කවි කල්පනා

බැස නොයන පුර­සඳ

රැළි නඟන සමු­දුර හිරු ගිලින හව­සක
විල කුමුදු වික­සිත නව සුවඳ විඳ­ගෙන
පිනි පොදක අරු­මය කවි කරන මොහො­තට
කඳු වළලු මැඬ­ගෙන ගෙට එ‍ෙබන පුර සඳ

ගන අඳුර සිඳ බිඳ දුර අහස සර­සන
හද­ව­තට පිවි­සෙන තනි රකින සකි සඳ
මුළු රැයම හිනැ­හෙන දුක සුසුම හඳු­නන
මගෙ දිළිඳු කුටි­යට මුදු කිරණ විහි­දන

නෙත කොපුල සිඹි­මින නෙත කඳුළු පිස­ලන
රතු දෙතොල නොමැ­ඬම රස පහස තව­රන
රළු­ප­රළු දිවි හිමි මගෙ වෙහෙස හඳු­නන
තනි මඟෙහි යන කල බර පොදිය උසු­ලන

දුර දකින නය­නග තිර කැලුම බබ­ළන
ළය සොඳුරු සෙනෙ­හස මට පුදන පුර සඳ
කවි හිතට වද දෙන විඳි ගැහැට මඟ හැර
මගෙ සුරත අර­ගෙන යළි ගමන අර­ඹන

ඉරි තැළුණු හද­වත යළි රැහිරු දුව­වන
මරු කතර දිය පොද ලෙස නිවන සර­තැස
නුඹ ගැඹට පැමි­ණෙන තරු පිරිස අත­හැර
මිහි­ම­ඬල වෙත එන මට උරුම පුර සඳ

හෙට දවස අර­ඹන හෙළි-පෙහෙළි මඟ-තොට
පිය හසර තබ­මින බැස නොයන පුර සඳ
මගෙ සිහින මැඳු­රට තැබූ අයුරු හිණි­පෙත
හිත නිවන පුර සඳ ඔබ අයිති අහ­සට

ශ්‍රියා හිඳු­රං­ගල


නුඹ

සවන් දෙනු මැනවි
නිහඬ මේ රාත්‍රියේ
හදම කම්පිත කරන්
පෙම් වෙණෙහි තත් වැයේ..

මුවින් නොගැයූ කවිය
තවම මා ළඟ තියේ
නුඹට දුන් සෙනෙ­හස
වියැ­කිලා නැත හිතේ

කෞශල්‍යා මාරඹේ


සුදු හිම පියලි


හිම පියලි වැටී
සුදුම සුදු වූ භූමියේ
කාලය හා අව­කා­ශ­යෙන් මිදී
ඇවිද යමි දේව­දාර ගස් අත­රින්..

වසන්ත සමයේ
චෙස්නට් ඇට සොය­මින්
එහි මෙහි දිව ගිය
ලේනුනි නුඹලා කොහිද?
ගස් බෙන­වල සැඟවී
යළි වස­න්තය උදා වන තෙක්
යළි බලා ඉන්න­වාද?..

සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදු­නින්
ඇද­වැ­ටෙන හිම කැට
වැස්සක් සේ විසිර යයි
මව­මින් මන­ස්කලු රටා

වෛද්‍ය රුවන් ජය­තුංග


පින් පුර­ව­න්න ද

තොප එන්නේ
වෙල් ඉස්මත්තේ පැළ­වැට අද්දර
කුරුලු පාළු­වට තොප එනවා
වී ඇට අහු­ලන අහු­ලන තාලෙට
අප්පච්චි කොහෙ­හරි හිනැ­හෙ­නවා..

වාන් දමන වැව් තාව­ල්ලට වී
පාන්කි­රිත්තෝ නුඹ නාඬන්
හීන් සීරු­වට වෙල පෙති මත නැග
සේන්දු වෙන හැටි බලා ඉඳින්..

අපෙ අප්ප­ච්චිගෙ දහ­ඩිය සුව­ඳට
කිරි­ව­දිනා වී ඇට ගානේ
කිචි බිචි හඬ ඇයි - උන්දැගෙ නාමෙට
පින් පුර­ව­න්නද කුරු­ල්ලනේ...

