අහස යට... | සිළුමිණ

අහස යට...

 ගෙදරට හැරෙන පටු පාර දිගට තවමත් සුදු පාට ඉටිකොළ වැල්වල නටබුන් ඉතිරිවෙලා තිබුණ.

වෙනදට වාහනේ සද්දෙට මිදුලටම එන මිත්‍රයාගේ ප්‍රමාදය හින්දම දෙපාරක් උගුර පාදල සේන කියල කතා කෙරුව.

“ උඹ ආවෙ නියම වෙලාවට” මහ හයියෙන් කියල පිළිගන්න මිත්‍රයා වෙනුවට ගෙදර සහායකයා ඇවිත් මාව පිළිගත්ත.

“මහත්තයා ගෙදර නැද්ද” කියල අහපුවම, ”ඉන්නව, ඉන්නව කාමරේ ඇතුළේ” කියල වට පිට බලල

“දැන් වැඩිය කාමරෙන් එළියට එන්නේ නැහැ. පොඩි මහත්තයයි , පොඩි නෝනයි දෙන්නම ආපහු ගියාට පස්සෙ මා එක්කවත් වැඩි කතාවක් නැහැ, මහත්තයා” රහසෙන් වගේ කියල ඉස්සරහ දොර ඇරිය.

සති දෙකක් ඇතුළත කෙනකුගේ බාහිර පෙනුම මෙච්චරම වෙනස් වෙන්න පුළුවන්ද කියල හිතෙන තරමට වයෝවෘද්ධ උදාසීන ගතියකින් කාමරයෙන් එළියට ආපු මිත්‍රයා සාලෙ කෙළවරේ තියෙන පුටුව මට පෙන්නල එයත් මගෙ ඉස්සරහ පුටුවෙ වාඩිවුණා.

පාරෙ ලයිට් කණුවල අලවල තිබුණ මරණ දැන්වීමේ තිබුණ ෆොටෝ එකම ලොකු කරල උස කබඩ් එක උඩ ඉඳන් අපි දෙන්න දිහා බලාන ඉන්න සුජාත දැක්කම මට මතක්වුණේ වෙනදට කුස්සියෙ පැත්තෙ දොර රෙද්ද මෑත් කරල පුංචි හිනාවක් දාල ආයිත් කුස්සිය පැත්තට ගිහිල්ල තේ කෝප්ප දෙකක් හදාගෙන ආපු සුන්දර ගැහැනියවයි.

ගොඩාක් වෙලාවක් නිහඬව ඉඳල “පෙරේද පුතා ආපහු ගියා. ඊයෙ උදේ දුවත් ගියා. එයාලගෙ වැඩ ආයිත් පටන් ගන්න එපායැ. එයාල ආයිත් පුරුදු ජීවිතවලට හුරුවේවි. මට හිතාගන්න බැහැ මේ පාළු ගෙදර ආයිත් ජීවිතේ කොහොමද පටන් ගන්නෙ කියල. දරුවො නම් මට වද කරනව මේව අත් ඇරල එයාලත් එක්ක ජීවත් වෙන්න එන්න කියලා. ඒත් මට ඒ පිටරට ජීවිතේ මෙයිටත් වැඩිය පාළුයි. අඩුම ගානේ ඉඳල හිටල හම්බවෙන්න යාළුවෙක්වත් මෙහෙ ඉන්නවනෙ” කියල පුටුවෙන් නැගිටල අඳුරු සාලෙ එළිය කරන්න ලයිට් එක පත්තුකෙරුව.

“මගෙ බයිපාස් එක කරල දැන් අවුරුදු තුනක් වෙනව. ඇත්තටම ඒ කාලෙ මම මරණයට සුදානම් වුණා. හැමදෙයින්ම නිදහස් වුණා. සුජාතගෙ දරුවන්ගෙ හැම දෙයක්ම සැලැසුම් කෙරුව. මම මැරුණම සුජාතට දරුවො ළඟට යන්න සල්ලි විතරක් නෙමෙයි, මගෙ මරණය පවා ඒ ගොල්ලන්ට බරක් නොවෙන්න තරමට සූදානම් කරල තිබුණෙ.

ඒත් සිද්ධ වුණේ හීනෙකින් වත් නොහිතපු දෙයක් මාව ඉතිරි කරල සුජාතට යන්න වුණා ‘‘කියල ආයිත් මගෙ ඉස්සරහ පුටුවෙ වාඩි වුණා.“ සේන , මරණය හැම වේලාවෙම වේදනාවක් වෙන්නෙ මියගිය කෙනාට නෙමෙයි, ජීවත් වෙන අයටයි, සුජාතගෙ මරණය ඔයාට දරාගන්න බැරි වේදනාවක් බව අපි හැමෝටම තේරෙනව. ඒත් දැන් උත්සාහකරන්න ආයිත් ජීවිතේට මුහුණ දෙන්න “ කියල මම හෙමින් මිමිනුව.

“ආයිත් මට පටන්ගන්න ජීවිතයක් නැහැ, තනිකමට මෙච්චරම දරුණුවට මිනිහෙක්ව පෙලාදාන්න පුළුවන්ද කියල තේරෙන්නෙ දැන්. රැයක් මෙච්චරම දිගද, නැත්නම් කොච්චර සීතල ද කියල දැනෙන්නෙ සුජාතා මාව දාල ගියාට පස්සෙයි”, කියල පුටුවෙන් පහත්වෙලා සරමෙ කොනකින් ඇස් කෙළවරේ කදුළු පිහදාගත්ත.

