වඩුවා දුටුවා ද?

 අටේ පන්තියෙන් නවය පන්තියට සමත්වුණා ම ශිල්පීය විෂයයක් ඉගෙනගන්න මේ ලේඛකයාට සිද්ධවුණා. ඒ, අවුරුදු බර ගණනාවකට ඉස්සර. දැනුත් එහෙම වෙන්න ඇති. පොතේ පතේ දේවල් විතරක් ගිරව් වගේ කියවා කියවා ඉන්නවාට වඩා මොකක් හරි ශිල්පයක් ඉගෙනගන්න එක වටිනවානේ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් දීලා තිබුණු ඒ මහඟු ඉඩකඩ ප්‍රයෝජනයට අරගෙන මේ ලේඛකයා තෝරගත්තේ වඩුවැඩ. මේ වගේ වැඩක් ඉගෙනගත්තා ම ගෙදර දොරේ තියෙන පුංචි පහේ වැඩක් හරි කරගන්න බැරිකමක් නැහැනේ. කොහොම හරි සතියකට පැය කිහිපයක් වඩුවැඩ ඉගෙන ගැනීමේ වරම මේ ලේඛකයාට ලැබුණා. වඩුවැඩ ගුරුතුමා බොහොම පිළිවෙළට වැඩ කළ කෙනෙක්. පාසල් ගුරුවරයෙක් වුණා ම හොඳින් මැදපු ඇඳුමක් ඇඳගෙන පිළිවෙළට වැඩට යන්න එපායෑ. එහෙම වුණොත් තමයි ළමයි වුණත් පිළිවෙළකට හදාගන්න පුළුවන් වෙන්නේ.

මේ ශිල්පය ඉගෙනගැනිල්ල සතියකට පැය කිහිපයකට සීමා වුණත් අවුරුදු තුනක් ඉගෙනගත්තා ම ලැබෙන්නේ සුළුපටු දැනුමක් නෙවෙයිනේ. ඉතින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන්න කලින් මේ ලේඛකයාට පුළුවන් වුණා වඩුවැඩ ගැන සෑහෙන දැනුමක් අත්පත් කරගන්න. කියත අල්ලන්න ඕන කෝණය මොකක්ද කියලා ඇහුවොත් ඒකට අදාළ උත්තරේ ටක්කෙට ම දෙන්න මේ ලේඛකයාට අද වුනත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. වැඩට ගන්න කියත් වර්ග ගැන, යතු කැට ගැන, බුරුම - අවගාර ගැන, විවිධ පූට්ටු වර්ග ගැන, ප්‍රක්ෂේපණ අඳින විදිහ ගැන, ... . අපොයි, ඉගෙනගත්ත දේවල් මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබුණු ඒ ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මේ ලේඛකයාට පුළුවන් වුණා වඩුවැඩට විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් වැඩ පෙන්නන්න.

කොහොම වුණත් පොඩි රහසක් කියන්න තියෙනවා. මේ ලේඛකයාට අදටත් බෑ ඇණයක් ගහන්න, ලීයක් කපාගන්න. සමහර විට ඇණවල, මිටිවල, කියත්වල, ලෑලිවල අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. වායුගෝලයේ ඇතිවෙන වෙනස්කම් වුණත් මේවාට බලපානවා ද දන්නේ නැහැනේ. මේ වගේ බරපතළ දේවල් ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය නම් ඇණ, මිටි, කියත්වලින් සෙල්ලම් කරනවා. හොඳ ම උදාහරණය තමයි මේ ලේඛකයා ගේ නිවසේ වහළ ගහන්න ආපු හාදයා. ඒ මනුස්සයා අටේ පංතියවත් පාස්වෙලා නෑ. ඉතින් කොහොම ද වඩුවැඩ ගැන පිළිවෙලකට ඉගෙනගන්නේ? ඒත් මොකක් හරි රහස් ක්‍රමයක් ප්‍රගුණ කරලා තියෙන හින්දා ඒ හාදයා වහළවල් ගහනවා වගේ වැඩ කරන්න දන්නවා.

