වස විස නැති වෙ‍ෙළඳපොළක්

නිරිතදිග සහ ඊසානදිග මෝසම් වැසි මත මූළිකව පදනම්වී, යල සහ මහ දෙකන්නයේ බහුලවම වගා කටයුතු සිදු කෙරේ. වැඩිවන ජනගහණයේ ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා රටේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. පසුගිය වසර ගණනාවක මේ අරමුණ පෙරදැරිව අපේ රටේ කෘෂි ව්‍යාප්ත සේවාව ක්‍රියාත්මක විය. ගොවීහු බහුලවම විවිධ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයෙන් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට උත්සාහ ගත්හ. මේ නිසා අද වනවිට අපේ රටේ කෘෂිකාර්මික නිෂ්පාදන පාරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇත. මෙයින් රට වැසියෝ පිළිකා, වකුගඩු රෝග ආදීන්ට නිරන්තරයෙන් බඳුන් වෙති.මේ බව රෝහල් සංඛ්‍යාලේඛණවලින් පසක් වේ.

අප රටේ කෘෂි නිෂ්පාදනවලින් සැලැකිය යුතු ප්‍රමාණයක් පසු අස්වනු හානිවලට ලක් වේ. මින්, එළවළු සහ පලතුරු ආදී කල් තබා ගත නොහැකි කෘෂි නිෂ්පාදන වල හානිය ප්‍රමුඛවම දැකිය හැකිය. විධිමත් පසු අස්වනු තාක්ෂණ ක්‍රම භාවිතා නොකිරීම මෙන්ම මේ තත්ත්වය උද්ගත වී ඇත. එමෙන්ම සැපයුම් දාමවල ගැබ්වී ඇදී ගැටලු සහගත තත්ත්වය මේ සඳහා ඍජුවම බලපායි. නිදසුනක් ලෙස ගත්කල, නිකවැරටිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු, අතරමැදියන් හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස්, නැවතත් ඒවා වෙනත් අතරමැදියන් හරහා නිකවැරටිය ප්‍රදේශයේ සුළු වෙළඳුන්ටත් සුපිරි වෙළඳසැල් වෙතටත් යාමේදී පාරිභෝගිකයාට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ.මෙවැනි දිගු සහ අකාර්යක්ෂම සැපයුම් දාම හරහා පාරිභෝගිකයන්ට නැවුම් කෘෂි නිෂ්පාදන පරිභෝජනයට තිබෙන අවස්ථාව මගහැරී යයි. එමෙන්ම ඔවුන්ගේ පසුබිම්බියට දැරිය නොහැකි මිලක් ගෙවීමද සිදුවේ. මෙවැනි සැපයුම් දාම මඟින් කෘෂි නිෂ්පාදනවල අස්වනු නෙළන මොහොතේ සිට පාරිභෝගිකයන් අතට පත් වන තෙක් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. එමෙන්ම කෘෂි නිෂ්පාදන නරක් නොවී තබා ගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය යෙදීමට අතරමැදියන් සහ වෙළෙඳුන් හුරුවී සිටීම ද ගැටලුවකි. මෙසේ දිගු සහ අකාර්යක්ෂම ආහාර සැපයුම් මාර්ග ක්‍රියාත්මක වීම නිසා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය වන දුර නිරර්ථක ලෙස වැඩිවී තිබේ. මේ නිසා නගරයේ රථවාහන තදබද වැඩිවීම් මෙන්ම, CO2 වැනි හරිතාගාර වායු විමෝචනයද වැඩිවේ. මෙයින් පරිසර ගැටලු රැසක් ඇති වී තිබේ.

වස විසෙන් තොර නැවුම් එළවළු සහ පලතුරු සාධාරණ මිලකට ලබාගැනීමට ඇති අවස්ථා ඉහත සඳහන් කළ රසායනික යෙදවුම් මත පදනම් වූ කෘෂි නිෂ්පාදන රටාව සහ දිගු සහ අකාර්යක්ෂම සැපයුම් දාම හරහා පාරිභෝගික සැමට අහිමිවී ඇත. එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙහෙවයන දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීමේ ව්‍යාපෘතිය හරහා 2016 වර්ෂයේ කුරුණෑගල නගර සීමාවේ සිදු කළ වෙළඳපොළ සමීක්ෂණයකින් පෙනී ගියේ, වස විසෙන් තොර නැවුම් එළවළු සහ පලතුරු සඳහා පාරිභෝගිකයින් අතර දැඩි ඉල්ලුමක් පවතින බවයි.

එසේම එකී ගුණාත්මක තත්ත්වයෙන් යුතු ආහාර ද්‍රව්‍ය සඳහා පාරිභෝගිකයින් දැනට හුරු-පුරුදු වී සිටින මිලදී ගැනීමේ රටා වෙනස් කිරීමට පවා පෙළඹී සිටින බවයි.එහෙත් පාරිභෝගිකයින් සඳහා වස විසෙන් තොර නැවුම් එළවළු පලතුරු පූර්ණ විශ්වාසයෙන් යුතුව මිලදී ගැනීමට වෙළඳපොළක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෝ වයඹ පළාතේ පිහිටා නොතිබිණි.

ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික වෙළඳපොළ සහ නිෂ්පාදන රටාවේ ගෑබ්වී තිබෙන මේ ගැටලුකාරී තත්ත්වය හඳුනාගත් දේශගුණික විපර්යාසයන්ට අනුහුරුවීමේ ව්‍යාපෘතිය විසින් මේ සඳහා විධිමත් විසඳුමක් සොයනුවස්, සියලු පාර්ශ්වකාර ආයතන සමඟ පුළුල් සංවිධානයක් ගොඩනඟන ලදි. මෙහිදී වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස පරිසරහිතකාමී කෘෂි නිෂ්පාදනයන්ට ගොවීන් පෙළඹවීමත්, ඒ සඳහා විධිමත් මෙන් ම අඛණ්ඩ වෙළඳපොළක් වයඹ පළාතේ පිහිටුවිය යුතු බවත් මැනවින් හඳුනාගන්නා ලදි. මේ අනුව අපදා කළමනාකරණ අමාත්‍යාංශයත්, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් ඒකාබද්ධව වයඹ පළාතේ පරිසර හිතකාමී ආදර්ශ ගෙවතු වගාවන් 1350 ක් ඇති කරන ලදි. එසේම, වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මුළු පළාතම ආවරණය වන පරිදි පරිසර හිතකාමී වගාවන් සඳහා කෘෂි ව්‍යාප්ති සේවාවන් ලබාදීම ආරම්භ කරන ලදි. මේ ව්‍යාපෘතිය වයඹ පළාත ආවරණය වන පරිදි කෘෂි උපදේශක නිලධාරීන් හරහා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවයි.‍

පාරිභෝගික විශ්වාසය වස විසෙන් තොර එළවළු සහ පලතුරු සඳහා තහවුරු කරනු වස්, දැනටමත් වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර ඇත. මෙහිදී, යහපත් කෘෂිකාර්මික වත් පිළිවෙත් (Good Agriculture Practices - GAP) සහතිකකරණයත්, සහභාගීත්ව සහතිකකරණ ක්‍රමවේදයන් (Participatory Guarantee System - PGS) භාවිතා කිරීමෙන් මේ කෘෂි නිෂ්පාදන වල සෞඛ්‍යා රක්ෂිත භාවය වඩාත් තහවුරු කර ඇත.

මෙලෙස සහතික කරන ලද වස විසෙන් තොර නැවුම් එළවළු සහ පලතුරු, කුරුණෑගල දඹුල්ල පාරේ පිහිටි වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සෑම සෙනසුරාදා දිනකම උදෑසන7.00 සිට සවස 3.00 දක්වා ගොවීන් විසින් ම මෙහෙයවනු ලබන සති අන්ත ගොවි වෙළඳපොළක් හරහා ඉතා සාධාරණ මිලකට ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාවසලසා දී තිබේ.

ස්වභාවිකව වැවෙන මෙන්ම පරිසරහිතකාමී ලෙස වගා කරන ලද පහතරට එළවළු වර්ග, පළා වර්ග, අල භෝග, ධාන්‍ය, පලතුරු වර්ග වයඹ පළාත් ගොවීහු වෙළඳ පොළෙදී අලෙවි කරති. මීට අමතරව වල්නාශක භාවිතයෙන් තොරව පැරෂූට් ක්‍රමයට වගා කරන ලද කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන පිරිසුදු සහල් වර්ගද මෙහිදී මිලදී ගත හැකිය.

කුරුණෑගල නගරය සහ ඒ ආශ්‍රිතව ජීවත් වන සිය සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන 600ක පමණ පාරිභෝගික පිරිස දැනටමත් මේ ගොවි වෙළඳපොළෙන් තම එළවළු සහ පලතුරු අවශ්‍යතා නිරන්තරයෙන් සපයාගනිමින් සිටිති. ගොවි වෙළඳපොළ පවත්වන සෙනසුරාදා දිනයේදී පරිසර හිතකාමී බව සහතික කරන ලද නැවුම් එළවළු සහ පලතුරු කිලෝ් ග්රෑම් 5000කට අධික ප්‍රමාණයක් අලෙවි වේ.

අතරමැදියන් ගෙන් තොරව ගොවීන් සහ පාරිභෝගිකයන් කෙළින්ම මුණ ගැසෙන මේ පරිසර හිතකාමී ගොවි වෙළඳපොළ කාලෝචිත ප්‍රවේශයක් බව හැඳින්විය හැකිය.

මෙහිදී ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට කෙළින්ම ලැබෙන ප්‍රතිලාභයන්ට අමතරව පොදුවේ සමස්ත වයඹ පළාතටත්, රටටත් පරිසර හිතකාමී එළවළු සහ පලතුරු නිෂ්පාදනය සහ අලෙවි කිරීම පිළිබඳව මනා ආදර්ශයක් සපයා ඇත.

• ඔබ කෘෂි ක්ෂේත්‍ර‍ෙය් ආර්ථික විශේෂඥයකු නම් ඔබේ ක්ෂේත්‍ර අත්දැකීම් අපට එවන්න.

සංස්කාරිකා, රන්බිම, සිළුමිණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10. rupanthi@gmail.com

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.