මහ වැව පිරිලා වාං දම­න­වා
තිත්ත පැට­වු‍ෙන් යන්න එපා
පොරි අර­ගෙන අප්පච්චි එයි දැන්
මං වාගෙම මඟ බලා ඉඳින්


ප්‍රේමා රාජ­ක­රුණා


සිතු­විලි

දව­සක් ගෙවී තව දව­සක් එළැ­ඹෙ­නවා
ඊයේ දවස නම් නැව­තත් නොම එනවා
ගත වුණු දවස ගැන දොම්නස් නොම­වෙ­නවා
පැමි­ණෙන හෙට දවස සතු­ටින් ගත වෙනවා

ජීවන බර දරා සැම සත වෙහෙ­සෙ­නවා
සැප­යැයි සිතා තව සම­හරු හිනැ­හෙ­නවා
එන­මුත් සැප නැතේ කව­දත් දුක් එනවා
නිව­නින් සැන­සු­ණොත් සැම දුක් දුරු වෙනවා

වැට මායි­මට වැලි කැට­යට පොර කනවා
මියැ­දෙන තුරා එය නම් ඉහ­ළට යනවා
අව­සන එයින් අරු­තක් නම් නැති වෙනවා
වූ දෙය ගැන සිතා දඟ ගෙයි ළතැ­වෙ­නවා


අනුලා ද සොයිසා


හමු වන
වෙන් වන

බොහෝ කල­කින්
සිනා දෙනෙ­තින්
සිප වැල­ඳ­ගෙන
හමු වන මොහො­තක්..

එද­වස ගුව­න්තොට
අස­ලදි මිහි­රක්..

නොබෝ කල­කින්
කඳුළු දෙනෙ­තින්
සිප වැල­ඳ­ගෙන
වෙන් වන මොහො­තක්..

මෙද­වස ගුවන් තොට
අස­ලදි සුසු­මක්..

හමු වුණ-වෙන් වුණ
මේ කෙටි දව­සට
කඳු­ළක් විඳ­වන හැටි
නෙත'ගිස්සේ..

පිට කළ හැකි දෝ
විඳින විඳ­වන මත­කය..

අමිතා කුමාරි දිවා­රත්න


දළු සීපද

මීදුම තදයි දළු මත ලෙඩ බින්දූ
සීතල වෙළෙයි නෙළනා අතැ­ඟිලි බැන්දූ බෑවුම සැරයි පය ලිස්සා ගැසු කුන්දූ
තිබ­හක් දැනෙයි සිත වෙත එයි මල් බින්දූ

උස අතු සැලි­සැලී පිනි හිස තෙමන්නා
ටික ටික නෙළී දළු සර­මත් පිරෙන්නා
දහ­දිය වෙළී ගත දුක් ගිනි නැ‍ඟෙන්නා
දිව ඇත ගීලි කහ­ටත් අද නොදෙන්නා

අඩි­යෙන් අඩිය තේ නෙරි­යෙන් නෙරිය නැඟ
වඩි­යෙන් වඩිය දළු නෙළු­වත් පඳුරු අග
පඩි­යෙන් පඩිය ඉහ­ළට ගියෙ කවුද නැඟ
වැඩි­යෙන් වැඩිය දුක අප ළඟ නඟයි කග

සුනිල් ලීවා­නගේ


ගමන් සඟයා

සව­නත මිහි­රි­මය ඈ
දොඩ­න්නීය මුදු තෙපුල්
පිසි­න්නීය ඈ රස මස­වුළු
දොව­න්නීය ඈ සළු­පිළි
කුමක් නම් නොක­ර­න්නීද ඈ
මා වෙනු­වෙන්
ආද­රෙන්... දයා­වෙන්...
එන­මුදු..

පසු­බට නොව­න්නීය ඈ
වරද දුටු තැනම
එක­හෙළා පව­ස­න්නට
යළිදු කැප වන්නීය ඈ..
මා වෙනු­වෙන්ම
ආද­රෙන් දයා­වෙන්..

ඈ නම් මව­ක්මය
ළබැඳි සොහො­යු­රි­ය­ක්මය
හිතැති මිතු­රි­ය­ක්මය
මටම හිමි රැජි­න­මය..

මේ සසර දිවි­මඟ
මා කැටුව යන-එන
ගමන් සග­යාය ඈ
මා ආදර බිරින්දෑ

චම්පා අබේ­සිංහ


නිදිකු­ම්බාවී

නිසරු බොල් මහ පොළොව‍
සෙනෙ­හ­සින් වැල­ඳ­ගෙන
ආලෝ­බ­යක් නැතිව
ලොවට මල් පුදන්නී

අන් පහස ලද සැණින්
පිළි­කු­ලෙන් බරිත වී
විළි­බි­යෙන් මුස­පත්ව
නිහඬ වී නිඳන්නී

තළන පාගන දෙපා
පුංචි කටු­ව­ලින් ඇන
තැළෙන පෑගෙන අපට
පුංචි නිදි­කු­ම්බාවී
පාඩ­මක් කියන්නී

කරු­ණා­රත්න හපු­ආ­රච්චි


සිහි­නය

තැළෙන පොඩි වන හද
සිනා මල් ගෙන තබා ඒ මත
සිහි­න­යෙන් හැම විට එබෙන
නුඹයි ඒ සිනා සෙන කත

