විශ්වයේ පහ­ළවූ වනිතා ශ්‍රේෂ්­ඨාව බිම්බා දේවී හෙවත් යශෝ­ධරා | Page 2 | සිළුමිණ

විශ්වයේ පහ­ළවූ වනිතා ශ්‍රේෂ්­ඨාව බිම්බා දේවී හෙවත් යශෝ­ධරා

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නම අපේ රටේ කලා ක්ෂේත්‍ර ගණනාවකම ඉතාම ඉහළින් කියැවෙයි. ගේය පද රචකයකු , චිත්‍රපට පසුබිම් ගීත රචකයකු , කවියකු , ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස සුවිශාල නිර්මාණ ප්‍රමාණයක් දායාද කර ඇති ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද අපූර්ව වූ සිනමා නිර්මාණ ගණනාවක්ම අපට තිළිණ කර ඇත.

සරුංගලේ, සුදු සෙවණැලි, ක්‍රිස්තු චරිතය, උප්පලවන්නා, කුසපබා, පත්තිනි සහ මේ දිනවල තිරගත වන “අලි කතාව“ ඔහුගේ නිර්මාණයන්ය. ඔහු විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන පළමු චිත්‍රපටය වූයේ ‘බිම්බා දේවී හෙවත් යශෝධරා‘ චිත්‍රපටයයි. එහි සිද්ධාර්ථ කුමාරයා සහ යශෝධරා දේවිය යන ප්‍රධාන චරිත දෙක සඳහා රංගන ශිල්පියකු සහ ශිල්පිනියකු සොයමින් සිටි මහාචාර්ය ආරියරත්නයන් ඒ සඳහා ඉන්දීය නළුවකු වන ඒ. චෞද්රී සහ නිළියක වන පල්ලවී සුභාෂ් තෝරාගෙන තිබුණා. මෙහි රූගත කිරීම් සිදුකර නිමාකෙරුණු අතර අවසානයේ මෙම දෙදෙනා මාධ්‍යයට හඳුන්වා දුන්නා.

එම අවස්ථාවේ මහාචාර්ය ආරියරත්නයන් චිත්‍රපටය පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවා.

‘‘බිම්බා දේවී හෙවත් යශෝධරා වනාහී මේ විශ්වයේ පහළ වූ වනිතා ශ්‍රේෂ්ඨාව ලෙස සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ යශෝධරා දේවිය පිළිබඳව නිර්මාණය වෙමින් පවතින සිනමා කෘතියකි. සිද්ධාර්ථ චරිතය සහ බුද්ධ චරිතය අළලා පෙර අපර දෙදිග රටවල බොහෝ සිනමා කෘති නිර්මාණය වී ඇතත් යශෝධරා පිළිබඳ සිනමා නිර්මාණ දුර්ලභය. එබැවින් මේ තාක් නිෂ්පාදිත බෞද්ධ චිත්‍රපට අතර අපගේ චිත්‍රපටය සුවිශේෂත්වයක් දරන්නේය.‘‘

යශෝධරා චිත්‍රපටයේ නළු නිළි පිරිස

දිනෙත් ද සිල්වා (දෙව්දත්), සංගීතා තෙදානි (මහාමායා), අජිත් වීරසිංහ (ශුද්ධොදන), උදාරි පෙරේරා ( නන්දා), හේෂාන් මනුල (නන්ද), ශම්මු කසුන් (ඡන්න), කමල් දේශප්‍රිය ( සුප්‍රබුද්ධ), තුමිඳු දොඩංතැන්න (කාව්‍යක්කාරයා), රුචී ලක්මාලි (රාධිකා), විල්සන් ගුණරත්න ( අසිත), ඇනස්ටා ග්‍රේ( උත්තරා) සහ නෙත්මුඛ මුළුතැන්රාළ (රාහුල)

