සත්වෝද්‍යානයේ රාත්‍රී සංචාරවලට පෙරවදනක් | සිළුමිණ

සත්වෝද්‍යානයේ රාත්‍රී සංචාරවලට පෙරවදනක්

 නිදහසේ මෙන් ම සිත් සේ එකම ස්ථානයකදී නොයෙක් වර්ගයේ සතුන් සිය ගණනක් නැරැඹිය හැකි ශ්‍රී ලංකාවේ එකම ස්ථානය දෙහිවල සත්වෝද්‍යානය බව අමුතුවෙන් කිව යුතු නොවේ. අගනුවරාශ්‍රිත පිහිටි මේ දැකුම්කලු සුන්දර පරිසරය විඳින්නට දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් දිනපතා පැමිණෙති. මෙසේ පැමිණෙන සියලු දෙනාට සත්වෝද්‍යාන ඉතිහාසයේ පළමු වතාවට තව නොබෝ දිනකින් අලුත් අත්දැකීමක් ලැබීමේ අවස්ථාව උදාවනු ඇත. එනම් ලබන සැප්තැම්බර් මස 09 දින පටන් රාත්‍රි 7 සිට 10 දක්වා සතුන් නැරඹීම සඳහා සෆාරි යෑමේ අවස්ථාවයි ඒ.

සාමාන්‍යයෙන් මහජනතාව සඳහා උදෑසන විවෘත වෙන සත්වෝද්‍යානය සවස 6.00 ට වසා දමනු ලබයි. ශ්‍රී ලංකාවේ එසේ වුවත් ලෝකයේ බොහෝ රටවල සත්වෝද්‍යානාශ්‍රිතව රාත්‍රි සෆාරි පැවැත්වේ. ඒ අතරින් සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව ආදී රටවල් ප්‍රමුඛත්වය ගනී.

ස්වභාව ධර්මයේ උතුම් දායාදයක් වූ සතා සිවුපාවා ක්‍රමයෙන් අපෙන් ඈත්වෙමින් සිටිතැයි කිවහොත් එය නිවැරැදි ය. ඒ ශීඝ්‍රයෙන් ජනාවාස වෙමින් පවතින පරිසරය හේතුවෙනි. මේ නිසා ස්වභාව ධර්මයේ විශ්මිත නිමැවුමක් වූ සතුන්, සතුන්ගේ ක්‍රියාකාරකම් හා ඔවුන්ගේ චර්යා රටා විඳීමේ අවස්ථාව අප අතරින් ක්‍රමයෙන් ඈත්වෙමින් තිබේ ද?

කෙසේ වුවත් සත්වෝද්‍යානයේ රාත්‍රි කාලයේ සෆාරි ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවක් සේ සැලකිය හැකි ය. තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අදහසකට අනුව ක්‍රියාවට නැංවෙන මෙම වැඩපිළිවෙළ තුළින් සත්වෝද්‍යාන ආර්ථිකය ද වඩාත් හිතකර වනු ඇත.

සත්ව විශේෂ තුන්සිය පණහකට අධික සංඛ්‍යාවක් සිටින මෙහි ඒ අතර ඉතා වටිනා දුර්ලභ සත්තු ද වෙති. ඇතැම් විට ලංකාවේ කිසිම පළාතක දැකිය නොහැකි සතුන් ද මෙහි සිටීම විශේෂත්වයකි. ජර්මන් ජාතික ජෝන් හාර්ග්බර්ග් සත්වෝද්‍යානයේ නිර්මාතෘවරයා වෙයි. හාර්ග්බර්ග් සතුන් සර්කස් සඳහා පුරුදු පුහුණු කළ අයෙකි. මේ සඳහා සතුන් එක් රැස් කැර තැබීමට ඔහු යොදා ගන්නේ දෙහිවල අද සත්වෝද්‍යානය තිබෙන ප්‍රදේශයේ අක්කර පහක වපසරියකි. අද මෙන් ජනාකීර්ණ නොවූ ඒ 1926 වසරේදීය. ඉන් වසර දහයක් ගෙවුණු තැන එනම් 1936 වසරේ මෙම ස්ථානය රජයට පවරා ගනු ලැබී ය. අද වෙන විට අක්කර 35 ක් පුරා විහිදී පැතිරී ඇති ජාතික සත්වෝද්‍යානය යුගයෙන් යුගය ලක්ෂ සංඛ්‍යාත ජනකායකට සතුන් පිළිබඳ දැනුම අවබෝධය හා විනෝදය සපයමින් සුවිශාල කාර්යයක නියැළී සිටී. එය වඩාත් පුළුල් වනුයේ නොබෝ දිනකින් ඇරැඹෙන රාත්‍රි සෆාරි ආරම්භයත් සමඟිනි.

