නළු­වෙක් වෙන්නැයි කළ අභි­යෝ­ගය ජය ගත්තා | සිළුමිණ

නළු­වෙක් වෙන්නැයි කළ අභි­යෝ­ගය ජය ගත්තා

මෙරට හාස්‍ය රංගන ශිල්පීන් සිටිනුයේ බොහොම අතළොස්සකි. ඒ අතරින් වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන කලා මාධ්‍ය තුනටම එකලෙස දස්කම් දක්වන කලා ශිල්පියෙකු ලෙස රොඩ්නි වර්ණකුලට හිමිවනුයේ ඉහළම ස්ථානයකි.වර්තමානයේ කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි රොඩ්නි මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක් වී ගෙවුණු මතකයන් අවදි කළේ මෙසේයි.

• ගමටම ‍සින්දු බෙදා හැරියා

මගේ ගම ජා-ඇළ බෝපිටිය. අම්මා, තාත්තා, අක්කලා දෙදෙනකු හා මල්ලිලා දෙදෙනකුත්, නංගිත් අපේ පවුලේ සාමාජිකයන්. මම පවුලේ වැඩිමලා නිසාවෙන් පොඩිකාලෙ පටන්ම පවුලේ වගකීම් දරන්නත් සිදුවුණා. තාත්ත ටීටර් රඟපානවා. මඟුල් තුලාවල සිංදු කියනවා, සර්පිනා ගහනවා, ඒක තමයි තාත්තගෙ රැකියාව. ඇලෝයි වර්ණකුල කියපුවම ඒ පළාතේ ඕනෑම කෙනෙක් ඔහුව හදුනන්නෙ ඒ නිසයි. මට මතකයි අවුරුදු 3-4 කාලෙදි තාත්ත මාව මඟුල් ගෙදරක එක්කගෙන ගියා සිංදුවක් කියන්න. ගෙදරදි මොන තරම් රඟපෑවත්, ටීටර් නැටුවත් සෙනග අතරට ගියහම හරිම කුලෑටි ලැජ්ජා ශීලි චරිතයක්. ඒ නිසා වෙන්න ඇති මඟුල් ගෙදර සින්දු කියන්න බෑ කියල ගියාට වඩා වැඩි වේගයෙන් ආපහු තාත්තව ඇදගෙන ගෙදර ආවේ. ඒ විදිහට කීප සැරයක්ම ගෙදරදි කියන්නම් කියා පොරොන්දු වී ගිහින් පස්සෙ බෑ කියා නැවත එනවා. දැන්මතක්වෙනකොට හිතෙනවා එදා මම කළ වැඩේ නිසා තාත්ත කොච්චර කනගාටුවටත්, ලැජ්ජාවටත් පත්වෙන්න ඇතිද කියා. ඉස්කෝලෙ 3-4 පන්තිවලදි ඉසිකෝලෙ ගිහින් ගෙදර ඇවිත් හවසට ගේ පිටි පස්සෙ තියෙන ලාවළු ගහ උඩ නැගල මුළු පළාතටම ඇහෙන්න සින්දු කියනවා. ඒ වෙනකොට අපේ ගෙදර රේඩියෝවක් තිබුණෙ නැති වුණත් අහළ පහළ ගෙවල්වල රේඩියෝවලින් ඇහෙන සිංදු කටපාඩම්. රෑ වේගෙන එනකොට අම්ම ඇවිත් කොල්ලො බැහැපන් බිමට කියල දෙසැරයක් විතර සැරකරන කොට පහළට බසිනවා. අදත් ගමේ කට්ටිය හමු වුණාම කියනව මම කියන සිංදු ඒ අය හරි ආසාවෙන් අහගෙන හිටියලු. කොහොමහරි අදත් මට මතක්වෙන කොට සතුටුයි එදා නොමිලේම ගමටම අහන්න සින්දු බෙදා හැරිය එක ගැන.

