සහකරුවාගේ හදවත හැමදාට ම දිනාගන්න | සිළුමිණ

සහකරුවාගේ හදවත හැමදාට ම දිනාගන්න

සතුටු සිනා බෝ කරන්න. පිරිමින් පමණක් නොවෙයි ඕනෑ ම කෙනෙක් සිනා මුසු මුහුණක් දකින්න කැමතියි. වේදනා දරා ගෙන තුටින් මුව සරසාගෙන සිටින ගැහැනුන් දකින්න කවුරුත් කැමතියි.

දිවි ඇති තුරාවට තමන්ගේ පෙම්වතා හෝ සැමියා ගේ සිත දිනාගෙන සතුටින් ආදරයෙන් ඉන්න අකමැති කුමන කාන්තාවක්ද? හැම තරුණියකගේම පැතුම තමන් ආදරය කරන තැනැත්තාගේ ප්‍රියතම චරිතය බවට පත්වීමයි. එහෙත් ඔහු සැබැවින් ම කැමති වන ගුණාංග මොනවාදැයි ඔබ දන්නේ නැතිවා විය හැකිය. පිරිමින් කාන්තාවන් තුළ දකින්නට කැමති පොදු ගුණාංග තිබෙනවා. ඒ ගැන දැන සිටීමෙන් ඔබේ සහකරුගේ සිත සම්පූර්ණයෙන් ම දිනා ගන්නට ඔබට හැකිවෙනවා සිකුරුයි.

කාන්තාවන් සතුටින් සිටිනු දකින්නට හැම පිරිමියකු ම කැමතියි. නිතර සිනාසී සිටින, ප්‍රිය වචන කතා කරන, ඉක්මණින් ම ළතැවුල් අමතක කරන ළඳුන්ට ඔවුන් හරි කැමතියි. හැම දේටම කණු කුණු ගාන, පොඩි දේටත් හඬා වැළැපෙන ගැහැනුන්ට පිරිමින් කැමති නෑ. ඔබ සතුටු කරන්නට ඔහු මොනදේ කළත් ඔබ එහි අඩුවක් දකිනවා නම් ඔහු ඔබට ආදරය කිරීම ක්‍රමයෙන් අඩු කරාවි. අවසානයේ ඔබටත් හොරෙන් ම ඔහු වෙනතක් බලා ගනීවි.

පෞරුෂත්වය වර්ධනය කරගන්නට සහය වන ළඳුන්ටත් පිරිමින් කැමතියි. හැඩිදැඩි නොවුණත් “පිරිමිකම” ඉස්මතු වෙන ආකාරයට හැසිරෙන පිරිමින්ට කාන්තාවන් වැඩිය කැමතියි. පිරිමිකම යනු කාන්තාවන් තලා පෙළීම, ඇයට නිතර දෙවේලේ බැණ අඬ ගැසීම හෝ ගුටිබැට දීම නොවෙයි. අවශ්‍ය තැනදී ඇයට ආදරය, ආරක්ෂාව මෙන් ම ශක්තියක් වීමයි. එම ගුණාංග වර්ධනය කරගන්නට සහය වන තමා අගය කරන, ධෛර්යවත් කරන කාන්තාවන්ට පිරිමි වැඩිය කැමතියි. අම්මා වගේ කරුණාවන්ත වුණත් ඔහුට පුංචි ළමයකුට වගේ සලකන කාන්තාවන්ටත් පිරිමින් කැමති නෑ,

ඔබ අනාරක්ෂිත ළඳක්ද? ඔබට ඔබ ගැන ම විශ්වාසයක් නැද්ද? ඔහු නැතිව ඔබට කිසිවක් කරගන්න බැරි බව ඔහුට හඟවනවාද? හැඟීම්වලට වහල් වෙනවාද? එවැනි ගැහැනුන්ට පිරිමින් කොහෙත් ම කැමති නැත. ඔහුගේ මිතුරන් සමඟ වැඩිපුර ගැවසෙන විට ඔහු නැතිව සිටීමට බැරි තරම් පාළු බව කියමින් ඔහුට වද දෙනවාද? ඔබ ඔහුට ඒ තරමට ම ආදරේ බව පෙන්වන්නට හැදුවට ඔහුට ඔබ එපා වෙන්නත් ඒකම හේතු විය හැකි බව දන්නවාද? ඔබට මෙන් ම ඔහුටත් පෞද්ගලිකත්වයක් ඇති බව පිළිගන්න. එවිට ඔහුට ඔබේ අගය වැඩියෙන් දැනෙනවා ඇති.

