ වන විටද හොඳ අස්වැන්නක් ලබාගත හැකි මට්ටමේ ඇත.

දෙමුහුම් වර්ගවල සාර්ථකත්වය

කෙසේ වුවද යම් කිසි වගාකරුවකු දෙමුහුම් වගාවක් අරඹන්නේ නම් ඒ සම්බන්ධ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව එය ආරම්භ කළ යුතු වේ

1. දෙමුහුම් වගාව සඳහා ඉතා සුදුසු වන්නේ ගැඹුරු වැලි ලෝම පස වේ. කෙසේ වුවද එයට වඩා දුර්වල වෙනත් පසක දෙමුහුම් වගාවක් ආරම්භ කරන්නේ නම් එම පස කාබනික ද්‍රව්‍ය දෙවසරකට වරක්වත් යොදමින් පස නොකඩවා සංවර්ධනය කළ යුතුය.

2. මේ දෙමුහුම් වර්ග ඉක්මනින් පීදී, වැඩි ගෙඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බැවින් මේ ගස් සඳහා හොඳ පොහොර සැපයීමක් කළ යුතුය. සාමාන්‍යයෙන් උස වර්ගයේ ගසකට වාර්ෂිකව යොදන පොහොර ප්‍රමාණය මෙන් 1 ½ ගුණයක පොහොර ප්‍රමාණයක් (4.5 කිග්රෑ) මේ ගසකට වාර්ෂිකව යෙදිය යුතුය. එමෙන්ම දෙමුහුම් පමණක් නොව CRIC60, CRISL98 යන වර්ගයේ වගා සඳහා වුවද මේ වාර්ෂිකව යොදන පොහොර ප්‍රමාණය දෙවතාවකදී යෙදිය හැකි නම් එය වඩාත් ඵලදායක වේ.

3. පොහොර යෙදීමේදී පසේ තෙතමනය ඉතා වැදගත් සාධකයක් වේ. එබැවින් සෑම මෝසම් වර්ෂාවකම උපරිම තීව්‍රතාවෙන් පසු පැමිණෙන වර්ශාව අඩු වන කාලය තුළදී පොහොර යෙදීම මඟින් උපරිම ප්‍රතිලාභයක් ලබාගත හැකිය.

4. දෙමුහුම් වගාවක් ආරම්භ කරන විට අවධානය යොමු කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ ජල සම්පාදනය වේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ හැරුණු විට අනෙක් ඕනෑම කෘෂි දේශගුණික කලාපයක් ගත් විට වර්ෂයකට මාස කිහිපයක නියග කාලයක් පවතින බැවින් මේ නියග කාලයන්හිදී යම් කිසි කෘත්‍රිම ජල සම්පාදනයක් එවැනි ප්‍රදේශවල ඇති වගාවන් සඳහා ලබා දිය යුතුය. මෙවැන්නක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් එවැනි කලාපයන්හි ඇති දෙමුහුම් වගාවන් මඟින් උපරිම අස්වැන්නක් ලබාගත නොහැකි වනු ඇත. එසේ වුවද පර්යේෂණාත්මකව තහවුරු වී ඇත්තේ ඕනෑම කෘෂි දේශගුණික කලාපයක උස වර්ගය සහ දෙමුහුම් පැළ වගා කළ විට උස වගාවට වඩා වැඩි අස්වැන්නක් දෙමුහුම් වගාවකින් ලබාගත හැකි බව වේ. නමුත් එය දෙමුහුම් වගාවේ උපරිම අස්වැන්න නොවනු ඇත.

5. එමෙන්ම මේ දෙමුහුම් පැළ මිල දී ගත හැක්කේ පොල් පර්යේෂණ ආයතනයේ තවාන්වලින් සහ පොල් වගා කිරීමේ මණ්ඩලයේ තවාන්වලින් පමණි. පෞද්ගලික අංශයේ කිසිදු තවානක දෙමුහුම් වර්ගයේ පොල් පැල මිල දී ගත නොහැකිය. දෙමුහුම් පැළයක උපරිම මිල රුපියල් 200.00ක් පමණක් බැවින් අධික මිලට දෙමුහුම් පැළ විකුණන පුද්ගලයන්ගෙන් පැළ මිල දී නොගත යුතුය. පොල් වගාවක් සිදු කිරීම පිළිබඳ වර්තමානයේ සැලැකීමේදී වෙනස් වන දේශගුණික රටා, පාංශුඛාදන තත්ත්වයන්, නව පොල් ප්‍රභේදයන් සමඟ නව කෘෂිකාර්මික තාක්ෂණයන් පිළිබඳ සැලැකිල්ල යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික ක්‍රමෝපායයන් පිළිබඳ දැනුම ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කර ඇති අතර නව සියවසට ගැළපෙන ආකාරයට දිවයිනේ පොල් වගාව දියුණු කර ලෝකයේ අනෙකුත් පොල් නිපදවන රටවල් සමග තියුණු තරගයක් ලබා දීමට දේශීය වගාකරුවන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීමට ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සූදානම්ව සිටියි.

රොෂාන් ජයතිලක
බීජ හා රෝපණද්‍රව්‍ය සහතික
කිරීමේ නිලධාරී
ප්‍රවේණි හා ශාක අභිජනන අංශය
ශ්‍රි ලංකා පොල් පර්යේෂණ ආයතනය

Comments