ආශාව ආදරය නොවේ | සිළුමිණ

ආශාව ආදරය නොවේ

පීදුණු ගොයම කිරෙන් බර ව මිහිකත දෙස ම නෙත් හෙළාගෙන ලතාවකට පැද්දේ. මලින් මලට පියඹන මී මැස්සන්, මල් සදිසි මේ වී කරල් ද මඟ හරින්නේ නැත. මී මැස්සාගේ බරට මිහිකත සිපගන්නට තරම් පාත්වන වී කරල මී මැස්සාගේ නික්ම යෑමෙන් නැවත හෙමිහෙමින් උස් වෙයි. කිරිවැදුණු ලක්ෂ සංඛ්‍යාත වී කරල් එක ම රිද්මයකට නැළවෙන්නේ මිහිකත හා සුහද සංවාදයේ යෙදෙමිනි. මී මැස්සන් මේ කිසිදු හෝ සංවාදයක් ගණන් නොගන්නේ තමන්ගේ පාඩුවේ මල් සොයමින් පියඹා යන්නේ ය. ඉමක් කොනක් නොපෙනෙන වෙල්යාය රහස් රැසක් සඟවාගත් අද්භූත තැනක් සේ පෙනේ. එක එල්ලේ බලා සිටිනවිට ක්‍රමයෙන් කුඩා වෙමින් යන වී කරල් ම සිත විවිධාකාර පැන ගොඩනඟයි. වී කරල් බොඳ ව ගොස් ඉහළ අහසේ වලාකුළු අතර සිත සැරිසරන්නේ මා පෙර දුටු වී කරල් තව ටික දිනකින් කපා අස්වැන්න නෙළාගත් පසු මිය යන බව ම සිතට ඒත්තු ගන්වමිනි. අප සැමදා දකින, සවන් දෙන දේ අතර ජීවිතයට සුන්දරත්වයක්, සුගන්ධයක් හෝ පියකරු බවක් සදාතනික ව ලබා දෙන කුමන හෝ දෙයක් තිබේ ද? සැමදා ඒ ආකාරයෙන් ම පවතින කුමන හෝ දෙයක් මිනිස් සිතට එසේත් නැත් නම් ඔබට හමු විය හැකි ද?

ඔබ හොඳ නීරීක්ෂකයකු නම් මිනිසා ඉතිහාසය පුරා නොයෙක් ක්‍රමවලින් සාමාන්‍ය ජීවිතය ඉක්මවා යන, මේ තත්ත්වාරෝපිතයෙන් එපිට තිබෙන දෙයක් සොයමින් සිටින බව ඔබට ඒත්තු ගැන්වෙනවා නො අනුමාන යි. පෙනෙන දෙයින්, තිබෙන දෙයින් ඔබ්බට ඇති යමක් සෙවීමට මිනිසා කළ හැකි සෑම දෙයක් ම කර තිබේ. ඔහු ඒ සඳහා ශරීරයට දුක් දුන්නේ ය. උපවාස කළේ ය. පුරාවෘත්ත හා ඒවායෙහි වීරයන් වන්දනා කළේ ය. ‍‍

“මම මාර්ගය දනිමි, මා අනුගමනය කරන්න” යැයි කියුවන්ගේ මාර්ගය අනුගමනය කළේ ය. නිදර්ශනයක් ලෙස ම සිතට නැ‍ඟෙන උදාහරණය ම ඔබේ සිතටත් මෙහිදී නැ‍ඟෙන බව දනිමි. සිදුහත් කුමරා! ඔහු මේ සියලු අත්හදා බැලීම් කළ බව ඔබේ මතකයට නැ‍ඟෙන්නට ඇති. පෙරදින, අපරදිග, ගැහැනු, පිරිමි මේ ඈ ඕනෑ ම කෙනෙක් මෙවැනි ප්‍රශ්න ගැන සිතා ඇති බව නොරහසක් ය.

සොයා බැලීම් වලට බලපාන්නේ උගත්කම ද?

උගත්කම යනු ජීවිතයේ එක් කොටසක් පමණි. එයට හිමි එක්තරා ස්ථානයක් තිබේ. කරුණු කාරණා දකින ආකාරයට, ඒවට විශ්ලේෂණය කරන ආකරයට හා ඒවායේ හේතු සාධක හඹායෑමේ හැකියාව සම්බන්ධයෙන් උගතුන්ට විශේෂ වැදගත්කමක් ලැබේ. එහෙත් මිනිස්සු හුදෙක් උගත්කම පමණක් තිබෙන අය නොවෙති. ඔවුහු සංකීර්ණ පැවැත්මක් ඇත්තෝ වෙති. එනම් හෘදයසංවේදී බව, කලබල බව, අහංකාර නිරහංකාර බව, ඊර්ෂ්‍යාව - මෛත්‍රිය මේ ඈ සෑම දෙයක ම සංකලනයක් වෙති.

