ප්ලේටෝනික ආලය | සිළුමිණ

ප්ලේටෝනික ආලය

 කලකට පෙර ' වික්ටෝරියා පාක් ' ලෙස හැඳින්වුණු කොළඹ පුරහල විහාර මහ දේවී උද්‍යානයේ ගසක් උඩ කදිම ලෑලි ගෙයක් තනා තිබිණී. මේ ගහ උඩ ගෙට නැග ගත්තේ නම් වම් අත දෙසින් ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේ ගොඩනැගිලිවල වහලය පෙනෙන අතර ඊට සමාන්තරව දකුණු පසින් එක එල්ලේ ම පෙනුණේ කොළඹ මහජන පුස්තකාලයේ ගොඩනැඟිලිවල වහළය යි. පාසලත් පුස්තකාලයත් අතර මැද එකම බිම් රේඛාවක පිහිටා තිබූ ගහ උඩ ගෙය කදිම මතක වස්තුවකි. එදා ඇලෙක්සැන්ඩ්‍රාව තිබූ තැන අද සුපිරි මහල් නිවාස සංකීර්ණයකි. අර පැරැණි ගස අද බොහෝ වයසට ගොස් නිරුපද්‍රිතව තිබෙන මුත් එහි තනා තිබූ ලෑලි ගෙය නම් හෝඩූවාවක් වත් සොයා ගත නොහැකි ලෙස අතුරුදන්ව ගොසිනි.

එකම බිම් රේඛාවක් මත පිහිටා තිබූ ආදරණීය අතීත මතක වස්තු දෙකක් එලෙස අභාවයට පත්ව ඇතත් කොළඹ මහජන පුස්තකාලය පමණක් විරාජමානව නැඟී සිටින හෙයින් කාශ්‍යප රණවීරගේ අතීත කාමය පිළිබඳ මුල් සිඳී නොයන්නට එය නිමිත්තක් වී තිබේ. මීට වසර 30 කට පමණ පෙර කොළඹ මහජන පුස්තකාලයේ තිබී ඔහුට ඉතා ආශ්වාදජනක වූ කෙටිකතා පොතක් කියවන්නට ලැබිණි. ඔහුගේ මතකයේ හැටියට එහි තිබුණේ කතා තුනක් පමණි. ඒ කතා තුනෙන් එකක් කෙතරම් තදට ජීවිතයට කා වැදී ගියේද යත් කුමක් අමතක වූවත් රණවීරට ඒ කතාව නම් කිසිදා අමතක වන්නේ නැත.

තිරිහන්වීම පිණිස කාවාටි නම් මුහුදු බෙල්ලන් සොයා ගිය මැදිවිය ඉක්මවූ පුද්ගලයකු පිළිබඳව උපහාසය මුසු සංවේගදායක කතා ප්‍රවෘත්තියක් එහි විය. ඒත් කරුමෙක මහත ! ඒ කෘතිය රචනා කැර තිබුණේ 'සෝලා ' ( Zola) නම් ලේඛකයෙකි. ඒ මිස ඔහුට රචකයාගේ සම්පූර්ණ නම මතක නැත. ඊටත් වඩා කරුමය වන්නේ ඔහුට ඒ පොතේ නම මොනම ක්‍රමයකට වත් සිහියට නො නැඟීමයි. පොතේ නම හෝ කර්තෘ නාමය හෝ යන දෙකට කිසිදු ඉඩක් නොතබා එකී කතාව පමණක් හිතට කා වැදීමේ කනගාටුදායක ප්‍රතිඵලය වූයේ කොතෙක් සෙව්වත් ඒ පොත පිළිබඳව කිසිම හෝඩූවාවක් මෙතෙක් සොයා ගත නොහැකි වීමයි. අතුරුදන් වූ ' ඇලෙක්සැන්ඩ්‍රාව ' හෝ ' ගහ උඩ ගෙය ' හෝ යන අතීත කාමයේ මතක වස්තු නැවත දැකිය නොහැකි බවට ඔහුට හිත හදාගත හැකි මුත් මේ නමක් නොදන්නා කෙටිකතා පොත නම් කෙසේ හෝ නැවත සොයාගත යුතු බවට ඔහුගේ හිතේ නලියන්නේ ලෙහෙසි පහසු ආශාවක් නොවේ !

