ධම්මික සෙනෙවිරත්න | සිළුමිණ

ධම්මික සෙනෙවිරත්න

ඔහු ලියූ සුරංගනා කතා සියවස් එක හමාරකට පමණ පසුව අද පවා ළමා ලෝකය ආකර්ෂණය කිරීමෙහි සමත් ය. එම කතා අතරින් වඩාත් ප්‍රචලිත වු 157 ක් පමණ විදේශ භාෂා 150 කට පමණ පරිවර්තනය වී ඇත. ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර ද ලිට්ල් මර්මේඩ්, දි අග්ලිඩකින්, ද නයිටිංගේල්, දස්සේ ක්වීන්, තම්බලීනා ද ‍තිබේ.

ඔහු ලීවේ ළමයින් සඳහා පමණක් ම නොවේ. වැඩිහිටි පාඨකයා අතර ද ඔහුගේ කෘතීන් ජනප්‍රියය. ඔහු, ඩෙන්මාර්ක ලේඛක හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ය. ඩෙන්මාර්කය ඔහුට බුහුමන් ද ක්වන්නේ ජාතික වීරයකු හා ජාතිය සතු වූ මහා නිධානයක් වශයෙනි. ඔහුගේ උපන් දිනය වන අප්‍රේල් 2 වැනිදා ලෝක ළමා පොත් දිනය වශයෙන් සැමරේ. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ ළමා විය ඔහු ළමා ලෝකය වෙනුවෙන් මැවූ සුරංගනා ලෝකය මෙන් සුන්දර එකක් වූයේ නම් නැත. ඔහු හැදී වැඩුණේ අගහිඟකම්වලින් පිරි පවුල් පරිසරයක ය. මේ නිසා ම සිය අධ්‍යාපන කටයුතු පවා නිසියාකාර සම්පූර්ණ කිරීමට ඔහුට නොහැකි විණි. 14 හැවිරිදි වියේදී පාසල් අධ්‍යාපනය අතරමඟ නතර කරන හාන්ස් නළුවකු වීමේ අටියෙන් නික්ම ගියේ ය. එය අසාර්ථක වූ තැන යළි අධ්‍යාපනයට යොමු විය. ඔහු ලිවීම අරඹන්නේ ද මේ කාලයේදී පටන්මය. සිය ජීවිතයේ අඳුරු මෙන් ම අමිහිරිම කාලය පාසල් සමය බව හාන්ස් කියා තිබේ. මුලදී ඔහු ලියූ කතා එතරම් ජනප්‍රිය ව‍ූයේ නැත. ඒකට ඉල්ලුමක් ඇතිවීමට කාලයක් ගත විය. වයස 40 ගණන් වනවිට හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ නම සුපතළ විණි.

හාන්ස් කඩවසම් පුද්ගලයකු නොවේ. දිගු නාසයක් සහ දිගු පාද ඇති අවලස්සන කොලු ගැටයකු වූ ඔහු අනෙක් කොල්ලන්ගේ ‍උසුළු විසුළු වලට නොයෙක් වර ලක්විණි. කෙසේ වුව ද ඔහුට ඔපෙරා ගායනයට උචිත කටහඬක් තිබිණි. රංග වේදිකාවට අවත‍ීර්ණ වීමට ඔහු තුළ වූයේ දැඩි ආශාවකි. එහෙත් නාට්‍ය ක්ෂේත්‍රයේ ඔහුගේ ගමන කෙටි එකක් විය. ‘දි අග්ලි ඔකින්’ කෘතියට පසුබිම් ව‍ූයේ ඔහුගේ ම චරිතය බව පැහැදිලි වේ. ආරම්භය වේදනාකාරී වුව ද, අවලස්සන, අඥාන තැනැත්තකු සේ පෙනුණ ද අවසානයේදී විශිෂ්ට නිපුණත්වයකින් යුතුව ජීවිතයට වාසනාව රැගෙන ඒමට ඔහුට හැකි විය. “ද ෆෙයරි ‍ටේල් ඔෆ් මයි ලයිෆ්’ මැයෙන් ලියූ චරිතාපදානය එනමින් හැඳින්වීමට ‍මනාව ගැළපේ‍. එහිදී ‍ඔහු සිය ළමා වියේ අත්දැකීම් යළි මෙනෙහි කරයි.