උගතුන්ට හසු නොවන, හසු වූවත් එයට ඔවුන් එතරම් තැකීමක් නො කරන ඇතැම් දේ ගැන එතරම් උගත්මක් නැති මිනිස්සු සොයා බලන බව ඔබට දැනී ඇතිවාට සැක නැත. එවන් වූ නිරීක්ෂණයක් සහිත නොවන මිනිස්සු නොවෙති. මිනිසා සෑම විට ම තමන්ට පහසුවෙන් හසු නොවන දේ පුරාණ කාලයේ සිට ම සෙවීමේ යෙදී සිටී. සංවිධානය කරන ලද ආගම් යනු යම් යම් විශ්වාසවලට, දෘෂ්ටිවලට, පුද සිරිත්වලට හා ඇදහිලිවලට අනුව මිනිස් සිත හැඩගස්වා ගැනීමේ ව්‍යාපාරයක් බව එසේ නිරීක්ෂණය සහිත වූවන්ට හසුවීම පුදුමයක් නොවේ. ඒවා මිනිස් සිත හැඩ ගැන්වීම සඳහා යොදවා ඇති ව්‍යාපාර බැව් මිනිසා හඳුනාගනී. ඒවා ඉතා ලාබදායි ව්‍යාපාර වන අතර ම අපේ සිත් ද, අපේ ජීවිතය ද ඒ තරමට ම හිස් නිසා ඒවාට ඉහළ පිළිගැනීමක් ද අප අතරින් ම ලැබී ඇත.

සැබෑ ජීවිතය සුන්දරත්වයෙන් ආඩ්‍ය නොවන නිසා ම මිත්‍යා විශ්වාසවලට, සුරංගනා ලොව අත්භූත ප්‍රබන්ධවලට අපි විසල් කැමැත්තක් දක්වමු. ඒ නිසා ම යථාර්ථය පෙනි පෙනී අපි මායාවේ ජීවත් වන්නෙමු. පුරාවෘත්තවලට හා මිථ්‍යා විශ්වාසවලට අපි වන්දනා මාන කරන්නෙමු. ශාරීරික වශයෙන් හෝ මානසික වශයෙන් මිනිසා ගොඩනඟාගෙන ඇති සියලු මන්දිරවල සත්‍යයට අදාළ කිසිවක් නොමැත්තේ එබැවිනි.

මිනිසාගේ සියලු ම විකෘතිවලින් නිදහස් වූ සත්‍යය හෙවත් යථාව සොයන්නේ කෙසේ ද? එසේ නම් අප, අප ඇතුළත පවතින ව්‍යාකූලත්වය තේරුම් ගත යුතු නො වේ ද? නැති නම් අප ජීවත්වන අපිළිවෙළ තේරුම් ගත යුතුය. එවිට පිළිවෙළ ගැන අවබෝධයක් ඇති වේ. එමඟින් පැහැදිලි හා නිශ්චිත බවක් නිර්මාණය වේ. ඒ නිර්මිත බව නිර්මාණය වන්නේ සිතීමෙත් නොවේ. ඒ නිශ්චිත භාවය යනු බුද්ධියයි. මේ සියල්ල ගැන අවබෝධ වන විට මනසේ දොර විවෘත වේ. මේ තත්ත්වය වචනයෙන් විස්තර කළ නොහැක්කේ වචනයෙන් ඇඟවෙන දේ සැබෑව නොවිය හැකි බැවිනි. මේ නිරීක්ෂණයේදී ඔබට ආස්වාදය ආදරය නොවන බවත්, ආශාව ආදරය නොවෙන බවත් වැටහී යනු ඇත.

සෑම දෙයක් ම සොයා ගත යුත්තේ අප විසින් ම ය. වෙන අයෙක් සම්පාදනය කරන දෙයකින් හෝ, ගුරු කෙනකු, ආචාර්යවරයකු හෝ ගැලවුම්කාරයකු මාර්ගයෙන් ‍නො ව ඔබ ම ඔබේ චින්තනය මෙහෙයවීමෙන් සත්‍ය, අසත්‍ය හඳුනාගත යුතුය.

ඔබ සොයා ගත යුතු දේ ගැන ඛලීල් ජිබ්රාන් ගේ LA VOIX DE L’ ETERNELLE SAGESSE නම් කෘති‍යේ මණ්ඩාවල පඤ්ඤාවංස හිමි කළ “මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය” නම් සිංහල අනුවාදයේ මෙලෙස සටහන් ව තිබූ බව මගේ මතකයට නැඟිණි.

“අප ආදරය කරන කල්හි එම ආදරය අප වෙතින් එන්නක් වත්, අප සඳහා එන්නක් වත් නොවන්නේ ය. අප ආනන්දය තුළ ගිලෙන කල්හි, ඒ ආනන්දය රැඳී ඇත්තේ අප තුළ නොවන්නේ ය. එය මහා ජීවිතයේ ම අවයවයක් වන්නේ ය. අප දුකින් පීඩිත ව සිටින කල, අප දුක රැඳී ඇත්තේ අපගේ තුවාල තුළ නො වන්නේ ය. එය ස්වභාව ධර්මයා ගේ හදවත තුළ ම පවතින්නකි.”

උදා අරුණලු වැටී බණ්ඩි ගොයම මහත් වූ චමත්කාරයක් මවා තිබේ. ඒ චමත්කාරය ම සිතේ මැවූ සිතිවිලි ගොයම තරම් ම අපූර්ව නො වේ ද?

[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.