ඉසුරුමුනි පෙම් යුවළ දුටුගැමුණු යුගයටත් පසුව නිර්මාණය වූවක්?

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා පවසන ආකාරයට ඉසුරුමුනිය පෙම් යුවළ මුටසීව රජු දවස නිර්මාණය වූවක් නොවේ.

‘ඉසුරුමුනි පෙම් යුවළ’ යනුවෙන් හඳුන්වන කලා කෘතියෙන් නිරූපණය වන්නේ ප්‍රේමයෙන් වෙළී සිටින තරුණ යුවළකි. මෙහි වස්තු විෂය පිළිබඳව පවතින විද්වත් මත කීපයකි. ඒ අනුව මින් නිරූපණය වන්නේ යුද සෙබළකු හා ඔහුගේ පෙම්වතිය හමුවූ අවස්ථාවක් බව ෆූගල් මහතා පවසයි. පී. සී. සෙස්තියරි මහතාගේ අදහස වන්නේ මෙම නිර්මාණයෙන් ස්ථිර චක්‍ර මංජු ශ්‍රී හා ඔහුගේ ශක්තිය වූ ප්‍රඥාව ලෙස සංකේතවත් කොට දක්වනු ලබන මහායාන ආගමික සංකල්පයක් නිරූපිත බවකි. මහාචාර්ය ඩී.කේ. දොහානියන් ද මේ නිර්මාණයෙන් මංජු ශ්‍රී ගේ වේශයක් වන ස්ථිරචක්‍ර මංජු ශ්‍රී නිරූපණය වන බව කියයි. මෙම නිර්මාණය ශිව පාර්වතී නියෝජනය කරන්නේ යැයි සිතිය හැකි බව ‘පුරාණ අනුරාධපුරය’ (මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න) කෘති‍ෙය් සඳහන් වේ. ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ද මෙම කැටයමින් ශිව පාර්වතී නිරූපණය කෙරෙන බව අවධාරණය කරයි. මෙම කැටයමින් සිදුහත් කුමරු හා යසෝදරා දේවිය නිරූපණය වන බවට මතයක් පවතින බව ‘සිංහල විශ්වකෝෂය’ (සිව්වැනි කාණ්ඩය - ඩී..ඊ. හෙට්ටිආරච්චි) කියයි. පූජ්‍ය පණ්ඩිත මැද උයන්ගොඩ විමලතිස්ස හිමිපාණන් පවසන්නේ මේ පෙම් යුවළ දන්ත කුමරුන් හා හේමමාලා කුමරිය විය යුතු බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරනුයේ මේ නිර්මාණයෙන් සාලිය අශෝකමාලා නිරූපණය වන බවයි.

ප්‍රමාණයෙන් අඩි 3 ½ x 2 ½ ක් පමණ වන කළුගල් පුවරුවක අර්ධ උන්නත ශිල්ප ක්‍රමයට නෙළා ඇති ‘ඉසුරුමුනි පෙම් යුවළ’ කැටයම වර්තමානයේ ඉසුරුමුනිය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අනුරාධපුර යුගයේ මුල් සියවස්වලට අයත් යැයි සැලකෙන මේ නිර්මාණය ගුප්ත කලා ආභාසය අනුව නිර්මාණය වූවක් ලෙස පිළිගැනේ

සෙනරත් පරණවිතාන මහතා ‘පෙම් යුවළ’ කැටයමට අර්ථ සැපයීමේ දී ‘රජ පවුල’ (රජවාසල දර්ශනය) නමින් හඳුන්වන නිර්මාණය දෙස ද අවධානය යොමු කරයි. මින් දුටුගැමුණු රජ පවුල හා සම්බන්ධ සිද්ධියක් නිරූපිත බව සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. එනම්, දුටුගැමුණු රජතුමා, සාලිය - අශෝක මාලා හමුවීමට ගිය අවස්ථාව නිරූපණය කරන බවයි.

