අර්බුද මවන්නෝ සහ ගින්දර තියන්නෝ!

 මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ විවේචකයන් එල්ල කළ ගිනි බෝම්බ දෙකක් තිබේ. එකක්: පරණ ‘රට බෙදන ෆෙඩරල්’ බෝම්බයයි. අනෙක: කිසිදු තේරුමක් නැතිව ඉල්ලාගත් ‘පිං කැටවලට විදීම’ නමැති බෝම්බයයි. අප මේවා ‘ගිනි බෝම්බ’ ලෙස හැඳින්වුයේ ජනතාව අතර ගිනි ඇවිළවීමට යොදාගත හැකි, එහෙත් නිසි පරිදි නිරීක්ෂණය කළ නොහැකි වුව හොත් මහා විනාශයකට හේතු විය හැකි ගිනිපුපුරු බහුලව තිබෙන නිසාය. මේ බෝම්බ දෙකම නිෂ්පාදනය වන්නේ ජාතිවාදී හා ආගම්වාදී කම්හල්වල ප්‍රාථමික නිෂ්පාදන ලෙස බවද අපි දනිමු. එහෙත් ඒවා නිසි පරිදි නිෂ්ක්‍රීය කිරීමට ආණ්ඩුව නමැති බෝම්බ නිෂ්ක්‍රීය අංශය අසමත් වුව හොත් වැඩේ බරපතළ විය හැකිය.

'නූපන් දරුවාගේ' කේන්දරය

ඇත්ත වශයෙන්ම මේ අනිසි භීතියේ පදනම කුමක්ද? යෝජිත ව්‍යවස්ථාව රට බෙදන ෆෙඩරල් ඉල්ලීම ඉටු කිරීමක් ලෙසත් එමගින් බුද්ධාගමට හිමි තැන අහෝසි කරන බවට ගෙන යන ප්‍රචාරයත් නිසැකයෙන්ම අභූත, අවිද්‍යාත්මක, අවිචාර විකාරයක් බව මේ බේගල් දෙසා බාන අයම දනිති. මක් නිසාද යත්: තවමත් එබඳු කෙටුම්පතක් වත් සකස් වී නොතිබීම නිසාය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ තවම තමන් අතටවත් එබඳු කෙටුම්පතක් ලැබී නැති බවයි. එහෙත් මෙබඳු බොරු ප්‍රචාරය කිරීම නිසා ජනතාවටද සත්‍යය කුමක්ද අසත්‍යය කුමක්ද යන්න තෝරාගැනීම දුෂ්කර වනු ඇත. සත්‍යය සිය පළමු පියවර තබද්දී අසත්‍යය හැඳපැලඳගෙන පාවහන්ද දමාගෙන සිය කාර්යය නිමවා ආපසු පැමිණෙන බවට ප්‍රවාදයක්ද ඇත. අද සිදු වන්නේ එයම නොවේද? නිසරු වාද-විවාද කරමින් දේශපාලන බලයට ඉලක්ක කරගත් පිරිසක් අද මේ සියලු අර්බුද නිර්මාණය කරමින් සිටී. මේ ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමටත් ඒ සඳහා සියලු ශක්තීන් යෙදවීමටත් ඔවුහු ප්‍රයත්න දරති.

අඩි හයක් පොළොව යට...

2015 ජනවාරි 08 මේ රටේ ජනතාව අනුමත කළ, අපේක්ෂා කළ වැඩපිළිවෙළක් තිබිණි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව විසින් තබන ලද විශ්වාසය ඉමහත්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ප්‍රජාත්නත්ත්‍රවාදය හා නීතියේ සාධාරණත්වය ලබාදීම යන කරුණු එහිදී ප්‍රමුඛ විය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍යසේවය, අධිකරණය, නීතිය පමණක් නොව මහා භාණ්ඩාගාරයද විධායකයේ අණසකට යටත්ව තිබුණු බිහිසුණු යුගයක අධිපති බලය සිඳලීම සඳහා එදා ජනතාව තීන්දු කිරීම විස්මිත ජයග්‍රහණයක් වැන්න. යම් හෙයකින් එය ආපසු කරකැවිණි නම්, මෛත්‍රීපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයා පරාජය වී නම් සිදු වන්නේ කුමක්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ පිළිබඳ කරන ලද ප්‍රකාශය මෙවේලේ මගේ මතකයට නැඟෙයි. “ජනාධිපතිවරණයෙන් පරාජය ලැබිණි නම්, තමන් පමණක් නොව තම පවුලේ සියලු දෙනාම අඩි හයක් පස් යට වැළලී යන්නට ඉඩ තිබුණු බව” ඔහු සඳහන් කළේ තමන් වටා තිබුණු විපත හා අනතුර ඉඳුරා දත් හෙයිනි. එහෙත් මේ බොහෝ දේවල් අද බොහෝ දෙනකුට අමතක වී තිබේ.

