ගුණවර්ධනය කළ මනෝරත්නය

 දයානන්ද ගුණවර්ධන මහතා බිහි කළ රඟපෑම් ශෛලිය විජය නන්දසිරි මහතා විසින් පෝෂණය කෙරිණි. දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය ශෛලිය පෝෂණය කරන ලද්දේ ආචාර්ය ජයලත් මනෝරත්න විසිනි. එය පහසු කටයුත්තක් නොවේ.

මා එසේ කියන්නේ අන් කිසිවක් නිසා නොවේ. දයානන්ද ගුණවර්ධන මහතාණන් විසින් පදනම දැමුවේ අවුරුද්දක් දෙකක් පවතින නාට්‍ය සම්ප්‍රදායකට නොවේ; අවුරුදු දෙතුන් සීයක් පවතින නාට්‍ය සම්ප්‍රදායකටය. ඒ අනුව දයානන්ද ගුණවර්ධන මහතාගේ නාට්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙනයෑමට නම් එතරම්ම ශක්තිමත් නිර්මාණ අවශ්‍ය වේ. ආචාර්ය ජයලත් මනෝරත්න එය සිදු කළේය. ඒ ප්‍රධාන වශයෙන් අන්දරේලා, තලමල පිපිලා සහ ගුරුතරුව යන නිර්මාණ ත්‍රිත්වයෙනි. ‘අන්දරේලා’ නාට්‍යය මට කාව්‍යමය ලෙස දැනෙන්නේ දයානන්ද ගුණවර්ධන මහතා ‘මධුර ජවනිකා’ නාට්‍යයෙන් පසුව නිර්මාණය කළ නාට්‍යයක් මෙනි.

‘අන්දරේලා’ නාට්‍යය මගින් පවසනු ලබන්නේ කුමක්ද යන්න සෑහෙන කාලයක සිට නොවිසඳුණු ප්‍රශ්නයක් ලෙස මා තුළ පැවතිණි. එම නාට්‍යය අවසානයේ දී ලන්දේසි වෙඩි පහරකින් අන්දරේ මැරීවැටෙයි. ඉන් පසුව පැමිණෙන රජතුමා අන්දරේ මැරී වැටී සිටින ආකාරය දැක ‘අන්දරේ මරිලත් මාව හිනස්සනවා’ යැයි කියයි. එහෙත් නාට්‍යය අවසාන මොහොතේ දී මැරුණු අන්දරේ යළි නැඟිටියි. ‘මං මැරුණද නැද්ද කියනඑක මංවත් හරියට දන්නේ නෑ. ඒ නිසා ඒක ගැන ටිකක් හිතලා බැලූවොත් හොඳයි, ’ ඔහු පේ‍්‍රක්ෂකාරයට පවසයි. සැබවින්ම ‘අන්දරේලා’ වැනි නාට්‍යයක් බිහි වීමෙන්ම පෙනෙන්නේ අන්දරේ නොමැරුණු බවයැයි අයකුට පැවසිය හැකිය. කෙසේ වුවත් ‘අන්දරේලා’ නාට්‍යයේ මේ අවසානයට මම බෙහෙවින්ම ආසා කළෙමි. මම මේ අවසානය අනුව නාට්‍යය සම්බන්ධයෙන් මගේම අදහසක්ද නිර්මාණය කරගත්තෙමි. මෙයින් අදහස් වන්නේ ඉංග්‍රීසීන් විසින් අපේ රට යටත් කරගත්තත් අපව යටත් කරගැනීමට නොහැකි වූ බවයැයි මම සිතුවෙමි. 1815 පිළිබඳ අප රටේ සෑම සිතකම මෙන්ම මගේ සිතේද පවතින ශෝකය හා පරාධීන හැඟීම තුනී කරගැනීමට එය උපකාරී විය.