“ඒ. ඇම්. හෝකාට් මහතා මෙය හඳුන්වන්නේ ගුප්ත ශෛලිය අනුව නයිස්ගලින් නිමවන ලද මුල් ම කෘතිය වශයෙනි”, යනුවෙන් ‘සෙනරත් පරණවිතාන - නූතන ශාස්ත්‍රඥයකුගේ ශාස්ත්‍රීය පර්යේෂණ පිළිබඳ විචාරාත්මක විග්‍රහයක්’ නැමති ලිපි සරණියේ (129 පිටුව) (සංස්. රණවීර ගුණවර්ධන සහ ජිනදාස ලියනරත්න) සඳහන් වේ. මෙම කැටයම් ගුප්ත ආභාසය ලබා ඇති බව සෙනරත් පරණවිතාන මහතා ද පිළිගනී.

ගුප්ත කලා සම්ප්‍රදාය අපට ලැබෙනුයේ උතුරු ඉන්දියාවේ පාටලීපුත්‍ර (පැට්නා) නගරය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැඟුණු ගුප්ත අධිරාජ්‍යයෙනි‍. ගුප්ත රාජ්‍යයේ ප්‍රථම ස්වාධීන පාලකයා පළමුවන චන්ද්‍රගුප්ත (ක්‍රි.ව. 320 – 335 පමණ) රජු ය‍. අනතුරු ව රජ බවට පත්වන්නේ ඔහුගේ පුත් සමුද්‍රගුප්ත (ක්‍රි.ව.335 – 376 පමණ) රජු ය. ගුප්ත අධිරාජ්‍යයේ ආරම්භකයා සමුද්‍රගුප්ත රජු කවියෙකු මෙන් ම සංගීතඥයෙක් ද විය. සමුද්‍රගුප්ත රජුගෙන් පසු ඔහුගේ පුත් දෙවැනි චන්ද්‍රගුප්ත (ක්‍රි.ව. 376 – 415 පමණ) රාජ්‍ය සේවයට පත් වෙයි. ගුප්ත අධිරාජ්‍යය ප්‍රබලවන්නේ දෙවැනි චන්ද්‍රගුප්ත රජ සමයේ දී ය. මෙතුමාගේ පාලන සමයේ දී කලාව, ගෘහ නිර්මාණ ශිල්පය හා සාහිත්‍ය යන ක්ෂේත්‍රවලට ද පුළුල් අනුග්‍රහයක් ලැබේ. අනතුරුව කුමාරගුප්ත (ක්‍රි.ව. 415 – 454 පමණ) හා ස්කන්ධගුප්ත (ක්‍රි.ව. 455 – 467 පණ) යන රජවරු ද ගුප්ත අධිරාජ්‍යයේ පාලකයෝ වූහ. ඉතිහාස තොරතුරු අනුව ගුප්ත අධිරාජ්‍යයට ප්‍රබල ආක්‍රමණ දෙකකට ද මුහුණ දීමට සිදුවූ බව පෙනෙයි. ඒ ක්‍රි.ව. 454 පමණ සහ ක්‍රි.ව. 495 පමණ එල්ල වුණු ‘හූණ’ ආක්‍රමණයන් ය. ක්‍රි.ව. 540 පමණ ගුප්ත රාජ වංශයේ අවසානය සටහන් වෙයි.

කෙසේ වුවද ගුප්ත අධිරාජ්‍යය සමයේ දී භාරතයේ සංස්කෘතික නවෝදයක් විය. ඊට හේතු වූයේ ගුප්ත රජවරුන් භාෂා ශාස්ත්‍ර, කලා ශිල්ප කෙරෙහි දැක්වූ අනුග්‍රහයයි. ඒ අනුව ගුප්ත රාජ්‍ය සමයේදී චිත්‍ර හා මූර්ති කලාව ද ඉතා විශිෂ්ට‍ තත්ත්වයකට පත්විය.

