‍‍‍ජෝති මත­කය හැම­දා­මත් | සිළුමිණ

‍‍‍ජෝති මත­කය හැම­දා­මත්

වසර තිහකට පෙර, ජූලි හත්වැනිදාවක ශ්‍ර‍ී ලංකා සංගීත ක්ෂේත්‍රය, දශක ගණනාවක් පුරා තම මියුරු හඬින් වසඟයට පත් කළ කෝකිලයකු ගේ හඬ නිහඬ වූ දුක්මුසු පුවතට අදාළ රූපරාමු රැසක් ඉන්ද්‍රචාපගේ සමීප රූපයේ. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ගායක සමීප රූපාවලිය අතර, උස්ම තැනක එසවී තිබෙන ගායක මුහුණු දෙකක් ඉන්ද්‍රචාප දකිනවා. ආචාර්ය පණ්ඩිත් අමරදේව එක් පසකත්, එච්.ආර්. ජෝතිපාල අනෙක් පසත් පෙනෙන සමීප රූප.

ආචාර්ය පණ්ඩිත් අමරදේව, මෙරට සිංහල සංගීතයේ ගායක පරපුරේ විශිෂ්ටතමයා. ඒ පිළිබඳ වාද විවාද ඇතැයි ඉන්ද්‍රචාපට හිතෙන්නෙ නෑ. අනිත් පසින් පෙනෙන සමීප රූ‍පයෙ ඉන්න දැවැන්තයා, සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියම, අතිශයින් ජනප්‍රියම ගායකයා එච්.ආර්. ජෝතිපාල. රංගනයෙහි ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රමගෙ නම් ගම් කියැවෙන විදියටම පණ්ඩිත් අමරදේවගෙත් ජෝතිපාලගෙත් නම් ගම් කියැවෙන්නෙ.

පණ්ඩිත් අමරදේවගෙ සමීපරූපය සමඟ එතුමන්ගෙ ගායනය, වාදනය, සංගීතඥානය, සංගීත නිර්මාණ දායකත්වය, චිත්‍රපට, වේදිකා නාට්‍ය මුද්‍රා නාට්‍ය සඳහා ඔහු රශ්මි කදම්බයක් වගේ එළිය කරනවා. ඉන්ද්‍රචාප දකිනවා. ඒත් ජෝතිපාල වටේ ඒ වගේ මහා විශාල සංගීත ඥාන සම්භාරයක් නොපෙනු‍ණත්, ඔහු වටා එළිය කෙරෙන රැස් වළල්ලක් ඉන්ද්‍රචාප දකිනවා.‍ ඒ පසුගිය දශක පහකට ආසන්න කාලයක්, තම කටහඬින් මෙතෙර එතෙර, ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා සමූහයක් ගී රසයෙන් මත් කළ, ඔවුන්ගේ ගී පවස නිවූ අද ද ගී පවසට, අමාවක් බඳු මධුර ස්වරයක් සතු වූ ‍ජෝතිගේ ගායන, ප්‍රභාවයි. කටහඬ පෞරුෂයයි.

ගුවන් විදුලි ගායනාවට, මුල් කාලයේදී එකතු වුණු ජෝතිගේ කටහඬ චිත්‍රපට කිහිපයක් සඳහාම එකතු වන්නට තිබ‍ූ අවස්ථා ගිලිහී ගියත් අවසානයේ, ජෝති ගේ රන් ස්වරය මෙරට ශ්‍රාවකයන්ට ඇසුණු සුරතලී චිත්‍රපටය ඉන්ද්‍රචාප සමීප රූපය තුළින් දකිනවා. 1956 සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය, ජබීර් ඒ කාදර් නිෂ්පාදනය, චිත්‍රපටය සුරතලී. සංග‍ීත අධ්‍යක්ෂ ටී.ආර්. පාපා ජෝතිගේ හඬ ප්‍රතික්ෂේප කළත්, අධ්‍යක්ෂ අබේරත්න මහතාගේ බිරිය පාපාට පවසා ඇත්තේ, ජෝතිගේ හඬ අසන්නේ, සුරතලී ප්‍රදර්ශනය වන්නේ, ඉන්දියාවේ ශ්‍රාවකයන්, ප්‍රේක්ෂකයන් නොව ශ්‍රී ලාංකිකයන් බවයි.

ජෝති එක් රැයෙන් මේ රටේ ගායන ක්ෂේත්‍රයේ විශ්මිතයා වන්නේ, සිරියා මේ සාරා නැගේවි හද මෝරා ගායනයෙන්. ජෝතිගේ පසුබිම් හඬටම ගැළපුණු රූපකායක් තිබුණු ආනන්ද ජයරත්න, ජෝති පසුබිම් ගී ගැයූ පළමු නළුවා ලෙසයි සමීප රූපයේ ඇඳෙන්නෙ. එදා පටන් 1987 දී මිය යන තෙක් ම ජෝති අපේ සිනමාවෙ සියලු ම දැවැන්ත නළුවන්ගේ ගායකයා වී හමාරයි. ගාමිණී ෆොන්සේකාගෙන් පටන් ගත්තම, විජය කුමාරතුංග වගේ මෑතකාලයේ තරුණ නළුවෙක් දක්වාම තිරයට ගැළපෙන කටහඬ (Screen voice) තිබුණෙ එච්.ආර්. ජෝතිපාලට බව අවිවාදිතයි කියලයි ඉන්ද්‍රචාපගෙ සමීපරූපගේ සටහන් වෙන්නේ.

‍ජෝතිපාලගෙ සමීප රූපය පොදු ජනතාවගෙ ගායකයා විදියට එදා පටන් අද දක්වාම සම්මානයෙන් පිදෙන්නෙ හැම අවුරුද්දකම මතකයට නංවන්නෙ, ඔහු ගායනා කළ, ජනප්‍රියම චිත්‍රපට ගීත, සරල ගීත, සිය දහසක් නිසා බව ඉන්ද්‍රචාපට අමතක වෙන්නෙ නෑ. චිත්‍රපට පසුබිම් ගායනා ගත්තොත්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක වගේ සංගීත අධ්‍යක්ෂවරු, ජෝතිපාලගෙ කටහඬින් උපරිම ප්‍රයෝජන ගත් අධ්‍යක්ෂවරු.

කේමදාස සංගීතවත් කළ දුලීකා - ආදර මල් පවනේ වාග් ගීතයක්, සරත් දසනායකගේ සංගීත නිර්මාණ, පාට පොදක් තිලක ලා, වගේ ගීත අපේ රසිකයන්ගේ හදවත්වල යුගයෙන් යුගයට, අලුත් ම නැවුම්ම මිහිරක් ගේන ගීත බවට පත්වෙන්නෙ ජෝතිගේ නොනැසෙන මධුර හඬ නිසා.

මුල් කාලයේ සරල ගීත ගායකයෙක් විදියට ජෝති ලකුණ සංගීත ක්ෂේත්‍රයේ සටහන් වුණු විදිය ඉන්ද්‍රචාපට මතකයි. හින්දි, දෙමළ තනුවලට ලියපු විශාල සින්දු වගේ ම ස්වීය රචනා කළ කරුණාරත්න අබේසේකරත් ජෝතිගේ හඬ පසුපස ඉන්ද්‍රචාප දකිනවා. දිය පොදක් වෙමින් තොල් වියළුණු පිපාසෙට එක් ස්වතන්ත්‍ර ගීයක් පමණයි. 

Comments