නොහැරගිය මම

විමලධීර මෙතැන යහපත් යැයි කියූ නිසා මම දිගැති කොන්ක්‍රීට් පාරේ කුඩා පාලමක් සමීපයේ වෑන් රිය නැවැත්වූයෙමි. දෙපස හරිත වර්ණයෙන් යුතු නොපීදුනු වෙල් යායයි. වෙල් යාය නොපෙනෙන ඉසව්වක් දක්වා කුඩා වෙමින් පැතිරී ඇත. දෙපස දුරින් පොල් රුප්පාවෙන් යුතු ගෙවතුය.

පාලමෙන් දකුණු පස උස් බිමක පන්සලය. එය පාළුම පාළුය. එහි වැඩ හිඳින කාලවර්ණ මිටි ස්ථුල ලොකු හාමුදුරුවන් ඉස්තෝප්පුවේ හාංසි පුටුවේ දිගෑද්දී ඇතැයි මට සිතුණි. විමලධීර නිසා උන්වහන්සේ සමඟ මම කතා කර ඇත්තෙමි. ඈත නියරක උඩුකය නිරුවත් ගැමියෙක් වැස්සියක සහ වහු පැටියකු දක්කාගෙන යයි.

“මං ඔය පන්සලේ නැවතිලා හිටිය.” පාලම් ඇන්දට හේත්තු වී සිටි විමලධීර කීවේය.

විමලධීර ගේ බොහෝ තොරතුරු දන්නා මම නොදන්නා දෙයක් ඇසුවක් වන හෙයින් ඔහුගේ මුහුණ දෙස බැලුවෙමි. පාසල් වියේ කැරැළි ගැසී තිබුණු ඔහු ගේ හිස කෙස් දැන් බොහෝ සෙයින් සිඳිලාය. හැටහත් හැවිරිදි වියට වඩා බාල පෙනීමක් ඔහු ගේ පැහැපත් වතේ විය. ඔහු බොහෝ දක්ෂ ලේඛකයකු සහ දේශකයකු විය. ඔහු ගේ දැනීම විඳීම සහ නිර්මාණාත්මක රසඥතාව ඉහළ තැනක ඇතැයි අපි කවුරුත් සිතුවෙමු.

“ඒ අටේ පන්තියේදී” විමලධීර යළිත් කීවේය.

“කොච්චර කාලයක් හිටියද?”

“හය මාසයයි. ඊට පස්සේ පිරිවෙනේ හොස්ටල් එකට ගියා.”

ඔහු පිරිවෙනේ ගත කළ නේවාසික ජීවිතයේ හැම දෙයක් ම පාහේ ලියා ඇත. එය එක් අතකින් ටොම් සෝයර් ගේ පාසල් ජීවිතය වගේය; නැත්නම් ඔලිවර් ට්විස්ට් ගේ ළමා කාලය සිහිපත් කරවන සුලුය. ඔහු අව්‍යාජ ලෙස හැම දෙයක් ම කියන්නේය. ඔහුට ඇත්තේ විරාගයේ කුලසූරිය තැපැල් මහත්තයාට තිබූ නරුම වතක් නොවේ. ඇත්තට ම ඔහු තුළින් මා දුටුවේ දෙවොන්දරා සං ය. නැත්නම් සීගිරි කුරු‍ටු ගී ලියූ බුදල් ය.

සංසාරගත උරුමයෙන් එපා කරවන සුලු විද්‍යා විෂයයන් නිසා බ්‍රහ්මචාරී ආශ්‍රමය ම නන්නත්තාර කරගත් විමලධීර වගතුවක් නැති රැකියා කරමින් පස් අවුරුද්දක් ඉබාගාතේ ඇවිද ගියේය. යළි ආපසු පිරි‍වෙනට ම පැමිණ අවුරුදු විසි හතරේ දී උසස් පෙළ කර එහි ම උපාධිධාරී ගුරුවරයෙකු ලෙස රජයේ පත්වීමක් ලබා ගත්තේය.

“අපි ඇළ කණ්ඩිය උඩට යමු” විමලධීර පහළට බැස පාලම සමීපයේ ම ඇළ කණ්ඩියේ මඳක් තුත්තිරි සහිත තණ බිස්ස දෙසට ගමන් කළේ. මම ඔහු සමීපයේ ම වාඩි වූයෙමි.