ගුප්ත අධිරාජ්‍යයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය ගෙන ගිය රාජ නාමාවලිය දෙස බැලූ කල පැහැදිලි වන්නේ ගුප්ත අධිරාජ්‍යය ගොඩ නැගෙන්නේ ලක්දිව පාලනය කළ දුටුගැමුණු මහරජුගේ යුගයටත් පසුව බවයි. දුටුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය පාලනය ක්‍රි.පූ. 161 - ක්‍රි.පූ. 137 අතර වෙයි. ගුප්ත රාජ්‍යය ඇරඹෙන්නේ ක්‍රි.ව. 320 දී පමණ ය. මේ අනුව දුටුගැමුණු රජුගේ පාලන සමයෙන් සියවස් හතරකට පමණ පසුව ගුප්ත අධිරාජ්‍යය ඇරඹෙන බව පෙනෙයි. ගුප්ත පාලනය ඇරඹෙන සමයේ (ක්‍රි.ව. 320 දී පමණ) ලක්දිව පාලකයා වන්නේ ශ්‍රී මේඝවණ්ණ රජු ය‍. ගුප්ත අධිරාජ්‍යයේ අවසානය (ක්‍රි. ව. 540 දී පමණ) වන විට ලක්දිව පලකයා වන්නේ දෙවන මොග්ගල්ලාන රජු ය.

ගුප්ත අධිරාජ්‍යයත් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයෝ ද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන තිබිණි. ඒ බව අලහබාද් ප්‍රශස්ති ටැම්ලිපියෙන් ද තහවුරු වේ. ‍ෙමම ටැම්ලිපිය සමුද්‍රගුප්ත රජුගේ ශ්‍රේෂඨත්වය කියාපෑමට හරිසේන නම් පඬිවරයා විසින් රචනා කරන ලද්දකි. එම ටැම්ලිපියේ ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ ‘සෛංහලක’ යන නමිනි. එවක ශ්‍රී ලංකාවේ පාලකයා වූ කීර්ති ශ්‍රී මේඝවණ්ණ (කිත්සිරිමෙවන්) රජතුමා, සමුද්‍රගුප්ත රජුට පඬුරු යැවූ බව ද එහි කියැවේ.‍ ඒ බව චීන වාර්තාවල ද සඳහන් වේ.‍ එසේ ම සමුද්‍රගුප්ත රජුගේ අවසරය ලබාගෙන බුද්ධගයාවේ කලාත්මක ආරාමයක් (විශ්‍රාම ශාලාවක්) කරවා ඇත. එහි රුවන්මය බුද්ධ ප්‍රතිමාවක් ද පිහිටුවා ඇත. චීන වාර්තාවල ද මේ ආරාමය ගැන සඳහන් වේ.

ගුප්ත යුගයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ කිට්ටු සබඳතාවක් පැවති බව ‘අසිරිමත් කලා වත’ - පාඨ සංග්‍රහය ද (139 – 140 පිටු) (සොලමන් ප්‍රේමානන්ද) සඳහන් කරයි.‍

මේ අනුව, එවක ශ්‍රී ලංකාවේ සිටි පාලකයෝ ද ගුප්ත අධිරාජ්‍යය සමඟ සබඳකම් පවත්වා ඇති අතර, ගුප්ත අධිරාජ්‍යයේ අනුග්‍රහය ද ශ්‍රී ලංකාවට ලැබී ඇති බව පිළිගත හැකි ය. එසේ නම්, එකල කැටයම් කලාවට ගුප්ත කලාවේ ආභාසය ලැබි ඇති බව ද පිළිගැනීමට පුළුවන‍.

‘පුරාණ අනුරාධපුරය’ කෘතියේ මෙසේ ද දැක්වෙයි. “... පෙම් යුවළ සම්බන්ධව විවිධ මත පවතී. ශෛලීය අතින් මෙම මූර්ති පස්වන සියවසට පමණ අයත් ය. ඒවා ගුප්ත මූර්ති කලාවේ ආභාසය ප්‍රකට කරයි...” (201 පිටුව)

මීළඟට ගුප්ත කලා නිර්මාණවල ලක්ෂණ දෙස අවධානය යොමු කරමු. සිරුරට ඇලී ගිය සළුපිළි දැක්වීම, සිරුරේ අඟ පසඟ මතුකර දැක්වීම, පිරිපුන් බව, ආභරණ අඩු බව, ගැඹුරු භාව ප්‍රකාශනය ගුප්ත කලා ලක්ෂණ අතර වැදගත් වේ. ගුප්ත කලා කෘති තුළ දක්නට ඇති චාම් බව, සියුම් බව, උපශාන්ත බව, උසස් බව ඒවායේ අගය වැඩි කරයි. ‘ඉසුරුමුනි පෙම් යුවළ’ දෙස හොඳින් බලන්න. මෙකී ලක්ෂණ එම නිර්මාණය තුළින් දැකිය හැකි නොවේ ද?

