‘ඉන්දියානු සම්මතය වෙනස් කළේ ජෝ අයිය’ | සිළුමිණ

‘ඉන්දියානු සම්මතය වෙනස් කළේ ජෝ අයිය’

 මෙරට රිදීතිරය ඔපවත් කළ, පෝෂණය කළ, අපූර්වතම නිර්මණ දායාද කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. එහෙත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයේ ශේෂව පවතී. එහෙත් ඔවුන් කළ කී දෑ හා ඔවුන්ගේ ගති ස්වභාවයන් පිළිබඳව අප දන්නේ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් විට සිනමාවේ අපි දකින මේ සිහින තරු සාමාන්‍ය ජීවිතයේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයන් රඟදැක්වූවා විය හැකිය. එසේ ඔබ ආදරය කළ සිනමා තාරකාව හෝ තාරකාවිය පිළිබඳව දැනගැනීමට සිටි බොහෝ දේ කාලයේ වැලිතලාවෙන් වැසී සැඟවී ගොස් තිබෙනවා හැකිය.ඒත් ඒ සදා අමරණීය මතකයන් අදටත් ඔබව කුල්මත් කරනවා විය හැකිය. ඒ සේ නම් ඔබ ඔහු ඇය පිළිබඳව ඒ නිර්මාණය සිදු වූ ආකාරය ගැන, එවන් නිර්මාණයක් දායාද කළ අධ්‍යක්ෂකවරයා පිළිබඳව, ඔබ මෝහණය කළ ගායකයා ගායිකාව පිළිබඳව තතු විත්ති දැන ගැනීමට කෙනකු අප අතර සිටී ද? සිටී නම් ඇය තරම් ඊට සුදුස්සකු නොවන බව නම් අපට ප්‍රත්‍යක්ෂය. එනිසාම අපි ඇය සොයා ගියෙමු.

අතීත මතකයන් දිගේ නෙක සිහින පෙළින් පෙළ අමුණන ඇය විටෙක ඔබෙත් මගෙත් සිහින කුමරිය වූවාය. රුවින් උදුල දඟකාර යෞවනියක හා පෙමින් බැඳෙන්නට අප තුළ නොතිත් ආශාවක් වී නම් ඒ ඇය මැවූ සුන්දරත්වයම නොවන්නේදැ සිතේ. එසේ වී නම් අන්ජලීකරණීය වී සිත අග නතර වූ ඇය කවුරුන් ද? ඕ වෙනකකු නොව මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය.

ඇත්තෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සෙනෙහේ වන්තියකි. ඒ සෙනෙහස විඳින්නට ගහකොළ සතා සිව්පාවා ද පිං කර ඇති සේය. මා එහි යන විටත් ඇය ඔවුන් හා සම්මුඛව සිටියා ය. සිනාහ පිරුණු මුව සරසාගෙන ඈ මා පිළිගත්තාය. ඇගේ අතීත මතකයන් එකින් එක පෙළ ගැසී වචන බවට පෙරැළිණි. මේ ඉඩ වෙන් වන්නේ ඒ වචන දිගේ සිහින තරු මිණි එකින් එක ඇහිඳින්නටය. එහිදී කිසිදු බාධාවකින් තොරව ඇය පවසන සියල්ල නොවලහා අපි ඔබට පවසන්නෙමු.

මට ඉස්සෙල්ලම ජෝ අයියා (ජෝ. අබේවික්‍රම) හම්බ වුණේ “පුංචි බබා” චිත්‍රපටියෙදි. ඒක හරිම සුන්දර මතකයක්. ඒ කාලේ ගෑනු ළමයින්ට ගෙදරින් පිට කොහේවත් යන්න බැහැ.

අපේ පවුලේ සිනමාවට හරි වේදිකාවට හරි සම්බන්ධ කෙනෙක් හිටියේ නැහැ. නමුත් මගේ සීයා (මවගේ පියා ඒබ්‍රහම් සිල්වා) නාඩගම් ලියලා ඒවා පෙන්නලා තියෙනවා. සීයා පෙන්නන නාඩගම් අපේ අල්ලපු වැටේ තිබුණත් ඒවා බලන්න අවස්ථාවක් අපේ අම්මලාට තිබිලා නැහැ.

