දෙවන කුමාරි

ඉස්කෝලෙ යන කාලෙ මමත් පොතක් ලියන්න ආසාවෙන් හිටියා

කටුනායක ගුවන් තොටුපළේ සිට පැමිණි කුලී රිය අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ට වූ මොහොතේ සිට ඉක්මනින් නිවසට යාමට ෆියෝනා තුළ වූයේ පුදුමාකාර නොඉවසිල්ලකි. ඉන්දියාවේ පුරාණ බ්‍රාහ්මණ සමාජය පිළිබඳව මාස කීපයක් පුරා ගොනු කර ගත් තොරතුරු ඉක්මනින් අකුරු කිරීමට ඇති ආශාව කියා නිම කළ නොහැකි තරම්ය. නිවසෙහි උඩුමහලේ තම ලේඛණ කටයුතු සඳහා වෙන් වූ කාමරයේ පරිගණකය අසල වාඩි වී දවසින් වැඩි කාලයක් ලිවීම සඳහා ගත කරන ආකාරය කල්කටාවේ සුභාෂ් චන්ද්‍රබෝස් ගුවන් තොටුපළෙන් පිටත් වූ මොහොතේසිටම ඇය මනසින් දුටුවාය. හැකි ඉක්මනින් නිවස බලා යාමට වුවමනාව ඇතත්, අධිවේගී මාර්ගය නිමා වූ පසු මහා මාර්ගයෙහි වාහන තදබදය නිසා ගමන සිතන තරමට පහසු එකක් නොවන බව ද ඇය දැන සිටියාය.

“කාර් එකෙන් ගමන් යන එක එපා වෙනවා අප්පා. සල්ලි ටිකක් හම්බ කර ගත්ත ගමන් හැම එකාම වාහන ගන්නවා. පාරට දාගත්තට පස්සෙ විනාඩි පහළොවේ ගමනක් යන්න පැයක් යනවා.”

අසාර් සමග ගමනක් යද්දී මාර්ග තදබදය පිළිබඳව ඔහු වුවමනාවටත් වඩා කිපෙයි. ඔහු සුක්කානමට දෑතින්ම ගසන්නේ කෝපය ඉහවහා ගිය විටය. අසාර්ගේ කෝපය පිළිබඳව ෆියෝනාට කළ හැකි වන්නේ සුපුරුදු ලෙස සිනාසීම පමණි.

“හැම එකටම විරිත්තනවා. වෙලාවක තමුසෙම ඩ්‍රයිව් කරනවකො බලන්න. එතකොට තේරේවි.”

ෆියෝනාගේ සිනාව නොරුස්සන අසාර් පවසන්නේ තරහෙනි.

“මම ඔයා වගේ ඕන එකටයි එපා එකටයි හැමදේටම තරහ ගන්නෙ නෑ. එතකොට ලේ අපිරිසුදු වෙනවා.”

“මගේ ලේ අපිරිසුදු වෙච්චිදෙන්. කුමාරිහාමිලා හිතාගෙන ඉන්නෙ අන්තිම පිරිසුදු ලේ තියෙන්නෙ කුමාරිහාමිලාට විතරයි කියලනෙ.”

සෑම සිත් නොහොඳ වීමකදීම අවසානයේ අසාර් ඇගේ උඩරට වලව් පෙලැන්තිය ගර්හාවට ලක් කරන්නට පුරුදුව සිටියි.අසාර් සිහියට නැගීම නිසා ෆියෝනා තුළ මෙතෙක් පැවති සන්සුන් ස්වභාවය දුරු වූවාක් මෙන් දැනිණ.

ලංකාවට පැමිණෙන බව දැන්වීම සඳහා ඔහුට දුරකතන ඇමතුම් ගැනීමට තැත් කළ සෑම අවස්ථාවකදීම ඔහුගේ ජංගම දුරකතනය මෙන්ම නිවසේ දුරකතනය ද ක්‍රියා විරහිතව පැවතිණ. ඔහුට අවසන් වරට දුරකතන ඇමතීමක් ලබාගත්තේ පසුගිය සඳුදා ය. දිනපතාම දුරකතනයෙන් අඩ හෝරාවක් පමණ පිළිසඳරෙහි යෙදෙන අසාර් සතියක කාලයකසිට නිහඬව සිටින්නේ මන්දැයි යන කුකුස ෆියෝනා නොසන්සුන් කිරීමට සමත් විය.