‘ඉසුරුමුනි පෙම් යුවළ’ කැටයමේ කාන්තා රූපය තුළින් ස්ත්‍රියගේ ස්ත්‍රී ලාලිත්‍යය, හොඳින් ම නිරූපිත ය. ඇගේ පීන පයෝධර, සිහින් ඉඟ, පුළුල් උකුළ තුළින් පිරිපුන් බව නිරූපිත ය. පුළුල් උරහිස්, විනිවිඳ පෙනෙන වස්ත්‍රයෙන් වැසුණු ගාත්‍රා ආදී ලක්ෂණ ද වෙයි. තරුණයාගේ පුළුල් උරමඬලින් ඔහුගේ ශක්තිමත් භාවය පෙන්වයි.

සිංහල විශ්වකෝෂයේ (සිව්වැනි කාණ්ඩය) ‘ඉසුරුමුනි පෙම් යුවළ’ පිළිබඳව එන මේ විස්තරය බලන්න.

“... පූර්ණ අඟපසඟින් හා මහඟු රූප සම්පත්තියෙන් හොබවා මිනිස් රූ නෙළීමේ ගුප්ත සම්ප්‍රදාය මෙම මිථුන රූපයෙන් පිළිබිඹු වේ. මෙය ගුප්ත සම්ප්‍රදායේ දියුණු අවස්ථාවකට අයත් නිර්මාණයකැයි ද බෙංගාලයේ පහර්පූර් හි දක්නට ලැබෙන කෘෂ්ණ වෘත්තාන්තයේ අවස්ථා දැක්වෙන 6 වන සියවසේ කැටයම් සිහි කරවන්නකැයි ද එක් විචාරකයකු පෙන්වා දී ඇත. මෙම කැටයමට අයත් ස්ත්‍රී රූපය ඉතා ශෝභමාන ලෙස නිමවා ඇතැයි මහාචාර්ය ෆෝගල් සඳහන් කරයි. අඟපසඟවල සුඛ නම්‍යතාව මාංශ පේශීන්ගේ මෘදුතාව, මුහුණේ ලැජ්ජාශීලී පෙනුම යන ලක්ෂණවලින් එය හොබනේය.” (278 පිටුව)

මුද්‍රා පිළිබඳ විමසීමේදී ඉන්දියාවේ ප්‍රධාන මුද්‍රා 64 ක් සම්බන්ධ විස්තර දැක්වෙන අතර ඉන් මුද්‍රා පහක ලක්ෂණ ‘ඉසුරුමුනි පෙම් යුවළ’ කැටයමෙහි දක්නට ලැබේ. පිරිමි රූපයේ හිසෙන් නිංහවිත මුද්‍රාව ද (තරුණියට ආදරය දක්වන බව) දකුණතින් මයුර මුද්‍රාව ද (ස්ත්‍රිය නිසා ආඩම්බර වන බව) දැක්වේ. ස්ත්‍රී රූපයේ හිසෙන් අංචිත මුද්‍රාවත් (ආලයෙන් සිටින බව) දකුණතින් ත්‍රිපාතක මුද්‍රාවත් (මෛථුන සේවනයට කැමැති බව) දෙනෙත්වලින් නිමිලීත මුද්‍රාවත් (මා ඔබ සතු බව) පිළිබිඹු වෙයි. මේ මුද්‍රා නිසා මෙම නිර්මාණයට සජීවී බවක් ආරෝපණය වී තිබේ.