ලෝකයේ බොහෝ රටවල සත්වෝද්‍යාන ආශ්‍රිතව රාත්‍රි කාලයේ සෆාරි අත්දැකීම් විඳ ගැනීමට පුළුවන් වුවත් ශ්‍රී‍ ලාංකිකයනට මෙය නවමු අත්දැකීමකි. මෙම කාර්යයේදී සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයට විශාල වගකීමක් පැවරෙන බව අමතක නොකළ යුතු ය. මන්ද සතුන්ට හිංසාවක් කරදරයක් නොවන ආකාරයට මෙය ඉතාමත් සීරු මාරුවට කළ යුතු කටයුත්තක් නිසා ය. මිනිසුන්ගේ අවශ්‍යතාව හා විනෝදය පමණක් නොව සතුන්ගේ පැවැත්ම කෙරෙහි මෙය ඉතා සංවේදී ලෙස බලපාන කරුණක් බව සිතිය යුතු ය. මේ වෙනස් තත්වයන් තුළ සතුන් නැරැඹීමට පැමිණෙන මහජනතාවට ද කිසියම් වගකීමක් පැවරේ‍. සතුන්ට හිරිහැර කරදර නොවන ආකාරයට හා ඔවුනගේ සුපුරුදු චර්යාවලට බාධා නොවන ආකාරයෙන් හැසිරීම නරඹන්නන්ගේ වගකීම වේ. මේ කාර්යයේදී සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයට වඩාත් වගකීම් සහිත රාජකාරියක් පැවරේ. අප එසේ කියනුයේ පසුගිය වසර තුන හතරක පමණ කාලය තුළ සත්වෝද්‍යානය තුළ සිදුවූ අමිහිරි සිදුවීම් ගණනාවක් නිසාවෙනි. මේ ඉන් කීපයකි.

2013 වසරේ අග කාර්තුවේ ඇනකොන්ඩා ගැහැනු සතා පිරිමි සතා ගිල දැම්මා ය. ඒ ගැහැනු සතාට නියමිත ප්‍රමාණයට නියමිත කාලයට ආහාර නොලැබීම නිසා යැයි එකල කියවිණි. 2013 නොවැම්බර් 10 සිට 17 දක්වා පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී තාවකාලික සතුන්වත්තක් ඉදි කෙරිණි. එහි ගෙන ගියේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සතුන් ය. ඒ ගෙන ගිය සතුන්ගේ ඉරණම ඉතා ඛේදජනක වූ බව එකල මාධ්‍ය වාර්තාකැර තිබිණි. ඒ සඳහා ගෙන ගිය තිත්මුවෝ දෙදෙනෙක් ‘චොගම්’ එකට පසු සොයා ගනු ලැබුවේ දියවන්නාව අසල කාණුවක් තුළ සිටියදී ය. ඒ එහි ගෙන ගිය සතුන්ගේ එක් කතාන්දරයක් පමණි.‍

චෙක් රාජ්‍යයෙන් ලැබුණු දුර්ලභ ගණයේ සතුන් වර්ගයක් වූ ‘මරා ජෝඩුව සුනඛයකු විසින් සපා කෑවේ 2014 පෙබරවාරි මාසයේ දී ය‍. මෙහි පුදුමය වන්නේ සත්වෝද්‍යාන සේවකයකු සුරතලයට ඇති කරන ලද සුනඛයෙකු මෙම මරා ජෝඩුව සපා කා මරා තිබීමයි. මෙම සුනඛයා සිය හාම්පුතා වෙන සත්වෝද්‍යාන සේවකයා සමඟ දිනපතා පැමිණීමට පුරුදුව සිට ඇත. සේවකයකු සමඟ බල්ලකු සත්වෝද්‍යානය තුළට පැමිණීම බලධාරීන් නොදැක්කා සේ සිටීමේ ප්‍රතිඵලයකි එය.