• ජන ගායනා තරගයෙන් ජය

1974 වර්ෂය. එතකොට මම හත්වැනි වසර ඉගෙනුම ලබනවා ජා-ඇළ පමුණුගම මහා විද්‍යාලයේ. එවකට ගම්පහ දිස්ත්‍රික්කයේ කනිෂ්ට ජනගායනා අංශයේ තරගයකට සහභාගිව පළමුවැනියා වුණා. පසුව රත්නපුරේ පැවැත්වුවා සමස්ථලංකා තරගය. එයට සහභාගි වූයේ අපේ සිංහල ඉගැන්වු සරත් වෙල්ගම ගුරුතුමා හා නාට්‍ය භාර ලාල් හෙට්ටිආරච්චි ගුරුතුමා සමග . එම තරගයෙනුත් දෙවැනි ස්ථානය හිමිවුවා. එදා තමයි ජීවිතේ පළමු වතාවට අම්මා, තාත්තා නැතුව රැයක් පිට තැනක ගතකළේ. අදටත් එම ගුරුවරු මතක්වු විට අනේකවාරයක් ඔවුන්ට සිතෙන් ස්තූති කරනවා. මොකද ඔවුන් තමයි රොඩ්නි වර්ණකුල කියන ගායකයාව බිහිවන්න උදවුකළේ.

• අභියෝග ජයගත්තා

1977වසරේදි තාත්තා සිරිසඟබෝ නූර්තියේ රඟපෑවා. අපේ පාසලෙන් සිරිසඟබෝ නූර්තිය බලන්න ටවර් හෝල් රඟහළට එක්කගෙන ගියා. එතකොට මම උසස් පෙළ හදාරනවා. තාත්තා නූර්තියෙ රඟපාන නිසා මමත් වීරයා වගේ ගියා තාත්තව හමුවෙන්න වේදිකාවට නගිනවා කියලා.වේදිකාවට නගින්න හදනකොටම තරුණ ආරක්ෂක මහත්මයෙක් ඇවිත් කොහෙද යන්නේ කියල සැරට ඇසුවා. තාත්තාව හමුවෙන්න කී විට... තාත්තා කව්ද? මම නම කියුවත් ඔහු පිළිගත්තේ නෑ.යනවා යනවා බොරු කියන්නෙ නැතුව ස්ටේජ් එකට නගින්න පුළුවන් නළුවන්ට විතරයි කියුවා. මොනව කරන්නද ලැජ්ජාවෙන් යාළුවන් ඉන්න තැනට ගියා. ඔවුනුත් මට හිනා වුණා මම බොරු කිව්වා කියල.

. එදා තමයි අධිෂ්ඨාන කරගත්තෙ දවසක මමත් නළුවෙක් වෙලා ස්ටේජ් එකට නගිනවා කියල.

එයට වසර තුනකට පසුව හරියටම 1980 ටවර් හෝල් රඟහල පදනමෙන් ආරම්භකළ පාඨමාලාවක් හදාරන්න අයැදුම්පත්‍රයක් යොමුකළා. චිත්‍රසේන , ඒ.ජී රණසිංහ, ලයනල් අල්ගම වැනි ප්‍රවීණයන් ඉදිරියේදි සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වුණා. පසුව එහි පාඨමාලා හැදෑරූ අප සම්බන්ධකරගෙන 'අඳුරු නගරය' වේදිකා නාට්‍යය ටවර්හෝල් රඟහලේ රඟදැක්වුවා. එදා නළුවෙක් වෙලා වේදිකාවට නගින්නැයි කළ අභියෝගයට ජය ගනිමින් රංගන ශිල්පියකු වෙලා ටවර් හෝල් රඟහලේ වේදිකාවට නැග්ගා.

එම පාඨමාලාව හැදෑරුවා අනුලා බුලත්සිංහල මහත්මිය.ඇය තමයි ලූෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයට මාව සම්බන්ධකරගත්තේ. කලා ක්ෂේත්‍රයේ දැවැන්තයින් ගණනාවක් එම නාට්‍යයේ රංගනයෙන් දායකවුවා. ඔවුන් අතර ආධුනික මමත් 'චූං චෑන්ගේ ' චරිතයට තෝරාගත්තා. එතකොට වයස අවුරුදු 22යි. වරක් වරකාගොඩ මහතා මා හමුවු විට මේ කොලු පැටියා හොඳට රඟපානවා කියමින් යන්න ගියා.