පිරිපුන් අඟපසඟවලින් යුත් මිනිස් රූප නෙළීමටත්, ඇඹීමටත් ගුප්ත කලාකරුවා අතිදක්ෂයෙකි. මානව රූප හා සත්ව රූප සජීවී ලෙස නිර්මාණයට ඔහු උත්සාහ ගනියි. ඒ අතින් ඔහු අනික් කලාකරුවන්ට වඩා ඉදිරියෙන් සිටී. ‘ඉසුරුමුනි පෙම් යුවළ’ කැටයම ද සජීවී ප්‍රේම ජවනිකාවක පෙම්වතුන් යුවළක් ලෙස නිරූපණය වන්නේ ගුප්ත කලාවේ ආභාසය කලාකරුවාට ලැබුණු නිසා බව පැහැදිලි ය.

මේ අනුව ‘ඉසුරුමුනි පෙම් යුවළ’ යනුවෙන් හඳුන්වන නිර්මාණයට සාලිය අශෝකමාලා වස්තු විෂය විය නොහැකි ද?

සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ ‘ඉසුරුමුනි පෙම් යුවළෙන් ‘ සාලිය අශෝක මාලා නිරූපණය වන බවකි. අශෝකමාලා විසූ හෙල්ලෝලි ග්‍රාමය ද ඉසුරුමුනිය අසල වූ හෙයින් සෙනරත් පරණවිතාන මතයට එය ද පාදක වී ඇත.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ගේ ‘පුරාණ අනුරාධපුරය’ කෘතියේ මෙවන් විස්තරයක් ද එයි. ‘දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරාගේ පෙම්වතිය වන අශෝකමාලාව විසූ චණ්ඩාලගම නැතහොත් හෙල්ලෝලිගම මීට යාබදව තිබුණ බව විශ්වාස කෙරේ. එය නිසැකවම දක්ඛිණ විහාරය හා ඉස්සරසමණ විහාරය අතර පිහිටිය යුතු ය. ජනප්‍රවාදයන්ට අනුව අශෝකමාලා මෙම තරුණ කුමරුට හමුව‍ූයේ මෙම මනරම් රාජකීය උයනෙහිදී ය. එය සත්‍ය වන්නේ නම් ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ගොඩනඟන ලද රන්මසු උයන දේවානම්පියතිස්ස රජු විසින් මහා සංඝයාට පූජා කරන ලද්දක් විය යුතු ය. දුටුගැමුණු රජු පිළිබඳව ජනප්‍රවාද රැව් පිළිරැව් දෙමින් පැවතියේ ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයේ දී ය.” (204 පිටුව)‍

‘රජ පවුල’ (රාජවාසල දර්ශනය) යනුවෙන් හඳුන්වනු ලබන නිර්මාණය දෙස ද අවධානය යොමු කළ යුතු වන්නේ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ඒ ගැන ද සඳහනක් කරන නිසා ය. 2016.01.17 සිළුමිණ පුවත්පතට (34 පිටුව) සැපයූ ලිපියේ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා මෙසේ සඳහන් කරයි‍.

“...රජ පවුල (දුටුගැමුණු රජ පවුල) වශයෙන් නම් කෙරෙන ශිව මූර්තිය ද ශිව පාර්වතී හා පිරිස නිරූපණය කෙරෙන්නකි.

‍එහිදී ශිව දෙවියාගේ අනන්‍යතාව මූර්ති ශිල්පියා විසින් ඉතාම පැහැදිලි ලෙස දක්වා ඇත. ‘රජ පවුල’ යැයි වරදවා අරුත් දෙන ඒ කැටයමේ මැද පෙදෙසෙහි, ප්‍රතාපවත් මහා රාජ ලීලාවෙන් දැක්වෙන්නේ ශිව දෙවියායි. අප ඒ බව දන්නේ කෙසේද? එසේ අසුන්ගෙන සිටින ශිව දෙවියාගේ දකුණු පාදය දෙස හොඳින් බලන්න. අසුනෙන් පාතට නැමී ‘චාමනයකු’ පාගා ගෙන සිටී. ශිව දෙවියාගේ ‍වම් අත සිය දේවිය වන පාර්වතීගේ උකුළ මත ය. එහිදී ද ශෛල මූර්ති ශිල්පියා ශිව දෙවියන්ගේ අනන්‍යතාව දක්වන වාමන රූපය ශිව දෙවියාගේ දකුණු පයට පෑගෙන හැටි නිරූපණය කරයි” (උපුටා ගැනීම අවසන්)‍

