ඇමතිය‍‍ගොඩ වළව් හන්දියෙන් සුරූපිනියක් රථයට ගොඩවෙයි

 කටුවන සටන සිංහල රාජවංශය ජයග්‍රහණය කළ අන්තිම සටනය. 1760 වසරේ ලන්දේසීන්ට විරුද්ධව කළ ඒ සටනේ විශේෂත්වය රජකුගේ සහභාගිත්වය නොතිබීමයි. හරියටම මීට වසර හතරකුත් සති දෙකකට පෙර මම සුදම් සමඟ ගොඩකවෙල බලා ගියේ මේ ඇමතියගොඩ වලව්ව පිළිබඳ විස්තර සොයන්නටය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහභාගිත්වයෙන් තොරව සටන මෙහෙයවූ ඇමතියගොඩ ගුණතිලක අලහකෝන් ඇතුළු මහ මුදලිවරුන් 13 දෙනා පිළිබඳ පැහැදුණු රජු ඒ මුදලිවරුන් රට බේරාගත් විරුවන් ලෙස නම් කොට රදළභාවයට පත් කර, රජුන් සේම විසිය යුතුය යන හැඟීමෙන් යුතුව නින්දගම් පිරිනැමුවා පමණක් නොව, උළු වහල සහිත වලව් තනාගැනීමට රාජ මුද්‍රාව සහිත තඹ උළුකැට සපයා රාජ වරප්‍රසාද විඳීමටද අවසර දුන්නේය. සබරගමුවට අයත් ඒ වලව් අතරින් අද ඉතිරිව ඇත්තේ මඩුවන්වල හා ඇමතියගොඩ වලව් පමණි.

මඩුවන්වල වලව්ව තැනුවේ 'හාවාට නරියා පැරදුණු බිමක්' බලාය. ඇමතියගොඩ වලව්ව තනා ඇත්තේ 'ස්වාභාවික වායු රික්තයක්' ඇති විශේෂ බිම්කඩකය. ගොඩකවෙල සිට ඇමතියගොඩ රිදී විහාර පාරේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගුරු පාර දිගේ යනවිට ජංගම දුරකථනවල තරංග ක්‍රමයෙන් හීන වී යයි. ළඟා විය හැක්කේ අධිසංඛ්‍යාත තරංගවලට පමණි. කඳු වළල්ලක් අතර වූ නිම්නයක වායු රික්තයක් ඇති වීමට ඉඩ තිබෙන බව ඇතැම් විද්‍යාඥයන්ගේද මතයයි. එය දේශීය ක්‍රමයට සොයාගන්නේ වේ තුඹස් නොබඳින, මැසිමදුරුවන් ආදි කෘමීන් නොඑන, ඉව අල්ලා ජීවත් වන විසකුරු සතුන්ට විසිය නොහැකි, මකුළු දැල් ඉතා අවම වශයෙන් ඇති වන, අකුණුවලින් ආරක්ෂා වන, අනවින කොඩිවින, ඇස්වහ කටවහ හෝවහ වැනි අසුබ තරංග ගමන් නොකරන භූමි සීමාවක් සොයා බැලීමෙනි. එවන් තැන්වල ප්‍රේත, භූත, අමනුෂ්‍ය දෝෂ ඇති නොවන බවද අපට කීවේ මේ වලව්වේ පසළොස් වැනි පුරුක වන වත්මන් උරුමක්කාර උදය ඇමතියගොඩ- අම්මැඬිල්ල කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේය.

"දෙමංසල, තුන්මංසල, සිව්මංසල මේ වගේ දුර්වල ආත්ම සැරිසරන බව ගමේ අයත් බොහෝ වෙලාවට පිළිගන්නවා. ඇත්තෙන්ම ගන්ධබ්බයන් ඉන්න බව බෞද්ධයකු හැටියට පිළිගන්න නිසා මටත් ඒ ගැන යම් විශ්වාසයක් තිබෙනවා. හැබැයි කවදාවත් දැකලා නෑ. මොකද මම ගමනක් බිමනක් ගියොත් යන්නෙ කවුරුම හරි එක්ක" ඔහු කීවේ සිනාවක්ද සමඟිනි.