ගාල්ලේ රූමස්සල ප්‍රදේශය සහ උණවටුන මුහුදු තීරය ආශ්‍රිතව සිදුවන පාරිසරික ව්‍යසනයක් පිළිබඳව 1990 දසකය මුලදී කිසියම් ආන්දෝලනයක් මතු වූ අතර ඒ පිළිබඳව ප්‍රවෘත්තියක් සෙවීමට දකුණු පළාතට ගොස් සිටියදී රණවීරට පැරැණි ' ඇලෙක්සැන්ඩ්‍රියානුවකු ' මුණ ගැසිණ. ඔහු සතුව කුඩා එහෙත් සියලු දෙයින් මනරම් වූ සංචාරක නිවස්නයක් විය. එහි එක් කාමරයක් අංග සම්පූර්ණ පුස්තකාලයක් ලෙස නිර්මාණය කැර තිබූ අතර එහි සියලු රාක්ක පිරී ගොස් තිබුණේ පැරණි සහ අලුත් ඉංග්‍රිසි පොත්වලිනි. මිතුරා සංචාරක ආකර්ෂණය පිණිස අමුතුම ආකාරයේ නවාංගයක් අත්හදා බලමින් සිටින්නේ යැයි සිතූ හෙයින් රණවීර ඔහු සමඟ ඒ ගැන කතාවට වැටුණේය.

' ..... අපොයි නෑ ..මේකේ මුල් අයිතිකාරයා මේක හදලා තියෙන්නේ ගෙයක් හැටියටයි. දැන් එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මිනිහා බර ගාණක් වියදම් කරලා මේක හැදුවේ පරණ ලව් එකකට. නමුත් දෙන්නා මේ ගෙදර එක මාසයක් වත් එකට ජීවත්වුන්නෑ .. තුන්වැනි සතියෙදි මිනිහා මේ ගෙදර කෙල්ලට දීලා ආපහු ඔස්ට්‍රේලියාවට ගියා. මේ කෙල්ල නෝර්ත් ඉන්ඩියන් ඔරිජින් එකක් වුණත් ලයිෆ් ස්ටයිල් එක නං ෆුල් වෙස්ටර්න්. අන්තිමට කෙල්ලත් ගේ අතහැරලා යන්න ගියා. ඔය පුස්තකාල කාමරය හදලා තියෙන්නෙම ඒ කෙල්ලව සතුටු කරන්නලු. අපරාදේ සල්ලි නේ ... ' යි මිතුරා අවංක කනගාටුවෙන් කීවේය.

ඔහු කී ලෙසම ඒ පුස්තකාල කාමරය සිසාරා දෙනෙත් විහිදූ විට ගෙයි මුල් හිමිකරුවා මෙහි ඇති පොත් කන්දරාව සඳහා පමණක් රුපියල් මිලියනයකට වඩා වැය කැර ඇති බැව් බැලූ බැල්මට ම රණවීරට පසක් වෙයි. ' මචං මෙතන මරු ස්ටෝරියක් තියෙනව නේ ..' යි ඔහුට ඉබේටම කියැවිණ. ' මරු ස්ටෝරියක් තියෙනව නං තමා ..ඒත් මේ ගැන නං රජෝ අකුරක්වත් ලියන්නෙපා ...උඹලට මේවා නිව්ස් වුණාට අපිට මේවා ජීවිත හොඳේ ..' යි ඔහු රණවීරගේ කතාවට එක එල්ලේ විරෝධය පළ කෙළේය. ' අයියෝ මං නිකමට කිව්වේ ...මේකේ ලියන්න තරං මගුලක් නෑ .. ' යි හෙතෙම ගත් කටටම කීවේය.