• සහකාරිය පාසල් මිතුරියක්

1989 ජීවිතේ සුන්දරම කාලයයි. ඇය ඉරානි සුබසිංහ. ඇය මගේ ගමේ, මගේ පාසලේහොඳම මිතුරියක්. කලක් දැන හඳුනාගෙන කාලයක් ඇසුරුකර පසුව අපි පෙම්වතුන් වුණා.

එදා මංගල උත්සවයට රංගන ශිල්පීන් හා ශිල්පිණියන්පැමිණ සිටියා. ඒ කාලෙ අදවගේ නෙමෙයි රසිකයන් හරිම කැමතියි රංගන ශිල්පීන් දකින්න. මට මතකයි මගේ විවාහ උත්සවයට පල්ලියට පැමිණි රංගන ශිල්පීන්ව දැකබලාගන්න ගමේ මිනිසුන් පැමිණසිටියා. එදා දවසම හිනාවෙලාම සිටි නිසා හවස්වෙකොට කට ලොක් වෙලා වගේ ඒතරමටම ඒ දවස සතුටින් ගතකළා.

• බෝඩිමේ පියදාස අදත් ජනප්‍රියයි

1989කාලයේ රටේ තිබුණේ භීෂණ සමයක්. ඒ කාලෙ අද වගේ දුරකථන පහසුකම් නෑ.උදේ ගෙදරින් ගිහින් හවසට ගෙදරට එනකම් විශ්වාස නෑ. දවසක් ගෙදර ආවම නෝනා කියනවා ඔයාව කොණ්ඩෙ වවාගත්ත අමුතු තාලෙ කෙනෙක් ඇවිත් හොයනවා කියා. ඔයාවමයි අහන්නෙ ඔයාව හම්බවෙන්න ඕනම කියනවා, මොකද දන්නේ නෑ කියලා. ගෙදර හැමෝම හොඳටම බයවෙලා මට අනතුරක් කරන්නද දන්නෙ නෑ කියා. පස්සෙයි ආරංචි වුණේ ඒ ඇවිත් තියෙන්නෙ රංජිත් රූබසිංහ මහත්මයායි. බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ අලුතෙන් හදන ටෙලිනාට්‍යයකට තමයි මාව හොයාගෙන ඇවිත් තියෙන්නෙ කියල. එතකොට තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඒ තරමටම අපි බයවුණා. බෝඩිම ටෙලිනාට්‍යයට සම්බන්ධවන්නේ එම ආරාධනයට අනුව. බෝඩිම මගේ දෙවැනි ටෙලිනාට්‍ය. බෝඩිමෙන් තමයි රොඩ්නි වර්ණකුල කියන නළුවාව රටක් හඳුනාගන්නෙ. අදත් බොහෝ පිරිසක් බෝඩිමේ පියදාසගේ චරිතය ගැන කතා වෙනවා.

• මල්ලිගේ වියෝවෙන් තවමත් කම්පනයෙන්

හැමෝටම වගේ මගේ ජීවිතේටත් දුක කියනදේ උරුමයි. අපි කොතරම් රසිකයන් සතුටින් තියන්න උත්සාහ කළත් හිතෙන් හඬනවාර අනන්තයි. මගේ බාල මල්ලි හදිසි අනතුරකින් වියෝවීම අදටත් දරාගන්න බැරි දුකක්. ඔහු අපේ පවුලේ බඩපිස්සා, සුරතලා.1997. මැයි දෙක ඔහු අපෙන් වෙන්වුණා.එතකොට වයස 26යි. අවසන් හුස්ම හෙළපු හැටි අදත් මතක්වෙන කොට දරාගන්නබැරි වේදනාවක් හිතට දැනෙනවා. පසුව මව,පියා බිරිඳගේ පියාත් අපෙන් වෙන්වුණා. ඒ හැමෝවම සිහි කර දවස පටන්ගන්න එක මගේ පුරුද්දක්. ලොකු දුව විවාහවෙලා සැමියා සමග ජීවත්වනවා. පොඩි දුව වැඩිදුර අධ්‍යාපනයේ නියැළෙනවා. පුතා සා.පෙළ විභාගය සඳහා ‍මෙවර පෙනීසිටින්න නියමිතයි. රසිකයන් වෙනුවෙන් හොඳ නිර්මාණවල නියැළෙමින් ජීවිතයේ ඉතිරිකාලයත් නිදහසේ ගෙවන්නයි බලාපොරොත්තුව. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.