දවසක් අම්මා හොරෙන් ආච්චි එක්ක ගිහින් නාඩගම බලලා. ඒක සීයට ආරංචිවෙලා බූවලු කැඩෙන කම් ගැහුව්වලු. ඒ කාලෙ නාඩගම්වල කාන්තා චරිත රඟපෑවෙත් පිරිමි අය. ඒ වගේ නිදහස සීමා කරපු පරිසරයක තමයි මම හැදුණේ. එහෙත් අපේ පාසලේ (කැලණිය ගුරුකුල විද්‍යාලය) නැටුම් උගන්නපු එස්. මලල් මහත්තයගේ අනු දැනුම යටතේ විවිධප්‍රසංගවලට නර්ථනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ (කැලණිය විශ්වවිද්‍යාලය) ගැහැනු ළමයි හිටියෙ නැහැ. හාමුදුරුවොයි ශිෂ්‍යයොයි විතරයි හිටියේ. ඒගොල්ලො ගුත්තිල නාට්‍ය පෙන්නනව කියලා ඒකෙ සුරංගනාවියන්ට එස්. මලල් මහත්තයගෙන් නැටුම් කණ්ඩායමක් ඉල්ලල තිබුණා. ඒකට මටත් සහභාගිවෙන්න අවස්ථාව ලැබුණා. මොකද ඒ වෙද්දි සර්ගෙ හොඳම ගෝලය මම. විද්‍යාලංකාරෙ හිටියා අපේ පවුලෙ අය දන්න හඳුනන අයියා කෙනෙක්. එච්. ඩි. වීරසිරි කියලා. එයාලා විද්‍යාලංකාරේ නාට්‍ය කලා සංගමයක් හදාගෙන නාට්‍යක් පෙන්නන්න කටයුතු කරමින් තිබුණා. ඒ කලා සංගමයෙන් ඉදිරිපත් කරපු පළවෙනි නාට්‍ය ‘‘නොරත රත ‘. එහි උදුම්බරා දේවියගේ චරිතය කරන්න ගැනු ළමයෙක් හිටියේ නැහැ. දවසක් වීරසිරි අයියා මගෙන් ඇහුව්වා, “අපේ නාට්ටියේ ප්‍රධාන චරිත රඟපාන්න ඔයා කැමැති ද“ කියලා. මට අදහ ගන්න බැරි වුණා. ඒත් මං කිව්වා “අම්මගෙන් අහන්න ඕන“ කියලා. “මං අම්මගෙන් අහලයි තියෙන්නේ, ඔයා කැමැතිද කියන්න“. මම ගෙදර ගිහින් අම්මට කිව්වා. අම්මගෙ අකමැත්තක් නැහැ. ඒත් තාත්තා ඒකට කැමැති වුණේ නැහැ. එයාට ඕන වුණේ මම හොඳට ඉගෙන ගන්නව දකින්න. මොකද ඒ වෙද්දි මම ඉගෙනීම පැත්තෙන් ටිකක් ඉස්සරහට ඇවිත් තිබුණා.

මම විද්‍යා විෂයන් හැදෑරුවේ. ඒව කඩා කප්පල්වෙයි කියන බයට තාත්තා ටිකක් තදින් හිටියා.

ඒත් අම්මා කොහොම හරි තාත්තව කැමැති කරගෙන මට යන්න අවසර දුන්නා. අම්මා මේ ගැන සීයට කිව්වාම සීයා කියල තියෙනවා “දැන් ඒකිව ටීටර්වලටත් ඇරියා, පුළුවන්නම් ඊළඟට බයිස්කෝප්වලටත් ඇරපන්“ කියලා. සීයා මට හරිම ආදරෙයි. මම එයාගෙ ලොකු මිණිබිරි. එයා මම ගෙදරින් එළියට යනවට කැමැති නැහැ. මගේ අයියල දෙන්න නම් හරිම ආසයි මං කලා කටයුතුවලට සහභාගි වෙනවට. විශේෂයෙන්ම ලොකු අයියා (දයානන්ද ෆොන්සේකා). එයා කිව්වා නංගි ඔයා යන්න හොඳට රඟපාන්න කියලා. එතකොට මට අවුරුදු 15ව සම්පූර්ණවෙලා 16යට ලැබුව විතරයි. මේ කාලේ කැලණි කල්යානි කියලා ගමේ පවත්වපු රූපසුන්දරිය තරගයෙන් මං පළමු තැනට පත්වෙලා මාව ටිකක් ගමෙත් ජනප්‍රිය යි. කොහොම කොහොම හරි සුනන්ද මහේන්ද්‍ර , හෙන්රි ජයසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වගේ වේදිකාවේ දැවැන්තයින් කිහිප දෙනකුගේ වේදිකා නාට්‍ය කිහිපයකම කටයුතු කරන්න අවස්ථාව ලැබී තිබුණා. ඔය අතරෙ ධර්මදාස ජයවීර සහ එස්. කරුණාරත්න බණ්ඩාර කරපු ‘අකල්වැස්ස ‘(1965 දී )වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් ලංකා කලා මණ්ඩලයෙන් හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ මට ලැබුණු පළමුවෙනි සම්මානය. එහි මා සමඟ අනෙක් ප්‍රධාන චරිතය රඟපෑවේ සුමණ ආලෝක බණ්ඩාර.

