පෑවි­ල්ලෙත් මිහි­ලි­යට පෙම් බැඳි රජ­රට ගොවි දරුවෝ | සිළුමිණ

පෑවි­ල්ලෙත් මිහි­ලි­යට පෙම් බැඳි රජ­රට ගොවි දරුවෝ

වැසි ඇති සමයේදීත්, පොළොව ඉරිතළන, ගහ කොළ මැලවෙන නියං සමයේත් ඔවුහූ මිහිලියට පෙම් බඳිති. මෙ සමයෙහි නිසි කල වැසි නොවැටීමෙන් බොහෝදෙනෙකුට වගාව අතහැර දැමීමට සිදුව ඇතත් ඔවුහු ඇති හැම බිම් අඟලක්ම වවති. රාත්‍රීයේ උඩ පැල් ලැග වගා රකිති. කැපූ වගා ළිංවලින් මෙන්ම කිලෝ මීටරයක් හමාරක් දුරින් ගලායන කලාඔයෙන් දිය ගෙන කෙසෙල්, මඤ්ඤක්කා හා එලවලු ආදී බවභෝග මනාව වවති. තරුණ කලදීම වෙල් ලියැදිවල අරුමය මනාව හඳුනාගත් ගොවි දරුවන් පිරිසක් සොයා අපි ඉකුත් දිනක මහවැලි එච් කලාපයේ, එප්පාවල, අධිරාණිගම ගම් පියසට ගියෙමු. ගොවිතැන වස විසෙන් මුදමු - ගොවියන් රජුන් කරමු යන අපූර්ව තේමාවට පණ දෙන්නට වෙහෙසෙන මේ තැන සිටියේ රජරට තරුණ තරුණියන් පිරිසකි.

අප යද්දී ඒ ගොවි දරුවන් අතරින් සමන් සෞම්‍ය කුමාර අක්කර කිහිපයක වවා ඇති මඤ්ඤක්කා යායේ ඔබ මොබ සැරිසරමින් සිටියේය.

“ගොවිතැන කොයිතරම් නිදහස් රස්සාවක්ද කියන එක මට දැනෙන වාර අනන්තයි. කාගෙන්වත් බලපෑමක් ඇත්තෙත් නෑ. කාටවත් කරදරේකුත් නෑ. මේ රත්තරං පොළොවේ වවන්ඩ බැරි දෙයක් නෑ.

පහුගිය ටිකේ අපිට තිබුණු ප්‍රශ්නේ තමයි වැස්ස නැති එක. ඒත් ඒක එහෙමයි කියලා කරපු ගොවිතැන් මැරෙන්ඩ අරින්න බෑනේ. වගා ළිං ගැඹුරු කරලා කොහොම හරි වතුර ගහලා වගාව බේරගත්තා. සමහරුන්ගේ කුඹුරු යායවල් පිටින් මූකලන් වැහෙද්දි අපි කොහොම හරි අවුරුද්ද පුරාම මොනව හරි වගා කරනවා. මහන්සි වුණොත් වරදින්නේ නෑ. මං මඤ්ඤොක්කා අක්කර තුනක විතර හදලා තියෙනවා.

කෙසෙල් අක්කර දෙකක විතර දාලා තියෙනවා. මඤ්ඤෙක්කා කවුරුවත් වැඩියෙන් කරන්නේ නැති වගාවක්. ඒත් හොඳ ලාබයක් තියෙන වගාවක්.

මේ දවස් වල මාකට් එකේ තොග කිලෝ එක රුපියල් පනහට විතර යනවා. ”

තරුණ වියේ සමහරෙකු ගොවිතැන අතහැර යන විට හිමිදිරියේ ගොවිබිමට එන ඔවුන් හිරු අවරට ගොස් හෝරාවක් දෙකක් ගතව යන තෙක්ම එහි රැඳෙන්නේ අපිරිමිත බැඳීමකින් යුතුවය. දෑතේ සවියත්, මනසේ වීර්යත් පමණක් යුතුව ජීවිතය මේ යැයි ඔවුහූ නිහඬවම පවසති.

“අපේ දියුණුවට වගේම රටේ දියුණුවට තමයි අපි මහන්සි වෙලා ගොවිතැන් කරන්නේ. පහුගිය ටිකේ වතුර නැතිව අපේ ගොවිතැන් මැරෙන්ඩ වැටුණා.

ඒත් කිසිම කෙනෙක්ගේ මැදිහත්වීමක් නෑ. කොහොම හරි කිලෝ මීටරයක් විතර එහායින් ගලන කලාඔයෙන් වකුර ගහලා ගොවිතැන බේරගත්තා. දැන් හොඳ ආදායමක් තියෙනවා. මෙතැන අක්කර තුනක විතර බණ්ඩක්කා, දඹල වගේ එලවලු, කෙසෙල්, මඤ්ඤේක්කා වගා කරලා තියෙනවා.