2014 අප්‍රේල් මස 21 දින සත්වෝද්‍යානයේ අලි නැටුම් තාවකාලිකව නවතා දමනු ලැබීය. ඒ අලින්ට ක්ෂය රෝගය වැලඳී ඇතැයි කියා ය. නමුත් අලි ඇතුන්ට ක්ෂයරෝගය වැළඳී ඇත්තේ පෙබරවාරි මාසයේදී ය. ඒ බව පශු වෛද්‍යවරුන් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත.

එසේ නම් පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් 21 දින දක්වා නැටුම්වලට යොදවා සිට ඇත්තේ ක්ෂය රෝගය වැලඳුන අලින් ය. එය නරඹන්නන්ට මෙන් ම අනෙකුත් සතුන්ට ද අහිතකර ලෙස බලපාන ‍බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. විශේෂයෙන් ම අප්‍රේල් මාසයේ විශාල ලෙස සතුන්වත්ත නැරැඹීමට පවුල් පිටින් පැමිණෙන්නේ පාසල් නිවාඩු කාලයට ය අප්‍රේල් ද පාසල් නිවාඩු කාලයකි. මෙහි තත්ත්වය බැරෑරුම් වන්නේ මේ නිසා ය.

සත්වෝද්‍යානයේ සිටි දුර්ලභ ගණයේ සුදු නාගයකු අතුරුදන් වන්නේ 2014 ජූලි මාසයේදී ය. ඒ බැව් සත්වෝද්‍යාන බලධාරීන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් පරීක්ෂණ අතරතුරදී නාගයා හමු විය. ඒ පොහොර බෑගයක දමා කට ගැට ගසා සත්වෝද්‍යානය තුළට ගෙනවිත් තබා තිබිය දී ය‍. මෙම නාගයා මහජන ප්‍රදර්ශනයට තබා තිබූ එකෙකු නොවීමත් ඌ වෙනම ආරක්ෂක කලාපයක රදවා තිබීමත් සැලකිල්ලට ගත් විට මෙය ඇතුළේ ම වැඩක් සේ බැලූ බැල්මට පෙනිණි.

2015 ජනවාරි මාසයේ මී මින්නා මුවන් 13 දෙනාම මරා දැමුවේ අයාලේ යන බල්ලන් රංචුවක් සපා කෑමෙනි. ආරක්ෂක තාප්පයේ සිදුරක් තුළින් ඇතුළට රිංගාගත් බල්ලන් මේ මී මින්නා මුවන් මරා දමා ඇතැයි පසුව හෙළිවී තිබිණි. අධි විෂ සහිත ‘කොමඩෝ ඩ්‍රැගන්’ (තලගොයකුට සමාන සතෙකි) සතුන් වත්තෙන් පැන යන්නේ 2015 පෙබරවාරියේ ය. අධි ආරක්ෂිත කූඩුවක රඳවා සිටි මේ සතා මිනිසෙකුව සපා කෑවොත් එය මරණයෙන් කෙළවර විය හැක. දින දෙකකට පසුව නැදිමාල ප්‍රදේශයේ සිටියදී මේ සතා සොයා ගැනීමට හැකි විය. වාසනාවකට මෙන් එම සතා කිසිවකුට හානියක් කැර නොතිබිණ. කිසියම් සතෙකු පිටතින් හාරන ලද බෙනයක් තුළින් මේ සතා පිටව යන්නට ඇතැයි පසුව කියැවිණ.

කෙසේ හෝ අප මේ අමිහිරි අතීතය මතක් කළේ සත්වෝද්‍යාන බලධාරීන්ට ‘රාත්‍රි සෆාරි’ නව ප්‍රවේශයත් සමඟ පැවරෙන වගකීම පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට ය. ශ්‍රී ලංකාව වැනි රටක රාත්‍රි සෆාරි අත්දැකීම ලබාදෙන්නට ඇමැතිවරයා ගත් තීන්දුව වඩාත් ඵලදායි වන්නේ එහි බලධාරීන් සිය වගකීම් නිසි ආකාරයෙන් ඉටු කළොත් පමණක්ය යන්න මෙහිලා සටහන් කළ යුතු ය.

රම්‍යතිලක තල්පිට

Comments