සැබෑ සහල් ද? ප්ලාස්ටික් සහල් ද? ගෙදරදීම හඳුනාගන්න

ප්ලාස්ටික් සහල් වෙළෙඳ පොළෙහි අලෙවි කරන බවට විශාල ඇන්දෝලනයක් මේ දිනවල පවතී. වෙනත් රටක කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කරන ලද ප්ලාස්ටික් බිත්තරයක් සහ සහල් වර්ගයක් පිළිබඳව අන්තර්ජාලයෙන් ප්‍රචාරය කරන ලද වැඩසටහනක් නරඹා ජනතාව ඒ පිළිබඳව විමසිලිමත්ව සිටිති.

මෙවැනි කෘත්‍රිම සහල් වර්ගයක් මෙරට වෙළෙඳ පොළෙහි අලෙවි කෙරේද? එසේ නම් එවැන්නක් තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ගන්නා පියවර කුමක්දැයි අපි පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ගෙන් විමසුවෙමු. ඒ මහතා පැවැසුවේ එවැනි සහල් වර්ගයක් ආනයනය කර ඇත්නම් රේගුවෙන් නිදහස් කිරීමට පෙර විශේෂ පරීක්ෂණයකට බඳුන් කරන ලෙස ආහාර පාලන ඒකකයට උපදෙස් දී ඇති බවයි. ඒ අනුව ආනයනය කළ සහල් සාම්පල පළමුව ජලයෙහි පො‍ඟවා බැලීම දෙවැනුව මිටියකින් තැලීම සහ තෙවැනුව ජලය දමා තැම්බීමෙන් පරීක්ෂාවට ලක්කර ස්වභාවික සහල් ද යන වග තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් රේගුවෙන් සහල් තොග නිදහස් කිරීමට ආහාර පාලන ඒකකය මඟින් අවසර ලබා දෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

මෙයට අමතරව සතොස ආයතනය මඟින් ද සහල් තොග විශේෂ පරීක්ෂණයකට ලක් කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

සහල් පරිභෝජනයට පෙර ඔබ ගන්නා සහල් පිළිබඳ තවදුරටත් සැකයක් ඇත් නම් එම සහල් නියම සහල් දැයි හඳුනා ගැනීම සඳහා නිවසේදී ම සරලව පරීක්ෂා කළ හැකි බව කොළඹ නාගරික රස පරීක්ෂක ආර්.එම්.බී.වී. රත්නායක මහතා පවසයි. සැකසහිත සහල් ස්වල්පයක් පිළිස්සීමෙන් සැබෑ සහල් දැයි හඳුනාගත හැකි ය. නියම සහල් පිච්චෙන විට ‍රොටී පිච්චෙන විට දැනෙන සුවඳ වැනි සුවඳක් දැනෙනු ඇත.

සහල් කුඩුකර රත්වූ උණු වතුර දමා මදක් නිවෙන්නට හැර අයඩින් ස්වල්පයක් දැමූ විට සහල් නිල් පාටට හැරේ. ප්ලාස්ටික් සහල් එලෙස නිල් පැහැ ගන්නේ නැත.

තිනර් වැනි කාබනික ද්‍රව්‍යයක් යෙදූ විට ප්ලාස්ටික් සහල් දියවෙන නමුත් නියම සහල් එබඳු වෙනසකට බඳුන් නොවේ. රසායනාගාරයකදී නම් අන්වීක්ෂයක් තුළින් බලන විට සැබෑ සහල්වලට ආවේණික සෛලමය ව්‍යුහයක් තිබෙන බව පැහැදිලිව දැකිය හැකි ය. ඉහත පරීක්ෂණවලින් නිවසේ දීම සැබෑ සහල් හඳුනා ගැනීමට ගෘහණියනට හැකි වනු ඇත. එම පරීක්ෂණ තුළින් ඔබ ප්ලාස්ටික් සහල් හදුනාගතහොත් ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ පාරිභෝගික අධිකාරියට හෝ රජයේ රස පරීක්ෂකවරයා හෝ ආහාර පාලන ඒකකයට දැනුම් දිය හැකි ය.

පාරිභෝගික අධිකාරියෙහි
දුරකථන අංකය - 0117755456/457

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.