කෙසේ වුවත් මා දැන් සිතන්නේ ‘අන්දරේලා’ තේමාව එයටද වඩා විශාල බවය. ‘ගජමන් පුවත’ නාට්‍යයට මෙන්ම අන්දරේලා නාට්‍යයටද පසුබිම් වන්නේ පරසතුරු උවදුරු හා අවුල්-වියවුල් බහුල සමයකි. එහෙත් ඒ සියලූ දුක් කරදර අවහිර මධ්‍යයේ වුව සිංහලයාගේ මුවින් සුපුරුදු සිනාව ඈත් වූයේ නැත; සැහැල්ලූව ඈත් වූයේ නැත. ඉංග්‍රීසීන්ට යටත් වුවත් අටලෝ; දහම ඉදිරියේ කම්පා නොවන අපේ ගුණය යටත් වූයේ නැත. ලන්දේසීන්ට හෝ ඉංග්‍රීසීන්ට එය කඩුවෙන් නැති කිරීමට හැකි වූයේ නැත. දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය සම්ප්‍රදාය ආචාර්ය ජයලත් මනෝරත්න අනාගතය වෙත දිගු කළේ එසේය. අටලෝ දහමෙන් කම්පා නොවන අපේ ගුණය කිසිදු තුවක්කුවකින් හෝ එල්ල කරනු ලබන වෙඩි උණ්ඩයකින් හෝ නැති කිරීමට නොහැකි තරමට ප්‍රබලය; ශක්තිමත්ය. අපේ සිනාව කිසිදා අපට අහිමි කළ නොහැකිය. ‘අන්දරේලා’ නාට්‍යයේ සදාතනික වන්නේ ඒ නිසාය.

එහෙත් විශිෂ්ට කලා නිර්මාණයක් සෑම පැත්තෙන් ම බබළන මැණිකක් වැනිය. ‘අන්දරේලා’ නාට්‍යයේ දැක්වෙන්නේ මහනුවර යුගයේ රජකු හා ඔහුගේ කවටයා වූ අන්දරේ පිළිබඳ කතා පුවතකි. කතාව එසේ වුව ද ඒ තුළින් අපට පෙනෙන්නේ වර්තමානයයි. වර්තමාන රජවරුන් හා අන්දරේලාය. ‘අන්දරේලා’ නාට්‍යය අද පවතින දේශපාලනයද උපහාසයට ලක් කරයි; එදා රජ කාලයේ පැවැති දේශපාලනයද උපහාසයට ලක් කරයි. එනම් ‘අන්දරේලා’ විසින් උපහාසයට හාස්‍යයට නතු කරනු ලබන්නේ එදා සිට අද දක්වාද පවතින, මතු අනාගතයේදීද පවතින දේශපාලනයයි; රජවරුන්ගේ හැටියි. එය මේ නාට්‍යයේ තවත් මානයකි.

‘අන්දරේලා’ සිංහල නාට්‍ය ඉතිහාසයේ වැඩිම වාරයක් වේදිකාගත වූ සහ අදටත් වේදිකාගත වන නාට්‍යයකි. සැබවින්ම අනූව දශකය හා ඉනික්බිති දශකය තුළ නාට්‍ය පේ‍්‍රක්ෂාගාරය රැකගැනීමට ඉහළම කාර්යභාරය කළේ ආචාර්ය ජයලත් මනෝරත්නගේ නාට්‍ය නිර්මාණයැයි සිතමි. එදිරිවීර සරච්චන්ද්‍රයන් හා දයානන්ද ගුණවර්ධනයන් බිහි කළ පේ‍්‍රක්ෂාගාරය ඊළඟට රැකගැනීම හා පවත්වාගැනීම සම්බන්ධයෙන් කේවල නාට්‍ය නිර්මාණකරුවකු වශයෙන් විශාලතම කාර්යභාරය ඉටු වූයේ ආචාර්ය ජයලත් මනෝරත්න වෙතින්යැයි කීම නිවැරදිය.