මම විමලධීර හඳුනා ගත්තේ උපකාරක පන්තිවලදී ය. විමලධීර රජයේ සේවයට පරිබාහිරව බාහිර පන්තිවල උසස් පෙළ ඉතිහාසයත් ශිෂ්ටාචාරයත් ඉගැන්වීය. මම සාමාන්‍ය පෙළ ඉතිහාස ගුරුවරයා වූයෙනි. ඔහු මට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩිමහලු විය. ඔහු ලියන කියන හැම දේකම සෞන්දර්යාත්මක රිද්මය මම වටහාගෙන සිටියෙමි. එහෙයින් ඔහු හඹා ගියෙමි. නිර්මාණාත්මක සාහිත්‍ය රිද්මය මට ඔහු කියා දුන්නේය. මා ඔහුගේ අන්තේවාසිකයා විය.

විශ්‍රාමික ජීවිතයක් ගත කරන විමලධීර බැලීමට නිතර මම ඔහු ගේ නිවසට ගියෙමි. ඔහු මා සගයකු සේ ප්‍රිය කළේය. ඔහු හොඳ යහපත් හාස්‍ය උත්පාදකයකු විය.

“වැඩක් නැත්නම් යමුද රවුමක්”. ඒ යෝජනාව කළේ මාය. විවේකයෙන් සිටි නිසා ඔහු එයට කැමැති විය. ඇරත් එවැනි ගමන් අප දෙදෙනා කොතෙකුත් ගොස් ඇත.

විමලධීර ගේ නිවසේ සිට කිලෝමීටර් විස්සක් පමණ දුරින් පිහිටි මේ වෙල්යායට එන්නට යෝජනා කළේ විමලධීරය. ඒ හැමදාමත් ඔහු ප්‍රිය මනාප වූ කිසිවක් මට කියා දෙන්නේය. ඔහු කියන බොහෝ දේවල්වල සදය හාස්‍යයක් ඇත්තේය.

“ඉබාගාතෙ ගිය කාලෙ මං මිනී එම්බාම් කාරයෙක් ගාව තුන් මාසයක් වැඩ කළා.”

මට මතක් වූයේ ගෝර්කිය. ඔහු කළ නන්නත්තාර රැකියාවන් අනන්තය. කාලයක් පාන් පෝරණුවක වැඩ කළ ගෝර්කි මිනිසුන් විසිහය දෙනෙකු සහ තරුණියක් යන අපූරු කෙටිකතාව ලියුවේය. විමලධීර යන යන තැන රාත්‍රියේ පොත් කියවමින් ආරක්ෂක නිලධාරියකු හේන්කොටන්නකු පතල් කරුවකු යකඩ බඩු කඩයක සේවකයකු ආදී වශයෙන් බොහෝ රැකියාවන් කළේය. ඔහු ඒ හැම අත්දැකීමක් ම කෙටි කතාවක් බවට පත් කළේය. බොහෝ දෙනකු ඔහුගේ කතා කලාව ප්‍රිය කළ බව මම දැන සිටියෙමි.

විමලධීර මුද්‍රණය කළේ එක් කෙටිකතා පොතක් පමණි. එහි පිටපත් දහස මුල් තුන්මසය ඇතුළත අලෙවි විය. එහෙත් ඔහු යළි පුවත්පත් සඟරාවලට ලියුවා මිස පොතක් මුද්‍රණය නො කළේය.

“දැන් කෙටිකතා කීයක් විතර තියෙනවද?” දිනක් මම ඔහුගෙන් ඇසුවෙමි.

“සීයක් විතර.”

“ඉතින් තව පොතක් කරන්නකො.”

“මට ඕවට දැන් හයිය හත්තියක් නෑ, අනෙක ප්‍රකාශන ආයතනවල ඉන්න අයට සංවේදී සිතක් නෑ. අනෙක මං පත්තරවලට යවන හැම කතාවක් ම පළ වෙනවා. ඒ මදෑ.”

විමලධීර කෙටිකතා තරග හතරකට ලියූ බව මට කියයි. ඒ කිසි ම දිනක ඔහුට ප්‍රථමයා වීමට නොහැකි විය. එක් ආයතනයක කෙටිකතා තරගයක දී ඔහු පස්වෙනියා විය. එහි ප්‍රථම ස්ථානය දිනූ කෙටිකතාවේ පරිසර වර්ණනා දෙබස් සහ කතාව ගොතා ඇති අයුරු ඔහු මට කියයි. ඉන්පසු අයිත්මාතොව්ගේ ගුල්සාරි ගෙන එහි පරිසර වර්ණනා ඉදිරිපත් කරයි.

