උපාලි හා ජින්නා අද හිටියා නම්... | සිළුමිණ

උපාලි හා ජින්නා අද හිටියා නම්...

 හිරු බැස යන්නට සූදානමින් සිය රන් හිරු රැස් දිය මතට හෙලීය. වැහි බීරුමත් සමග රැගෙන ආ මද අදුර හාත්පස වෙලා ගනිද්දී අපි මඩොල් දූවට සේන්දු විමු. අලුයම ගමන් ආරම්භ කළ අප කන්දෙ විහාරය වන්දනා කරමින් හා ගාලු කොටුවේ අසිරිය නැරඹීමෙන් අනතුරුව මුහුදු සුළග මැද දිවා ආහාරයෙන් ද සප්පායම් වී මඩොල් දුව වෙත ළගා වන විට බොහෝ සැන්දෑ වී තිබිණි.

ළමා වියේ පසුවූවෝ උනුන් කියවූ මාර්ටින් වික්‍රමසිංහ සූරින්ගේ මඩොල් දූව පොතේ සැබෑ දූපත වෙත චාරිකා කරන්නට ඇඟිලි ගනිමින් සිටියහ.

පුද්ගල , සමාජ සංවර්ධනය හා සමෘද්ධිය සලසන වැඩසටහනක ජාතික සංවර්ධන කාර්යභාරයක යෙදෙන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හංවැල්ල සමෘද්ධි බැංකු සංගමයේ සාමාජිකයින් වන මේ පිරිස සැබවින්ම ග්‍රාමීය නායකයින්, රාජ්‍ය නිලධාරීන් හා ඔවුනට මඟ පෙන්වන්නන්ය. ඔවුන් සමඟින් ඒ අපූරු චාරිකාවේ යෙදෙන්නට කැඳවුම් ලැබීම භාග්‍යයක් බව මට වඩාත් හොදින් දැනුණේ මඩොල්දූව වෙත ප්‍රවේශ වීම සදහා බෝට්ටුවට නැගුණු මොහොතේදී ය. “ පොතක් කියවීම වනාහී නොදන්නා විරූ දූපතකට සතුටත් , විනෝදයත්, අධ්‍යාපනයත් පිණිස යාමකියි “වරෙක මාර්ටින් වික්‍රමසිංහයන් පවසා තිබේ. අප ද දැන් යාමට සැරසෙන්නේ නොදන්නා විරූ දූපතකටය. ඒ දූපතේ සැබෑව හෝ මනඃකල්පිතය පිළිබඳව දන්නේ ද මාර්ටින් වික්‍රමසිංහයන්ම පමණි.

වර්ෂ 1910 පමණ වූ කාලයේ දකුණු පළාතේ ග්‍රාමයන්හි ජීවත් වූ ගැමියන් හා ඔවුන්ගේ සිතුම් පැතුම් ජීවන අත්දැකීම් පිළිබදව විවරණය කරමින් මාටින් වික්‍රමසිංහ සූරීන් රචනා කළ “ මඩොල්දූව“ මීට වසර ගණනාවකට පෙර නවකතාවක් ලෙස විඳි රසය හා එය චිත්‍රපටයකට නැගුණු කළ එහි පණ පෙවූ සජීවී චරිතයන් පිළිබඳව විඳි රසය එම මොහොතේ ද මා මතකය අවදි කරවීය.

