අපේ කටවහරට අෑත යුරෝපයෙනුත් වචන එකතු වෙලා! | සිළුමිණ

අපේ කටවහරට අෑත යුරෝපයෙනුත් වචන එකතු වෙලා!

• ඔබගේ නවතම කෘතිය වන 'ශාස්ත්‍රීය අභියෝග සහ පරිකල්පන' යන කෘතියේ සඳහන් වන ආකාරයට කථන සිංහලයේ විකාශනය සහ නිෂ්පත්තිය පිළිබඳ ඔබ නව මතවාදයක් ඉදිරිපත් කරනවා. කථන සිංහලයේ ප්‍රභවය ඉන්දු යුරෝපා බලපෑම මත සිදු වූවා යැ‍යි ඔබ කියනවා...

බොහෝ දුරට එය නිවැරදියි. අපේ කථන භාෂාවේ -එනම්: කටවහරේ- ඉන්දීය ප්‍රභවයන් ඇති බවට තිබෙන පොදු මතය මා බැහැර කරන්නේ නැහැ. ඒත් භාෂණ සිංහලයේ ඇතැම් වචන එම අර්ථයෙන්ම යුක්තව වෙනත් භාෂාවල ව්‍යවහාර වෙනවා. විශේෂයෙන් ම ශරීරයේ අවයවයන්ට සමාන පද සහ අර්ථ ඇති වචන ඉංග්‍රිසී භාෂාවේ දක්නට ලැබෙනවා. ඒ ව‍‍ගේම වෙනත් භාෂාවලිනුත් අපේ සිංහලයට බිඳී ආ වචන රැසක් දක්නට ලැබෙනවා‍

• ඔබ වෙනත් භාෂා පර්යේෂකයන් නොගිය ඉසවුවක් සොයා යෑමට පාදක වු හේතුව කිව හොත්...

මා පිරිවෙන් අධ්‍යපනය ආරම්භ ක‍ළ අවධියේ සිට 'සිදත් සඟරාව' වැනි ග්‍රන්ථ පරිශීලනය කරන්න අවස්ථාව ලැබුණා. ඒවගේ ම ඇතැම් විට සිංහල භාෂාවේ ඇතැම් පදවල නිරුක්තිය දැක්වෙන ග්‍රන්ථ පරිශිලනය කරන්නට වුණා. මට ඒ කාලේ ඉඳලා ඉංග්‍රීසියේ ඇතැම් වචනවල සමානකම් සිංහලයත් සමඟ සසදා බලද්දී සමාන ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේ ම ජර්මන් වැනි භාෂාවන්ගේ සමානතා අපේ ඇතැම් සිංහල වචනවල දකින්න ලැබෙන බව විවිධ භාෂා පිළිබඳ අධ්‍යයනය කරන විට පැහැදිලි වුණා. මේ සමානතා දැකීමේදී මා විවිධ භාෂා හැදෑරීමට උනන්දු වුණා‍. විවිධ භාෂා සහ සිංහලය අතර ඇති සමානකම් නිසා විවිධ භාෂා පිළිබඳ සෙවීමට මට කුතූහලයක් ඇති වුණා.

• කථන සිංහලයට ඉන්දු-යුරෝපීය බලපෑම් තිබෙන බවට පළමුවෙන් ‍පර්යේෂණ කෘතියක් සම්පාදනය කළ පර්යේෂකයා ඔබ ද?

නැහැ; මින් පෙර තියෝඩෝර් ජී. පෙරේරා මහතා වැනි අයගේ ආරම්භයට මා ගරු කරනවා. තවද අපේ වියත් පඬිවරුන් දෙදෙනකු පිළිබඳ මෙහිදී සිහිපත් කරන්න ඕනෑ. එක් පඬිවරයෙක් වන්නේ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතායි. 'රිංගනවා' කියන පදයට උර්දු ප්‍රභවයක් ඇති බව මුලින්ම සොයාගෙන තිබුණේ එතුමා බව මම පසුව දැනගත්තා. මා එය තහවුරු කර දැනගත්තේ පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයට ගොස් කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ අනෙක් පඬිවරයා වන්නේ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතායි. එතුමා මගේ සොයා ගැනීම්වලට ධෛර්යයක් වුණා. එතුමා පුවත්පතක සදහන් කර තිබුණා ග්‍රීක 'ෂර්කෝස්' සිංහල 'හරක්' යන වචනයට සමාන බව. වාග් විද්‍යාවේ පුරෝගාමි වු විදේශීය උගතුන්ට අමතරව මෙරට වාග්විද්‍යා පර්යේෂණයන්ට ප්‍රවේශයක් ලබා දුන් තවත් පඬිවරයකු වශයෙන් මහාචාර්ය ඩබ්.එස්. කරුණාතිලක මහතා ද මෙහිදි සදහන් කළ යුතුයි කියා මා සිතනවා.

• අසල්වැසි ඉන්දීය භාෂාවෙන් සිංහල බස නිෂ්පන්න වීම සහ පෝෂණය ලැබීමට භූගෝලීය වශයෙන් පිහිටීම හේතු පාදක වුවායැයි විශ්වාස කළ හැකි වුවත් ඉංශ්‍රීසි භාෂාව සහ ඇතැම් බටහිර භාෂාවන්ගෙන් සිංහලයේ නිෂ්පත්තිය සිදු වූයේ කිනම් ‍භූගෝලී පදනමක් නිසාදැයි ගැටලුවක් මතු වෙනවා නේද?