මෙම ‘රජ පවුල’ යනුවෙන් හඳුන්වන නිර්මාණයේ මැද ඇති ප්‍රධාන රූපයේ දකුණු පාදය දෙස හොඳින් බැලූ කල, එම පාදයට වාමනයෙකු පාගා ගෙන සිටින බවක් නම් නොපෙනේ. දකුණු පාදයේ යටි පතුලත්, විහිදුණු ඇඟිලිත් පැහැදිලිව පෙනෙයි. ඒ අනුව කිසිවක් හෝ කිසිවෙකු පෑගුණු බවක් හෝ පාගාගෙන සිටින බවක් කිව නොහැකි ය. එමෙන් ම, එසේ පාදය තබාගන්නා විට එවැන්නක් අපේක්ෂා කළ නොහැකි ය.

සාලිය කුමරු දුටුගැමුණු රජතුමාගේ පුත්‍රයා වන අතර, ඔහු අශෝකමාලා සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව ඉතිහාස‍යේ මෙන් ම සාහිත්‍යයේ ද ප්‍රකට කථා පුවතකි. ‘රජ පවුල’ නමින් හඳුන්වන නිර්මාණයෙන් දුටුගැමුණු රජතුමා, සාලිය - අශෝකමාලා හමුවීමට ගිය අවස්ථාව නිරූපණය කෙරෙන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. මෙම නිර්මාණය, මානව රූප පහකින් යුක්තය. රූප රාමුවේ මැද මහා රාජ ලීලාසන ඉරියව්වෙන් වාඩි වි සිටින්නේ දුටුගැමුණු රජතුමා ය. රජතුමා‍ට වම් පසින් දේවියත්, ඇය අසලින් කුඩාවට අශෝකමාලාත් පෙන්නුම් කර ඇත. රජතුමා තම වමත, දේවියගේ කලවා මත රුවා සිටී. දේවිය රජතුමාගේ වම් අත අල්ලා ගෙන සිටින අයුරක් පෙන්වයි. රජුට වම් පසින් පපුවට දෑත් තබාගෙන දකුණු පාදය දිගු කොට ගෙන සිටින්නේ සාලිය කුමාරයා ය. සාලිය කුමරුට පිටුපසින් චාමර සලන සේවිකාවකි. දුටුගැමුණු රජතුමා, සාලිය අශෝකමාලා විවාහයට එකඟ වූ අවස්ථාව මෙයින් දැක්වෙන බව පරණවිතාන මහතාගේ අදහසයි.

මෙම නිර්මාණය පිළිබඳව සිංහල විශ්වකෝෂයේ (සිවුවැනි කාණ්ඩය) මෙබඳු විස්තරයක් එයි.