අනෙකා ගැන වැඩියෙන් සිතන සහකාරියකට කොයි පිරිමියාත් කැමතියි. ක්‍රියාවෙන් මෙන් ම සිතිවිලිවලින් ද ඔබ ඔහුට ආදරේ බව සනාථ කර පෙන්වන්න. ඉඳහිට පුංචි ආදර වදන්වැලක් ලියා ඔහුගේ සාක්කුවට දමන්න. ඔහු දිරිමත් කරවන, අගය කරන වැකියක් ලියා කෙටි පණිවුඩයක් යවන්න. කාර්යාලයේ වැඩ කන්දරාවට යටවී හෙම්බත්වී සිටින ඔහු ගේ සිතට එය මහඟු සැනසිල්ලක් වනු ඇති. අන්‍යොන්‍ය සෙනෙහස ඉතා වැදගත් දෙයක්. ඔ‍ෙබ් සහකරු තුළත් එවැනි ගුණාංග වර්ධනය කරගන්නට ඔබට ම මුල් වෙන්නට පුළුවන්.

සතුටු සිනා බෝ කරන්න. පිරිමින් පමණක් නොවෙයි ඕනෑ ම කෙනෙක් සිනා මුසු මුහුණක් දකින්න කැමතියි. හැමවිට ම සතුටින් සිටින්නට උත්සාහ කරන්න. සතුටු සිනාවකින් ඔබේ සහකරු පිළිගන්න. සතුටු සිනාවකට කළ හැකි දේ බොහෝමයි. ඔබ සතුටින් සිනා සෙනවිට ඔබ වටා සිටින හැම දෙනාටමත් ඒ සතුටු සිනාව බෝ වෙනු ඇති. මූණ දික් කරගෙන, තරහින් පිපිරෙන ගැහැනුන්ට වඩා දහසක් වේදනා දරා ගෙන තුටින් මුව සරසාගෙන සිටින ගැහැනුන් දකින්න ඕනෑම කෙනෙක් කැමතියි.

ඉන්ද්‍රිය සංවේදී කාන්තාවන්ට පිරිමින් වඩාත් කැමතියි. මෙහිදී ඉන්ද්‍රියයන් පිනවීම පමණක් ‍අදහස් නොකෙරේ. මෙහි අදහස ලිංගික සම්බන්ධතාවලදී වඩාත් සක්‍රිය වීම පමණක් නොවෙයි. අනෙකාගේ හැඟීම් දැනීම් ගැන අවබෝධයෙන් යුතු වීම. අන්‍යයන්ගේ දුක වේදනාව හැඳිනීම මෙන් ම ආහාර ගැනීම, ඇඳුම් පැලැඳුම් මෙන් ම ගමන් බිමන් ගැන පවා කිසියම් අවබෝධයකින් රටාවකින් යුක්තව කටයුතු කිරීම ඉන් අදහස් කෙරේ. එවැනි ළඳුන් සමඟ සබඳතා පවත්වා ගැනීම පිරිමින්ට පහසුයි. ඒ වගේ ම එවැනි සබඳතා දිගු කාලීනයි.

කාන්තාවක මුදුසරින් කෝමළ ශෛලියකින්, ඉරියව් මඟින් දෙනෙ‍ෙත් කතාවෙන් මෙන් ම ඇඳුම් පැලැඳුම්වලින් පළකරන හැඟීම් පිරිමි සිත් වසඟ කරවන සුළුයි. කාමුක හෝ අසැබි නොවන වදන් තෙපලීම, සංවර එහෙත් ආකර්ෂණීය ඇඳුම් පැලැඳුම්, කෝළ වදන්, ඉඟිබිඟි මෙන් ම දෙනෙත් කතාවෙන් ඔහු ගේ සිත ඔබ වෙතට ඇද බැඳ ගන්නට සොඳුරු ළඳකට පුළුවන්. හැටහතර මායම් නැතිවාට යහපත් ගතිගුණ හා අවංක බවත් ගැහැනුන් තුළ පිරිමින් දකින්නට කැමති ගුණාංග අතර මුල් තැනක් ලැබෙනවා.