හැව්ලොක් ටවුන්වල මේ නාට්‍ය පෙන්වද්දි ඒක බලන්න ජෝ. අබේවික්‍රම, තිස්ස ලියනසූරිය, සුගතදාස මාරසිංහ, ඇන්ටන් අල්විස්, සිසිර සේනාරත්න ඇවිත් තිබෙනවා. ඒ කාලේ එයාලා ‘පුංචි බබා‘ චිත්‍රපටයට උප ප්‍රධාන නිළියක් අවශ්‍යවෙලා කෙනෙක් හොය හොය හිටපු කාලයක්. මං ගැන ආරංචිවෙලා ඒ අය මගේ රඟපෑම දකින්න ඕන නිසා නාට්‍ය බලලා තියෙනවා.

පස්සෙ ඒ අය අපේ ගෙදරට ඇවිත් තිබුණා. ඒත් අද වගේ මාධ්‍ය ඒකාලෙ නැති නිසා මම ඒ අය කවුද කියලවත් දන්නේ නැහැ. අපේ අයිය මට ඇවිත් කිව්වා ‘‘අන්න ජෝ. අබේවික්‍රම මහත්තය ඇවිත් ඉන්නවා ඔයාව හම්බ වෙන්න“ කියලා. මට එච්චර තේරුමක් නැහැ. ඒකාලේ අපි එහෙම චිත්‍රපටි බලලත් නැහැ. මම යනකොට, අම්මත් එක්ක එයාල කතා කර කර හිටියේ. මං ගියාම ජෝ අයියා ඇහුව්වා, ‘‘අපි කැමැතියි අපේ චිත්‍රපටියේ මාලි කියලා චරිතයක් තියෙනවා ඒකට ඔයාව ගන්න. ඔයා කැමතිද කියලා.“ මම ඉතින් දෙගිඩියාවෙන් අම්මගෙ මූණ බලනවා. තාත්තා ගේ ඇතුළේ කුටු කුටු ගානව. අයියලා දෙන්න හොඳටම කැමතියි.

පස්සේ අම්මා ගේ ඇතුළට ගිහින් තාත්තව පෙරැත්ත කරල කැමැති කරගෙන ඇවිත් “ හා හොඳයි අපි කැමැතියි“ කිව්වා. “එහෙම නම් අපි ඔයාව මේ චරිතයට තෝරගන්නව ඔයාට චිත්‍රපටියෙ රඟපානවට රුපියල් 1250ක් දෙනව“ කිව්වා. මට නිකං හීනයක් වගේ. ජීවිතේටම රුපියල් 50යි ඒ වෙද්දි වැඩිපුර දැකල තිබුණෙ. ඒකත් මං වැඩිවියට පැමිනිච්ච වෙලාවෙ සීයා තෑගි දීපු රු.50. මට ඒ වෙලාවෙ නිකං මුදලට ගියාවගේ හැඟීමක් ඇති වුණා. මම කිව්වා “නැහැ, මට සල්ලි ඕන නැහැ. මං ආසාවට රඟපාන්නෙ කියලා.“ මට මතකයි එතකොට ජෝ අයියා හිනාවෙලා කියනව ‘‘හරි හරි ඒකට කමක් නැහැ.

මීට පස්සෙ ඔයාව චිත්‍රපටිවලට ගන්න කට්ටිය ඒවි. එතකොට ඔයාට ගණන් කියන්න බැරි නම් අම්මට කියන්නකෝ‘‘ කිව්වා. පස්සේ ජෝ අයියා කිව්වා ‘‘ඔයාගෙ මේකප් ටෙස්ට් එකක් කරන්න ඕන. ඒකට විජය ස්ටූඩියෝ එකට යන්න ඕන කියලා‘‘. පස්සෙ දවසක් තිස්ස ලියන සූරිය මහත්තයත් එක්ක ඇවිත් මාවයි අම්මවයි දාගෙන කෙම්බ්‍රිච් කාර් එකේ විජය ස්ටූඩියෝ එකට අරන් ගියා. මමයි අම්මයි පිටි පස්ස සීට් එකේ, ජෝ අයියා ඉස්සරහ සීට් එකේ ඉඳන් එක එක ප්‍රශ්න අහ අහ යනව.