“අසාර්ට අසනීපයක්ද? එහෙමත් නැත්නම් වෙනත් කරදරයක්ද?”

ඇය තමාටම පවසා ගත්තාය. ඇතැම් විට අසාර් සිය උපන්ගම වූ මහනුවර ‘අකුරණ’ ට යන්නට ඇත. සිය පියා සතු බිස්කට් නිෂ්පාදන ආයතනයෙහි කොටස්කරුවකු වූ අසාර් මසකට වරක් දෙවරක් අකුරණ යාමට පුරුදු වී සිටියි.ඔහු සිය මව, පියා හා සොහොයුරන් කෙරෙහි ඇති බැඳීම තමාට ඇති බැඳීමට ද වඩා වැඩි යයි ෆියෝනාට සිතුණු වාරයන් අනන්තය. තමා තවත් සති දෙකකින් පමණ ලංකාවට පැමිණෙන බව පසුගිය සතියේ දුරකතනයෙන් ඇමතූ

අවස්ථාවේ අසාර් හා පැවසූ බව යන්තමින් මතකයෙහි රැඳී තිබේ. එහෙත් තම කටයුතු කලින් අවසන් වූයෙන් හදිසියේම පැමිණීමට සිතා අසාර්ට ඒ බව දන්වන්නට කතා කළ ද ඔහුගේ දුරකතනය එදා සිටම ක්‍රියා විරහිත ය.

“මට චණ්ඩිකම් කළාට අසාර් උම්මට බයයි. ගෙදර ගිහින් නම් මං ලංකාවෙන් පිට ගිය බව උම්මා දැනගනීවි කියලා බයට ෆෝන් එක ඕෆ් කරගෙන ඇති.”

ෆියෝනා තම සිත හදාගන්නට තැත් කළාය.

“පේනවද මිස්? පහුගිය සති දෙකතුනේ වැස්සට ගලපු ගංවතුර තවම බැහැලා ගිහින් නෑ.”

මැදිවියේ පසුවන රියැදුරා පැවසුවේය. ෆියෝනා වටපිට බැලුවාය. අධිවේගී මාර්ගය දෙපස වූ කුඹුරු හා නිවාස තවමත් ජලයෙන් යට වී ඇති බව ඇයට පෙනිණ. පසුගිය දිනවල ලංකාවේ ප්‍රදේශ ගණනාවකටම ගංවතුරෙන් සිදුවූ හානිය ඉන්දියාවේදී ද රූපවාහිනී පුවත් තුළින් දුටු බව ඇයට සිහියට නැගිණ.

“මෙහෙම වහින්න ගියොත් ඉවරයි. කලුතර පැත්තෙ අපේ නෑදෑ කෙනෙක්ගෙ ගෙදර ගංවතුරට සම්පූර්ණයෙන්ම යට වුණා.”

“මොකද ඉතින් කරේ?”

රියැදුරා පවසන වදන් වලට නිහඬව සිටීම අනුචිත යි සිතුණු බැවින් ෆියෝනා පැවසුවාය.

“ඉස්කෝලෙයි, පන්සලෙයි මිනිස්සුන්ට ඉන්න සිද්ද වුණා. නෑදෑ කෙනෙක් කිව්වට වෙන කවුරුවත් නෙමෙයි.අපේ වයිෆ්ගෙ අක්කගෙ පවුල. යන්තම් වතුර අඩුවේගෙන එද්දි අපේ වයිෆ් ගිහින් ඒ කට්ටියම අපේ ගෙදරට එක්කගෙන ආවා. දැන් ඉතින් අපේ ගෙදරත් හරියට ගංවතුරට අහුවුනා වගේ තමයි.”

“ඒ කිව්වෙ?”