‍බුද්ධ දේශනාවල මෙන්ම බෞද්ධ සාහිත්‍යයේද විවිධ යක්ෂ, භූත, ප්‍රේත මෙන්ම දේව කොටස් පිළිබඳ සඳහන් වන බව මාද කීවේ පේතවත්ථු, විමානවත්ථු පිළිබඳවද සිහිපත් කරමිනි. කතාව මෙසේ දිගින් දිගට යද්දී මට නැඟුණු පැනය මම නිලමේට ඉදිරිපත් කළෙමි:

"අර තුන්මංසල, දෙමංසල කතා ගමේ අය පිළිගන්නවා කියලා කීවේ, කවුරුහරි මොනවා හරි දැකලාද වලව්වේ?"

"මිනිස්සු කියන්නේ වලව්ව ගාවදි ඒවා නැති වෙනවා කියලා. රික්තයේදී තරංගවලට ගමන් කරන්න බැරි නිසා අපේ සීමාව‍ට එන්න බැරුව ඇති..."

"මොනවද ඒ අය කියන්නේ? මොනවද නැති වෙලා තියෙන්නේ?"

"පොඩි බණ්ඩා හැමදාම කියනවා වලව්වේ සොහොන් ළඟින් යද්දි එද්දි කවුද පස්සෙන් එනවා දැනෙනවා කියලා. සොහොන් තියෙන්නේ තරමක් දුරින්. ඒ නිසා මනුස්සයා ඒ හරියේ ඉඳන් වලව්වට එන්නේ වේගෙන් දුවගෙන. ඉස්සර හිටියා කිරිබින්දු කියලා ගෑනු කෙනෙක්. දියපීල්ල, කිල්ලදෙණිය හරියෙදි මිනිහෙක් පස්සෙන් එනවා කියනවා. හැබැයි පුරන්සිනා කියන පිරිමි එක්කෙනා ළඟට එන්නේ ගෑනු කෙනෙක්ලු. පුරන්සිනා බුස්න හදපු කෙනෙක්. අර ගෑනු කෙනා කොච්චරවත් මේ මනුස්සයාට වලව්වට යන්න එපාම කියනවාලු. දියෝනිස් කියන කෙනාටත් ඔය වගේම මහා විශාල ගෑනු කෙනෙක් වලව්වට යන්න එපා කියකියා පස්සෙන් එනවලු. දියෝනිස් එන පාරේ තියෙන්නේ ගල් ඒදණ්ඩ. ඊට පස්සේ සොහොන් ටික. ඒ ගෑනුකෙනාගෙන් ඇහුවම එයා කොහෙද ඉන්නේ, කොහෙද යන්නේ කියලා උත්තර දෙන්නෙම නෑ. වලව්ව සීමාවට කිට්‍ටු වෙන‍ කොට අතුරුදන් වෙනවලු..."

මේ පිළිබඳ වැඩි තොරතුරු සොයාගැනීමට අපි ගම්වාසීන් කීපදෙනකු හමු වුණෙමු. ඔවුන්ද මේ පිළිබඳ පසු වන්නේ විශ්වාසයකිනි. නම හෙළි නොකරන මෙන් ඉල්ලූ ගැමියකු අපට කීවේ ඔහුගේ පියාගේ කාලයේ පටන් මේ දේවල් ගැන අසා ඇති බවයි.

"ඒ කෙනාගේ ගෙවල් වැටිලා තිබුණේ අම්මඩුව දේවාලෙට අයිති නින්දගම අයිනෙන් යන පාරකින්. මං මේ කියන්නේ හැත්තෑ ගණන්වල වෙච්චි දෙයක්. පලංචියේ ලී ඉරලා එද්දී ගොම්මන්සලේ ගැහුවාලු යකා. ඇඟිලි පාරවල් පහම පිටේ තිබ්බලු. ඒ අය එක එක පංගුවල අය...""

"කොරනරි ත්‍රොම්බොසිස් කියන හදවත් රෝගෙන් මැරුණාමත් ඔහොම පිටේ ඇඟිලි පහක් වැදුණා වගේ නිල් වෙලා ඉදිමිලා නහර පේනවා කියලා මම අහලා තියෙනවා..." මම ඇමටියගොඩ නිලමේට කීවෙමි.

"සමහර වි‍ට තනියම හිතහිත යද්දි බය වුණාම හාට් ප්‍රොබ්ලම්ස් එනවාත් ඇති. අපිට එකක් වත් නෑ කියන්න බෑ නේ.." ඔහුගේ පිළිතුරය.