වත්තල හරියෙදි විතර මගෙන් අහනව “මාලනී මීට ඉස්සෙල්ල ස්ටූඩියෝ එකකට ගිහින් තියෙනවද?“ මම ටිකක් කල්පනා කරල කිව්වා “ඔව්.“ “ඒ කොහේද ? “ “ආර්. ටී ස්ටුඩියෝ එකට“. මොකද ලොකු අයියා ඒ දවස්වල ගෙදර ඇවිත් කියනවා.“ආර්. ටී ස්ටූඩියෝ එකකට ගියා, එතන ෆිල්ම් හඳනවා.“ මම ටක්ගාලා ඒ නම කිව්වා. ඒ වෙනකොට එහෙම තැනක් මං දැකලවත් තිබුනෙ නැහැ. මට ඕන වුණේ නැහැ මං ඒවා ගැන දන්නෙ නැහැ කියල අඟවන්න. ඊට පස්සේ ඇන්ටනී කියලා මේකප් ආර්ටිස්ට් කෙනෙක් හිටියා එයා මාව මේකප් කළා. ඒ තමයි මගේ පළවෙනි මේකප් ටෙස්ට් එක. පස්සෙ කාලේ මට මේක හරියට හිතට වද දුන්නා ඇයි මං මේ මනුස්සයට බොරුවක් කිව්වේ කියලා. මං දවසක් ගිහින් ජෝ අයියට කව්වා.‘‘මං එදා කිව්වෙ බොරුවක්. එදා මේකප් ටෙස්ට් එකට ඉන්න කලින් මං කවදාවත් මේකප් ටෙස්ට් එකකට ගිහින් නැහැ“ කියලා. “බලාපල්ලා මේකි පටන් ගන්නකොටම බොරුවක් කියලනෙ පටන් අරන් තියෙන්නේ “ කියලා. හරිම විහිළුවෙන් තහළුවෙන් තමයි එයා වැඩ කළේ. ජෝ අයියත් එක්ක සෙට් එකේ එකට වැඩ කරන එක හරිම විනෝදයි. මට මතකයි අපි දවසක් රූගත කිරීම් වගයකට ග්‍රාමීය පළාතකට ගියා. කොහේ ගියත් ජෝ අයියා ඒ පළාත පුරාම ඇවිදලා වටා පිටාව ගැන හොඳ අවබෝධයක් ඇතුව එනවා. එක පැත්තකින් අපිටත් ඒක ලොකු ආරක්ෂාවක්. නන්නාඳුනන පළාතකට ආවම කවුද කින්ද මන්ද දන්නෙ නැහැනෙ. ඊට පස්සේ එයත් ඒ පළාතෙම කෙනෙක් බවට පත්වෙනවා. ඉතිං එදා එයා එහෙම ඇවිදින ගමන් ඒ පැත්තේ ගෑනු උදවිය එක්ක ටිකක් වැඩි පුර කතා කර කර හිටියා කියලා ජෝ අයියත් එක්ක ඇවිදින්න ගිය සෙට් එකේ කෙනෙක් ඇවිත් කිව්වා. අපිත් ‘‘ආව් ආව් මෙහෙන් පෙළවහක් කරගන්න වගේ කල්පනාව‘‘ කිය කිය විහිළු කළා. ටිකක් වෙලා යන කොට ගමේ ගෑනු උදවිය එක එක කෑම ජාති හදාගෙන එනවා. හැමෝම ‘‘මේවා හරිම ගුණයි නෝනා, මේ කාලෙට කන්න කිය කිය කෑම ගෙනත් දෙනවා. පොඩි දරුවොත් වෙරළු ලොවි එක එක ඇඹුල් ජාති ගෙනත් දෙනවා. මට හිතා ගන්න බැහැ ඇයි කියලා. පස්සෙ තමයි දැන ගත්තේ ජෝ අයියා ගමේ ගැනුන්ට ළංවෙලා මොකක්ද කියල තියෙන්නෙ කියලා. මාලනිට බබෙක් හම්බ වෙන්න ඉන්නවා. එයා හරිම ආසයි ගමේ කෑමවලට කියලා. මෙයාගෙ කතාවට රැවටිලා ඒ ගෑනු උදවියත් එක එක ජාතියේ කෑම හදාගෙන ඇවිල්ලා.