ෆියෝනා කුතුහලයෙන් රියැදුරාගේ මුහුණ දෙස බැලුවාය.

“දන්නෙ නැද්ද මිස් ? අක්කයි, අක්කගෙ මහත්තයයි, ළමයි තුන්දෙනයි. අපේ ළමයි තුන්දෙනයි තාමත් ඉන්නෙ මගේ ගෙදර. දැන් මගේ ගෙදර මං ඉන්නෙ පිට කෙනෙක් වගෙයි.”

ෆියෝනා මඳ සිනාවක් මුවගට නගා ගත්තාය. කුලී රථ රියැදුරකු වශයෙන් ඔහු විශාල මාසික ආදායමක් ලබනවාවිය නොහැකිය. නිවසේ සාමාජිකයින්ට අමතරව තවත් කිහිප දෙනකු නිවසේ සිටියදී වියදම දෙගුණ තෙගුණ වීම ඇතැම් විට ඔහුට දරා ගැනීම පවා අපහසු වන්නට ඇත.

“ජීවත් වෙන එක ලොකු සටනක් මිස්. මිස්ලට ඔව්වා තේරෙන්නෙ නෑ.”

රියැදුරා ඇසෙන නෑසෙන හඬින් පැවසුවේය. ඔහු පැවසූ වදන් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තමා කිසිදු දුකක් නොහඳුනන අයෙකැයි රියැදුරා සිතනු විය හැකිය.

“මිස් ලංකාවෙන් ගිහින් කොච්චර කල්ද?”

“මාස තුනයි.”

“මාස තුනයි? ඇමෙරිකා වෙන්න ඇති?”

“නෑ ඉන්දියාවට.”

රථයේ වේගය මඳක් බාල කළ රියැදුරා තම මුහුණ දෙස උනන්දුවෙන් බලන අයුරු ෆියෝනා දුටුවාය.

“මම පොත් ලියන කෙනෙක්. අලුත් පොතක් ලියන්න තොරතුරු එකතු කරගන්න ඉන්දියාවට ගියා.”

“හැබෑට?”

රියැදුරාගේ දෙනෙත් දීප්තිමත් විය.

“වාසනාවයි. කොච්චර දෙයක්ද? ඉස්කෝලෙ යන කාලෙ නම් මමත් පොතක් ලියන්න ආසාවෙන් හිටියා. ඒත් එක එක ප්‍රශ්න නිසා ඒකට බාලගිරි දෝසෙ. තවමත් ලියන්න හිටිය පොතේ එක අකුරක්වත් ලියා ගන්න බැරි වුණාමිස්.”

ෆියෝනා මඳ සිනා පෑවාය. රියැදුරා සංවේදී සිතැත්තෙක් වන්නට ඇතැයි ඇයට සිතිණ.

“මිස්ට නිදිමත පාටයි. නිදිමතනම් නිදා ගන්න. මං නුගේගොඩට කිට්ටු වෙනකොට කතා කරන්නම්.”

“බොහොම ස්තුතියි.”

නිදිමතක් නොදැනුන ද, ෆියෝනා දෙනෙත් පියා ගත්තාය. සාමාන්‍යයෙන් කතා බහට එතරම් ප්‍රිය නොකරන ඇය රියැදුරා හා දීර්ඝ කතා බහට එතරම් කැමැත්තක් නොදැක්වූයෙන් මෙලෙස දෑස් පියාගෙන සිටීමට අවස්ථාව ලැබීමත් කෙතරම් දෙයක්දැයි ඇයට සිතිණ.ෆියෝනාට අම්මා සිහියට නැගිණ. පොතක් ලිවීම සඳහා කරුණු එකතු කර ගැනීමට ඉන්දියාවට ගිය පුවත දැනගත්තේ නම් ඇය කුමක් පවසනු ඇත්ද?

“පොත් ලියන්න කරුණු හොයන්න කියලා ගිහින් එක දේක පැටලුණා. දැන් තව මොකකික් මොකක් කරගන්නද හදන්නෙ චූටි කුමාරි?” යි ඇය අසනු නියතය.

 

ලබන සතියට.....

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.