වලව්වක පංගු බෙදෙන්නේ මාලිගාවේ රාජකාරී කළ ආකාරයටය. එය නිලමේගේ විස්තරය අනුව එය හිත් ගන්නා කතාවකි.

"වලව්වේ කරන රාජකාරි අනුව පංගු බෙදෙනවා. කපුකම් කතා කරන කරන අය කපුගේ පංගුව. ඒ වගේ මොහොට්ටිගෙ පංගුව, කළුකන්දගේ පංගුව.. එහෙම කියලා පංගු ගොඩක් බෙදෙනවා. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් මේ පංගු අහෝසි වන තුරු මේවා ක්‍රියාත්මක වුණා. ප්‍රවේණි සැලැස්මට භූක්ති විඳින්න පංගුවලට අවසර දෙන්නේ රජ්ජුරුවෝ. මේ නින්දගමේ ඉන්න අතර පොළොවෙන් උඩ තිබෙන දේවල ඵලප්‍රයෝජන ලබලා කන්ද උඩ රජ්ජුරුවන්ට කළ රාජකාරි අයබදු වෙනුවට කරන සේවය වලව්වටත් කරන්න තමයි අවසර දුන්නේ. 1870 අංක 4 දරන ආඥා පනතින් රාජකාරිය තහවුරු කරලා වැඩ ලේඛනයක් හැදුවා, අසවල් නම ඇති පුද්ගලයා, අසවල් රාජකාරිය කරමින්, අසවල් දේපළ භුක්ති විඳිය යුතුයි කියලා. මේ නිසා තවත් දේවල් වලව් ආශ්‍රිතව සිද්ධ වුණා. වැඩවසම් ක්‍රමයේ රජ්ජුරුවන් දුන් අයිතිය තමන්ට නැති වනවාට වලව්වල අය කැමැති වුණේ නෑ. ඒ නිසා එකගෙයි කෑම පටන් ගත්තා. දේපළ බෙදෙනවාට, පහළ කුලවල අයට දේපොළ අයත් වනවාට, රාජකාරිය බෙදෙනවාට පිළියමක් හැටිය‍ට තමයි එකගෙයි කෑවේ. පිට මනමාලියක් ගෙනාවොත් දේපළ පිට යන නිසා එක මනමාලිට ස්වාමිපුරුෂයො පස්දෙනෙක් වෙන්න අය්යලා මල්ලිලා සහයෝගෙන් කටයුතු කළා. පස් දෙනාටම හිටියේ එක දුවයි පුතයි රදළ පරපුර රාජකාරි ක්‍රමය ඒ නිසා ආරක්ෂා වුණා. අ‍පේ ඇමටියගොඩ වලව්වේ පස්දෙනත් එක්ක 1923 ඔප්පුව එකම පුතාටයි සහ දුවටයි ලියද්දී මුළු නින්දගමේ දේපළ 57ක් ලියා තියෙනවා."

කාලයේ තිරයෙන් සැඟවී යන්නේ යමක අදෘශ්‍යමාන තොරතුරු පමණක් නොවේ. දෘශ්‍යමාන සාධක සහිත තොරතුරුවල යටගියාවද කාලයේ වැලිතලාවෙන් වැසී අමතක වී යයි. ඒවා ඒ ඒ පවුල් අතරේ මතකයේ පවා පවතින්නේ බොහෝ ටික කාලයකි. ලෝකයේ දියුණුව සොයා මේ පවුල්වල ඇතැම් පිරිස් එතෙර ගිය පසු ඔවුන්ගේ ශ්‍රී විභූතිය තවත් ජනශ්‍රැතියක් පමණක් බවට පත් වන්නේ විකෘතීන්ද සමඟය.

"මොකක්ද අර අය්යගෙයි මල්ලිගෙයි කතාව?" මම ඇමතියගොඩ නිලමේ විමසුවෙමි.