අනෙත් අතට මෙහි දී කිව යුතු තවත් කරුණක් ඇත. එය කලාවේ ප්‍රමිතිය සම්බන්ධයෙනි. භාණ්ඩයක ප්‍රමිතිය ඇති කරන්නා සේ කලාවේ ප්‍රමිතිය ඇති කළ නොහැකිය. කලාවේ ප්‍රමිතිය රැකගනු ලබන්නේ සම්ප්‍රදාය විසිනි. නොඑසේ නම් කලාවේ ප්‍රමිතිය වනාහි සම්ප්‍රදායයැයි කිව හැකිය. උදාහරණයක් වශයෙන් නැටුම් කලාවේ ප්‍රමිතිය වන්නේ උඩරට, පහතරට, සබරගමු, භරත ආදි නැටුම් සම්ප්‍රදායන්ය. සංගීතයේ ප්‍රමිතිය වන්නේ අපේ ජන සංගීත කලාව හෝ උත්තර භාරතීය රාගධාරී සංගීතය හෝ වෙනත් සම්ප්‍රදායක් හෝ වේ. සම්ප්‍රදායක් මගින් කලාවක් පහතට වැටීම නොඑසේ නම් ‘ප්‍රමිතියෙන් පිට පැනීම’, ‘බාල වීම’ වළක්වනු ලැබේ. අපගේ යුගයේ දී නාට්‍ය කලාවේ සම්ප්‍රදාය රැකගත්තේ ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය විසින්යැයි කීමට කැමැත්තෙමි. නොඑසේ නම් සිංහල නාට්‍ය කලාවේ ප්‍රමිතිය රැකගත්තේ ජයලත් මනෝරත්නගේ නාට්‍ය විසිනි. එය කළ හැකි වූයේ ඔහු සම්ප්‍රදායක් රැකගැනීමට හැකි හා පෝෂණය කිරීමට හැකි ශක්තියෙන් යුත් නිර්මාණකරුවකු වූ නිසාය.

ඒ අතරම තවත් දෙයක් කිව යුතු වේ. ජයලත් මනෝරත්නගේ නිර්මාණ නොවූයේ නම් දයානන්ද ගුණවර්ධන මහතාගේ නිර්මාණ අනන්‍යතාව වත්මන් පේ‍්‍රක්ෂක ජනතාවගෙන් දූරස්ථ වන්නට යම් ඉඩක් තිබුණු බවයි; එනම්: දයානන්ද ගුණවර්ධනයන්ගේ සම්ප්‍රදාය ඔස්සේ ජයලත් මනෝරත්න සිදු කළ නිර්මාණ දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණද වර්තමානයට ගෙන ඒමට උපකාරි වූ බවයි. මා කියන්නේ සැබවින්ම සම්ප්‍රදායේ අඛණ්ඩ පැවැත්මට දායක වීම මගින් වර්තමාන පේ‍්‍රක්ෂකයා දයානන්ද ගුණවර්ධනයන්ගේ නිර්මාණ වෙතින් ඈත් වීම වැළැක්වීමට නොඑසේ නම් වඩාත් සමීප කරවීමට මනෝරත්නගේ නිර්මාණ හේතු වූ බවයි.

ගුණවර්ධනයන් ඉතා සියුම්ව ජීවිතය ස්පර්ශ කළ කලාකරුවෙකි. ‘අන්දරේලා’ නාට්‍යයට මෙන් ම ‘ගජමන් පුවත’ නාට්‍යයටද පසුබිම් වන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට අපේ රට හසු වෙමින් පැවැති යුගයයි. එහෙත් ‘ගජමන් පුවත’ තුළ කතා වෙන්නේ ලන්දේසීන්ට සේවය කළ මුදලිවරුන්ගේ වුවද කෝට්-කබා යට සැඟවී පැවැති කවිකම හා ආදරයයි. එයද ‘අන්දරේලා’ මෙන්ම යටත් වීම හා යටත් නොවීම පිළිබඳ කතාපුවතකි. මෙහි දී මා කියන්නට උත්සාහ කරන්නේ ජීවිතය සියුම්ව ස්පර්ශ කිරීමෙහි ගුණවර්ධනයන් සතු වූ බුහුටි බවට මනෝරත්නද උරුමකම් කියූ බවයි. එසේ නොවුණේ නම් ගුණවර්ධන සම්ප්‍රදාය එතනින් නවතින්නට ඉඩ තිබිණි. එම සම්ප්‍රදාය පෝෂණය කර ඉදිරියට ගෙනයෑමට හැකි වන පරිදි අපේ මවුබිම විසින් බිහි කරන ලද සුවිශේෂ සාහිත්‍යවේ දී නාට්‍යකරුවා ආචාර්ය ජයලත් මනෝරත්නයි.

උදයසිරි වික්‍රමරත්න 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.