වීර­ත්වය, විනෝ­දය පිරි සංගී­ත­මය සිනමා චාරි­කාව | සිළුමිණ

වීර­ත්වය, විනෝ­දය පිරි සංගී­ත­මය සිනමා චාරි­කාව

රහස් පරීක්ෂක ජග්ගා අතුරුදන් වූ ආදරණීය පියා සොයමින් යන කුතුහලය, වීරත්වය, විනෝදය පිරි සංගීතමය සිනමාත්මක චාරිකාව ‘ජග්ගා ජසූස්’, ජූලි 14 වැනිදා සිට ඇරැඹිණි. ඒ සිනමාපටය සහ සිනමා පට‍යේ ප්‍රධාන තාරකා යුවළ වන රන්බීර් කපූර් සහ කත්‍රිනා කායිෆ් සම්බන්ධ රසබර මෙන් ම දුක්මුසු පසුබිම් කතා රැසක් ද සමඟය.

බොලිවුඩයේ සොඳුරු ආදරණීය තරු යුවළකව සිටි රන්බීර් කපූර් සහ කත්‍රිනා කායිෆ් මෙහි රඟන්නේ ජග්ගා සහ ඍති ලෙසය. තිස්හතර හැවිරිදි රන්බීර් මෙහි දක්ෂ ගැටවර රහස් පරීක්ෂකයකු වන ජග්ගා ලෙස චරිත නිරූපණයේ යෙදෙයි. ළමා ගති ඇති ඔහු වගකීම් සහගත පුද්ගලයකු ලෙස හැසිරෙන්නට පටන් ගන්නේ තම පියාගේ අනපේක්ෂිත සැක සහිත අතුරුදහන්වීමත් සමඟය. ඔහු පියා සොයා යෑමේදී සිය පෙම්වතිය ඍති ද සහාය කරගනී. දකුණු අප්‍රිකාවට ආවේණික සොබා සොඳුරු උරුමයන් විඳිමින් අපූරු හැසිරීම් රටාවක් ඇති නව යෞවනයකුගේ වීරත්වය හදවතින් ම විඳීමට ‘ජග්ගා ජසූස්’ සිනමා වෘතාන්තයෙන් ප්‍රේක්ෂකයාට ඉඩ ලැබේ. ළමා ළපටින්ට සහ නව යෞවන යෞවනියන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද එකසේ රස විඳීමට හැකි මෙම සිනමා පටය පාසල් නිවාඩු සමයේ පවුලේ සැමට නැරඹීමට කදිමය.

ඉන්දියානු සිනමා පුවත් අතරේ ‘ජග්ගා ජසූස්’ ගැන කතා බහ කෙරෙන්නේ වසර 2014 සිටය. අධ්‍යක්ෂ අනුරාග් බාසුට ඇතිවූ රූගත කිරීමේ ගැටලු නිසා තිරගත කිරීමේ දිනය 2015 වසරේ සිට 2016 නොවැම්බර් 27 දක්වාත් 2017 අප්‍රේල් දක්වාත් කල් යාම ඊට හේතුවයි. අවසානයේදී ජූලි 14 වැනිදා බාලගිරි දෝෂයෙන් මිදී ජග්ගා ජසූස් තිරගත කෙරිණි.

‘අජාබ් ප්‍රේම් කි ගසාබ් කහානි’ (2009) සිනමා පටයේදී රන්බීර් සහ කත්‍රිනා අතර ඇතිවූ ආදරය ‘ජග්ගා ජසූස්’ රූගත කරන කාලය වන විට වියැකෙමින් නිමා‍ වෙමින් පැවතිණි. මේ නිසා ඇතැම් ජවනිකා අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි රූගත නොකෙරුණු අත‍ර පසුව යළි එම ජවනිකා රූගත කිරීමට ඔහුට සිදුවිය. 2014 මාර්තු 20 වැනිදා වන විට දකුණු අප්‍රිකාවේ දින විස්සක් පුරා රූගත කිරීම් කර තිබුණ ද නැවත නැවතත් රන්බීර් - කත්‍රිනා පෙනී සිටි ජවනිකා ඔහු රූගත කළේය.