"දිසාවේ පට්ටම දුන්නේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ කාලෙ නෙ.. රත්නපුරේ අන්තිම දිසාවේ ඇහැළේපොළ. කොඩ්රිංටන් ආණ්ඩුකාරයා යටතේ තමයි දිසාපති වුණේ. දිසාවේ යටතේ කෝරළ තිබුණා. කිතුල, අ‍ටකලං, කොළොන්න.. වගේ. අපි අයිති වන්නේ අටකලං කෝරළේට. මේ අටකලං කෝරළේකමට එකම පවුලේ අයියයි මල්ලී දෙන්නෙක් බලගෙන හිටියා. දිසාපති එක්ක සම්බන්ධය හොඳ නිසා අය්යා ඉද්දි මල්ලිට කෝරළේ තනතුර දුන්නා. මේ ගැන අයියා වෛර බැන්දා. හොඳට සැලසුම් කරලා අයියා මල්ලිව මැරුවා. මල්ලි මරපු වැරැද්දට අයියා බෝගම්බර හිරේ දැම්මා. කාලයක් ගෙවිලා අයියා නිදහස් වෙන්න කිට්‍ටු වුණා. හෙට හිරෙන් එන්න තියෙද්දී අද දවසේ අයියට සතුටට හිනා යන්න ගත්තා. හිරේ ඇතුළෙම හිනා වෙලා හිනා වෙලා අයිය මැරුණා."

"එයාට කොරළේකමක් දෛවය හිමි කරලා නෑ..." කතාවෙන් පසු අපේ නිගමනය වූයේ එයයි.

"ඒ කියන්නේ වලව්වල ඉස්සර වුණාය කියන සමහර දේවල් ඇත්ත?" මම අදහස් කළේ වෙනත් දෙයකි. එය ඇමතියගොඩ නිලමේ හරියටම තේරුම් ගත්තා වැනිය.

"සමහර වෙලා‍වට වලව්වල පිරිමි අය පිටස්තර ගෑනු කට්ටිය ආශ්‍රය කරනවා. ඒ අයගේ දරුවන්ට වෙනම සලකනවා. ඒත් දේපොළ, රාජකාරි, කුල ප්‍රශ්න ආවාම වැඩිහිටි අය ඒ ගැන හිතලා අර සම්බන්දෙ තියෙන ගෑනු කෙනාව මරල දාන්න වුණත් පුළුවන්. ඒ කාලේ වලව් රාජාණ්ඩුව එක්ක ඇති කරගෙන තිබූ බලයටයි, සමහර ගැමියන්ගේ තිබුණු නොදැනුවත්කමටයි ඒ ගැන මුකුත් කියලා කරලා නෑ."

"ඒ අයද දන්නේ නෑ අර නාගහයි බෝගහයි කියන තැනදි වලව්වට යන්න එපා කියලා නොපෙනී යන්නේ..."මම විහිළුවට මෙන් කීවෙමි.

"කියන්න බෑ. ඒ කාලේ දික්ගෙයි ගිරය එහෙම දැකපු අයත් ඉන්නවා නේ..." නිලමේ අප සිනාගස්වමින් කීවේය.

1630දී ඇමටියගොඩ පරපුරේ කිරිකිත්තා කෙනකු තැනූ නිවෙසක් මේ අසල තිබූ බව ඉතිහාසඥයන්ගේ නිරීක්ෂණද අනුව තහවුරු කර තිබේ. උදය ඇමටියගොඩ නිලමේ වෙසෙන වසර 256ක් පැරැණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනැඟූ වලව්වට අයත් නින්දගම් අයිතිය 1801දී යාවත්කාලීන කළ තුඩපත ඔහු අපට පෙන්වීය. පරම්පරාගතව ආ මෙන්ම ආක්‍රමණිකයන්ගේ බොහෝ පැරැණි බඩු භාණ්ඩ හා විශාල උළුවහු, මීඉටි, මැටි ආදිය මිශ්‍ර කළ සීතල බිම, මැද මිදුල, කඩු කස්තාන වැනි අනේකවිධ දෑ දකිද්දී මේ වලව්ව ආශ්‍රිත ඉතිහාසයේ බොහෝ දෑ සිදු වී ඇති බව පැහැදිලිය. කටුවන සටනේදී සතුරු සේනාවලට එරෙහිව බෝක්කු වැට්ටීමට භාවිත කළ ගල් කූඤ්ඤයක් තවමත් මැද මිදුලේ සිහිවටනයක් ලෙස තිබේ. එය සවි කරන තැන දන්නේ මුදලිතුමා පමණකි. මේ වැනි කූඤ්ඤ නිදන්වලටත් යොදා ඇත්තේ ඒවායේ ආරක්ෂාවටය. නින්දගමේ සතකු දඩයම් කළ විට වලව්වට අයිති කොටස (ගංගාතය) මඳ ගින්දරෙන් තව් ගසා කටුකිතුල් කොළයක ඔතා වේවැලෙන් ගැටගහසා පිටක්කනේ ඇති ගෝන අඟේ එල්ලා සීනුව ගැසූ විට, අරක්කැමියා පැමිණ එය මුළුතැන්ගෙට ගෙනයයි. එදා වැඩවසම් ක්‍රමය බොහෝ සෙයින් ක්‍රියාත්මක වූ කාලයකි. රජ මාලිගය හැරුණු විට දිග්ගෙයි නැටුම පැවැත්වීමට අවසර දුන්නේ වලව්වලට පමණි. ඒ අවස්ථාවේ බුලත් විටක් සැපීමට භාවිත කරන විශේෂ රත්රන් ගිරයක් තිබේ. එය සිංහල සෙබළුන්ගේ මානසික සැහැල්ලුව උදෙසා යෙදූ උපක්‍රමයක් මෙන්ම ලන්දේසි සෙබළුන් මේ ගිරයෙන් කැපීමේදී එහි පළු දෙකේ සිටිනා යුවළ සම්භෝගයේ යෙදෙනවා වැනි පෙනුමට වශීකෘත වූ පසු රහස් තොරතුරු හෙළි කරගත් බව පැවැසේ.