විමර්ශන හිර වෙලා?

පසුගියදා කැබිනට් හමුවකදී ජනාධිපතිවරයා මතු කළ ඇතැම් කරුණු නිසා ඇමැතිවරුන්ද කැලඹුණු බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබිණි. පසුගිය පාලන කාලයේ සිදු වූ බැව් කියන දුෂණ හා වංචා පිළිබඳ විමර්ශන කොතැනක හෝ හිර වී තිබේද යන සැකය ජනාධිපතිවරයා තුළ තිබුණු බවක්ද එහි සඳහන් විය. ඒ සඳහා වගකිව යුත්තෝ කවරහුද යන්න ජනතාවද නොදනිති. එසේ වුවද මහා පරිමාණ දූෂණ පිළිබඳව ආණ්ඩුවේම ඇතැමුන් විසින් කරන ලද හෙළිදරවු පිළිබඳව වුවද මෙතෙක් රටට දැනෙන විමර්ශනයක් කර නැති බවද රහසක් නොවේ. හොරු අල්ලන්නට පැමිණි අය හොරුන් රකිතියි ජවිපෙද ආණ්ඩුවට චෝදනා කරති. තවත් වේදිකාවකදී ප්‍රකාශ වුයේ රට කෑ හොරුන් නැති වුවද, අලුත් හොරුන් පැමිණ සිටින බවය. වංචාව, දුෂණය, හොරකම එසේම පවතිද්දී හොරුන්ගේ ස්ථාන මාරුවක් සිදු වී ඇති බවද සමහරු කියති.

ජනතාවගේ හද ගැස්ම දන්නා නායකයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුළ මේ යථාර්ථය පිළිබඳ දොම්නසක්, කලකිරීමක් තිබෙන බව ඔහුම මෑතකදී කළ නොයෙක් ප්‍රකාශවලින් තහවුරු වී තිබේ. පොලීසිය හා නීතිපති අංශ තමන් සතුව තිබිණි නම් මේ කටයුත්ත කරන ආකාරය දන්නා බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය තුළද රැව් දෙන්නේ ඒ කලකිරීම මිස අන් දෙයක් නොවේ.

දෙගිඩියාව

ජනාධිපතිවරයා මේ සම්මුති ආණ්ඩුව රැකගෙන රටට වැඩක් කිරීමට දරන ප්‍රයත්නයට පක්ෂ දෙකෙහිම ඇතැම් ගෙන් ලැබෙන සහාය අපටද ප්‍රශ්නයක් වී තිබේ. ශ්‍රීලනියේ ජ්‍යේෂ්ඨයන්ගෙන් පවා විවේචන එල්ල වන එබඳු සිදුවීම් තඹයකට මායිම් නොකරන දේශපාලන චරිත ගැන කවර කතාද? ඇත්ත වශයෙන් මෛත්‍රී-රනිල් යන නායකයන් දෙදෙනාම හිර වී සිටින්නේද මේ මජර බල තණ්හාවට යට වූ තම පාක්ෂිකයන් නිසා නොවේද? දේශපාලන අංශවල කතාබහට ලක්ව තිබෙන ආණ්ඩුවෙන් ඉවත් වන බව කියන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ඇත්තක් වුවත් බොරුවක් වුවත් එබඳු පුවත් මගින් රටට දෙන චිත්‍රය යහපත් නොවන බව ආණ්ඩුවේම ප්‍රධානීහු තේරුම් ගත යුතු වෙති. සම්මුති ආණ්ඩුවේ ගිවිසුම්ගත කාලසීමාව ඉකුත් වීමට ආසන්නව තිබියදීත් ආණ්ඩුව ඇතුළතම දෙගිඩියාවක් තිබේ නම් එය යහපත් නොවන බව අමුතුවෙන් පෙන්වා දිය යුතුද? විවේචකයන් මොන චෝදනා එල්ල කළත් බැඳුම්කර කොමිසම වැනි ප්‍රායෝගික හා අභීත ක්‍රියාදාමයන්ගෙන් දිස් වන්නේ ජනාධිපතිවරයාගේ දේශපාලන විචක්ෂණභාවයයි. එහෙත් මේ බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනා ලද අය සමඟ මේ ආණ්ඩුවේම සමහරුන්ගේ බැඳීම් හා මිත්‍රකම්ද රටම දන්නා දේවල්ය. කුමක් වුවත්, රාජපක්ෂවරුන් වේවා, බැඳුම්කර චූදිතයන් වේවා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමේ වාසිය ලැබෙන්නේද ආණ්ඩුවට නොව ඒකාබද්ධ විපක්ෂයට බවද සක්සුදක්සේ පැහැදිලිය.