මා සිතන්නේ වැදගත් වන්නේ භූගෝලීය පදනමට වඩා ඓතිහාසික හා මානව විද්‍යා පදනම යි. ‍ලංකාවේ භාවිත කරන සිංහල වචනයත් ග්‍රීක්, ඉංග්‍රීසි, ප්‍රංස, ජපන්, ඕස්ට්‍රේලියානු සහ ජර්මන් වචනත් සමාන වන ආකාරය මා මගේ නවතම පර්යේෂණ කෘතියේ සඳහන් කළා. ඇත්ත වශයෙන් ම බහුතරයක් සිතාගෙන සිටින්නේ ඉන්දියාව වැනි අසල්වාසි රටක නැති, ග්‍රීසියේ හෝ ප්‍රංසයේ භාවිත වන වචන සිංහලයේ තිබිය නොහැකි බව යි. මේ පිළිබඳ අප සාධක ලබාගත යුතු වන්නේ මානව විද්‍යාඥයන්ගේ පර්යේෂණවලිනුයි. මානව විද්‍යාඥයන් කියන ආකාරයට මිනිසා එක තැනක පහළ වී, දිගු කලක් ලොව තැනින් තැනට සංක්‍රමණය වී තිබෙනවා. ඒ වන විට පෘථිවිය මහාද්වීප වශයෙන් කොටස් වෙලා නැහැ. පසු ව ඒ ප්‍රදේශවල සමීපව වාසය කරන්න පටන්ගත්තායින් පසුවයි ඒ ඒ ජනකොටස්වල අනන්‍යතාව හැඩගැසුණේ. බටහිර ඇතුළු මා සඳහන් කළ ඇතැම් රටවල භාවිත බසේ ඇතුළත් වචන සිංහල ව්‍යවහාර බසට එක් වුවා යැයි සිතීමට පුළුවන්. ග්‍රීක් හෝ ඉංග්‍රීසි වැනි භාෂාවලට සමාන පද ලැබෙන්නේ ඒ ඇසුරෙනුයි. මා විග්‍රහ කරන පද මානව පරිණාමයේ මුල් අවධියක් නිරූපණය කරන බව ඔප්පු කරන්න පුළුවන්.

• ඔබගේ මතය අනුව සිංහල ව්‍යාකරණය සකස් වන්නේ කෙසේ ද?

මෙහෙමයි: අපි දන්නවා ශබ්ද ප්‍රකෘති සහ ධාතු ප්‍රකෘති ඇතැමක් මෙරට උපන් ඒවා. එසේ නැත් නම් ඇතැම් වචන පාලි සංස්කෘත වදන්වලට සමානයි. ඒ වචන ඒ ආකාරයෙන්ම -එනම්: මුල් බසේ ඇති විදියට ම- ඇත් නම් එවිට තත්සම යි. ඒවායින් බිදී ආ ඒවා තද්භව යි. පාලි සංස්කෘත භාෂා හැර වෙන මොන ම බසක් වත් සිංහලයට මුල් වුණු බවක් අපේ පැරණියන් සිතලා නැහැ.

• එහෙත් ‍මෑතකදී දෙමළ, පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි වැනි භාෂාවලින් සිංහල බසට නිෂ්පන්න වූ වචන රැසක් තිබෙනවා නේද?

ඇත්ත. ඒත් නිෂ්පන්න පද පිළිබඳ උගතුන්ගේ පර්යේෂණ ඉතා අඩු යි. සිංහලයට තත්සම, තත්භව සියලු වචන ඉන්දීය භාෂාවලට සම්බන්ධ කරලයි අපේ උගතුන් සිතන්නේ. මා එයට විරුද්ධ නැහැ. එහෙත් එය අදාළ වෙන්නේ ලේඛන ව්‍යවහාරයට පමණ යි. මහින්දාගම‍යෙන් පසු අපට පාලි භාෂාව ලැබුණා. හෙළ අටුවාවලින් අපේ එතෙක් පැවති සිංහල කටවහරේ එන වචන පාලි සංස්කෘතවලට සම්බන්ධ කරන්න බැහැ. 'සිදත් සඟරා' කතුවරයා කියන ආකාරයට අපේ කටවහරේ එන වචන මේ රටේම නිෂ්පන්න වචන යි. මා ඒ පැරණි මතය වැරදියි කියන්නේ වෙනත් භාෂා සමඟ සංසන්දනාත්මක ව බැලීමෙනු යි. වෙනත් භාෂාවල වචනවල අරුත් සමඟ සැසඳීමේ දී ඒ අරුතින් ම වෙනත් භාෂාවල වචන දක්නට ලැබෙනවා.

• සිංහල භාෂාවෙන් මෙන් ම ඔබ ඉංග්‍රීසි, පාලි සහ සංස්කෘත භාෂාවලිනුත් පද්‍ය රචනා කර තිබීම සුවිශේෂත්වයක්?

මා කුඩා කල සිට කාලිදාස වැනි සංස්කෘත කවීන්ගේ කෘති පරිශීලනය කලා. කෙනකුට සහජ කවිත්වයක් තියෙනවා නම්, ඒවා ඉගෙනගන්නා විට ඒක දියුණු වෙනවා. ඒ අනුව ප්‍රාචීන විභාගවල දී පද්‍ය රචනාවල ආකෘතිය පිළිබඳව මා හැදෑරීමත් කවි ලිවීමට මා තුළ වූ නිසග කවිත්වය මතු වීමට හේතුවක් වූවා යැයි මා සිතනවා. මගේ 'ශාස්ත්‍රීය අභියෝග සහ පරිකල්පනා' නම් කෘතියේ කාව්‍යමය පරිකල්පන කොටසේ මේ විවිධ භාෂාත්මක කවි ඇතුළත් කර ති‍බෙනවා. ඉංග්‍රී‍සියෙන් ලියන ලද කවිත් අටක් එයට ඇතුළත් වෙනවා.

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

Comments