සියදිවි නසාගැනීම් වාර්තාකරණය තවත් සියදිවි නසාගැනීමක්ද | සිළුමිණ

සියදිවි නසාගැනීම් වාර්තාකරණය තවත් සියදිවි නසාගැනීමක්ද

 ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන තරමට තරුණතරුණියන්ගේ මනස වෙනස් කිරීමට සමත් වූයේ කෙසේද? යුද්ධය පවතින කාලයේ බොහෝ සමාජ විද්‍යාඥයන් මතු කළ කරුණක් ලෙස එය හැඳින්විය හැකිය. අප සියලු දෙනා මේ අරඅඳින්නේ තමන්ගේ ජීවිතය උපරිම අයුරින් සැපවත් කරගැනීමටයි. එවන් තත්ත්වයක් යටතේ ජීවිතය අවසන් කර අනෙක් අයගේ සතුට උදා කළ හැක්කේ කෙසේද? එවැන්නකට සිත සාදාගත හැක්කේ කෙසේද?

මේ අප ඉදිරියේ මතුව ඇති ප්‍රධාන ගැටලුවයි. තමන්ගේ ජීවිතය එසේ අනුන් වෙනුවෙන් පුදන්නට හිත සාදාගැන්මට ඇති හැකියාවටත් වඩා තමන්ගේ ජීවිතය තමන්ට දරාගැන්මට බැරි කරුණක් හෝ කරුණු උදෙසා නැති කරගැන්මට හැකියාව ලැබෙන්නේ කෙසේද? මේ සඳහා බල පවත්වන කරුණු රැසක් ඇති බව අපට අනාවරණය වුණේ විද්වතුන්ගෙන් සමන්විතව කොළඹදී පවත්වන ලද වැඩමුළුවකදීය.

මානසික අවපීඩනය

මේ සියදිවි නසාගැනීම් සඳහා වැඩි වශයෙන් මානසික අවපීඩනය බල පවත්වන බව පැහැදිලි වේ. බොහෝ විට ආසන්නම කරුණ ලෙස යම් කරුණක් අප හඳුනාගත්තද සියදිවි නසාගැනීම්වලින් 50%කටත් වැඩි සංඛ්‍යාවකට හේතු සාධක වී ඇත්තේ මේ මානසික අවපීඩනය බව සමීක්ෂණ වාර්තාවලන් හෙළිදරව් කරගෙන ඇත.

එමෙන්ම ජනමාධ්‍ය විසින් සියදිවි නසාගැනීම් වාර්තාකරණයේදී කටයුතු කරන ආකාරයද සියදිවි නසාගැනීම්වලට පෙලඹවීමට පිටිවහලක් බවද මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

ඇත්තෙන්ම සියදිවි නසාගැනීම සංකීර්ණ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව සිහි තබාගත යුතුය. සියදිවි නසාගන්නා තැනැත්තන් සියයට 90%ක්ම මානසික රෝගවලින් පෙළෙන්නන් බවද හෙළි කරගෙන ඇත. මතුපිටි‍න් පෙනෙන කරුණට වඩා ප්‍රශ්න වැලකින් මේ තැනැත්තන් පීඩනයකට යටත්ව සිටින බව තහවුරු වී ඇත. සියදිවි නසාගැනීම්වලට පෙලඹී දිවි බේරාගත් අයගෙන් ලබාගත් ‍තොරතුරුවලින් බහුතරයක්ම මේ ආකාරයේ ප්‍රශ්න වැලකින් පීඩනයට පත්ව සිටි අය බවත් අවසානයේ ඇති වූ සිදුවීම පමණක් ජනමාධ්‍ය විසින් හෙළි කර දැක්වීම නිසා සුළු ගැටලුවකට විසඳුම පවා ජීවිතය නැති කරගැනීම බව මාධ්‍ය මඟින් පෙන්වා දීමක් ලෙස සමාජයේ වැරැදි වටහාගැනීමකට ලක් කරගෙන ඇත. විශේෂයෙන්ම එයින් පසුව ගැටලුවක් ඇති නොවන බව මේ ක්‍රියාවට පෙලඹෙන්නන් තුළ වැරදි මත ආරෝපණය වන තත්ත්වයක් දක්නට තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්වතුරවලට ගොදුරු වීමද සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක්ව ඇත. මානසික අවපීඩනයකදී යම් පුද්ගලයකුගේ මොළයේ සතුට ගෙන දෙන රසායනික ක්‍රියාවලියේ අසමතුලිතතාවක් ඇති වන අතර, ඒ සමඟම සියදිවි නසාගැනීමේ මානසික ආශාවක් ඇති වන බව වෛද්‍ය මතයයි.‍

දිගින් දිගටම මත්වතුර පානය කිරීමද සියදිවි නසාගැනීමට ප්‍රධානතම හේතුවක් වන අතර, මෙරට තුළ සියදිවි නසාගෙන ඇති පුද්ගලයන්ගෙන් 30%ක් පමණ දිගින් දිගටම මත්වතුර පානයට ඇබ්බැහි වී සිටි අය බවද මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇත.

ඊතයිල් මධ්‍යසාරය අඩංගු මත්වතුර ලබාගත් විට ඒ තැනැත්තාට දිවිය සම්බන්ධව ඇති වන ආසාවක් නැතිව යන බවද මේ වන විට හෙළි කරගෙන ඇත.