රන්බීර් එම කාලයේදීම ‘බොම්බේ වෙල්වට්’ සිනමා පටයේ රූගත කිරීම්වල යෙදී සිටිමින් කාර්ය බහුලවීම තවත් හේතුවකි. ‘ජග්ගා ජසූස්’ රූගත කෙරුණේ රන්බීර් ‘බොම්බේ වෙල්වට්’ රූගත නොකරන දිනවලදීය. 2014 ඔක්තෝබර් 21 වැනිදා තායිලන්තයේත් 2016 අප්‍රේල් 20 වැනිදා ඩාජීලිංවලත් රූගත කිරීම් සිදුකරන ලදී. විවිධ කාරණා පමාවට බලපෑවත් අවසානයේදී අධ්‍යක්ෂවරයා කියා සිටියේ ප්‍රමාදය සිදුවූයේ තමන්ගේ වරදින් බවය.

2012 දී තිරගත වූ අනුරාග් බාසුගේ ‘බර්ෆි’ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවූ සිනමා පටයක් වූ අතර ඒ ඔහු අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ ම ආදායමක් ලද සිනමා පටයයි. ලැබුණු ආදායමෙන් පවු‍ෙල් අය සමඟ විනෝදයෙන් කාලය ගත කිරීමට අවශ්‍ය වූ නිසා නිවාඩුවක් ගත් බව පසුව ඔහු මාධ්‍යයට කියා සිටියේය. බර්ෆි සිනමා පටයේත් ඔහුගේ වීරයා වූයේ රන්බීර් කපූර්මය.

මෑතකදී සිනමාපටය සම්බන්ධයෙන් ඇතිවූ අනෙක් ආන්දෝලනාත්මක සිදුවීම නම් ගෝවින්ද රඟපෑ කොටස සංස්කරණයේදී ඉවත් වීමයි. ප්‍රවීණ නළු ගෝවින්ද සිනමා පටයේ දර්ශන කිහිපයකට රංගනයෙන් දායක වී ඇත්තේ කිසිදු මුදලකට, කොන්ත්‍රාත්තුවකට අත්සන් නොකරයි. කපූර් පෙළපත කෙරෙහි ඇති ගෞරවය නිසා රන්බීර් ගේ මංගල සිනමා නිෂ්පාදනය වන ජග්ගා ජසූස්ට අනුග්‍රහය දැක්වීමට ඔහු එසේ කර තිබේ. අසනීපවී සිටිය ද දකුණු අප්‍රිකාවට ගොස් නළුවකු ලෙස තමාගේ යුතුකම ඉටු කළ බවත් අධ්‍යක්ෂ නොසතුටු නම් රඟපෑ කොටස් කපා දැමීම ඔහුගේ වැඩක් බවත් ගෝවින්ද ට්විටර් සමාජ වෙබ් අඩවියට අදහස් දක්වා තිබිණි. රන්බීර් කපූර් සිදුවූ අකටයුත්තට ඔහුගෙන් සමාව ඉල්ලූ අතර අනුරාග් කෙරෙහි ඇතිවූ ගෝවින්දගේ කෝපය නම් ඉන් අවසන් වී නැත.

රන්බීර්ගේ පියාගේ චරිතය රඟපෑමට අමිතාබ් බච්චන්, ජැකී ෂෙරොෆ්, ගෝවින්ද යන ජ්‍යෙෂ්ඨ නළුන්ගේ නම් මුලින් ම යෝජනාවී තිබුණ ද පසුව කහානි (2012) සිනමා රංගනයෙන් සස්වතා චැටර්ජී ලද ජනප්‍රියකම නිසා ඔහු තෝරාගෙන ඇත.

ඩෙන්සිල් ස්මිත් රඟන චරිතයට හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ වෛද්‍ය මුකේෂ් හරියවාලා තෝරා ගත්තද රූගත කිරීම්වලට ඔහු සහභාගී කරගත නොහැකි වී ඇත්තේ ඒ දිනවල ම‍ුකේෂ් ඇමෙරිකාවේ සිටි නිසයි.