වර්තමානයේ මඩොල් දූව අපිරිසුදුවී ඇති අයුරු

මඩොල්දූව බලා යා යුත්තේ බෝට්ටු වලිනි. ඒ සඳහා මුදලක් අය කළ අතර, එක් බෝට්ටුවක පහළොවක පමණ කණ්ඩායමක් රැගෙන යාම ආරක්ෂාවට හොඳ බැව් බෝට්ටුව පදවන්නාගේ අදහස විය. අප සැම ආරක්ෂිත කබා හැඳ පැළඳ මඩොල් දූවට යාමට සැරසීමු. සිහින් වැහි පොද එකින් එක වැටෙමින් සුළං සරය දැඩි ලෙස පතිත වීමෙන් බෝට්ටුවේ උන් අප සැමට වැස්සෙන් තෙත බරිත වීමට සිදු විය. ගතට සීතල දැඩි ලෙස දැනුණද මටත් වඩා වැස්සෙන් ආරක්ෂා කර ගත යුතුව තිබුණේ මගේ කැමරා ආම්පන්නය. වෙනසකට ඇත්තේ එදා ජින්නා හා උපාලි මඩොල්දූව වෙත ගියේ ඔරුවේ නැගීය. නමුත් අප අද යන්නේ බෝට්ටුවේ ය.

බෝට්ටුව ගමන් ආරම්භ කරමින් ඉදිරියට ඇදෙද්දී අවට අසිරිය මගේ කැමරා කාචයේ සටහන් කර ගන්නට මම අමතක නොකළෙමි. දිය දෙබෑ කරමින් බෝට්ටුව ඉදිරියට ඇදෙයි. ගොඩබිම පරිසරය අවට පොල් රුප්පාව මැදින් මාර්ටින් වික්‍රමසිංහයන් ජීවත් වූ අපූරු නිවහන ද ඈතින් දිස් වෙයි. කඩොලාන වලින් සුසැදි අපූරු පරිසරය හා තුරු වදුලු ද ඈතින් පෙනෙන කුඩා කුඩා දූපත් ද සැන්දෑව වෙත එක් කළේ චමත්කාරයකි.

ශ්‍රී ලංකාවේ එකම ස්වාභාවික කලපුව වන මෙහි ජලය ලැබෙන අතු ගංගා දිය ඇලි කිසිවක් නැත. ස්වාභාවිකව උනන ජලයෙන් කලපුව පිරී පවතියි. කරදිය පිරි කලපුවේ මාළුන් විශාල වශයෙන් සිටින අතර, පැමි‍ණෙන දෙස් විදෙස් සංචාරකයින් හට නැරැඹීම පිණිස මාළුන් සිටින ප්‍රදේශයක් වෙන් කොට ඇත. එය නැරඹිය යුත්තේ මුදල් ගෙවීමෙන් අනතුරුවය. ඔය දකුණු පස කුරුළු දූපතකි. එහි විශාල වශයෙන් කුරුල්ලන් ද වාසය කරයි. සියල්ල පරදා මගේ සිත දිවෙන්නේ මඩොල්දූව නව කතාවේ එන උපාලි ගිණිවැල්ලේ හා ජින්නා පිළිබඳ මතකය වෙතය.

මඩොල්දූවේ ජීවත් වූවායි ගම්මුන් බිය වැද්දූ මිනී මරුවා, රෑට ඔරුවෙන් ඔහු සොයා එන ගැහැනිය සහ දරුවා මෙන්ම ගොරහැඩි කිඹුල් තඩියා, ජින්නාට දෂ්ට කළ හැපින්න, ගින්දර හිස මත තබාගෙන එහා මෙහා යන හොල්මන වගේම උපාලි ගිණිවැල්ලේ මඩොල් දූව වෙත ගොස් හිටුවූ අල බතල, එළවළු , කෙසෙල් වගාවන් යන සියල්ල ද මා ඉදිරියේ මැවෙයි. උපාලි හා ජින්නා එක්ව තැම්බූ අල බතල සමඟ කොච්චි දමා තැනූ සැර ලුණු මිරිස නවකතාව කියවන විට ද සිත රසවත් කළ අයුරු ද දැනුදු මා ඉදිරියේ සජීවීව දර්ශනය වෙයි.