අවපීඩන ලක්ෂණ

මානසික අවපීඩනය ඇති වූ දරුවන් හඳුනාගැනීම අපහසු නැත. සුළු දෙයකට පවා තරහා යෑම, ස්වාමියා හෝ බිරිය සමඟ නිතර දබර කරගැනීම, රාත්‍රියේ නින්දෙන් අවදි වීම. දීර්ඝ කාලයක් තිසසේ පවතින හිසරදය, කම්මැළිකම, ලිංගික ආශා අඩු වීම, කෑම අරුචිය, සියලු දෙයම කෙරෙහි අසුභවාදි ලෙස බැලීම මේ ක්‍රියාවන්ගේ මූලික ලක්ෂණ ලෙස හට ගනී.

තමාගේ දිවියේ කිසිදු හරයක් නැත යන සිතිවිල්ල ඇති වීම හා අවසානයේ 'දිවිය නැති වනවා නම් මීට වඩා හොඳයි' යන සිතිවිල්ල ඇති වීම සියදිවි නසාගන්නා පුද්ගලයන්ගේ මූලික සිද්ධාන්තයි.

මේ තත්ත්වයන් ඇති වන පිරිස් රැසක් අප සමාජයේ සිටින අතර, පෙර සඳහන් කළ පරිදි මාධ්‍ය මඟින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තා කිරීමේ ක්‍රමවේදය නිසාද සියදිවි නසාගැනීම පිළිබඳව මනසේ ඇති වන දෙගිඩියාව පහව ගොස් සියදිවි නසාගැනීම වීරත්වයක් ලෙස ඇතැමුන්ට අදහසත් ඇති වන තත්ත්වයක්ද දක්නට ඇත.

ජනමාධ්‍ය සාධකය

සියදිවි නසාගත් අයගේ සේයාරුව පළ කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ සිනා සෙමින් සිටි පෙර සේයාරූ පළ කිරීම නිසා එය වීරත්වයක් මෙන්ම ඒ සඳහා සිනාවෙන් මුහුණ දිය හැකිය යන හැඟීම බිය පහ වී, ඒ සඳහා මුහුණ දීමට ශක්තිය ජනිත වන බව වෛද්‍ය මතය වී ඇත. එමෙන්ම උද්වේගකාරී සිරස්තල හා මුල් පිටුවේ වැඩි ඉඩක් ඒ සඳහා ලබා දීමත් මිය ගිය අය මිය ගොස් තිබූ ආකාරය සහිත දර්ශන පළ කිරීමත් තවත් අයට ඒ සඳහා ආධාර අනුබල ලබා දීමක්ද වනු ඇත.

එමෙන්ම සියදිවි නසාගත් අය විසින් ලියූ ලිපි මාධ්‍ය මඟින් පළ කිරීම නිසාද මේ තවත් අයකුට එය කළ හැකි කළ යුතු ආකාරය සම්බන්ධව මඟ පෙන්වීමක් වනු ඇත. එමෙන්ම මිය ගිය පුද්ගලයා කෙරෙහි අනුකම්පාව උපදවන ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණය නිසා මිය යන්නන්ට සමාජයේ අනුකම්පාව හිමි වන බවත්, ජීවත්ව සිටියදී රොස්පරොස් ඇනුම්බැණුම්වලට ලක් වීමට සිදු වන බවත් මනසින් ග්‍රහණය කරගැන්මට සියදිවි නසාගැන්මට මාන බලමින් සිටින අයගේ මනසට ගෝචර වීම ඉතා භයානක තත්ත්වයක් බව කිව යුතුය.

එසේම මෑතකාලීන සියදිවි නසාගැනීම් පිළිබඳ වාර්තාකරණයේදී එය 'වසංගත ත්තත්වයක්' දක්වා වර්ධනයක් සිදුව ඇති බවට කර තිබූ වාර්තා නිසාද ජනතාවට ඒ පිළිබඳ යම් යම් විකෘති මානසික තත්ත්වයන් කරා මනස මෙහෙයවීමට හේතු සාධක වනු ඇත. මාධ්‍ය හැකි තරම් දුරට සියදිවි නසාගැනීමේ අහිතකර ප්‍රතිඵල වාර්තා කරන්නේ නම් මේ තත්ත්වය වෙනස් කරගත හැකි වනු ඇත. එමෙන්ම සිත්තැවුල්වලට පත් වන්නන්ට උපකාර විය හැකි සේවාවන් දුරකථන අංකයන් පළ කරන්නේ නම් එය සියදිවි නසාගැන්මට පෙලඹෙන අයට විශාල උපකාරයක් වනු ඇත.විදෙස් මාධ්‍ය මේ ක්‍රියාමාර්ගය අනුගමනය කළද මෙරට මාධ්‍ය එසේ නොකිරීම මත සියදිවි නසාගැනීම් අඩු කිරීමට දායකත්වයක් ‍නොලැබී යන තත්ත්වයක් උදා වී ඇත. මේ නිසා මාධ්‍ය කථිකාවක් කඩිනමින් ඉටු කළ යුතු බවත් මේ සියදිවි නසාගැනීම් සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේදී නියාමනයන් වැදගත් වන බවත් මෙරට සියලු මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ආයතන මේ සම්බන්ධව ක්‍රියා කළ හැකි ආකාරය සම්බන්ධව ඉඳිරියේදී සොයා බලා කටයුතු කෙරෙනු ඇත.

(‍මනෝවෛද්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විතව, පුවත්පත් ආයතනයේදී පැවැත්වුණු වැඩමුළුවක් ඇසුරෙනි)

තාරක වික්‍රමසේකර 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.