“..‍. මෙයින් ප්‍රභූ පුද්ගලයකු හා ඔහු පිරිවරා සිටින තවත් සතර දෙනක් දැක්වෙත්. කැටයමේ කැපී පෙනෙන පුද්ගලයා සෙසු අයට වඩා තරමක් උස වේදිකාවක, කලා සම්ප්‍රදායට අනුකූල නොවන විලාසයකින් හිඳගෙන සිටී. ඔහු තම වම් පසින් හිඳගත් කාන්තාවකගේ උකුලේ වමත තබා ඇත. කිසියම් දෙයක් පැහැදිලි කරන ව්‍යාඛ්‍යාන මුද්‍රාවෙන් ඔහු දකුණත ඔසවා සිටී. උස් ඔටුන්නක් හා දිගු කර්ණාභරණ ද වළලූ හා මාලයක් ද පැලඳ සිටින මොහුගේ ඉණෙහි බඳ පටි කිහිපයක් දිස් වෙයි. රූපයේ ඉණෙන් ඉහළ කොටස නග්නය, පහළ පෙදෙස දුහුල් ඇඳුමකින් වැසී ඇත. උරහිසේ සිට පහළට පූන නූලක් එල්ලෙයි. මුහුණේ ශාන්ත උදාර පෙනුමක් ඇත. මොහු රාජකීය පුරුෂයකු විය යුතු ය.‍ මොහුගේ දකුණු පසින් චාමරයක් ගත් ස්ත්‍රියක සිටීම මේ අදහස තහවුරු කරන්නකි. ප්‍රධාන පුරුෂ රූපයට වම්පසින් ඔටුන්නක් හිස දරා, අත, ගෙල හා භිණ අබරණ පැලඳ සිටින ස්ත්‍රියකි. ඈ ප්‍රධාන පුද්ගලයාගේ වමත දෑතින් ම අල්ලාගෙන සිටින්නීය. ඇගේ මුහුණේ කැලඹුණු බවක් පිළිබිඹු වේ. ඈ රජ බිසවක් විය හැකි ය. මෙම ස්ත්‍රී රූපයට පිටි පසින් උත්කුටුකයෙන් හිඳගෙන සිටින තරුණියකගේ රූපයක් දැක්වේ.‍ කැටයමේ දකුණු කෙළවර එක් පයක් දිගු කොට ඇත. පපුව මත අත් බැඳ යටහත් පහත් වුව ද සතුටට පත් ලීලාවකින් හිඳගෙන සිටින තරුණයෙකුගේ රූපයකි. ඔටුන්නක් හා මාල වළලු පැලඳ සිටින ඔහු උසස් පෙළේ තරුණයෙකු බව හැ‍ඟේ...” (276 පිටුව)

සාලිය කුමරු හිතුවක්කාර ලෙස චණ්ඩාල කුලයේ අශෝකමාලාවන් සමඟ විවාහ වීම පිළිබඳව දුටුගැමුණු රජතුමා පසුවූයේ නො මනාපයෙනි. පසුකාලීනව දුටුගැමුණු රජතුමා, සාලිය අශෝකමාලා හමුවීමට ගිය බව මහාවංශය, රසවාහිනිය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල දැක්වේ. එසේ නමුදු ‍එම අවස්ථාවට දුටුගැමුණු රජතුමාගේ බිසව රන් මැණිකා හෙවත් රාජිතා සම්බන්ධ වූ බවක් එම ග්‍රන්ථවල නො දැක්වේ.

නමුත් රසවාහිනියේ සහ රසවාහිනිය මුල් කරගෙන ලියැවුණු සද්ධර්මාලංකාරයේ (සාලි රාජ වස්තුව) සඳහන් වන අන්දමට දුටුගැමුණු රජතුමා, සාලිය කුමරුගේ සිතැඟි වෙනස් කිරීමට ඔහු වෙත වල්ලභ (හිතවත්) ස්ත්‍රියක් යවා ඇත.

සද්ධර්මාලංකාරයේ එන සාලිරාජ වස්තුවේ කියවෙන ආකාරයට, එම වල්ලභ ස්ත්‍රිය හමුවේ සාලිය කුමරු පවසා ඇත්තේ අශෝකමාලාවන් පිළිබඳ අදහස අත් නො හරින බවකි. අනතුරුව සාමුද්‍රිකා ලක්ෂණ විමසන රජතුමා, අශෝකමාලාවන්ගේ රූපශ්‍රීය හා වාසනාවන්ත බව අසා ප්‍රීතියට පත් වෙයි. පසුව රජතුමා පිරිවර සමඟ සාලිය කුමරුගේ නිවසට ගොස් ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළ බවත් සාලිරාජ වස්තුව කියයි.