පෑවිල්ල හින්දා ගොඩක් තැන්වල ගොවිතැන් කරලා නෑ. ඒ නිසා හොඳ ආදායමක් ගන්න පුළුවන්. අපි තඹුත්තේගම මාකට් එකට තමයි ගොඩක් වෙලාවට එලවලු ගෙනියන්නේ.” වගා බිමට දිය ඉසිමින් හිදි සුජිත් ප්‍රේමලාල් අපට කීවේය.

එක යායට වැවී ඇති මඤ්ඤක්කා පඳුරු අතර කෙමෙන් අදුර මෝදවෙමින් තිබේ. හොඳින් පැහී පෘෂ්ටිමත්ව ඇති කෙසෙල් කැන් මත තවමත් සිහින් අව් රැල්ලක් ශේෂව ඇත. සිනහ කදුළු මත ගෙවීගිය දවසක් නිමාවෙමින් බිම් කරුවල වැටී එයි. උදාවු හිමිදිරියේ සේම බැස යන මළ හිරු රැස් අතර ද දක්නට ඇත්තේ ඔවුන්ගේ උද්යෝගයේ සලකුණුය.

සචිනි නිසංසලා තරුණ වියේ සුකුමාල බව ගෙවී නොගිය මිහිලියට පෙම් බැඳි ගෙවිලියකි.

“ජීවිතේ අපට දුකක් කියලා මහා ලොකු දෙයක් නෑ. කාටවත් බරක් නැතිව අපේ ජීවිතේ සන්තෝසෙන් ගත කරන්න පුළුවන් වටපිටාවක් හදාගෙන ඉන්නේ.

හැමදේම කරගන්නේ ගොවිතැනින්. අපිට ඕන වෙලාවට එනවා. අපිට ඕන වෙලාවට යනවා. බලපෑමකුත් නෑ. හිත රිදීමකුත් නෑ. අපේ වැඩ ටික අපි කරගන්නවා.

එකම දේ මහන්සි වෙන්න ඕන එක විතරයි. තැන් තැන් වල රස්සාවල්වලට ගිහිල්ලා සමහරු විඳින කරදර දැක්කහම අපේම දෙයක් කරගන්න එක කියන්න බැරිතරම් සහනයක්.”

කෙසෙල් මෙරටේ ඉහළම පරිභෝජනයක් ඇති පලතුරයි. මේ වන විට වගා බිම් මට්ටමින් සහ ගෙවතු මට්ටමින් මෙරට වගාකෙරෙන මුළු වපසරිය හෙක්ටයාර් 60, 000 ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ නිගමනයයි. එය මෙරට සමස්ත පලතුරු වගා වපසරියෙන් සියයට 54 ක් පමණ වේ. ඉන් හෙක්ටයාර් 20,000 ක් පමණ තෙත් කලාපයේත්, සෙසු හෙක්ටයාර් 40,000 වියළි අන්තර් කලාපයේත් වගා කෙරේ.

අධිරාණිගම ධම්මික සෙනෙවිරත්න වවන්නේ කෙසෙල්ය.

“ඇත්තටම කෙසෙල් වගා කරලා හොඳ ආදායමක් ගන්න පුළුවන්. දැන් වී වගා කරන්න ගියත් ලොකු වියදමක් දරන්න වෙනවා. එකම දේ කෙසෙල් හදන්න ටිකක් මහන්සි වෙන්න ඕන. නඩත්තුවත් අමාරුයි. එත් ආදායම නරක නෑ. එකම දේ දැනට කෙසෙල්වලට ලැබෙන සහයෝගය ටිකක් මදි.

අඩුම ගානේ පොහොර සහනාධාරයක් වගේ ලැබෙනවා නම් ලොකු සහනයක්. මොකද කෙසෙල්වලට දාන කිලෝ පනහේ පොහොර මිටියක් රුපියල් තුන්දහක් විතර වෙනවා. ඒත් මහන්සි වෙන කෙනෙකුට ඒකත් ලොකු බාධාවක් නෙමෙයි”

අවබෝධයෙන් යුතු තරුණයෙකු වන ධම්මික පැවසුයේ මෙරට වාර්ෂික කෙසෙල් පාරිභෝජන ප්‍රතිශතය ඉහළ දැමීම, දේශිය කෙසෙල් සඳහා අපනයන

අවස්ථාවන් තවදුරටත් පුළුල් කරගැනීම, පසු අස්වනු හානිය අවම කිරීම, සාධනීය නිලධාරි මැදිහත්වීම, මෙන්ම කෙසෙල් ඵලදාව මගින් විදේශීය රටවලට සාපේක්ෂව දේශීයව කෙසෙල් පත්‍ර, කෙදි ආදිය මගින් සිදුකෙරෙන අතුරු නිෂ්පාදන කෙරෙහි තවදුරටත් අවධානය යොමුවීම හිතකර බවය. 

 

Comments