දැන් මේ ප්‍රථම තැන ගත්ත අහිංසකය හිතනව මේ තමයි කෙටිකතාවෙ කූට ප්‍රාප්තිය කියල. එයා එතැනින් ම ඉවර වුණා. මගෙ කතාව ඒ ආයතනයෙ වෙනත් සඟරාවක මං දැක්ක මහ වර්ණනාවක් එක්ක පළ කරල තියෙනව. අබේ ජූරි සභාවල ඇත්තන් ගෙ වින්දන හැකියාව හැමදාමත් ප්‍රශ්න ඇති කරනව.”

විමලධීර කියන්නේ හැබෑ යථා ලාභ සන්තුට්ඨිය අත් විඳීම සුවදායක වන බවය. එක් නගර සභාවකින් ඔහුට පිරිනැමූ සම්මානය බැහැර කළේ සෙසු සම්මාන ලාභීන් සමඟ නැටුම් ගැයුම් සහිත පෙරහැරක ආ යුතු වූ නිසාය. ඒ පෙරහැරේ තොරණ, කූඩුවල කවි කියන්නෝ ද නගරවල බසයේ විරිදු කියන්නෝ ද වූහ. උත්සවයේ සංවිධායක නගරාධිපති අමු තක්කඩි ලී මෝල් කාරයෙකු විය.

පාර දිගේ පැමිණි යුවතියන් තිදෙනෙකු පාලම් ඇන්දට හේත්තු වී අප දෙස බලා සිනා සී මාළුන්ට පෙඩි කළ රටකඩු වීසි කරයි. ඔවුහු යන්නට පෙර යන්නම් සර් කියා විමලධීරට අත වැන‍ුවෝය. ඔහු ද සුහද සිනාවකින් අත වැනුවේය. කොතැනක දී හෝ ඔවුන්ට විමලධීර හමුවී තිබෙනවා විය හැකිය. ඔවුන් සාමාන්‍ය පෙළ උපකාරක පන්තිවලට සහභාගි වී ආපසු යන්නියන් විය හැකිය.

“අර කොණ්ඩෙ පොකුටු කෙල්ල දැක්කහම මට විටින් විට මතක්වෙන අතීතයක් මතක් වුණා.” දුරස්ව යන යුවතියන් දෙස බලා විමලධීර කීවේ ය.

විමලධීරට එදත් අදත් තිබෙන්නේ ආදරණීය සිතකි. ඔහු ගේ රමණීය මෘදු වදන්වලින් ඔහු යෞවනයකු විය. ආදරය ඔහුට හැමදාමත් හිඟ නොවීය. එසේම ඔහු ආදරණීය ස්වාමියෙකු මෙන් ම යහපත් පියෙකු ද විය. විමලධීර අතීතයේ කොතැනක හෝ නැවතී සිටියේය.

“මං දෙතුන් අවුරුද්දක් ගමේ ඉන්න කාලෙ එක දිගට සමීපවෙලා හිටිය කෙල්ලෙක් එක්ක. ඒක හරිම බොළඳ ආදරයක්. ඒකිගෙ කොණ්ඩෙත් බොකුටුයි. එයාගෙ නම සාමා”.

සාමා සිහින් කයක් තිබූ පැහැපත් යුවතියකි. ඔහු කවදත් සිහින් කයට රුචි විය. ඔහු කවදාවත් මහත දෙහෙත යුවතියන් ප්‍රිය නො කළේය.

විමලධීර කියන බොහෝ දේවල ගැඹුරු සංවේදීතාවක් ඇත. ඔහු කුහකයෙකු නොවේ.

සාමාගේ සහ විමලධීරගේ ආදරය අනාගත සැලසුම්වලින් තොර ළෙන්ගතුකමක් විය. එහෙත් ඇය ඔහු වෙනුවෙන් බෙහෝ පරිත්‍යාගශීලී විය. දිරාපත් වෙමින් තිබූ කුඩා නිවෙසක් තිබූ ඇගේ අම්මා කුලීන බව හිසින් ගත් ඒකතානමය චරිතයක් විය. ඇගේ පියා මිය ගොසින්ය. ඔහු අරවින්දගේ තාත්තා සේ වෙදෙකු විය. විමලධීර ඉඳහිට ඒ ගෙදරට ගියේය. තමා ගේ තනියට ඇය යහපත් යැයි ඔහු සිතුවේය.

