ප්‍ර යෝජන රැසක් ඇති ඉවත දමන තේ | සිළුමිණ

ප්‍ර යෝජන රැසක් ඇති ඉවත දමන තේ

ප්‍රතිචක්‍රීකරණය හා නැවත භාවිතය කියන්නේ කසළ අර්බුදයත් සමඟ පෙරට ආ වචන දෙකක්. පොලිතින් වැනි නොදිරන ද්‍රව්‍ය නැවත නැවත හැකිතාක් භාවිත කරනවා නම් එය ඉතාමත් පරිසර හිතකාමී වනවා. තමන්ගේ කුණු තමන් විසින්ම කළමනාකරණය කරගැනීමට සිත යොදවනවා නම් එය රටේ තිබෙන කැළිකසළ එක් රැස් වීමේ අර්බුදය හා ඩෙංගු මදුරු උවදුර තුරන් කිරීමට බොහෝසෙයින් උපකාරී වනවා. මේ අතරින් නොදිරන ද්‍රව්‍ය හැකි තාක් නැවත නැවත භාවිතය හා එම ද්‍රව්‍ය වලින් වෙනත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය ක්‍රියාවන් සඳහා අමුද්‍රව්‍ය නිපදවා ගැනීම නිසා නොදිරන කුණු අවිධිමත් ලෙසින් එක් රැස්වීම නවතිනවා.

අද මෙම පිටුව වෙන්වන්නේ භාවිතයෙන් පසුවත් නැවත නැවත වෙනත් ක්‍රියාවන් සඳහා භාවිතයට ගත හැකි ද්‍රව්‍යයයක් ගැන කියන්නයි. ඒ තමයි තේ බෑග් ( tea bag) . කැළිකසළ අර්බුදයට මේ තේ බෑග් නැවත නැවත භාවිතය විශාල පිටිවහලක් නොවුණත් එදිනෙදා ජීවිතයේ ඔබගේ වැඩ සඳහා නම් තේ බෑග් උපකාරී වන වන බව ඔබට වැටහේවි.

ඔබේ ගෙවත්තේ තිබෙන මල් පැළ හා අනෙක් භෝගවලට ජලය දැමීමට ප්‍රථම භාවිතා කරන ලද තේ බෑග් එකක් ජලයට දමා මඳ වේලාවක් තැබීමෙන් අනතුරුව එම ජලය භෝග වලට එක් කරන්න.එසේ කළහොත් එයින් භෝග වල හටගන්නා දිලීර ආසාදන වලට මෙම තේ මිශ්‍ර ජලය බෙහෙතක් ලෙසින් ක්‍රියා කරයි. මීට අමතරව කෘමීන්ගෙන් භෝග ආරක්ෂා කර ගැනීමට භාවිතා කරන ලද තේ කුඩු භෝගයට දැමිය හැකි අතර කොම්පෝස්ට් සෑදීමටද යොදා ගැනීමට හැකියාව පවතී.

නිවසේ තිබෙන පාපිස්නා හා කලාල වල ඇති පැල්ලම් යැවීමටද භාවිතා කරන ලද තේ කුඩු වලට හැකියාව තිබෙනවා. ඔබට කිරීමට තිබෙන්නේ පැල්ලම තිබෙන ස්ථානය පුරාවට මඳ වශයෙන් වියළී ගිය තේ කුඩු තැවරීමයි. ඉන්පසු ඒවා සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු එම කුඩු අතුගා ඉවත් කළ හැකියි.ඒ සමගම පැල්ලම අතුරුදන් වී ඇති බව පෙනේවි. මීට අමතරව භාවිතා කළ අවසන් වූ තේ බෑග් නිවසේ ඇතිවන දුගගන්ධයන් මර්ධනය කිරීමට යොදාගැනීමට පුළුවන. භාවිතා කළ පසු තේ බෑග් හොඳින් වියළා ඒවා දුර්ගන්ධය ඇති වන ස්ථාන වන ශීතකරණය, කුස්සියේ කුණු දමන මල්ලට හෝ කුණු බාල්දියට, ආහාර ගබඩා කර තිබෙන රාක්ක අතරට, ඇඳුම් අල්මාරිය තුළ වැනි ස්ථාන වල තබන්න.එසේ තැබූ විට භාවිතා කරන ලද තේ බෑග් වලට දුර්ගන්ධය අවශෝෂණය කළ හැකි නිසා එම ස්ථාන නැවුම් වාතාශ්‍ර යෙන් යුතුව පවතීවි. නිවසේ සුවඳ තෙල් වර්ග තිබේනම් එයින් බිඳුවක් තේ බෑග් වලට එක් කිරීමෙන් වාතාශ්‍රය සුවඳවත්ව තබා ගැනීමට පුළුවන්. මීයන් තේ සුවඳට අකැමැති නිසා නිවෙසේ මී කරදර තිබෙන ස්ථාන වල මෙම වියළා ගත් තේ බෑග් තැබීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන.

ආහාර ගත් පිඟන් හා භාජන කෘත්‍රිම රසායනික සහිත පිඟන් සේදුම් වලින් සේදීමට අකැමැති නම් ඔබට කරන්නට තිබෙන්නේ පිඟන් හා භාජන සියල්ල භාවිතා කරන ලද තේ බෑග් කිහිපයක් සමඟ උණුසුම් ජලයේ මඳ වේලාවක් ගිල්වා තැබීම පමණයි. තෙල් හා ආහාර කැබැලි පහසුවෙන් ඉවත් වෙයි. සුදු ලූනු, ලූනු හා මාළු වැනි ආහාර පිස අවසන් වූ විට භාවිතා කරන ලද තේ බෑග් හොඳින් අත් දෙකෙහි ඇතිල්ලූ විට එම ආහාර නිසා අත් වල ඇති වන දුගඳ ඉවත් වී යනවා.

භාවිතයට ගන්නා ලද තේ බෑග් වීදුරු හා ලී මතුපිට ඇතිල්ලූ විට ඒවා සාමාන්‍යයෙන් පිරිසිදු කරනවාට වඩා ඉතා හොඳින් පිරිසිදු වී දිස්නයක් ලබා දෙනවා.

ගෙදර දොරේ අවශ්‍යතා හැරුණු විට බොහෝ රූපලාවන්‍ය කටයුතු සඳහාද තේ බෑග් යොදා ගන්නවා. කාර්යාලයේ සිට වෙහෙස වී පැමිණෙන ඔබට මඳ උණුසුම් ජලයට භාවිතා කරන ලද තේ බෑගයක් දමා එය තුළට ඔබගේ දෙපා දමාගෙන සිටින විට පාද වල තිබෙන දුගඳ හා චර්ම රෝග නැති වී යනවා. මේ ලෙසින්ම ස්නානය සඳහාත් ජලය සකසා ගැනීමට හැකිනම් එය ඔබගේ මුළු සිරුරේම සම චර්ම රෝග වලින් ආරක්ෂා කර නැවුම්ව තබනවා. හිසකෙස් ලස්සනට පවත්වා ගැනීමටද තේ වලට විශේෂ හැකියාවක් තිබෙන අතර. තුවාල, සීරීම්, ආසාදන මෙන්ම මදුරුවන් වැනි සතුන් දෂ්ඨ කරනු ලැබූ ස්ථානයන්හි භාවිතා කරන ලද තේ බෑග් ඇතුල්ලා සාත්තු කිරීමෙන් එම අපහසුතා දුරු කර ගැනීමට හැකියි. 

Comments