මිතුරාගේ සිත් සනසන අටියෙන් රණවීර විසින් එසේ කියන ලද මුත් එයින් නොසිතූ විරූ ලෙස මිතුරා ආවේගශීලී විය, ' මේකේ ඒ තරං මඟුලක් නෑයි කියලා කන්ඩෙම් කරන්නෙ කොහොමද ...' යි කියමින් වේගවත් වූ මිතුරා රණවීර අමතා දිගු දේශනාවක් පටන් ගත්තේය. ' දැං බලපං මේ රටේ ලෝකේ හුඟක් මෝඩයෝ පස්ස උඩ දාගෙන යනවා ටජ් මහල බලන්න. එහෙත් ඔය එකෙක්වත් හිතන්නෑ ..ඔය ටජ්මහල් හැදුවයි කියන රජා හිතක් පපුවක් නැති මහ කෲර මිනිහෙක්.

තමන්ගේ පෙම්වතිය සිහිවෙන්න ආදරයේ නාමයෙන් හැදුවයි කියන ටජ්මහල් හදද්දී ඒ රටේ මිනිස්සූ මහ සාගතයකින් කන්න බොන්න නැතුව බුරුතු පිටින් මැරිල වැටුණත් අර රජා ඒ මිනිස්සුන්ට කිසිම අනුකම්පාවක් පිහිටක් නොදී රාජ්‍ය භාණ්ඩාගාරයේ කෝටි ප්‍රකෝටි ගණන් වස්තුව වියදම් කරලා ඕක හැදුවා කියමුකෝ. අන්තිමට එහෙම ගත්ත ගෑනිට දසවද දීලා පන්නලා තව කසාද දෙකක් කර ගත්තා. ඒ විතරක් නෙවෙයි ටජ්මහල් හදපු නිර්මාණ ශිල්පියාගේ ඇස් අන්ධ කරන්න අණ දීලා ඒ මිනිහාවත් මැරුවා. මෙතන කොහෙද බං ආදරයක් ... ! මෙතන ආදරයක් නෙවෙයි අඩුම ගානේ උඹටයි මටයි තියෙන මනුස්සකම වත් තිබුණද කියලා හිතලා බලපන්කෝ .. ' යි මිතුරා කියාගෙන කියාගෙන යත්දී රණවීරත් ඒ වේගයෙන්ම ගොඩ යන මගක් සොයමින් මෙසේ කීවේය. ' ඕව් වොව් ඒ කතාව හරි අන්තිමට ඒ රජාත් තමන්ගෙම පුතාගේ අතින් සල්ලං වෙච්ච දවසේ මිනිස්සූ සන්තෝසෙට හත් දවසක් බෙර ගැහුවා කියලනේ කියන්නේ ' යි ඔහු ද අගුල්පත් තැබුවේය. ' අන්න එකනේ කියන්නේ ..ඒකනේ කියන්නේ ..ඒ රජා ටජ්මහල් හැදුවේ රටේ සල්ලි මංකොල්ල කාලා. නමුත් මේ මිනිහා තමන්ගේ ලව් එකට පුස්තකාලයක් හැදුවේ තමන්ම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලිවලින්. අපේ මිනිහා ලව් එකට මෝඩ වුණත් කරපු වැඩේ නම් නොම්මර එකයි...'