ඉතින් ගෙදර දිග පළල මැනපු ඒ බාසුන්නැහේ කිව්වා බාල්ක, යට ලී, පරාල, රීප්ප මේ මේ ප්‍රමාණවලින් ගේන්න කියලා. ඇණ වර්ග කීපයකිනුත් කිලෝ යම් යම් ප්‍රමාණයක් ගේන්න කියලා. මොකද ඉතින්, උඩ නැගලා වහළ මනින්න තරම් දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. කොහොම වුනත් ගමේ මනුස්සයානේ. හොඳට වහළ ගහන්න දන්නවා කියලා අලූතින් ගෙවල් හදපු අයත් රෙකමදාරු කළානේ. ඉතින් ඒ මනුස්සයා කියපු විදිහට බඩු මුට්ටු ගෙනැල්ලා දෙන්න මේ ලේඛකයා කටයුතු කළා. ගෝලයෝ දෙතුන් දෙනෙක් එක්ක ආපු බාසුන්නැහේ වහළ ගැහුවා. පරාල, රීප්ප, ඇණ ඉතිරි වුණෙත් නෑ. පොඩි පොඩි හුලස් කෑලි කැපුණා ඇරෙන්න බඩු මුට්ටු නාස්ති වුණෙත් නෑ. ඇත්තට ම ඒ මනුස්සයා කොහොම ද එහෙම කළේ?

මේක තමයි අපේ උගත්කමේ රහස. අපි ඉවරයක් නැතිව පොත්පත් කියවලා විභාග පාස්කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පළමු උපාධිය විතරක් නෙවෙයි ආචාර්ය උපාධි පාස්කරන්න පවා අපිට පුළුවන් වෙලා තියෙනවා. ”අපේ මහත්තයා ගමට ම ආඩම්බරයක්” කියලා මේ ලේඛකයා වගේ විභාග පාස්කරපු අය දැක්කා ම ගමේ පන්සලේ හාමුදුරුවොත් කියනවා. ඒ විතරක් නෙවෙයි. අහල පහල ගම්වල හාමුදුරුවරුත් අපේ ගුණ වනනවා. වහළවල් ගහන අර හාදයාට ”මහත්තයා” කියලා ඒ මනුස්සයා ගේ බිරින්දැවත් කියන්නේ නැතුව ඇති.

මෑතක ඉඳලා අපේ මහත්තුරු කියන තව කතාවක් තියෙනවා. ඒ අය කියන විදිහට අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කිසිම අධ්‍යාපනයක් නැති අය. ඉතින් මේ අපේ මහත්තුරු කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න නම් පළමු උපාධියවත් සමත්වෙලා ඉන්න ඕන කියලා. ඒ වෙනුවෙන් නීති පනවන්න ඕන කියලා ඒ අය දවල් රෑ නැතුව ෆේස්බුක් එක හරහාත් කියනවා. ඒත් මේ නූගත්තු ඒ විදිහට නැ‍ඟෙන මහා හඬට කන්දෙන්නේ නෑ. මේ ලේඛකයා අපේ මහත්තුරු කියන දේ ගැනත් හිතලා බැලූවා.

ඉතින් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් මහාචාර්යකමක් තියෙන කෙනෙක්ට විතරයි කියලා නීතියෙන් නියම කරගෙන තිබුණා නම් එතුමාට මේ රටේ ජනාධිපති වෙන්නත් තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාට තංගල්ල නගර සභාව වගේ තැනක නාගරික මන්ත්‍රීකමක් කරගෙන ඉන්න තිබුණා. ඒත් අපේ රටේ උගතුන්ට තැනැක් නැහැනේ.

පාර්ලිමේන්තුවේ, රජගෙදර විතරක් නෙවෙයි. හැම තැනැක ම මෙහෙමයි. බලන්න අපේ වාහනයක් කැඩුණා ම හදන්නේ කවුද? අපේ රේඩියෝ එකක්, ටී වී එකක් කැඩුණා ම හදන්නේ කවුද? කිසිම සුදුසුකමක් නැති මිනිස්සුනේ. ඒ විතරක් ද? බලන්න අපේ දළදා පෙරහැරේ එහෙම නටන බෙර ගහන අය දිහා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පස් පාගන්නවත් සුදුසුකමක් නැති අයනේ. කොහෙ හරි ගමක ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් යටතේ නටන්න, බෙරගහන්න ඉගෙනගෙන ඇවිල්ලා පෙරහැරේ නටනවා, බෙරගහනවා. මේ අය අපේ සෞන්දර්ය උපාධිධාරීන් අහලකින්වත් තියන්න පුළුවන් ද? ඉතින් අපේ ආණ්ඩුව කරන්න ඕන නැටුම් කලාවේ කෙළ පැමිණි අපේ උපාධිධාරී තරුණ තරුණියන්ට ගුරු පත්වීම් දීලා තව තවත් උපාධිධාරීන් බිහිකරන්න කටයුතු කරන එක නෙවෙයි ද?