සිතුවිලි දහසක් සිතට නැඟෙද්දී බෝට්ටුව මඩොල් දූව අසලටම පැමිණ තිබිණි. වැස්සෙන් වූ අවහිරය නොවෙන්නට දැඩි සීතල අපට හිරිහැරයක් නොවන්නට තිබිණි. දූපතට ඇතුළ් වූ තැන සිට ඊතල වලින් මාර්ගය සටහන් කර තිබූ අතර, තෙත අතුරිකිලි අතරින් බේරෙන වැසි ජලය මග හරිමින් ගමන් කිරීම ඉතා අපහසු විය. වැස්ස නිසා පොළොව පවා ලිස්සන සුළු විය.

එදා මඩොල් දූවේ දුටු කිසිවක් එහි ගමන් කළ අපට මුණ නොගැසිණි. නයි පොළගුන් වැනි සර්පයින් හෝ කිඹුලෙකු ද හමු වූයේ නැත. අප සමග ගමන් කළ කණ්ඩායම ද මහන්සියෙන් හේබා ගොස් තිබුණි. ඉදිරියෙන් ගිය එක් ගමන් සගයකු කීවේ තරුණ තරුණියන්ට නම් මේ ගමන සුන්දර එකක් වනු ඇති බවය. ආදරය කරන්නට පාළු දූපතකට ආ යුතු දැයි අසන්නට සිත් වුවද මම ඒ සිතුවිලි මැඩ ගතිමි. දූපත මුදුනට නැඟ ගත් විට සෙක්කුවක් හා පාළු ළිඳක් හමු විය. ළිඳ සම්පූර්ණයෙන් පිරී පැවතුනේ පොලිතින් , ටින් හා අරක්කු බෝතල වලිනි. මඩොල්දූව නරඹන්නට පැමිණි නොමිනිසුන්ගේ අමන ක්‍රියාවන් නිසා මිසක උපාලිලා හා ජින්නලා පැමිණ දූපත අපිරිසුදු නොකරන බව මම හොඳාකාරවම දනිමි. කිසිත් අලුත් දෙයක් නෙත නොගැටුණු මුත් සෑම තැනකම කුඩා කුඩා අඩි පාරවල් තිබිණි. මඩොල් දූව ගැන නව තොරතුරක් කියන්නට එහි බෝට්ටු පදවන්නා හෝ දැන සිටියේ නැත. නමුත් මඩොල්දූවට යාමට පහසුකම් පමණක් ඇත. නමුත් මට දැනුණු ආකාරයට මඩොල්දූවේ යන සංචාරකයින්ට එහි කිසිදු ආරක්ෂාවක් නම් නොතිබිණි. දූපත මැද තනිවූ අවස්ථාවක සොර සතුරන්ට හසුවීමක් වැනි අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවූ වොත් වගකියනා කෙනෙක් ද නොවේ. එබැවින් දූවේ ගමන් කරන අවස්ථාවන්හිදී මග පෙන්වන්නකු හෝ දූව ආරක්ෂාවට යෙදවූ අයකු සිටියේ නම් එය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන්නට තිබිණි.

යුගයක අනන්තය දුටු මාර්ටින් වික්‍රමසිංහයන් අද ජීවත්ව සිටියේ නම් තමා මැවූ සුන්දර මඩොල්දූව පිළිබඳව යම් තරමක කනගාටුවක් අත් විඳිනු නියතය. සොබාදහම සමග දොඩමළු වූ ඒ සොදුරු මිනිසා කොග්ගල මහා ප්‍රාඥයා මඩොල්දූව තුළින් අප වෙත රැගෙන ආ සමාජ සංස්කෘතිය, සාහිත්‍ය හා භාෂා ව්‍යවහාරයේ උසස් රස වින්දනය ඔහුටම ආවේණික අනන්‍යතාවයක් පෙන්වමින් අප ජීවිත සරු කළ බව පමණක් මඩොල්දූවෙන් සමුගනිද්දී යළි යළිත් මසිහට නැගිණි.

සටහන හා ඡායාරූප
සමන්ති මිරියගල්ල කඩුවෙල සමූහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.