කිරි නිසා ඕනෙ මට උණු නිසා බීවේ නැත

 පොඩි පුතා ආවේ කලබලයෙනි. දුර දී ම මම ඔහු බව හඳුනා ගතිමි. කවදාවත් මා බලන්නට රෝහලට නොපැමිණි ඔහු මේ එන්නේ කුමකට ද යන්න මට සිතා ගැනීමට නොහැකි විය. පාළුව කාන්සිය සමඟ සිතෙන් වෙලී සිටි මගේ සිත ඔහු දැකීමෙන් ප්‍රබෝධයෙන් ඇළලී ගියේය. මේ අවස්ථාවේ කට පරිස්සම් කරගැනීමට මා ගත් ප්‍රයත්නය දන්නේ මා පමණි. වෙනදා දහල් කෑමට ගෙදර ගොස් නැවත පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණද ස්ට්‍රයික් එක අවස්ථාවේ කිසිත් කිරීමට නොහැකි වීම අභාග්‍යයකි. මේ නිසා දහවල් ආහාර ගැනීමට ගෙදර යාම ද වැළැකිණි. කාලවකවානුවේ අයපත් බව නිසා මම සැඟවී සිටින්නට උත්සාහ කළෙමි. මේ නිසා ‍‍ගෙදර දී වුවද රෝහලේ වුවද වෙනත් ස්ථානයකදී වුවද මම මාගේ වෘත්තීයභාවය සඟවාගෙන සිටියෙමි.

එහෙත් මාගේ මුනිවත රැකීමට නිර්මලා අකමැතිය. ඇය බොහෝ විට මාගේ වෘත්තිය නිසා උද්දාමයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. වෘත්තියෙන් පාසල් ගුරුවරියක් වූ නිර්මලා දැන හැඳින ගත්තේ පාසල් කාල‍යේදීය.

''මේ දවස්වල අපේ විකීලාගේ ස්ට්‍රයික් එක ජයටම යනවා.''

නෑදෑයන් එක් රැස් වන ස්ථානයක දී වුවත් නිර්මලා කතාවට අවතීර්ණ වන්නේ ඒ අනුවය. කුමන ආකාරයකට අර්ථ දැක්වුවත්, ස්ට්‍රයික් පිළිබඳ මා තුළ ඇත්තේ අපැහැදීමකි.

''අපේ මහත්තයා ඇෂෝෂියන් එකේ සභාපති වෙන්නත් යෝජනා කළා. කෝ...ඉතින් එයා කැමැති වුණේ නැහැනේ."

නිර්මලා තමන්ගේ අභිමානත්වය රැකගැනීම සඳහා මගේ වෘත්තිය යොදා ගැනීම තරම් පිළිකුලක් තවත් නැත. එහෙත් කිසිවිටකත් ඇය ඇගේ ක්‍රියා නොනැවැත්වීය. ඇය‍ කතාව පටන් ගන්නා බොහෝ අවස්ථාවල මම ඇයට ඉඟි කොට කතාව නවත් වන ලෙස කියූවද ඇය එය නො නොනැවැත්තුවාය. මෙවැනි අවස්ථාව මගේ හිස තදින් රිදුම් දු‍න්නේය. එවැනි අවස්ථාවල අලසව කාලය ගත කළා හැරෙන්නට කිසිවකු සමඟ තර්ක කිරීමට හෝ අදහස් ඉදිරිපත් කිරීමට මම නොගියෙමි.

මෙවැනි බොහෝ කල්පනා සයුරේ නික්මීම හැරෙන්නට කළ හැක්කක් නැත.බොහෝ වෙලාවලට අසරණ රෝගීන්ගේ මුහුණු මට මැවි මැවී පෙනුණි. මම සියල්ල සිතින් දරා සිටියෙමි. මේ සියල්ල තනිවන සෑම අවස්ථාවකම මා මනෝ ලෝකයකට කැන්දා ගියේය. පොඩි පුතා ළඟට එන තෙක්ම මම බලාගත් අත බලාගෙන සිටියෙමි.

''තාත්තේ''

එවර මට පියවි සිහිය ලැබුනේ පොඩි පුතාගේ හඬිනි.

මා අසලට එන විටත් ඔහුගේ සිරුර හොඳට දිය බත් වී තිබුණි. ඉහින් කණින් වැටුණ දිය බිඳු සට සට ගා බිම පතිත විය. ‘මේ කොල්ලා ඇයි මේ‘ මම මගෙන්ම ඇසුවෙමි. ‘හදිස්සි පණිවිඩයකටවත් ගෙන්වා ගන්න බැරි මිනිහා ...‘ මම මටම කියා ගත්තෙමි. මම නොයෙක් සිතුවිලි ඔහුට පැටවීමට සිතුවෙමි. එහෙත් කුමක්ද යන්න හරියටම තේරුම් ගැනීමට නොහැකි විය.