අපේ රටේ මහ දැවැන්ත බුදු පිළිම හදලා තියෙනවා. රජ කාලේ හදපු ඒවා නෙවෙයි. මේ මෑත කාලේ හදපු ඒවා. වෙහෙරහේනේ, වැවුරුකන්නල, දඹුල්ලේ, ඇයි අර කුරුණෑගල ගල උඩ. මේ හැම එකක් ම වගේ ඒ ඒ පන්සල්වල හාමුදුරුවරු, දායක සභා, වෙළෙඳ සංගම් සම්බන්ධවෙලා කරපු වැඩ. ඔය වගේ වැඩ කරද්දි වුණත් අපේ උගත් අයට තැනැක් ලැබෙන්නේ නැහැනේ. ඒ වැඩවලට ඕනකරන සල්ලි හොයන්න, ඒ අරමුදල් කළමනාකරණය කරන්න, ඔය වගේ තව කොච්චරක් නම් වැඩ කරන්න තියෙනවා ද. ඒත් උගතුන්ට නිසි තැන නො දී තමයි මේ හැම වැඩක් ම කරන්නේ.

මේ අවුරුද්දටත් ලබන අවුරුද්දටත් ඌව වෙල්ලස්ස මුල් කරගෙන ඇතිවෙච්ච උඩරට මහ කැරැල්ලට අවුරුදු 200 ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේක සමරන්න ලිපි ලියනවා, දේශන පවත්වනවා වගේ ම තව වැඩත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම්, වෙල්ලස්ස පැත්තේ මහා සිංහ ස්මාරකයක් හදන්න පුළුවන්. වෙහෙරහේනේ, වැවුරුකන්නල වගේ තැන්වල මහා බුද්ධ ප්‍රතිමා හදපු අපේ අයට දැවැන්ත සිංහ ස්මාරකයක් හදන එක වැඩක් නෙවෙයි. මේ වැඩකින් අපේ අභිමානය වඩවනවා වගේ ම ඒ පැත්තේ මිනිස්සුන් ගේ ජීවිතත් පෝෂණය කරන්න පුළුවන්. අපි හිතමු ඒ පැත්තේ බිමක මහජන චත්‍රරශ්‍රයකට ඉඩක් වෙන්කරලා ඒ මැද්දේ හදන පීඨිකාව උඩ නැ‍ඟී සිටින සිංහ රාජයකු ගේ ප්‍රතිමාවක් නිර්මාණය කරනවා කියලා. මේ වැඩේ කරන්න පුළුවන් කාට ද?

ආණ්ඩුවට මෙහෙම දෙයක් කරන්න තියා හිතන්නවත් බැරි බව අපි දන්නවා. රාජ්‍ය තන්ත්‍රයේ කාර්යක්ෂම බවත් අපි දන්නවා. ඒ හින්දා අපිට කරන්න වෙන්නේ වෙන පැත්තක් දිහා බලන්න. මේ ලිපිය කියවන අපේ උගත් අයට හිතෙන්න පුළුවන් මේ කියන දේවල්වලින් තමන් ව අවඥාවට ලක්වෙනවා කියලා. ඇත්තෙන් ම, එහෙම කරන අදහසක් මේ ලේඛකයාට නෑ. සිංහ ස්මාරකයක් හැදීමට කරපු මේ යෝජනාව ඇත්තක් කරගන්න අපේ උගත් අයටත් දායකවෙන්න පුළුවන්. මේ වගේ වැඩකට ඔන කරන සැලැසුම් ඇඳලාදෙන්න අපේ උගතුන්ට පුළුවන්. ඉංජිනේරු දායකත්වය ලබාදෙන්නත් ඒ අයට පුළුවන්. වෙබ් අඩවියක් ආරම්භ කරලා මංගත විදිහට මුදල් හොයලා දෙන මාර්ගයක් සකස්කරන්නත් මැදිහත්වෙන්නත් පුළුවන්. නීති ආධාර වගේ උවමනාකම් පවා සපයලා දෙන්න පුළුවන්.

මේ මොනවා කළත් උගත්තු එක දෙයක් දැනගන්න ඕන. ඒ තමයි මේ වගේ වැඩක් ඉස්සරහට කරගෙන යෑමේ ජවය තියෙන්නේ අපි නූගත් කියලා හංවඩු ගහලා ඉන්න මිනිස්සු ළඟ කියන එක. ඉතින් අපේ උගත්තුන්ටයි නූගත්තු කියලා අඩුතක්සේරුවට ලක්කරලා තියෙන අයටයි අත්වැල් බැඳගන්න පුළුවන් නම් මේ සිංහයා ව නැගිට්ටවන එක අමාරු වැඩක් වෙන්නේ නෑ.

වරුණ චන්ද්‍රකීර්ති 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.