අද මේ ආණ්ඩුව ඉදිරිපිට තිබෙන සයිටම් අර්බුදය, කුණු ප්‍රශ්නය, උමාඔය විරෝධය යන සියල්ලට උරදීමට මෙන්ම අපවාද ඇසීමට සිදු වන්නේද කාටත් වඩා ජනාධිපතිවරයාටය. ජනාධිපතිවරයාට අනුන්ගේ පවුවලට කරගැසීමටත්, ඒ වෙනුවෙන් අවලාද ඇසීමටත් සිදු වන වාතාවරණයක් තුළ ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපතිවරයාවත් පෙරට දමාගෙන දිනුම් කණුවට පියවරෙන් පියවර ළං වන බවද මේ සම්මුති ආණ්ඩුවේම හිඳගෙන ඇනුම්පද කියාගන්නා අය නොදනිත්ද?

දෙබිඩියාව

ජාතික සංහිඳියාව සහ සමගිය ගොඩනැගීම මෛත්‍රී-රනිල් සම්මුතියේ අංක එක බවට පත්ව තිබුණත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා සහාය ලබාදීමට දෙපක්ෂයේම අනුගාමිකයෝ කැප වී සිටිත්ද? මේ වන විට අලුත් ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රීලනිපය තුළ ඒකමතික බවක්ද නැත. ඇත්ත වශයෙන්ම මේ මොහොතේ ජනතාවට ව්‍යවස්ථා වෙනසක් පිළිබඳ උනන්දුවක් තිබේද යන්නත් ප්‍රශ්නයකි. ශ්‍රීලනිපයේ සමහරුන්ට අනුව අද ජනතාවට අවශ්‍ය නව ව්‍යවස්ථාවකට වඩා මේ මනාප ඡන්ද ක්‍රමයේ වෙනසකි. තම කොට්ඨාසය සඳහා මන්ත්‍රීවරයෙක් හඳුනාගැනීමට ඔවුන්ට වුවමනාය. සැබැවින්ම අලුත් ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව තුළ බියක් ඇති කිරීමට ඒකාබද්ධ විපක්ෂයට හැකි වී තිබෙන්නේද සාමාන්‍ය ජනතාවට ඊට වඩා ප්‍රමුඛ ප්‍රශ්න තිබෙන නිසාය.