මම තවම ඉන්දියාවේ ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි

 අර්පික් චෞද්රී

අර්පික් චෞද්රි ඉන්දියානු සිනමාවේ රංගන ශිල්පියකු වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පියකු වශයෙන්ද බොහෝ ප්‍රසාදයට ලක් වූවෙකි. එසේ ම ඔහු අපරදිග ප්‍රසිද්ධ රංගායතනයන්හි රංගන ශිල්පය පිළිබඳ ශිල්පීය පාඨමාලා හදාරා ඇත. රංගන ශිල්පියකු වශයෙන් ඔහු විශේෂාංග චිත්‍රපටවල මෙන්ම කෙටි චිත්‍රපටවල ද සුවිශේෂී චරිත රඟපා ඇත. ඔහු ලැන්කැෂ්ටර් ග්‍රෑන්ඩ් තියටර් හි රඟපෑම පිළිබඳ දෙවසරක පාඨමාලාවක් හදාරා ඇති අතර ලන්ඩන් හි ‘ඇක්ටස් ටෙම්පල්‘ ආයතනයෙන් රංග ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් ලබා ගන්නා ලද විශේෂඥ දැනුම ඔහුගේ රංගන දිවියට මහත් පිටිවහලක් වී තිබේ.

 ඔබේ නම

අර්පික් චෞද්රි

පවුලේ විස්තර

මගේ පියා කන්වෂන් චෞද්රි. අම්මා රිචා චෞද්රි.අයියා අපූරු චෞද්රි. මගේ පවුලේ අය හින්දු. මගේ ගෝඩ් ෆාදර් සහ ගෝඩ් මදර් ලන්ඩන් වල ඉන්න ජැක් ලවර් සහ පැටී ලවර්.මගේ ගෝඩ් සිස්ටර් මෙලනි.

ඔබ ඉන්දියාවේ රංගන ශිල්පියෙක්ද?

මම දැනට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ඉන්දියාවේ එක චිත්‍රපටයක පමණයි. එය මීඩියම් බජට් එකක චිත්‍රපටයක්. දැන්ම එහි නම කියන්න බැහැ. ලබන අගෝස්තු මාසයේ එහි විස්තර දැන ගත හැකියි.ඊට අමතරව විශේෂාංග චිත්‍රපට කීපයක සහ කෙටි චිත්‍රපට කිහිපයක රඟපා තිබෙනවා.ඒ කියන්නේ මම තවම ඉන්දියාවේ එතරම් ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි.

කොහොමද ඔබට මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

ඉන්දියාවේ ජනප්‍රිය නිළියක මෙන්ම නිරූපණ ශිල්පිනියක වන ගීතාංජලී සිං මගේ හොඳ මිතුරියක්. ඇය මෙම චිත්‍රපටයේ මේකප් ආටිස් ප්‍රියන්ත දිසානායක දැනගෙන හිටියා. ඇය තමයි මට කිව්වේ ලකී හොටේල් එකට යන්න චිත්‍රපටයක් සඳහා ලංකාවේ පිරිසක් නළුවෙක් හොයනවා කියලා.ඉතින් මම ගිහින් සුනිල් සර් ව හම්බ වුණා.එතැනදී තමයි මම දැන ගත්තේ ඔවුන් අසාර්ථක ඔඩිසම් දෙකක් තියලා ඒත් බලාපොරොත්තු වන කෙනා හම්බවෙලා නැහැ කියලා. සුනිල් සර් මා සමඟ විනාඩි 5 ක් විතර කතා කරලා තමයි තීරණය කරලා තියෙන්නේ මම සිද්ධාර්ථ චරිතයට ගැලපෙනවා කියලා.

මෙම ලැබුණු අවස්ථාව ගැන මොනවද හිතෙන්නේ.

මෙය මගේ ජීවිතයේ ලැබුණු අගනාම අවස්ථාවක්. ඒ වගේම මගේ රංගන ජීවිතයට අභියෝගයක්.ඒ අභියෝගය ජයගන්න මට සහාය දුන් අධ්‍යක්ෂ සුනිල් සර් සහ කණ්ඩායමට, මගේ සහාය නිළිය පල්ලවීට, පරිවර්තන කටයුතු කළ ප්‍රොෆෙසර් උපුල් ඇතුළු කණ්ඩායමට ස්තූති වන්ත වනවා.

