තම වරිගයේ අතිදුර්ජන වැඩවර්ජන ගැන කාලෝගේ මනරංජන ප්‍රකාශය | සිළුමිණ

තම වරිගයේ අතිදුර්ජන වැඩවර්ජන ගැන කාලෝගේ මනරංජන ප්‍රකාශය

 “මම මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. වාමාංශිකයෙක් ලෙස මේ රටේ වැඩකරන පන්තියේ වුවමනාවන් හා අත්පත් කරගත යුතු ජයග්‍රහණයන් පිළිබඳව මා තුළ දැඩි හැඟීමක් තිබෙනවා. ඒ අනුව වැඩවර්ජනය කිරීමේ අයිතිය වෙනුවෙන් මා නිතැනින්ම පෙනී සිටිනවා. මේ රටේ අව වරප්‍රසාදිත කම්කරු ජනතාව තමන්ට හිමිවිය යුතු වරප්‍රසාද හා අයිතීන් දිනාගැනීම සඳහා වැඩවර්ජනය අවියක් ලෙස යොදාගෙන ද තිබෙනවා. හෙන්රි ජයසේන නාට්‍යවේදියාගේ එක් සුප්‍රකට නාට්‍යයක් වූ පරිදි ඒවා මනරංජන වැඩවර්ජන ය. ඒ අනුව වරප්‍රසාදයන් අහිමිකර ඇති කම්කරු ජනතාව තම අයිතීන් වෙනුවෙන් වැඩවර්ජනය කරද්දි එය මට මනරංජනිය යි. ඒවා මනරංජන වැඩවර්ජන ලෙස මම හඳුන්වමි”.

”එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වෛද්‍යවරු යනු වරප්‍රසාදිත පිරිසකි. අධ්‍යාපනයෙන් ද වෘත්තීය ගුණාත්මකභාවයෙන් ද වැටුප් හා අනෙකුත් පහසුකම් සැලකීමේ දී ද වෛද්‍යවරුන් යනු වරප්‍රසාද බහුල පිරිසකි. ඒ නිසා වරප්‍රසාද අහිමි ලෝක කම්කරු ප්‍රජාවට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට ද ඇතැයි මම විශ්වාස නොකරමි. ඒ නිසා වෛද්‍යවරුන් කරන වැඩවර්ජන මට මනරංජන වැඩවර්ජන නොවේ. මා ඒවා හඳුන්වන්නේ අතිදුර්ජන වැඩවර්ජන ලෙසටය”.

එම අදහස මේ රටේ සුප්‍රකට දේශපාලන හා සමාජ විචාරකයෙකුගේ ය, කවියකු ද, ගීත රචකයකු ද වන සාහිත්‍යකරුවෙකුගේ ය. එපමණක් ද නොවෙ මේ රටේ වෛද්‍යවරයෙකුගේ ය. මෑත භාගයේ සමාජ දේශපාලන ක්ෂේත්‍රයන්හි මහත් අවධානයකට යොමුවූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ය. වෛද්‍යවරුන් විසින් සිදුකරන වැඩවර්ජන තමන්ට කිසිදාක මනරංජන නොවූ බවත් ඒවා සෑමවිටම අතිදුර්ජන වැඩවර්ජන වූ බවත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ද ඇතුළු එහි ප්‍රමුඛ නිලධාරීන් බොහෝ දෙනකු ඉදිරිපිටදි ය. ඒ මේ රටේ වෘත්තීය ප්‍රජාව ද ඇතුළු විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රජාවට සිතන්නට තවත් බොහෝ දේ ඉතිරි කරමින්ය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරීන් අලූත්ගේ යන මහත්වරුන් ද ඇතුළුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රමුඛ පිරිසක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවීම සඳහා ඔහුගේ නිවසට ගොස් ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරෙන් ඉවත් කළහොත් තම සංගමය වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඔහු වෙත දැනුම් දෙන්නටත් ය. වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයක් ලෙස නිසැකවම අදහස් කරන ලද්දේ අඛණ්ඩ වැඩවර්ජනයක් පිළිබඳව ය. වෛද්‍යවරයකු සිදුකරන වැඩ වර්ජන කිසිසේත්ම තමන්ට මනරංජන නොවන බවත් ඒවා නිසැකවම අතිදුර්ජන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ එතැනදීය.

එපමණක්ද නොවේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙතට හැරෙමින් වැඳ වැටෙමින් කියා ඇත්තේ ‘මේ දේ කියන්නේ දන්නා සිංහලෙන් ‘ බවය. ‘මෙන්න වැන්දා, වැඩවර්ජනයකට නම් යන්න එපා‘ යන්නය. එසේ කරනවාට වඩා එතැනදීම ඔහුගේ බෙල්ල කපා දමන ලෙසට ය.