සේනගෙ කදුළු කතාව ඉවර කරල ඔළුවට දැනුණ මහමෙරක බරත් උස්සාගෙන පාළු පාරවල් දිගේ ආපහු එද්දි මට අපේ ගමේ පේමක්කව මතක් වුණා.

පිළිකාවකින් මැරිච්ච ඩේවිඩ් අයියගෙ දේහයට ආචාර කරල ආපහු හැරෙද්දි කොහේද ඉඳල දුවගෙන ආපු පේමක්ක අත්දෙක එකතුකරල මට ආචාර කරන ගමන්ම “ මාස හයක් විතර අයිය එකතැන විඳෙව්ව. ඉංග්‍රිසි බෙහෙත් නවත්තල අන්තිමට සිංහල වෙදකමත් කෙරුව. එයා දරාගෙන හිටපු වේදනාවත් එක්ක මරණය එයාට සැනසීමක් “ කියල කිව්වෙ ඩේවිඩ් අයියගෙ මරණය මිය ගිය කෙනාට විතරක් නෙමෙයි ඉන්න අයටත් සැනසීමක් කියනව වගේ.

ඊට පස්සෙ දවසක තාර පාරේ ඉඳන් මීටර් සියයක් විතර දුරින් තියෙන පේමක්කගෙ ගෙදර ඇතුළෙන් ඇහෙන විලාපය පාරේ යන අයටත් පැහැදිලිව ඇහුණ . බොහොම දුක් ගැහැට මැද්දෙ ලොකු මහත්කරල විශ්වවිද්‍යාලයට යවල ආණ්ඩුවෙ පත්වීම අරගෙන කසාදයක් කරගෙන වැඩි කාලයක් ගෙවු‍ෙණ නැහැ.

සුදුම සුදුපාට ඔසරිය ඇඳල දෑත් බැඳගෙන හිටපු දියණිය ළඟ පුටුවක වාඩිවෙලා හිටපු පේමක්ක අවසිහියෙන් වගේ අත් දෙක උස්සල ආචාර කරල ආපසු පුටුවෙම ඇලවුණා.” අනේ මල්ලියෙ මගේ කෙල්ලට මොකද වුණේ? කියල විලාප දෙද්දි මම හෙමින් එළියට බැහැල තහඩු මඩුව ඇතුළෙ ප්ලාස්ටික් පුටුවක වාඩිවුණා.

මහපාරේ කොතනකදි දැක්කත් එයා එළවන බස් එකේ ලොකු ලයිට් දෙක එළිය කරල හෝන් එක ලතාවකට සද්දකරල යන පේමක්කගෙ බාල පුතා හදිස්සියෙ අසනීප වෙලා කොළඹට ගෙනිච්ච කියල ආරන්චිය ඇවිත් වැඩි වෙලාවක් ගතවුණේ නැහැ එයත් මිය ගිහින් කියන ආරංචිය ගම පුරා පැතිරුණා.

පහන් දෙක මැද්දෙ සුදුපාට කමිසෙ ඇඳල කළුපාට ටයි පටියක් දාපු උඩු කුරුව ඉන්න බාල පුතාගෙ දේහය දිහා බලාගෙන හූල්ලන පේමක්කගෙ මුවින් වචනයක්වත් පිට නොකර මගෙ දිහා බලල ලොකු හුස්මක් පිටකරද්දි මම දේහයට හිස නමල උළුවස්සෙන් එළියට ආව.පිටරට රස්සාව කරපු දෙවැනි පුතා හදිස්සියෙම නැතිවෙලා. තවම මිනිය ලංකාවට ගේන දවසක් ගැනවත් ආරංචියක් නැතිලු.එයාගේ දේහයත් ගෙදරට ගෙනාපු දවසට පේමක්කට අඬන්න ඇස්වල කඳුළු කොච්චර නම් තව ඉතිරිවෙලා තියෙනවද මන්ද?

පේමක්කගෙ කතාවට තවත් එකක් එකතුකරන්න තියෙනව. දරුවො තුන් දෙනෙක්ම උපතින් තිබුණ රෝගයක් හින්ද අඩු වයසෙන් ජීවිත අවසන් කරන්න සිද්ධ වුණා. නිරෝගිව හිටපු තුන්වෙනි පුතා ගේ මිනියවත් පේමක්කට දකින්න නොලැබිම පහුගිය කාලෙක අතුරුදහන් වුණා කියපුම ගොඩාක් අය හිතයි ප්‍රබන්ධයක් කියල. ඇත්තටම ඒ දුකත් එයා නිහඬවම දරාගන්න ඇති.

උදේ පාන්දර මුණුපුරන් දෙන්නෙක්ව අතින් අල්ලගෙන ස්කෝලෙ පැත්තට යන පේමක්කව දැක්කම මට හිතුනෙ පටාචාරාවන්ට වුණ විපත්වලින් පස්සෙ බුදුන් සරණවත් ගිහින් සසර කෙටිකර ගත්තට පේමක්ක කොහොමද එහෙම කරන්නෙ කියල.

තව කාලයක් මියගිය දරුවන්ගෙ දරුවො රැක බලාගන්න තියෙද්දි.

චන්දන ගුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.