ලංකාව ගැන දැනෙන්නේ කොහොමද?

ඇත්තටම මෙය මගේ පළමු ලංකා ගමන. මේ රට හරිම ලස්සනයි. මෙහි මිනිස්සු හරිම හොඳයි.අපි රූගත කිරීම් කළ රිවස්ටන්, නුවරඑළිය, දිගන, රන්මිහිතැන්න වගේ ස්ථාන හරිම ලස්සනයි. අපි දවස් 45 මෙහි ගත කළා. ඇත්තටම මම ලංකාවට ආදරෙයි.ආයෙත් ලංකාවට එනවා.

 


නිළියක් වෙන්න මගේ හිතේ තිබුණේ නැහැ

 පල්ලවී සුභාෂ්

පල්ලවී සුභාෂ් පළමුව නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිස පසුව සිනමාවට එක්වූ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ උපත ලද ඉන්දියානු නිළියකි. “අධිරජ ධර්මාශෝක“ ටෙලිනාට්‍ය මාලාවේ රාණි ධර්මාගේ චරිතය නිරූපණය කිරීමෙන් ඇය ජන ප්‍රසාදයට පාත්‍රවී ඇත. බොහෝ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස දායකත්වය ලබා දී ඇති ඇය වෙළෙඳ දැන්වීම් සඳහාද නිරූපිකාවක ලෙස පෙනීසිට ඇත. මරාති සිනමා පට දොළහකට අධික සංඛ්‍යාවක රඟපා ඇත. “තුම්හාරී ඩීෂා“ ටෙලිනාට්‍ය මාලාවෙන් රූපවාහිනී රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය පසුව කරාම් “අප්නා අප්නාහි“ ප්‍රධාන චරිතය වූ ගෞරීගේ චරිතයද “බසීරා“ ටෙලිනාට්‍ය මාලාවේ කෙතකීගේ චරිතයටද රංගන දායකත්වය ලබාදී ඇත. මරාති ටෙලි නාට්‍ය මාලා කීපයකම පෙනී සිට ඇති ඇය මහාභාරත ටෙලිනාට්‍ය මාලාවේ රුක්මණී චරිතය මැනැවින් නිරූපණය කළ දක්ෂ රංගන ශිල්පිනියකි.

 ඔබේ නම

පල්ලවී සුභාෂ්

පෞද්ගලික තොරතුරු

මගේ අම්මාගේ නම සුචිතා. තාත්තා සුභාෂ් මට ඉන්නේ අක්කා කෙනෙක් පමණයි.ඇගේ නම ෂරීෆ්.

ළමා කාලයේ සුන්දර මතකයට ගියොත්

මගේ සීයා ක්‍රිෂ්ණ රාවුෂෙට්ටි මුම්බායි හයිකෝට් වල ඇඩ්වකේට් කෙනෙක්.ඉතින් මටත් ඕන කළේ කළු කෝට් එක දාන ඇඩ්වකේට් කෙනෙක් වෙන්නයි.ඒක ළමා කාලයේ ඉඳලා තිබුණු හරි සුන්දර ලස්සන හීනයක්. සීයා උසාවි යනවා දකින කොට මටත් යන්න ආසයි. ඉතින් මමත් සීයාගේ කෝට් එකක් දාගෙන කණ්ණාඩියෙන් හැඩ බල බල කවදාහරි උසාවි යනවා කියල හීන දැක්කා. කවදාවත් නිළියක් වෙන්න මගේ හිතේ තිබුණේ නැහැ. පාසලේ තිබුණු විකට ඇඳුම් තරග වලට පවා යන්නේ සීයාගේ කෝට් එක ඇඳගෙනයි. ඒ තරමට මම ඒකට ආසා කළා.