බොලිවුඩ් පුරවරයේ වෙනස්ම අත්දැකීමක් බවට ජග්ගා ජසූස් පත්කිරීමට අධ්‍යක්ෂවරයා පියවරගෙන ඇත. මෙහි දෙබස්වලට වඩා ගීත තිබීම ඊට හේතුවයි. මෙහි ගීත 29ක් අඩංගුය. සිනමාපටය පුරාම රන්බීර් ගොත ගසමින් කතා කරන අන්දම ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන නමුත් ඔහු ගොත නොගසන්නේ ගීතමය ජවනිකාවලදී පමණි. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වන ප්‍රීතම්ගෙන් ‘ජග්ගා ජසූස්’ ඉමිහිරි වී ඇති බව බොහෝ විචාරකයන්ගේ හැඟීමයි. ප්‍රීතම් චක්‍රබෝර්ෂි ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන බොලිවුඩයේ ජනප්‍රිය ම සංගීත අධ්‍යක්ෂවරයෙකි. අරිජිත්සිං, නිඛිතා ගාන්ධි, අමිත් මිෂ්රා, මෝහන් කනන් ප්‍රීතම්ගේ ගී තනු ගීතවත් කළ ගායක ගායිකාවන්ය.

සිනමා පටයේ උල්ලු කා පත්තා, ගල්ති සේ මිස්ටේක්, මුසාෆි, ජුම්රි තේලියා වැනි ගීත රසිකයන් අතර ජනප්‍රිය වූයේ සිනමාපටය තිරගත වීමටත් පෙරදීය.

‘අජාබ් ප්‍රේම් කි ගජබ් කහානි’ වලින් ඇරැඹි කත්‍රිනා - රන්බීර් බොලිවුඩයේ සුන්දරතම යුවළකගේ ආදර කතාව ‘රාජ්නීති’ වල රඟද්දී උපරිමයකට පැමිණ ‘ජග්ගා ජසූස්’ වලින් අවසන් විය. තිරයේ මෙන් ම සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් වී සිට පසුව තිරයට පමණක් පෙම්වතුන් වීමට දෙදෙනා තීරණය කර අවසන්ය. ඔවුන්ගේ ආදරය බිඳ වැටුණද රසිකයන්ගේ හද රිදුණ ද සිනමා පටයෙන් ආදරණීය අතීතයක් සිහි ගන්වන්නට ද ප්‍රේක්ෂකයන්ට ඉඩ ලැබී ඇත. අධ්‍යක්ෂ අනුරාග් බාසු කියා සිටියේ දෙදෙනාගේ පෙම බිඳුණු පසුව ද එය සිනමා පටයට බාධාවක් කර නොගෙන සැබෑ වෘත්තීය රං‍ගවේදීන් මෙන් වෙනදාටත් වඩා දෙදෙනා හොඳින් චරිතවලට පණ පෙවූ බවයි. මෙය අනුරාග් බාසුගේ සිහිනයක් මල් පල දැරීමක් ද වේ. ඔහු ළමා වියේ සිටම සුරංගනා වීර කතාවලට උමතු වූවෙකි. ජග්ගා ජසූස් මඟින් ඔහු ඒ සිහිනයට ළඟාවී ඇත.

කත්‍රිනා ද ළමා වියේදී තමන්ගේ ලෝකයක ම තනිවී සිහින දකින්නියක වූවාය. සිනමා පට 30 ක පමණ රඟපා ඇති කත්‍රිනා‍ගේ වඩාත් ම විනෝදාත්මක සිනමා පටය වී ඇත්තේ ජග්ගා ජසූස් ය. මෙහි ඇයගේ චරිතය ද ළමා ගති ඇති චරිතයක් වීම ඊට හේතුවකි.

රංගනයට දායක වූවන් පවා වීරත්වය කැටිවුණු සුරංගනා ලොවක හුදෙකලා කරන ජග්ගා ජසූස් වෝල්ට් ඩිස්නි සමාගමේ සහ යූටීවී මෝෂන් පික්චර්ස් බෙදා හැරීමකි.

අන්තර්ජාලයෙනි. 

Comments