මේ වාද සංවාද මැද්දේ තමා කාලයක සිට සොයන නම අමතක කෙටිකතා පොත මේ පුස්තකාල කාමරයේ තිබිය හැකි දැයි සොයා බැලිය යුතු යැයි රණවීරට එක්වරම කල්පනාවට නැගිණ. ' මචං මට පොඩි දෙයක් දැන ගන්න පුළුවන් ද ..ලව් එකට වුණත් මේකේ මුල් අයිතිකාරයා පුස්තකාලයක් ම හදන්න හිතුවේ මොකද දන්නෑ නේ ... ? ' යි රණවීර ඇසුවේය. ' ඒක නං හරි ගොං පාට් එකක් ඒත් දිග කතාවක් මචං ...' යි කියමින් මිතුරා කතාව පටන් ගත්තේ සුසුමක් නගමිනි. ' ... ඔය කෙල්ල ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක පුස්තකාල ඇසිස්ටන් කෙනෙක් හැටියට තමා වැඩ කරලා තියෙන්නේ ..අපේ මිනිහා ශිෂ්‍යත්වයක් ලැබිලා එහේ ගිහින් බයෝ ටෙක් ඉංජිනේරු උපාධියක් කරන කාලේ තමා මුලින්ම ඔය කෙල්ලව හමුවෙලා තියෙන්නේ ..කොහොම නමුත් මේ කෙල්ලගේ රූපෙට විතරක් නෙවෙයි එයාගේ කතාව ඇතුළේ තිබුණ දාර්ශනික ගතියට අපේ මිනිහා වශී වෙලා ගියා. මේ දෙන්නා මාරු කර ගත්ත ලව් ලෙටර්ස් කියන්නේ රාමායණයේ ඉඳන් බාබරා කාට්ලන්ඩ්වත් කෝට් කරපු කතා. අනිත් පැත්තෙන් ඒවා ඇතුළේ ශේක්ස්පියර්ගේ නාට්‍යවල ඉඳන් හිට්ලර් ඇන්දයි කියන චිත්‍ර ගැනත් මාර පිලොසොපික් කතා ටිකක් තියෙනවා. නමුත් මේ කෙල්ලත් එක්ක එක ගෙයි සති දෙකක් ඉන්න කොට තමා අපේ මිනිහාට තේරුණේ මෙයත් හැබෑ ජීවිතේදී ක්‍රීම් පවුඩර් බබෙක් මිස ඔය ලව් එකට කතාවට කියන සාහිත්‍ය දාර්ශනික ටෝක් එකක්වත් එයාගේ කුඩු හම ඇතුළේ නැහැයි කියන එක ... '

' හ්ම් ... ඒ කියන්නේ මේක නිකං ප්ලේටෝනික් ලව් එකක් නේ .. ? යි රණවීර විසින් විමසනු ලැබූවේ කෙල්ලගේ පැත්තෙනුත් සිද්ධිය දෙස බැලිය යුතු බව නොකියා කියමිනි. ඔහු කී දෙය කිසිසේත් නොවැටහෙන බවට මුහුණින් ප්‍රශ්නාර්ථය නංවා ගෙන මිතුරා බලා සිටි හෙයින් රණවීර ම කතාව පටන් ගත්තේ ය. ' නෑ ..මං කියන්නේ දෙන්නා කොහොමටත් පිසිකලි එකතු නොවුණා නම් ඔය ලව් එක තාම තියෙන්න තිබුණා ... ' යි ඔහු කී අතර ' එහෙමත් ලව් තියෙනවද බං ! ' යි කියමින් මිතුරා තම විමතිය පළ කෙළේ ය. ' උඹ නොදන්නවට මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ ප්ලේටෝනික් ලව් තමා .. ' යි කී රණවීර කල්පනාවට වැටුණේ ය.

' ... කොළඹ හතේ ඇලෙක්සැන්ඩ්‍රාව තව දුරටත් නැති එක හොඳ ය ..විහාර මහ දේවී උද්‍යානයේ ගහ උඩ ගෙය නැති එක ඊටත් වඩා හොඳ ය .. තමා විසින් වසර තිහක් තිස්සේ සොයනු ලබන නම අමතක කෙටිකතා පොත මෙතෙක් ඇහැට දකින්නට නොලැබීම ඔක්කොටම වඩා හොඳය .. '

කේ.සී.ජේ.රත්නායක 

Comments