‘රජ පවුල’ කැටයමේ එන ප්‍රධාන පුරුෂ හා ස්ත්‍රී රූප දෙක සඳහා නිර්මාණ ශිල්පියා යොදාගත් ඉරියව් දෙස බැලීමේ දී පෙනී යන්නේ, ප්‍රධාන ස්ත්‍රිය රජුට සමීප අයෙකු විය යුතු බවයි. ඔහු තම වමත ඇගේ උකුළ මත තබා ගෙන සිටින අතර, ඇය ඔහුගේ වමත දෑතින් ම අල්ලාගෙන සිටියි. රජ කෙනෙක් හා සම්බන්ධව මෙවැනි ඉරියව්වක් දැක්වීමට නම්, ඇය රජ බිසව හෝ රජුට හිතෛෂීවන්තියක් හෝ විය යුතු ය. එම නිසා ‘රජ පවුල’ කැටයමේ දැක්වෙන ප්‍රධාන ස්ත්‍රී රූපය, රජ බිසව නොවේ නම් රසවාහිනියේ/ සද්ධර්මාලංකාරයේ (සාලිරාජ වස්තුව) සඳහන් එකී වල්ලභ ස්ත්‍රිය විය නොහැකි ද? ඇය රජු‍ෙග් අත අල්ලාගෙන සිටීමත්, ඇගේ මුහුණේ ප්‍රකාශනය අනුවත් ඇය කිසියම් අවිනිශ්චිත ස්වභාවයකින් පසුවන බව පෙනෙයි.

‘ඉසුරුමුනි පෙම් යුවළ’ හා ‘රජ පවුල’ යනුවෙන් හඳුන්වන කැටයම් නිර්මාණයන්ට ගුප්ත කලාවෙන් ආභාසය ලැබී ඇති නිසා, ඒවා දුටුගැමුණු යුගයටත් පසුව නිර්මාණය වූවක් බව පැහැදිලි ය. එනිසා ‘ඉසුරුමුනි පෙම් යුවළ’ නිර්මාණයට ‘සාලිය අශෝකමාලා’ ප්‍රස්තූතය වන්නට ඇති ඉඩ ප්‍රස්තාව ද වැඩි බව සැලකිය හැකි ය.

එමෙන් ම ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ප්‍රකාශ කරනුයේ, මුටසීව රජු විසින් ‘ඉසුරුමුනි පෙම් යුවළ’ කරවූ බවකි. ඒ බව එතුමා, තම ලිපියේ (‘ඉසුරුමුනි පෙම් යුවළ ශිව පාර්වතීමය’, 2016.01.17 සිළුමිණ, 34 පිටුව) සඳහන් කරනුයේ මෙසේ ය. “...පෙම් යුවළ යැයි වර්තමානිකයන් විසින් නම් කෙරෙන ශෛලමය ප්‍රතිමාව කරව‍ූ මුටසීව, රජකම් කළේ ක්‍රිස්තු වර්ෂයට පෙර 307 සිට ක්‍රිස්තු වර්ෂයට පෙර 247 දක්වා ය...”

නමුත් ඉසුරුමුනි පෙම්යුවළ නිර්මාණයට ගුප්ත කලාවේ ආභාසය ලැබී ඇති බව පැහැදිලි කරුණකි. එනම්, එය ප්‍රථම ගුප්ත යුගයට (4 වන ශත වර්ෂයට) අයත් කෘතියක් බවයි. ‘සංක්ෂිප්ත ලංකා ඉතිහාසයේ’ එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව) ලංකාවේ මහීපාලයන්ගේ නාම ලේඛනයට අනුව ‍ (xii පිටුව), මුටසීව රජතුමාගේ පාලන කාලය වන්නේ ක්‍රිස්තු පූර්ව 367 සිට ක්‍රිස්තු පූර්ව 307 දක්වාය. ඒ අනුව මුටසීව රජු, රාජ්‍ය විචාරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ දී පමණය. ගුප්ත කලාව බිහිවන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පමණ ය. එම නිසා ‘ඉසුරුමුනි පෙම්යුවළ’ මුටසීව රජු විසින් කරවන ලද්දකැයි යනුවෙන් ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා කරන ප්‍රකාශය ද ප්‍රශ්නාර්ථයක් මතු කරන බව පෙනෙයි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.