1978 ජේආර්ගේ ව්‍යවස්ථාව යනු මේ රටේ බලයට පත් වූ ආණ්ඩුවල මෙන්ම ජනාධිපතිවරුන්ගේද නිර්දය විවේචනයට ලක් වූවකි. එජාපය කෙසේ වෙතත් ශ්‍රීලනිපය එකී ව්‍යවස්ථාවට හොඳට තඩිබෑ අයුරු රටම දනී. චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ආවේ ඒ ක්‍රමය වෙනස් කිරීමටය. එහෙත් රාජපක්ෂ මහතා කළේ එයට සංශෝධනයක් කර එම බලය දිගටම භුක්ති විඳීමට ක්‍රමයක් බැලීමය. මෛත්‍රී යනු එය වෙනස් කිරීමට සාධනීය පියවර ගත් එකම නායකයායි. කවුරුන් කෙසේ කීවත් 19 වැනි සංශෝධනය යථාර්ථයක් බවට පත් කරගැනීමට කැප වූයේද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාමය. ඔහු තමන්ට හිමි වූ බලයෙන් දිය හැකි හැම බලයම පාර්ලිමේන්තුවට දීමට නම්‍යශීලි විය. ජනමත විචාරණයකට නොගොස් විනා වෙනස් කළ නොහැකි බලය තමන් ළග රඳවාගැනීමට ඔහුට සිදු විය. නිදහස් රටක්, නිදහස් ජාතියක් ලෙස වසර 69ක් ගෙවී ගියත් අපට තවමත් අපගේ අවශ්‍යතා මත පදනම් වූ ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට නොහැකි විය. 1972 මෙන්ම 1978 ව්‍යවස්ථා හදාගත්තේද කිසිදු ජනතා විමසුමකින් තොරවය. එහෙත් ප්‍රථම වරට ජනතා අදහස් ගෙන ඒ අනුව ව්‍යවස්ථාවක් සැදීමට මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව පියවර ගත්තේය. මහජන අදහස් විමසීම් කමිටුව ඒ සඳහා මුල් විය. ජනතාවගෙන් ලබා ගත් අදහස් අනුව යෝජනා ඉදිරිපත් කිරීම විනා මෙතෙක් කිසිදු කෙටුම්පතක් හෝ සකසා නැති බවද මේ ෆෙඩරල් චෝදනා නඟන ඒකාබද්ධ විපක්ෂයද දනී. අනෙක දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන යන මහත්වරුද මේ කමිටුවල සිටින්නෝය. එපමණක් නොව, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ව්‍යවස්ථා සභාවක් ලෙස ක්‍රියා කිරීමට එකඟව සිටිති.

‘ලාම්පු-කළගෙඩි’ බෑ!

මේ නිසා හොර රහසේ මේ ව්‍යවස්ථාව හැදුවත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද සියල්ලෝ දනිති. ව්‍යවස්ථාව සඳහා අවශ්‍ය නම් ජනමත විචාරණයකට යා යුතුයැයි කියන අයද සිටිති. ඇත්ත වශයෙන්ම ‘ලාම්පු-කළගෙඩි’ සෙල්ලම ලෙස එදා හැඳින්වූ වර්ගයේ ජනමත විචාරණයක් පැවැත්වීමට අද අවකාශයක්ද නැත. එනිසා ශ්‍රීලනිපය හෝ එජාපය හෝ වෙනත් ඕනෑම පක්ෂයකට, සංවිධානයකට ජනමත විචාරණයේදී ජනතාව දැනුවත් කිරීමටද බාධාවක් නැත.

රාජ්‍ය නොවන සංවිධානවල ඇතැම් චරිත මෙන්ම ගරාවැටුණු මාක්ස්වාදී චරිත නිසාද සාමාන්‍ය ජනතාව අලුත් ව්‍යවස්ථාව ගැන සැක කිරීමද තේරුම් ගත හැකිය. එහෙත් ඒ කිසිවකුට මහජන මතය බලයෙන් ගත නොහැකිය. ඒ සමගම තවත් දෙයක්ද කිව යුතුය. අද අඳුරේ අතපත ගාන්නාක් මෙන් අපේ ඇතැම් ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා මෙයට විරෝධය දක්වති. එහෙත් 1978 ව්‍යවස්ථාවට එරෙහිව සංඝරත්නය ක්‍රියා කර තිබේද? මහින්ද රාජපක්ෂ 18 වැනි සංශෝධනය ගෙන ආ විට විරෝධය දැක්වූයේද? නැත. එසේ නම් දැන් කෙටුම්පතක් වත් නැතිව හිතෙන් මවාගත් ව්‍යවස්ථාවකට නොවේද මේ විරෝධය දක්වන්නේ?

