‘අපි ම අරඹමු ඩෙංගු දුරලමු’

 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මූලික ව අරඹන ලද ‘අපි ම අරඹමු ඩෙංගු දුරලමු’ ව්‍යාපෘතිය ප්‍රධාන කරුණු දෙකක් නිසා ඉතා වැදගත් ය. ඩෙංගු අභියෝගයට මුහුණ දීම පිණිස අත්‍යවශ්‍ය වන, ජනතාව දැනුම්වත් කරන පුළුල් වැඩසටහනක් එළිදැකීම එක් කරුණකි. මාධ්‍ය භාවිතය සතු වගකීම පෙරට ගැනීමට එයින් අවස්ථාවක් උදා වීම අනෙක් කරුණ යි. ඩෙංගු වසංගතය වැනි ව්‍යසනයක් හමුවේ ප්‍රජාව සතු වගකීම ද මාධ්‍ය භාවිතය සතු වගකීම ද මෙමඟින් එක විට සිහිපත් කරනු ලැබේ; ඒ අනුව ක්‍රියාත්මක ද වෙයි.

ඩෙංගු උවදුර මැඬලීම රජය කරට ගෙන ඇති යුද්ධයකි. එහෙත් මාධ්‍ය මෙන් ම එයින් උසිගැන්වෙන ප්‍රජාව ද දකින්නේ ඩෙංගු මැඬලීම රජයේ කටයුත්තක් පමණක් බව යි. මදුරුවාට ගොදුරු වී මිය යන සංඛ්‍යාව හුවා දක්වන, එයින් රට ම බියට පත් කරවන මාධ්‍ය භාවිතයට වඩා වටිනා යමක් මේ දැනුම්වත් කිරීම් මගින් රටට ලැබෙනු ඇත. අවස්ථාවාදි දේශපාලනය මඟින් බලය උදෙසා ම කෙරෙන අනිසි උසිගැන්වීම් සමඟ සමගාමි ව ප්‍රජාව තාවකාලික වින්දනයකට යොමු කිරීම මාධ්‍ය භාවිතයේ වගකීම නොවන බව වටහා ගන්නට ද මෙයින් මඟ පෑදෙනු ඇත. අනෙක් අතට තම ඍජු සහභාගිත්වය නැති ව ඩෙංගු වසංගතයට මුහුණ දිය නොහැකි බව මෙවැනි දැනුම්වත් කිරීම් මඟින් ප්‍රජාවට හැඟී යනු ඇත.

දේශගුණික විපර්යාස හෝ පාරිසරික වෙනස්කම් හෝ හැරුණු විට ඩෙංගු මදුරුවා මෙතරම් දරුණු වීම කෙරෙහි බල පෑවේ රටට කැළිකසළ කළමනාකරණයක් නැතිකම යි. නිවෙසේ එදිනෙදා එකතු වන කුණු පාරට වීසි කිරීම නිසි කළමණාකරණය නො වේ. ඒ ගැන වගකීමක් ප්‍රජාවට ඇති බව සිතන්නට පෙළඹවීම වෙනුවට ඊට වගකීමක් ඇති ප්‍රාදේශීය දේශපාලන ආයතන ද කළේ ගම්බද නිවෙස්වල පවා කුණු එකතු කරන්නට යෑම යි. ඒ තමාගේ දේශපාලන වාසි පිණිස ය. එයින් සිදු වූයේ කුණු පාරට වීසි කරන්නට ප්‍රජාව පෙලඹීම යි. එදිනෙදා එකතු වන කුණු සීමා කිරීමට පුරුදු පුහුණු වනවා වෙනුවට නොදිරන පොලීතින් වැනි දෑ අසීමිත ව නිවෙසට රැගෙන එන තැනට ද ප්‍රජාව පෙලඹුණහ. එදිනෙදා අප නිවෙසට රැගෙන එන කුණු සීමා කිරීම ගැන හිතන්නට ද, ඩෙංගු ඇතුළු දරුණු පාරිසරික ගැටලු රැසක් ඇති කරන කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් ඇති කර ගන්නට ද ‘අපි ම අරඹමු ඩෙංගු දුරලමු’ ව්‍යාපෘතිය මඟින් අවස්ථාව ලැබෙයි. රජය පොලිතීන් තහනම් කිරීමට ගෙන ඇති තීරණය ද ඊට අනුබලයකි.