"දික්ගෙයි නැටුම කියන්නේ දෙවියන් ඉදිරියේ සහ රජුන් ඉදිරියේ කරන නර්තනයක්. විශේෂ කුල හතරක තරුණියන් මේ කාලේ කැබරේ වගේ නැටුමක් ඉදිරිපත් කරනවා. ඒකට වෙනම ශාලාවක් තිබෙනවා. ආරාධිතයන්ට විතරයි නරඹන්න පුළුවන්."

"ඒ නාටිකාංගනාවෝ, අර අයියලා මල්ලිලා එහෙම තාම මේ වලව්ව ගැන ආසාවෙන් ඉන්නවාද දන්නේ නෑ අර කට්ටියට පේන්න එන්නේ.." මම නැඟු‍වේ අතුරුපැනයකි.

"ඒ ආත්මවලට වලව්ව සීමාවට එන්න බෑ නේ.. රික්තය ඇතුළේ දුර්වල තරංගවලට හැසිරෙන්න බෑ. රික්තයක ගුරුත්වාකර්ෂණය අඩු නිසා ඇ‍ඟේ බර දැනෙන්නේ අඩුවෙන්, දීර්ඝායුෂ සහ නීරෝගි සම්පත්තිය වැඩි වන බව මම අත්දැකීමෙන් දන්නවා. අපේ පවුල්වල අය අවුරුදු අසූවට වඩා ජීවත් වුණා. මට පෙරේතයෝ ඉන්න තැන්වල දුර්වල තරංග දැනෙනවා.. දේවාලේ අපට වඩා ප්‍රබල අය ඉන්න බව දැනෙනවා. සෑම් විජේසිංහ මහත්තයා පවා ඒ බව කියනවා. හැබැයි සීමාවෙන් එහා මංසලවල් ගැන වගකියන්න බෑ. නාගහයි බෝගහයි කියලා කියන්නේ මොරහේන්පොළ කන්ද නින්දගමට හැරෙන හන්දිය. ඒ හරියේ තමයි ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙන්නේ‍."

"මට ගමේ එක්කෙනෙක් කීවා ළඟදි වාහ‍නේකට ප්‍රශ්නයක් වුණා කියලා. කවුද ලස්සන ගෑනු කෙනෙක් අත දික්කරලා වාහනේට ගොඩ වුණාලු නේ.." මට අවශ්‍ය වුණේ ගම්වැසියා කී කතාවේ ඇත්ත නැත්ත තහවුරු කරගන්නටය. එයට ඇමතියගොඩ නිලමේගේ පිළිතුර වූයේ:

"මම නම් කාලයක් තිස්සේ ඉඳන් වාහනේ මේ හරියෙන් එළවද්දි පිටිපස්ස බලන කණ්ණාඩිය උඩට හරවනවා..."

ඉතිරි කොටස ලබන සතියේ...

අරුණි මුතුමලී
වළව්වේ සේයා රූ - සුදම් ගුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.