දිනෙන් දින නෙක හැඩ ගෙන
ඇසි­ල්ලක දී සිහි­න­යට වැද
හැබැ­හින්ම දෑස් දල්වන
මිතු­රි­යයි නුඹ මඟ බලන

කලා­තු­ර­කින් අවුත්
නොකි­යාම නික්ම යන
ප්‍රේම සැම­රුම් අතර
සදා­තන සිහි­ව­ට­න­යයි නුඹ

වේද­නා­වෙන් තුරුලු කර­ගෙන
සුසුම් එකි­නෙක තබමි හිස මත
දෙතොල් පහ­සින් තෙමමි
නිසං­සල කෙහෙ­රැළි

නුඹ තවම පැමිණ නැත
නුඹ නික්ම ගොස්ද නැත තව
සය­නයේ නුඹට හිමි තැන
ආද­රෙන් සිප­ග­න්නවා හැර

මලිඳු කාවින්ද කුමා­ර­සිංහ


සුදු නෙළුම

මල් පිදු පිනෙන් මහි­යං­ග­ණය දාගැ­බට
සිල් සුව­ඳක් වුණා ඔබ මේ පුද­බි­මට
දල්වා තබ­න්නට පහ­නක් ඔබ නමට
මල් ආස­නය සකසා ඉඩ දෙමි හැමට

සොර­බොර වැවේ ඉස්මත්තේ අඳුරු දොහේ
අර­ගෙන සුදු නෙළුම නුඹ සැඟ­විණි ද කොහේ
පර වන සිහින මැද හඬවා පිරිස නොහේ
දුර ගෙන ගියා යළි කිසි දින දැකිය නොහේ

හිරු සැඟ­වුණා සැන්දෑ අහසේ ඈත
දුරු වී ගියා ආලෝ­කය ළඟ පාත
තරු කැල ගයන වි‍ට දුක් බර සෝ ගීත
කරු­වල දියඹ ගත්තා සුර­තල් දෑත

මියු­ගුණ වෙහෙර වැඳු­මට එන පිරි­ව­රට
සියු­මැලි අතින් මල් පුබුදා දී පෙරට
සයු­රක් සිනා හඬවා ඈතට දුරට
පියු­මක් වුණා නුඹ මහි­යං­ගන පුරට

බිය­කරු බව නොසිඳි මේ දිය තලාවේ
දිය රැල්ල­කට අම­තමි හුදෙ­ක­ලාවේ
ඇය ගෙන ගිය පවින් මිදු­මට මුලාවේ
සිය­පත් පුබුදු වනු මැන ගල් තලාවේ

බුදු රැස් විහිද මියු­ඟුණ මහ වෙහෙර පිරී
සුදු සඳ රැස් ගලා එන විට පැහැය පෙරී
නිදු­කින් සිටි­න්නට අම මෙත් ගඟුලෙ එරී
බුදු නෙත ඇරේවා යළි නුඹ දෙසට හැරී


චන්ද්‍රිකා දිසා­නා­යක


අන්ධ බිත්තිය

කප්පාදු කරන නෙක වර
නටයි ග්ලිරි­සී­ඩියා ගස් පෙළ
විහි­දි­මින නව රිකිලි සිකි පිල
සල­මින වතළ පිනි මුතු නෙත

ඉරිමා අදෑ­සන
නෑර මැදි­යම් රෑ කල‍
ගල්වා නයන අංජන
රම­ණිය මයුර රංගන

සේම හස­රැළි මල් නෙළන
මට නුදු­න්නැයි සිතට නොරි­දෙන
අස­ල්වැසි තුරුණු හස­ඟන
දිය නාන රස­ඳුන

සඳැ­ල්ලකි දිය­තට විවර
කවුළු දොර­කැයි නොසි­තෙන
නතර වී හෝරා යතුර
මා සමඟ එහි දව­සැ­රිය

කෝ ඒ කවි කඳුර
පුබුදු කළ මගෙ කවි සිත
අන්ධ බිත්තිය අහ­සට
පැන­නැ­ගුණ තැන තිබුණ

රංජිත් මල්ලි­යා­වඩු


අඬ-දබ­ර­යෙන් පසු...

සිකි පිල ලිහී
අවුල් වැ..
අඩ සඳ පැළුම්
නා දලු තඩිස්සි ව..

රණ හංස­යන්
දියෙන් ගොඩ ගත්
මින් රැළ සේ
බියෙන් සැලි-සැලී..

ඉඳු­දුනු
උස් ව නැඟ
නිල් මැණික් නෙත්
කඳුළු පිරුණා..

ගොම පොළොවේ
මුතු එක දෙකක්
හැලී තිබුණා

අනු­සාර මාහිං­ගොඩ


ළමයි

පුංචි හිතේ නෙළුම් පිපේ
දවස පුරා සුවඳ දිදී
පායන රන් පුන්සඳ වේ
සිතේ සතුට සිනා නැ‍ෙඟේ...