තාත්තේ මං ආවේ ලොකු හදිස්සියකට....

මම එකවරම ඔහුගේ දෑස් දෙස බැලුවෙමි.

‘ඇත්තටම ඇයි පුතා?‘

‘තාත්තේ මේ ඉන්නේ මගේ යාළුවෙක්.‘

පොඩි පුතා අත දිගු කර යාළුවා පෙන්වීය. කමිස කලිසම් මඩින් පෙඟී තිබුණ කොලුවා මා දෙස බලා සිනා සුණේය. මම යන්තමින් සිනාසුණෙමි.

‘මේ මොක ද?‘

මම එකවරම තැති ගත්තෙමි. කොලුවාගේ අත තුවාල වී තිබුණි. කකුලද බැන්ඩේජ් පටියකින් වෙලා තිබුණි.

‘තාත්තේ මගේ යාළුවා වැටුණා. අනේ තාත්තේ ස්ට්‍රයික් එක තිබුණාට කමක් නෑ. මේ තුවාලවලට බෙහෙත් ටිකක් දාන්නකෝ.‘

මගේ ගත දා දියෙන් තෙත් විය. නළලේ දා බිඳු කීපයක් බිමට වැටෙන්නට ආසන්නව නතර වී තිබුණි. මිසිස් තෙල්දෙණිය මට ඇසෙන් යමක් සංඥා කළාය. මම පෑනෙන් දෙවරක් මේසයට තට්ටු කළෙමි. මට ස්ට්‍රයික් එක සිහිවිය. මා කුමක් කළ යුතු ද? මට සිතා ගත නොහැකි විය.

‘ඇයි තාත්තේ?‘

පොඩ්ඩා මට සමීපවෙන ගමන් ඇසීය.

‘තාත්තේ මෙයාගේ තාත්තාට සල්ලි නැහැ. තාත්තට බැරිද? උදව්වක් කරන්න.‘

මගේ සිත චංචල විය. මිසිස් තෙල්දෙණිය ඈත සිට දෙන ඉඟිය එතරම් සුබවාදී නැත. සියලුම රෝහල් ස්ට්‍රයික් වුණත් මේ මගේ පුතාගේ ඉල්ලීම. මගේ හිත දහස් වර තැවුණි.

‘අනේ පොඩ්ඩෝ මට සමා වෙන්න.‘

මම අමාරුවෙන් වචන ගලපා ගතිමි.

පොඩ්ඩා දෙවරක් නොසිතුවේය. යාළුවා රැගෙන බයිසිකලය පැදගෙන යන ආකාරය මගේ දෑසට කඳුළු ගෙනාවේය.

ඩියුටි අවසන් වීමෙන් පසු මා රාත්‍රියේ ගෙදර යන විට පොඩ්ඩා හාන්සි පටුවේ දිග ඇදී සිටියේය. නිර්මලා පොඩ්ඩාගේ හිස අත ගාමින් ඕඩික්ලෝන් පැලැස්තරයක් එළමින් සිටියාය. පොඩ්ඩාගේ මුවින් සිහින් කෙඳිරියක් නික්මුණි. නිර්මලා එක එල්ලේ මගේ දෑස් දෙස බැලුවාය.

‘ඇයි මේ...‘

‘පුතාට හොඳටම උණ‘

‘මොනවා...‘

මට ගොත ගැසුණි. මම ඔහුගේ අත අල්ලා ගතිමි. එහෙත් ඒ දෙවරම ඔහු අත ගසා දැම්මේය.

‘ඇයි මේ....‘

මම ඔහු ළඟට ළං වුණෙමි. හිස කෙස් මත ඇඟිලි තුඩු යවමින් ආදරෙන් අතගෑවෙමි.

‘කෝ.. බලන්න මගේ පොඩ්ඩාට මොකද වෙලා තියෙන්නේ?‘

වෙනදා මෙන් ඔහු මගේ ආදරණීය බවට අවනත නොවීය. මම උත්සහ කළත් එය නිරර්ථ විය.

‘තාත්තේ මට තාත්තා බෙහෙත් දෙන්න එපා . තාම ස්ට්‍රයික් එක ඉවර නෑ නේ.‘

මගේ දෑස කඳුළින් තෙත් විය.

අනේ පුතේ මං පුතාට කොහොම කියන්න ද ? මං කැමැත්තෙන් ස්ට්‍රයික් කළේ නෑ කියලා.

රූපාන්ති බුලත්සිංහල 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.