කුණු ප්‍රශ්නය තදින් දැනෙන කොළඹ නගරයට දිනකට එකතු වන කුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1000ක් 1200ක් පමණ වන බව වාර්තා වේ. රට ම ගැන සලකන කල සාමාන්‍යයෙන් එක් පුද්ගලයකු වසරකට කුණු කිලෝග්රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ඉවත දමන බව ද පැවසේ. මෙයින් වැඩි ප්‍රමාණයක් නොදිරන පොලිතීන් බව එදිනෙදා පරිභෝජනය දෙස බලන විට පෙනී යයි. පසුගිය වසරේ පොලිතීන් ද්‍රව්‍ය ආනයනය සඳහා රුපියල් මිලියන 20000ක විදේශ විනිමයක් වැය වීමෙන් ද ඒ බව පැහැදිලි වේ. නගරයේ සුපිරි වෙළෙඳසල්වලින් පමණක් නො ව, ගමේ පොළෙන් පවා ආහාර ද්‍රව්‍ය ගෙන එන්නේ නොදිරන ‘සිලි’ මලුවල දමාගෙන ය. දිනා පතා ම කෑම එතීමට ගන්නා පොලිතීන් කොළය නිසා එකතු වන කුණු ප්‍රමාණය තමතමන්ට සිතා ගත හැකි ය.

ලබන සැප්තැම්බර් පළමුවැනිදා සිට මේ පොලිතීන් භාවිතයට වැට බැඳෙනු ඇත. පොලිතීන් භාවිතය පහසුවක් ලෙස සලකා ඊට ඇබ්බැහි වී ඇති පාරිභෝගිකයා ද වගකීමකින් තොර වෙළෙඳාමේ යෙදෙන අය ද මේ තීරණය ගැන උරණ වීමට ඉඩ ඇතත්, පොලිතීන් තහනමට රජය ගත් පියවර ජන ජීවිතය කුණු කඳුවලින් වැසී යෑම හෝ ජීවිත රෝගී වීම වැළැක්වීමට හෝ ගත් මහඟු පියවරකි. ඒ ගැන ප්‍රජාවට වටහා දීම මාධ්‍ය භාවිතයට අයත් කාර්යයකි. අනෙක් අතට නොදිරන පොලිතීන් වෙනුවට පරිසර හිතකාමි විකල්ප විසඳුම් හඳුන්වාදීමට පියවර ගැනීම රජයේ වගකීමකි.

කුණු ප්‍රශ්නය ප්‍රධාන සාධකයක් කොට ගෙන පැතිරුණු ඩෙංගු වසංගතය ගැන අවධානයට ගත යුතු වන්නේ, ඒ ගැන සක්‍රිය විය යුතු වන්නේ තම තමන් ම ය. මඟහළ නොහැකි පළමු වගකීම පැවරෙන්නේ තමතමන්ට ය. මාධ්‍ය භාවිතයෙන් විය යුත්තේ ඒ දෙසට මඟ පෙන්වීම මිස, පුද්ගල න්‍යායපත්‍ර හෝ පටු ලාබ ප්‍රයෝජන හෝ තකා ප්‍රජාව උසිගැන්වීම නො වේ. ඇරඹුම ගත යුතු වන්නේ ප්‍රජාව ම බව හිතන්නට හැකි තැනට පසුබිම සැකසීම රජයට පැවරෙන කාර්යයකි. ඩෙංගු වසංගතය මැඬලීමට පමණක් නො ව, රටේ ඉදිරිගාමි සංවර්ධනයට ද පෙරට ගත යුතු වන්නේ ප්‍රජාව යි. වඩවඩාත් විවෘත කළ යුතු වන්නේ මෙවැනි දැනුම්වත් කිරීමේ මාර්ග යි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.