ස්ත්‍රි - පුරුෂ සබඳතාවක බලවත්ම බැම්ම අන්‍යොන්‍ය විශ්වාසයයි. දෙදෙනකු අතර සබඳතාවක් බිඳී යන්නට මූලික හේතුව වන්නේ එකකු අනෙකා තුළ තැබූ විශ්වාසය බිඳී යන සේ කටයුතු කිරීමයි. ඔහු ඔබෙන් පතන අවංක භාවය 100%ක්ම රකින්නට ඔබ අපහසු වුණු දා පටන්ම ඔබේ සබඳතාව තර කළ රැහැන්පට එකිනෙක ලිහී යන්නේ ඔබටත් හොරෙන්. එය පිරිමියා ගේ පැත්තෙන් ද එසේම විය යුතුයි. බොරු කීම, වංචාව, සොරකම හෝ රැවටීම ඔබේ චරිතාංග අතරට යන්තම් හෝ ගෑවී තිබෙනවාද? එවැනි ගැහැනුන් ඉතා ඉක්මණින් ම පිරිමින්ට එපා වෙනවා. සැපේදි මෙන් ම දුකේදිත් තමා සමඟ නොවෙනස්ව සිටින ගැහැනුන්ට පිරිමින්ට වඩාත් කැමතියි. ජයග්‍රහණයේදී තමා දිරිමත් කරන තමා සමඟ සතුටු වන සහකාරියන් මෙන් ම පරාජයේදීත් නොවැටී තමා දිරිමත් කරන ගැහැනුන්ට පිරිමින් වඩාත් කැමතියි. ඇති හැකි කාලෙට ඇලී ගැලී ඉඳලා නැති බැරි කාලෙට වෙනස් වෙන චරිතවලට පිරිමින් කැමති නෑ. ජීවන සටන ගෙනියන්නට තමා හා කරටකර සිටිමින් සහයෝගයෙන් කටයුතු කරන කාන්තාවන්ට පිරිමින් වඩා කැමතියි.

යුග දිවියක බැමි තහවුරු කරන්නට ලිංගික සබඳතා ද වැදගත් වෙනවා. වයසට ගියත් ලිංගිකව ක්‍රියාශීලී වන ගැහැනුන්ට පිරිමින් වඩා කැමතියි. පෙමෛන් බැඳුණු හෝ විවාහ වූ අලුත ගෙවූ ශක්තිමත් ලිංගික දිවිය ක්‍රමයෙන් ලිහිල් වී යනු දකින්නට පිරිමින් කැමති නෑ. වියපත් වුවත් වඩා සක්‍රිය ලිංගික දිවියක් පවත්වා ගැනීම මෙන් ම සෙනෙහසින් සතුටින් විසීමත් ඔවුන් ගැහැනියකගෙන් අපේක්ෂා කරනවා.

රසට උයන්න පුළුවන් ළඳුන්ට පිරිමින් වඩා කැමතියි. හැමදාම පිටින් කන පිරිමින් පමණක් නොවෙයි, ගෙදරින් වුණත් හැමදාම එකම දේ එකම රසයට ගන්නත් ඔවුන් කැමති නෑ. විවිධ රසයට විවිධ ක්‍රමයට ආහාර පාන පිළියෙල කරන ළඳුන් හැර යන්නට පිරිමි ටිකක් අකමැතියි. ‘මගේ බිරිඳට රසට උයන්න පුළුවන්’ කියලා ඔවුන් කියන්නේ ආඩම්බරයෙන් යුතුවයි. ඉඳහිටවත් ඔහු කැමති කෑමක් හදලා, අලුත් විදිහකට පිළිගන්වන්න. උණුසුම් රසවත් ආහාර වේලක් සකසා ආදරයෙන් පිළිගන්වන්න. කෑම මේසය ලස්සනට සකස් කරන්න. ඔහු ප්‍රිය කරන ආහාර නිතර හදා දෙන්න. ඔබ දෙදෙනා ම කාර්යබහුල වෙන්න පුළුවන්. ඒත් මේ සුළු ව්‍යායාමයෙන් ඔබේ සබඳතාව වඩාත් තහවුරු වෙනවා නිසැකයි.

අන්තර්ජාල‍ය ඇසුරෙනි.

Comments