සංවේදී 'නිල'

අස්ගිරි පාර්ශ්වයේ හිමිවරුන් හා ආණ්ඩුවේ සමහරුන් අතර මේ උද්ගතව තිබෙන අර්බුදයද මෙම ව්‍යවස්ථා විරෝධය නිසා සිදු වන දෙයක් බව සමහරු කියති. විහාර, පූජනීය ස්ථාන සඟරුවන සතු සාංඝික දේපළකි. ඒවා සම්බන්ධ කරුණුවලදී මහනාහිමිවරුන් හමු වී අවසර ගෙන කටයුතු කිරීම බෞද්ධ නායකයන්ට මදි පුංචිකමක් නොවේ. රාජ්‍ය නොවන සංවිධානවල සමහරු භික්ෂූන් වහන්සේලාට ගරු නොකරති; අවමන් කරති; සීලය ගැන විමසති. එහෙත් ඒ එකක් වත් ප්‍රශ්න කිරීමට ගිහි අපට බලයක් නැති බව පොදු සම්මතයකි. එහෙත් නීති විරෝධී දෙයක් සිදු කළ හොත් නීතිය ක්‍රියාත්මක කළ හැකිය. අද ඇතැම් ස්වාමීන් වහන්සේලා ශාසනික සේවයට වඩා දේශපාලන ක්‍රියාවලට අනුබල දෙති. ඇතැම් විහාරස්ථානවලට ලැබෙන ආදයම් ගැන ප්‍රශ්නද තිබේ. මේ පිළිබඳ පන්සල හා සංඝ සමාජය විවේචනය කරන හාමුදුරුවරුද සිටිති. කෝටි ගණනින් මුදල් උපයමින් විහාරස්ථානය හෝ දියුණු නොකරන බවද කියති. පන්සල්වල පින්කැට මහජන මුදල් හා බැතිමතුන් නොවන අයගේ මුදල්ද එක්වු ආදායමක් නම් ඒවා මහානාහිමිවරුන්ගේ එකඟතාව මත සොයා බැලීම නිගරුවක් නොවේ.

රාජ්‍ය පාලනයට සඟරුවනේ අවවාද ආශීර්වාද ගැනීම අතීත රජ දවසේ සිට එන සම්ප්‍රදායක්ද වේ. එසේම මහාවිහාරය විනාශ කළ අවස්ථා ගැනද ඉතිහාසයේ එයි. දේශපාලනය කරන බෞද්ධ, අබෞද්ධ සියලු නායකයෝ අද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමටද යති. ඒ චිරාගත සම්ප්‍රදාය රැකීමටය. මේ නිසා බුදුදහමට හිමිව තිබෙන තත්ත්වය වෙනස් කිරීමක්ද කිසිවිටෙක සිදු නොවේ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ පිළිබඳව සහතික කර කියා සිටිති. ආගම පෞද්ගලික නිදහසකි. ආණ්ඩුක්‍රමය මගින් එය සුරක්ෂිත කළ යුතුද යන ප්‍රශ්නය සමහරුන් නඟන්නේද එනිසාය. එහෙත් මෙතෙක් ලබා දුන් ඒ අයිතියට අත නොතැබීම වඩාත් යෝග්‍යද බව ඒවා ආණ්ඩුවට යෝජනා කරන අය වටහාගත යුතුය.

ආණ්ඩුක්‍රමයක් යනු රටක වැදගත්ම හා ගම්භීර ලියවිල්ලකි. ඇමෙරිකානු ජනාධිපතිවරයකුව සිටි ඒබ්‍රහම් ලින්කන් කී පරිදිම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් යනු ජනතාව විසින්ම ජනතාව වෙනුවෙන් නිර්මාණය කර ක්‍රියාත්මක කෙරෙන ජනතාවගේ දෙයකි. කිසිම ව්‍යවස්ථාවක් දේවභාෂිතයක් ලෙසද හැඳින්විය නොහැකිය. 21 වන සියවසට ගැළපෙන පරිදි විශේෂයෙන් ජන අභිලාෂයන් පිළිබිඹු වන පරිදි ව්‍යවස්ථාවක් තිබීම වරදක්, අපරාධයක් නොවේ. මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වූවකි. හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය මෙහිදී ආණ්ඩුවට සහාය නොදුන්නත්, රට වෙනුවෙන් තම වගකීම ඉටු කර නැත. ව්‍යවස්ථාව පිළිබද උපන් ගෙයි විරෝධය වෙනුවට එහි එන සාධනීය යෝජනා ගැන ඔවුහුද එකඟ විය යුතු නොවෙත්ද?

