සියලු බාධක මැඬ­ගෙන පැමිණි ගමන ගැන සතු­ටුයි | Page 2 | සිළුමිණ

සියලු බාධක මැඬ­ගෙන පැමිණි ගමන ගැන සතු­ටුයි

දෙඅත් අහිමි ආබාධිත පුද්ගලයෙක් ලෙස මෙලොව එළිය දුටුවත් තමාට සහජයෙන්ම උරුම වූ ගායන හැකියාවෙන් ඉදිරියට යාමට වෙර දරන අප්‍රතිහත ධෛර්යයකින් යුත් පුද්ගලයෙක් ලෙස බුද්ධික ඒකනායක ගායන ශිල්පියා හැඳින්විය හැකිය. ජාඇල, කොටුගොඩ වෙසෙන තිස් දෙහැවිරිදි බුද්ධික බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයෙන් කලා ලොවේ අත්පොත් තබමින් මේ වන විට ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයකු වී තිබේ.

ජාතික තරුණ සේවා සභාව සහ සී එස් එන් නාළිකාව එක්ව දිවයිනේ සියලු ආබාධිත අයවලුන් වෙනුවෙන් 2012 වසරේදී පැවැත්වූ ගායන හැකියාවෙන් පිරිපුන් දක්ෂයන් සොයා යන ‘සිහිනය’ රියැලිටි වැඩසටහනේ ජයග්‍රාහකයා වූ‍ බුද්ධික සමඟ කතාබහ කිරීමට රසඳුන අපට හැකිවිණි.

• බුද්ධික මේ දිනවල ඔබ මොනවද කරන්නෙ...

වෘත්තියක් ලෙස ප්‍රසංග වේදිකාවේ ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රයේ නියැළිලා සිටිනවා. එසේම කී බෝඩ් සහ ඔක්ටපෑඩ් වාදකයකු ලෙසත් දායක වෙනවා. ඊට අමතරව මම ආයතනවලට ගොස් ධනාත්මක චින්තනය, පෞරුෂ වර්ධනය පිළිබඳ දේශන පවත්වමින් රට තුළ ධනාත්මක සිතුවිලි වර්ධනය කිරීමට දායක වෙනවා. මොකද මගේ ආබාධිත තත්ත්වයත් සමඟින් මම ජීවිතයේ ඉදිරියට ආ හැටි මිනිසුන්ට වැදගත් වේවි කියලා මං හිතනවා.

• ඔබ සංගීත ක්ෂේත්‍රයට ආ හැටි මතක් කළොත්...

මම ඉස්සෙල්ලාම ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් ජාතික සෞන්දර්ය නිකේතනයේ සංගීත ඩිප්ලෝමා පාඨමාලාවක් හැදැරුවා 2007 වර්ෂයේදී. ඉන් අනතුරුව ජාතික තරුණ සේවා සභාවයි සීඑස්එන් රූපවාහිනි නාළිකාවයි එක්ව ආබාධිත අය වෙනුවෙන් 2012 ඉදිරිපත් ‘සිහිනය’ කියන රියැලිටි වැඩසටහනේ මා ප්‍රථම ස්ථානය දිනාගත්තා. එතැන තමයි මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය.

•සංගීත ක්ෂේත්‍රයට පය තැබීමට පවුල් පසුබිමෙන් ලැබුණු දායකත්වය කෙසේ ද?

මෙහෙමයි, අපේ පවුලේ කිසිම කෙනෙක් සංගීතයට සම්බන්ධ නැහැ. ඒත් මට පොඩි කාලේ ඉඳලම තිබුණා සංගීතය ගැන ලොකු ඇල්මක්. ඒ වගේම මට පුදුම උනන්දුවක් තිබුණේ සංගීතය ඉගෙන ගන්න. මං හිතන්නෙ සංගීතය කියන්නෙ මට සංසාරෙන් ලැබිච්ච දායාදයක්. මට පොඩි කාලේ ඉඳලම හොඳට කී බෝඩ් එක ප්ලේ කරන්නත් හැකියාවක් තිබුණා. මේ සියලු දේත් එක්ක මගේ ආබාධිත තත්ත්වයත මාව සංගීතය පැත්තට නැඹුරු කිරීමට තවත් උත්තේජනයක් වුණා.

•ඉන්පසුව ඔබ කොහොමද සංගීතයෙන් ඉදිරියට ආවේ...