හාන්ස්ගේ පියා නම්බුකාර සපතේරුවෙකි. ඔහු පොත - පත කියැවීමට නැඹුරුව‍ූ අයෙක් ද විය. පුතුට ඇසෙන්නට අරාබි නිසොල්ලාසය කියවීම ඔහුගේ පුරුද්දකි. ඔබට අකුරු හැකියාවක් නොවී ය‍. හාන්ස් මෙලොවට බිහිවන විට ඔහුගේ මවුපියෝ නීතියෙන් බැඳී නොසිටියහ. ඔහුගේ නැන්දණිය වෛශ්‍යා නිවාසයක් පවත්වාගෙන ගිය තැනැත්තියකි. වැඩිහිටියකු ව‍ූ පසු හාන්ස් ද වෛශ්‍යා නිවාසවලට යාමට පටන්ගත්තේ ය. මේ ගමන්වල අරමුණ වෛශ්‍යා ඇසුරම නොවූ බව ඔහුගේ චරිතය අධ්‍යයනය කරමින් පළ වූ ඇතැම් කෘතිවල සඳහන් වේ. වෛශ්‍යාවන් සමඟ කතා බස් කරමින් එම අත්දැකීම් නිර්මාණකරණයේදී උකහාගත් බවක් දැකිය හැකි ය.

හාන්ස් පෙම් කළේ ඔහුට අත්කරගත නොහැකි කතුන්ට ය. මේ පෙම් කතා ඔහුගේ නිර්මාණවලට ද වස්තු බීජ විය. හාන්ස් විවාහ වූයේ නැත. එහෙත් කාන්තා - පිරිමි දෙපාර්ශ්වය සමඟ ම ඔහු සබඳතා පැවැත්වීය. ඔහුගේ ලිංගික ජීවිතය සාර්ථක එකක් වී නැත. හාන්ස් සමලිංගිකයකු වූ බව ද සඳහන් ය. මේ මතය ප්‍රබලව ඉස්මතු කරන්නේ ඔහු වයිමාර්හි මහා ඩියුක්වරයාට සහ තවත් අයට ලියූ ආදර හසුන් හේතුවෙනි. ඒවා අනුරාගයෙන් බර විය. එහෙත් එවැනි ලිපි ලියූ පමණින් ම ඔහු සමලිංගිකයකු ලෙස හැඳින්විය නොහැකි බවට මත පළවී තිබේ. එය හුදෙක් යථාවක් නොවූ සාහිත්‍යයට සීමා වූ සබඳතාවක් ද විය හැකි බැවිනි. සමලිංගිකයකු ලෙස ලිංගික සබඳතා පැවැත්වූවා නොව ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වය කෙරෙහි ම ශෘංගාරාත්මක හැඟීම් සහිතව ජීවත්වූ අයකු ලෙස හාන්ස් හැඳින්වීම වඩාත් සහේතුක ය. වර්ෂ 1830 ගණන්වල රජුගේ අනුග්‍රහය යටතේ විදේශ සංචාර කිහිපයක යෙදීමට හාන්ස්ට අවස්ථාව උදාවිය. මේ සංචාර ඇසුරින් ඔහු විත්ති සාහිත්‍යට කෘතීන් කිහිපයක් ම තිළිණ කළේ ය. ඔහුගේ පළමු නවකතාව ‘දි ඉම්ප්‍රොවිසටෝ’ ලියැවුණේ ද එලෙස ඉතාලියේ කළ චාරිකාවක් ඇසුරිණි. 1835 දී ප්‍රකාශයට පත් වූ එම කෘතියට විශාල ඉල්ලුමක් ලැබිණි.