මැදිහත්බවක අඩුව

රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට කෙස් පැළෙන තර්ක නඟන සමහරුන් කියන්නේ ලක්ෂ 62ක ජනමතයට පිටුපෑම වරදක් බවකි. එහෙත් ජනාධිපතිවරයකු පත්වු පසු ඔහු මුළු රටේම ජනාධිපති ලෙස සාමාන්‍ය ජනතාවද පිළිගනී. එහෙත් මේ විදග්ධ තර්කවලින්ද හැදෙන්නේ අවුල්ය. අද මේ ආණ්ඩුවට අවුල්වලින් අඩුවක් නැත. පවුල් ආණ්ඩුව වෙනුවට අවුල් ආණ්ඩුවක් ලැබී ඇතැයි කිව නොහැකි වුවද එහි කිසියම් සත්‍යතාවක් ගෑවී හෝ තිබේ. ග්‍රීක දාර්ශනික සොක්‍රටීස් වරක් ප්‍රකාශ කළේ ඔහු දාර්ශනිකයකු හා බුද්ධිමතකු වූයේ තමන් නොදන්නා බව දැන සිටි නිසා බවය. එහෙත් අපේ බොහෝ දේශපාලනඥයෝ තමන් නොදන්නා බව නොදනිති. තමන් පිළිබඳ අධි-තක්සේරුව නිසා අද දේශපාලනය අවුල් ජාලයක් බවට පත් කරන අය සිටිති.

දරදඬුකම්වල හානිය

අද ආණ්ඩුවට අභියෝගයක් වී තිබෙන සයිටම් ප්‍රශ්නය මේ සා දුරදිග ගියේ විශ්වවිද්‍යාලයවල ශිෂ්‍යයන් පිළිබඳ මේ ආණ්ඩුවේම ඇතැම් අය දරන දරදඬු ආකල්ප නිසාය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටද දේශපාලන අයිතියක් තිබේ. ඔවුන්ගේ මතවාද අරගල සියල්ල නිවැරදිද නොවේ. එහෙත් මේ බුද්ධිමත් සිසුන්ට අවමන් කළ යුතු නැත. හැම දේශපාලන පක්ෂයක්ම ශිෂ්‍යයන් බිලීබාගෙන සිටින බවද රහසක් නොවේ. එනිසා විශ්වවිද්‍යායල අර්බුදවලට පාලකයන්, ශිෂ්‍යයන් මෙන්ම විශ්වවිද්‍යාල පාලකයෝද වගකිව යුතු වෙති.

අද බොහෝ ක්ෂේත්‍රවල අලුත් ප්‍රශ්න හදන අය මෙන්ම ඒවාට ආණ්ඩුවද පටලවාගෙන විනෝද වන පිරිසක්ද සිටී. පසුගිය දිනවල සූරියවැව කම්කරුවන්ගේ කලිසම් ගැලවූ මහදැනමුත්තන් ගැන කිව යුත්තේ කුමක්ද? ඒ මුග්ධ ක්‍රියාව පින්තූර සමඟ මාධ්‍යද පළ විය. ක්‍රිකට් සභාපතිවරයා බුද්ධිමත්ව එයට මැදිහත්වවී සමාව ගැනීම නිසා ප්‍රශ්නය යටපත් විය. එහෙත් ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය කීවේ කුමක්ද? “දැන් පේනවනේ අර ගමේ අහිංසක තරුණයන්ගේ කලිසමුත් ගලෝගත්තනේ. ඔහොම තමයි. ඒවා හොඳයි නෙ!” යනුවෙනි.

මේ නිසා ප්‍රශ්න හදන, අර්බුද මවන හා ගින්දර තියන අය ගැන මේ සම්මුති ආණ්ඩුවේ නායකයෝ මෙන්ම ජ්‍යෙෂ්ඨයෝද දැඩි අවධානය යොමු කළ යුතු වෙති. මේ ආණ්ඩුවේ ගමන ඇදයක් හා ජනතාවට වධයක් බව කීමට තරම් මේ වන විට හිටපු ජනාධිපතිවරයාට, ඔහුගේ සමීපතමයන්ට මෙන්ම ඒකාබද්ධ විපක්ෂයටද හැකි වී තිබේ. ඒවා ගැන අවධානය යොමු නොකළ හොත් එයම හෙට දවසේ විනාශයකට මුල් වනු ඇත. ජාතිවාදයත්, ආගම්වාදයත් මේ ආණ්ඩුව ප්‍රබල කරන ගිනි බෝම්බ ලෙස යළිත් එල්ල වන්නේද මේ පසුබිමේය.

සුමේධ ජයබාහු 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.