මගේම සිංදුවක් කළා ‘තටු නැති සමනළයෙකි’ කියලා. ඒකේ වීඩියෝවකුත් කළා. ඉන්පසුව නැවතත් තවත් සිංදුවක් කළා ‘මගේ දෙපා දෙක වාරු නැත’ කියලා. ඒ සිංදුව ඉදිරිපත් කිරීම වෙනුවෙන් මං මේ දවස්වල අනුග්‍රාහකයෙක් හෝ කොටස්කරුවෙක් සොයමින් ඉන්නෙ. ඒ සඳහා කවුරුන් හෝ මට අත්වැලක් සපයනවානම් එය මා වැනි ආබාධිත අයෙක් වෙනුවෙන් කරන ලොකු උදවුවක් ලෙස සලකනවා.

• ඔබගේ ආබාධිත තත්ත්වය ගැනත් කතා කළොත්....

මට උපතින්ම අත්දෙක පිහිටලා නැහැ. ඒත් මං ඒ ආබාධිත තත්ත්වය කියලා සැළුණෙ නැහැ. කොහොමහරි ඉදිරියට ඒමටයි සෑම විටම උත්සාහ කළේ. මම ශිෂ්‍යත්වයෙනුත් ඉහළින්ම සමත් වුණා. මං මේ අවස්ථාවේදී ඉතාම කෘතගුණ පූර්වකව සිහිපත් කරලා පින් දෙනවා පුෂ්පා ජයකොඩි ගුරු මෑණියන්ට. එතුමිය අද ජීවතුන් අතර නැහැ. පුෂ්පා ජයකොඩි විදුහල්පතිතුමිය තමයි මාව නැදගමුව සාරානන්ද විදුහලට බාරගන්න කැමැති වුණේ. මොකද මගේ ආබාධිත තත්ත්වෙත් එක්ක මාව විශේෂ අධ්‍යාපන ඒකකයට ඇතුළු කරගන්න කියලයි අධ්‍යාපන කාර්යාලයෙන් කියලා තිබුණේ. ඒත් එතුමිය එහෙම කළේ නෑ විශේෂ අවසරයක් ගෙන මට සාමාන්‍ය ළමයි සමඟ ඉගෙන ගන්න අවස්ථාව ලබා දුන්නා. ඒක තමයි මගේ ජීවිතයේ මෙවැනි දීර්ඝ ගමනක් ඒම සඳහා ලැබුණ මුල්ම අත්වැල වගේම ධෛර්යය.

• දෙඅත් අහිමි ආබාධිත තත්ත්වයත් සමඟින් ඔබ අධ්‍යාපනයෙන් ඉදිරියට ආවේ...

මම මුලින් ගිය නැදගමුව සාරානන්ද විදුහලෙන් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුණා. ශිෂ්‍යත්වය පාස් වීමෙන් පසුව වැඩිදුර අධ්‍යාපනයට මිනුවන්ගොඩ ජනාධිපති විදුහලට ගියා. ඒකෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පාස්වෙලා තමයි බෙල්හුඩ් සෞන්දර්ය නිකේතනයට ඇතුළත් වුණේ. මම කොයිම මොහොතකවත් ‍අත්දෙක නෑ කියලා පස්සට ගියේ නෑ. දෙන වැඩ හැම එකක්ම අනෙක් ළමයි හා කරටකර කළා.

• කවුද මේ ගමන එද්දී බුද්ධිකට සවියක් වුණේ....

විශේෂයෙන්ම මගෙ අම්මයි තාත්තයි අයියයි අක්කයි ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. පසුව මගේ බිරිය නිමාෂි සහ හත් හැවිරිදි පුංචි පුතු ගයුදුත් මට ලොකු හයියක්. ඉන් පසුව ක්ෂේත්‍රයට පිවිසීමේදී ප්‍රියන්ත නාවලගේ, සරත් ද අල්විස්, ඩෙන්සිල් නුගේගොඩ, ශෙහාන් ගලහිටියාව වගේ ශිල්පීන් ගොඩ දෙනෙක් උදවු කළා.

• මොනවද රසිකයන්ගේ බලාපොරොත්තු වන්නෙ...

ඇත්තෙන්ම මට හොඳ රසික පිරිසක් සිටිනවා... මා සහභාගි වන ප්‍රසංග වේදිකාවලදී මට එය හොඳින් අත්දකින්න ලැබිලා තියෙනවා. මං ආබාධිතයෙක් වුණත් ලැබෙන ප්‍රතිචාර ගැන මං හරි තෘප්තිමත්. ඒක මට හරි සතුටක්. මොකද මං මේ ගමන ආවේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ. ඒ සියලු බාධක ජයගෙන ආ ගමන ගැන ඇත්තටම හරිම සතුටුයි. 

 

Comments