මෙහි දී මතුවන ප්‍රශ්නයක් තිබේ. එනම් මෑත යුගයේ වැඩවර්ජන වැඩිම ප්‍රමාණයක් සිදුකර ඇති, ඇතැම් විටෙක ලෝක වාර්තාවක් පවා වියහැකි වාර්තාවකට හිමිකම් කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ඉල්ලීම කෙසේ පිළිගනීද යන්නය. අඩුම වශයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයාට ඇහුම්කන් දේ ද යන්නය. සාමාන්‍ය සමාජය තුළ ජීවත් වන අය ලෙස මෙහි දී අපට හැඟෙන්නේ මහාචාර්යවරයා විසින් මතුකර ඇති අදහස පිළිබඳව මුළුමහත් සමාජයම ගැඹුරින් සිතාබැලිය යුතු බවය. මක්නිසාද යත් එක් අතකින් ඔහු දැනුවත් සමාජවාදියෙක් ලෙස කම්කරු පන්තියේ ස්වභාවය මෙන්ම ඔවුන් දිනාගත යුතුව ඇති අයිතිවාසිකම් පිළිබඳව ද මනා දැනුවත්භාවයකින් යුත් අයෙකි. ඒ නිසා කම්කරු පන්තියට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතියට මහාචාර්යවරයා අතිශයින්ම පක්ෂපාතීය. කම්කරු පන්තිය සිය අයිතීන් උදෙසා වැඩ වර්ජනයකට පිවිසෙන විට ඔහුගේ මනස රංජනය කරන්නේ ඒ නිසාය. ඒ සමගම ඔහු මේ රටේ ප්‍රකට වෛද්‍යවරයෙක් ද වන්නේය. වෛද්‍යවරයෙක් පමණක් නොව වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ද වේ. ඒ සියල්ලටම අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඉමහත් පිළිගැනීමට හා ඇගයීමකට ලක්කරමින් සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා ද වන්නේය. ඒ නිසා අප බොහෝ දෙනෙකුට වඩා වෛද්‍යවරයෙකුගේ ඇසින් වැඩ වර්ජන පිළිබඳව බලන්නට දකින්නට ඔහුට හැකියාවක් තිබේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍යවරුන්ගේ වැඩවර්ජන පිළිබඳව ඔහුගේ අදහස් විවෘතවම ප්‍රකාශ කර ඇත්තේ ඒ සියලූ මානයන් තුලනය කරමින් විය යුතුය. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන ගැන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පළ කර ඇති අදහස් ද මේ හා සමානය. මහාචාර්ය තිස්ස විතාරණ මහතා යනු ශ්‍රී ලංකාවේ පැරණිතම වාමාංශික දේශපාලන පක්ෂය ලෙස සැලකිය හැකි ලංකා සම සමාජ පක්ෂයේ වර්තමාන නායකයා ය. ඝෘජුවම වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ නැතත් විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ප්‍රමුඛ උගතෙකු ද විශ්වවිද්‍යාල මාහාචාර්යවරයකු ද වන තිස්ස විතාරණ මහතා දේශපාලන වශයෙන් අද නියෝජනය කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයට හිතවත් ස්ථාවරය වීමද මෙහි දී සැලකිල්ලට ගැනීම වැදගත්ය.

ඒ කෙසේ වෙතත් ඔහු නායකත්වය දෙනු ලබන ලංකා සම සමාජ පක්ෂය මේ රටේ කම්කරු ව්‍යාපාරයට සිදුකර ඇති දැවැන්ත බලපෑම අනුවද කම්කරු සටන් ඉතිහාසය තුළ වැඩ වර්ජනවලට ලබා දී ඇති දැවැන්ත නායකත්වය තුළද වෛද්‍යවරුන් සිදුකරන වැඩවර්ජන පිළිබ'දව ඔහු දක්වා ඇති ආකල්පය මුළු මහත් සමාජයේම අවධානයට ලක්විය යුතුය. ලංකා සම සමාජ පක්ෂයේ නායකයා ලෙස පසුගියදා අදහස් දක්වා ඇති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවධාරණය කර ඇත්තේ වෘත්තීය සටන් මාර්ගයක් ලෙස වෛද්‍යවරුන් වැඩවර්ජනවලට යොමුවීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවය. ඔහුට අනුව වෛද්‍යවරයා කැපවී සිටින්නේ සමාජයේ අසරණ තත්ත්වයකට ඇදවැටී සිටින මිනිසා ප්‍රජාවකගේ යහපත වෙනුවෙන් බැවින් එවැනි පිරිසක් පරදුවට තබා සිදුකරන වෘත්තීය සටනක් කිසිසේත්ම මානුෂික නොවන්නාක් මෙන්ම යුක්ති සහගත ද නොවන්නේය. ඒ අනුව මොනතරම් බැරූරුම් අවස්ථාවක දී වුවද වෛද්‍යවරුන් සටන් කළ යුත්තේ තමන්ට වඩා අසරණ භාවයට පත්ව සිටින රෝගීන් පරදුවට නොතබමිනි. සංකේත වශයෙන් සිදුකරන වැඩවර්ජනයකින් ඔබ්බට ගොස් වෛද්‍යවරුන් සිදුකරන ඕනෑම වැඩවර්ජනයක් තමන් අනුමත නොකරන බව ද තිස්ස විතාරණ මහතා එහි දී ඉතා පැහැදිළි ලෙසම සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා මෙන්ම ලංකා සම සමාජ පක්ෂයේ වර්තමාන නායකයා ද පළ කර ඇති මෙම අදහස්වල පොදු සාමානත්වයක් ඇතිවා පමණක් නොව එහි ගැඹුරු අරුතක් ද ගැබ් වී තිබේ. මේ රටේ කම්කරු පංතිය විසින් සිදුකළ ඒකාබද්ධ දැවැන්ත වැඩවර්ජනයන්හි පවා වෛද්‍යවරුන් ඊට සම්බන්ධකර නොගත්තේ ඒ නිසාය. 1980 මහා වැඩවර්ජනය තුළ දී ද ඔවුන් එම පිළිවෙතින් මිදුනේ නැත.