දවසෙ විඩා හැර දමන්න
පුංචි ළමයි දෙස බලන්න
ගිනි­යම් වන සිත නිවන්න
ළමා ලොවේ සැරි සරන්න..

දඟ කෙරු­වත් හැඩ බලන්න
කෝල කතා අසා­ගන්න
රණ්ඩු වුණත් යාළු වෙන්න
ළමා ලොවෙන් ඉගෙ­න­ගන්න

සඳ­රු­වන් කරු­ණා­ති­ලක


චුං පාන් චන්දරේ

රබර් කොට පළ­න­කොට මැද මිදුලෙ බක්කරේ
ලුණු පදං බල­නවා පාංපිටි මන්තරේ
හෙමින් ගෙල අත ගගා එල්ලිච්ච යන්තරේ
පිටි ගුළිය අන­නවා තනි­කඩ චන්දරේ

පාං පිටි ගුළි ගිලී රළු යකඩ අච්චු­වට
මෘදු මොළොක් පාං ගෙඩි ගිනි­ය­මින් පෝලි­මට
බනිස් ගෙඩි­යක සීනි රසක් නැති තනි­ක­මට
චන්දරේ කිය­නවා සින්දු­වක් තාල­යට

උදෑ­සන පේ කරන් ගම වටේ පාං ගෙඩි
බෙදයි සුදු අත්ව­ලට කළු වාටි පාං ගෙඩි
කබ පෙරා සුර­ඟ­නන් කුණු­කෙ­ළින් මවා එඩි
ඒ නයිටි ණය­ට­මයි මාසෙ අග ලැබේ පඩි

උදේ හයයි - පහයි තිහයි අත­රට ඉර තිබු­ණාම
අතින් වහන් ඉහයි කනයි දුහු­ලෙන් පිට පැන්නාම
බනිස් මූණ මේකප් නැති තව දව­සක් ඇන්දාම
චන්ද­රේට ඉර පායයි ගෑනු නැතත් හැම­දාම


චමින්ද ප්‍රදීප් සිල්වා ගුණ­රත්න

('පාට පහක්' කාව්‍ය සංග්‍ර­හ­යෙනි)


එතෙර කවිය

පමා වී පැමිණි වස­න්තය

පුළුල්ය, කහ­වන්ය සැඳෑ ආලෝ­කය
සොඳ­රුය, සුව­දා­ය­කය අප්‍රේල් සිසි­ලස
පැමිණ ඇති මුත් වසර ගණ­නක් පමා වී
ඔබේ පැමි­ණී­මෙන් සතු­ටින් සිටිමි මම

සතු­ටින් සිනා­සෙන ඔය සුමුදු දෑසින්
මා දෙස බලනු මැන මා ළඟින් හිඳ­ගෙන
පිරී ඇත මේ සට­හන් පොත ඉතින්
මා ලියූ කවි­ව­ලින් දැරි­යක විලස

සමා වනු මැන මා හට ශෝක­යෙන් තැවු­ණාට
කමනු මැන ඉදින් නොතැ­කු­වාට මේ හිරු එළිය
වෙසෙ­සින්ම දෙනු මැන සමාව මා වෙත
අනෙ­කුන් බොහෝ දෙන ඔබ යැ යි සිතු­වාට

අන්නා අහ්ම­තෝවා
Anna Akhmatova (1889-1966)

ප්‍රකට රුසි­යානු කිවි­ඳි­යක වන අන්නා අහ්ම­තෝ­වාගේ Board and Yellow is the Evening Light නම් කවි­යෙහි පරි­ව­ර්ත­න­යකි. ඇනා සාර් යුගය සහ විප්ල­වීය රුසි­යාව යා කළ කිවි­ඳි­යකි. පොදු ජන­තා­වගේ ආද­රය ඉම­හත් සේ දිනා­ග­ත්තද ඇය ස්ටාලින්ගේ සහ ඔහුගේ නිල­ධා­රි­වා­දයේ වෛර­යට පාත්‍ර වූවාය. කෙසේ වුවත් පසු කලෙක ඒ කවි නිසා ඇය විදේ­ශ­ය­න්හිදී සම්මා­න­යට සහ ගෞර­ව­යට පාත්‍ර වූවාය. එසේම මේ කවි නිසා සෝවි­යට් ලේඛක සංග­ම­යෙන් පලවා හරිනු ලැබු­වද වයස 76දී ඇය එහි පරි­පා­ලන විධා­යක සභා­වට තේරි පත් වූවාය.

 
පරි­ව­ර්ත­නය - නිලූක කඳු­රු­ග­මුව 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.