මම රංඟනය ගැන හුඟක් දේවල් ඔහුගෙන් ඉගෙන ගත්තා. මං ඉස්සෙල්ලම පෙම්වතිය විදියට රඟපෑවේ ජෝ අයියත් එක්ක. ජෝ අයිය කියන්නේ හරිම දුර්ලභ ගතිගුණ තියෙන හරිම ගුණයහපත් මනුෂ්‍යයෙක්. ඔහු අපේ සිනමවට පහළ වෙච්ච මහාර්ඝ සම්පතක්. ඉන්දියානු සිනමාවේ බලපෑමත් එක්ක සිනමාව සඳහා තෝරගත්තෙ හැඩකාර, කෙස් ගහක්වත් හෙල්ලෙන්නෙ නැති නළුවෝ. එහෙම තිබිච්ච යුගයක තමයි ඔහු ඉදිරියට එන්නෙ. ඔහු තුළ පැවති විශිෂ්ට රංගන හැකියාව තුළින් තමයි සිනමා නළුවකු කියන්නේ කඩවසම් කම විතරක් නෙවෙයි කියන මතය ප්‍රචලිත වෙන්නේ. ඒ නිසා මෙරට සිනමාව වෙනස් මගකට යොමු කරන්න පුරෝගාමී වෙච්ච නළුවෙක් විදියට යි මම ජෝ අයියව දකින්නේ.

ඔහු මුලින්ම සිනමාවට එකතු වෙන්නේ හා‍ෙස්‍ය­ා ත්පාදක රංගන ශිල්පියෙක් විදියට. ඔහු ගේ හා‍ෙස්‍ය­ා ත්පාදක රංගනය වෙනස්ම ආරක රංග විධි ක්‍රමයක් කිව්වොත් මම නිවැරැදියි. ඔහු සිනමාවට එන්න කලින් හාස්‍යයොත්පාදක රංගන ශිල්පින් කියල අපි දැකපු අයගෙ රංගනයයි ඔහුගේ රංගනයයි හාත් පසින්ම වෙනස්. ඔහු හාස්‍ය මතු කිරීම සඳහා යොදා ගත්තේ වෙනස්ම ශෛලියක්. ඒක ඔහුටම අනන්‍ය වූවක්. ඒ සඳහා ඔහු යොදාගත්තේ ගැමි ශාන්තිකර්මවල ආභාෂය කියල හිතෙනවා. අනෙක් අතට ජෝ අයියා කියන්නේ නියම ශ්‍රී ලාංකික ගැමියෙක්.

අනික ඔහු කොහේවත් ගිහින් රංගනය හැදෑරු අයෙක් නෙමෙයි. ඒ වුණත් ඕන මූඩ් එකක ඉඳල අදාළ චරිතයට අවතීර්ණ වෙන්න පුදුම හැකියාවක් දක්ෂ කමක් ඔහු සතුව තිබුණා. ඒක මහා පුදුම දක්ෂ කමක්, වැලිකතර චිත්‍රපටයෙ ගෝරින් මුදලලාලිගේ චරිතය අරන් බැලුවොත්, අති විශිෂ්ට රංගනයක්. ඒක එහෙම වෙන්නේ ඔහුගේ ප්‍රතිවාදියා වික්‍රම රන්දෙනියගේ චරිතය නිරූපනය කළේ මේ රටේ තවත් විශිෂ්ට රංගන ශිල්පියකු වන ගාමිණි පොන්සේකා මහතා යි. ඔහුට නොදෙවෙනි වෙන්න ජෝ අයියා ඒ චිත්‍රපටයේ රඟපානවා.

ඔහු වගේ කලා කරුවන් අපේ රටේ හරිම විරලයි. මගේ සිනමා දිවියේ පියා ලෙස මම සලකන්නේ කාවද කියලා කෙනෙක් මගෙන් ඇහුව්වොත් මම දෙවරක් නොසිතා කියන්නේ ඒ ජෝ අබේවික්‍රම නම් විශිෂ්ට කලා කරුව කියලයි.

රසික කොටුදුරගේ 

Comments

සිනමාවට අව්‍යාජ හාස්‍යය ගෙනාවෙත් ජෝ

පිටු