මේ රටේ වෛද්‍ය ප්‍රජාව ද එම තත්ත්වය අවබෝධ කරගෙන තිබූ බවක් ද එහි දී පෙනෙන්නට තිබේ. එනම් අතීතයේ යම් යම් අවස්ථාවල වෛද්‍යවරුන් සංකේත වශයෙන් හා ඇතැම්විට පොදු වර්ජන ක්‍රියාවලින්ට පිවිසී ඇති අවස්ථාවන් තුළ පවා රටේ අනෙකුත් පොදු වෘත්තීය සමිති ඒ හා ඒකාබද්ධ කර ගනිමින් වර්ජන සිදු කරන්නට උත්සාහ නොකිරීම ඒ සඳහා දැක්විය හැකි උදාහරණ වන්නේය. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇති අදහස් ද ඉතා පැහැදිළිය. එනම් වෛද්‍ය වෘත්තීය සමිති දියත් කරන වෘත්තීය අරගලයක දී රටේ අනෙකුත් ක්ෂේත්‍ර නියෝජන කරන වෘත්තීය සමිති සම්බන්ධ කරගතහොත් ඔවුන්ගේ වෘත්තීය සටන්වල දී ද එක්ව පෙනී සිටීමට සිදුවීම නිසාය. එය පංතිමය වශයෙන් තබා ගන්නා දුරස්වීමක් හෝ කම්කරු පංති සටන් අවතක්සේරු කිරීමක් ලෙස හෝ සැලකිය යුතු නොවේ.

පොදු සටන් ක්‍රියාමාර්ග තුළ රෝගින්ගේ ජීවිත අවදානමකට ලක් නොකිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් ලෙසට එය සැලකිය හැකිය. අනෙක් අතට දෙපාර්ශවයම ඇති කරගෙන තිබූ නිහඬ එකඟතාවයක් ලෙසට ද එම තත්ත්වය සැලකිය හැකි වේ.

එහෙත් පසුගියදා පැවැති වෛද්‍ය වැඩ වර්ජන තුළ දක්නට තිබුණේ එවැනි තත්ත්වයක් නොවේ. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ සටන් පාඨ පිටුපස හිඳිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩ වර්ජන සඳහා පෙළඹීම තුළ ඒ බව පැහැදිළි වේ. මෙය ලෝකයේ කිසිදු රටක දක්නට නොමැති තත්ත්වයකි.

දැන් ප්‍රශ්නය වන්නේ මේ රටේ ඉපැරණිම සටන්කාමී වාමාංශික පක්ෂයේ නායකයා මෙන් හෝ ප්‍රතිපත්තිමය වශයෙන් වෘත්තීය සමිති සටන් තුළ සිදු කෙරෙන වැඩවර්ජන පිළිගන්නා පරිනත වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයා මෙන් තුලනාත්මක ඇසකින් මේ ප්‍රශ්නය දෙස බලන්නට ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට නොහැකි වී ඇත්තේ ඇයිද යන්නය. වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දෑස් පමණක් නොව දෙඅත් ද බැඳ දමා ඇති එකිනෙකට පරස්පර දේශපාලන බලවේග දෙකක් එහි දී පැහැදිළිව හඳුනාගත හැකි වන අතර ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදෙන තෙක් වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට තුලනාත්මකව මේ ප්‍රතිපත්තමය ප්‍රශ්නය දෙස බැලිය නොහැකි බව අප අවබෝධකරගත යුතුය.

සමාජයක් ලෙස අප කළයුත්තේ ඒ සඳහා වන ඥානය පහළ වේවා යි ප්‍රාර්ථනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ ද තවදුරටත් මේ පිළිබඳ සංවාදයක නිරත වීමය. ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පළ කර ඇති අදහස් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අදහස් ද ඒ සඳහා පුර්විකාවක් කරගත හැකිය. ඒ සඳහා පෙරමුණගත යුත්තේ යහපත් වෛද්‍යවරුන් ය.

සුනිල් ජයසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.