1847 දී එංගලන්තයේ සංචාරය කළ අවස්ථාවක බ්ලෙසින්ග්ටන් ආදිපාදවරියගේ ඇරියුමෙන් පැවැති සාදයක් අතරතුර හාන්ස්ට පළමු වරට චාල්ස් ඩිකන්ස් හමු විය. තමා බෙහෙවින් ම ආදරය කළ ලේඛකයකු එලෙස හමුවීම බලවත් සතුටක් බව ඔහු සිය දින පොතේ සටහන් කළේ ය. ඊට දස වසරකට පසු ඔහු ඩිකන්ස් දැකීමට යළි එංගලන්තයට ගිය ද තමා පිළිබඳ ඩිකන්ස් කලකිරීමෙන් පසුවන බව අවබෝධ කරගත්තේ ය. සිය ලියුම්වලට පිළිතුරු නොලැබීමට හේතුව ද ඔහු මේ ගමනේදී තේරුම් ගත්තේ ය. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා බොහොමයකට මුල පිරුණේ ඔහු ළමා වියේදී ඇසූ කතාන්දරවල මතකයයි. ඔහු ලියූ පළමු කතාව ලෙස සැලකෙන ‘ද ටැලෝ කැන්ඩ්ල්’ පාස‍ල් සමයේදී ලියුවත් එය ඩෙන්මාර්කයේ ලේඛනාගාරයෙන් සොයා ගැනුණේ 2012 වර්ෂයේදී ය.

කඩදාසි සහ හාන්ස් අතර තිබුණේ බිඳලිය නොහැකි සම්බන්ධයකි. ලේඛකයකු ලෙස කඩදාසි උපයෝගි කරගනිමින් නිර්මාණකරණයේ හිණිපෙතටම නැගි ඔහු කඩදාසි සීරු මාරුවට නවා කපා කළ කැටයමින් ද මනා දස්කම් දැක්වූ නිර්මාණකරු වෙති. ලේඛකයකු තමා ලියන දේ සිතුවම් කරන්නේ යම් සේද හාන්ස් තම කතාන්දරවල ඇති චරිත හා සිද්ධීන් කඩදාසි කැටයමින් නිරූපණය කර පෙන්වීය. ඔහු අතිදක්ෂ කඩදාසි කැටයම්කරුවෙකි. මේ කැටයම් සහ ඔහුගේ සුරංගනා කතා අතර ඍජු සම්බන්ධයක් ඇතැයි නොපෙනුණ ද සිය කැටයම් කලාව විස්මයජනක කතාන්දර කීමට ඔහු උපයෝගි කරගත්තේ ය. කඩදාසියක් නවමින් කතාන්දරයක් කීමට පටන්ගන්නා ඔහු එය අවසන් කරමින් කඩදාසිය දිග හරින්නේ තමා වටා රොක්ව සිටි පිරිස ඉදිරිපිට අපූරු කඩදාසි කැටයමක් තබමිනි. ඔහු සංචාරය කරන විට රැගෙන යන ගමන් මල්ලේ සෑමවිටම කැටයම් කැපීමට අවශ්‍ය කතුරු සහ කඩදාසි තිබිණි.

හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා කොතෙකුත් සිනමාවට හා රූපවාහිනි මාධ්‍යයට නැඟී තිබේ. එහෙත් ඔහු පිළිබඳ කෙරී ඇත්තේ එක් චිත්‍රපටයකි. 1952 දී නිෂ්පාදනය වූ එමඟින් ඔහුගේ ජීවිතය මෙන් ම ලේඛකයකු ලෙස ඔහු දායාද කොට ගිය උරුමය විමසා බලයි. එය ප්‍රේක්ෂකයා ආකර්ෂණය කළ චිත්‍රපටයක් විය‍. ඔහුට ලැබී ඇත්තේ එක් සම්මානයක් පමණි. ‘හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ත්‍යාගය’ නම් එය තරුණයන් සඳහා පොත - පත පිළිබඳ අන්තර්ජාතික මණ්ඩලය මඟින් පිරිනමන ලද්දකි.

70 හැවිරිදි වියේදී ඇ‍ඳෙන් ඇද වැටී ලත් තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ හාන්ස් ජීවිතයෙන් නික්ම ගියේ ය. ඔහු අක්මා පිළිකාවකින් ද පීඩා විඳිමින් සිටියේ ය. දෑස් පියා ගැනීමට පෙර සිය අවමංගල පෙරහරේ සංගීත රාවය පිළිබඳ සංගීතඥයකු කැඳවා උපදෙස් දුන් හාන්ස් කියා සිටියේ, තමා පිටුපසින් පැමිණෙන වැඩිදෙනා කුඩා දරුවන් බැවින් සංගීත රාවය කෙටි අඩි තැබීමට හැකි අයුරින් නිර්මාණය කරන ලෙස ය!

Comments