රංගනයට පැමිණි ආකාරය

ඇත්තටම ඒක හරිම අහම්බයෙන් සිද්දවුණු දෙයක්. මගේ අක්කා තමයි පුංචි කාලයේ ඉඳලම මේකප් දාන ඒවට හරිම කැමැත්තෙන් හිටියේ.ඇය ඒවා ඉගෙන ගත්තා. ගෙදර අය අපි හැමෝම හිතාගෙන හිටියේ අක්කා කවදාහරි නිළියක් වෙයි කියලයි. මම ගැන ඒ අය කවදාවත් එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මම එතකොට කම්පියුටර් ක්ලාස් යනවා.දවසක් මහා වැස්ස නිසා මේ කම්පියටර් පන්තිය කැන්සල් වුණා. මම මගේ රාඛි සහෝදරයා පරීස්ට කතා කළා.එයා කිව්වා අපි මරාති ප්ලේ එකක් බලන්න යමු කියලා. කොහොමත් මම චිත්‍රපට, නාට්‍ය බලන්න කැමැත්තක් තිබුනේ නැහැ වගේම කවදාවත් ඒවා බලලා තිබුණෙත් නෑ.ඒ නිසා එයා එක්ක නාට්‍ය බලන්න ගියා. ඉන්ටවල් එකේදි ඒ නාට්‍ය නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් ඇවිත් අධ්‍යක්ෂ වරයාට මාව මුණගැහෙන්න ඕන කිව්වා. මට හිතා ගන්න බැරිවුණා ඒ ඇයි කියලා. පරීස් කිව්වා කලබල වෙන්න එපා අපි නාට්‍යය ඉවර වෙලා හම්බ වෙලා බලමු කියලා. පස්සෙ අපි ඩිරෙක්ටර් ව හම්බ වුණා. එයා ඇහුවා ‘‘ඔයා මීට කලින් රඟපාලා තියෙනවද? ‘‘කියලා. මම නෑ කිව්වා.එයා කිව්වා ‘‘අපි මේ නාට්‍යයට ගැහැනු ළමයෙක් හොයනවා. අපි ඔයාව දැක්කා ඔයා ලස්සනයි ඒ වගේම අපි හොයන චරිතයට ඔයා ගැලපෛනවා. ඔයා කැමැතිද ඒ චරිතය කරන්න .

‘‘මම කිව්වා බෑ කියලා .ඒත් පරීස් කිව්වා අපි මේක කරමු කියලා.නමුත් මගේ එකම අරමුණ වුණේ මගේ අධ්‍යාපන කටයුතු හොඳට කරන්න. ඒ වෙනකොට මම බීකොම් ඩිග්‍රියට සූදානම් වෙමින් හිටියේ. මගේ විභාගයෙන් පස්සේ මට නිෂ්පාදන කණ්ඩායමේ අය, අධ්‍යක්ෂවරයා නිතරම කතා කළා. ඒක ප්‍රධාන පෙළේ නාට්‍ය නිෂ්පාදන ආයතනයක්, ප්‍රවීණ නළු නිළියන් ඒ අයත් සමඟ වැඩ කළා. ඉතින් මමත් මට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා.

මේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතන්නේ?

යශෝධරා චරිතය මට මගේ රංගන ජීවිතයේ ලැබුණු අතිශයින් දුර්ලභ මිල කළ නොහැකි අවස්ථාවක්. එයට මම මෙහි අධ්‍යක්ෂ සුනිල් සර්ටත් නිෂ්පාදක ප්‍රේමසිරි සර්ටත් ස්තූතිවන්ත වනවා.

ඔබ යශෝධරා චරිතය ගැන දරන්නේ මොනවගේ හැඟීමක්ද?

මම ඇය ගැන අසා තිබුණා. ඇයට සම කළහැකි කිසිවෙක් මේ ලෝකයේ නෑ කියලා තමයි මම හිතන්නේ. ඉතින් මට ඇගේ චරිතය රඟපාන්න ලැබීම ලොකු ගෞරවයක්. ඒ නිසා මම එයට උපරිම සාධාරණය ඉටුකරන්නට උත්සාහ කළා.

 

Comments