“ඔය කාලෙ එයාගෙ අක්ක බඳින්න හාදයෙක් ආවා. මිනිහට තිබුණෙ රදළ වාසගමක්. මුළු ගෙදර ම අහංකාර වුණා. ඒ පාර මං ඔක්කොම අත්හැරදාලා ආපහු ඉගෙන ගන්න ආවා.”

විමලධීර අතීතය සිහිපත් කර ශෝක වෙනවා කිසි දිනෙක මම දැක නැත්තෙමි. අතිශයින් දුක්ඛිත ආතක් පාතක් නැති අතීත සිදුවීමක් පවා ඔහු සිහි කළේ සිනාසෙමින් ය.

“ආදරය කරනකොට වෙන් වෙන්නත් ඉ‍ඩ තියෙන්න ඕනැ. වෙන්වෙන්නෙ හමු වෙච්චි හින්දනෙ.”

සාමාගෙන් වෙන් වූ විමලධීර වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස වඩාත් ස්වයං අධ්‍යයනයෙන් උපාධි, පශ්චාත් උපාධි ලබා ඉදිරියටම ගියේය. හතර අවුරුද්දක් සිංගප්පූරුවේ සේවය කළේය.

“ප්‍රථමයෙන් මට තිබුණේ මාව නොසලකා හැරීම පිළිබඳ කෝපයෙන් උපන් ආවේගයක්. මට කලා විෂයයන් පිළිබඳව විඤ්ඤාණගත ශක්‍යතාවක් තිබුණා.”

ආසාවෙන් කියවන විට විමලධීරගේ සිතේ උපන් කෝපය නැත්තට ම නැති වී ගියේය. ඔහු සාමලාගේ තිබූ අහංකාර බව දුටුවේ ගැමි අහිංසක හැසිරීමක් ලෙසය. මුලින් විමලධීර සිටියේත් එතැනය. එහෙත් ඔහු ජෝති පරායනය විය.

කෙටි ළෙන්ගතුවීම් කීපයකින් පසු අවුරුදු විසිනමයේදී විමලධීර විවාහ විය.

“ඇයි එයාව විවාහයට තෝර ගත්තෙ?”

“බිරියකගෙ තියෙන්න ඕනෑ ආධිපත්‍යයෙන් යුතු සෙනහස තාමත් එයා ගාව තියෙනව.”

විමලධීර ගේ දෙතොලේ තෘප්තිමත් සැනසිල්ලකි. මම ඔහු ගේ නෝනාත් පුතාත් දියණිවරු දෙදෙනාත් දනිමි. දැන උගත් ඔවුන් යහපත්ය.

“ඉතින් සාමා බැන්දෙ කවුද?” කතාව ඇසීමේ ප්‍රිය මනාපභාවයක් මා තුළ ඇති වී තිබුණි.

හදිසියේ ම විමලධීරට මා සමඟ එනවිට ඇති කර ගත් පුරුද්දක් සිහිපත් විය.

“දුම් උගුරු දෙක තුනක් බිව්වා නං අපූරුයි.”

විමලධීර නිවසේ දී කිසි දිනක දරුවන්ට බිරියට පෙනෙන්න දුම්පානය කර නැත.

“සාමා කවදාවත් බැන්දෙ නෑ.” කතාව නැවැත්වූ තැන මතක තිබූ විමලධීර කීවේය.

“ඇයි ඒ?”

විමලධීර සාමා අත්හැර දැමූ පසු සාමා උපන් වෛරයෙන් සහ කෝපයෙන් ඔහුව ඉක්මවීමට වෑයම් කළා විය හැකිය. එහෙත් එවැන්නෙකු සොයා ගැනීමට ඇයට නොහැකි විය. සාමාගේ අක්කාගේ පෙම්වත් රදළයා ඇය අත්හැර දැමූ පසු අක්කා විවාහ වූයේ අමු බේබද්දකු සමඟය. ඔහු අකාලයේ මිය ගියේය. අක්කාගේ දරුවන් අතරේ ම සාමාගේ කාලය හෙමිහිට ගෙවී ගියේය.

විමලධීර ගෙවී ගිය හතළිස් වසර තුළ සාමා දැක නැත. එහෙත් ගමේ මිතුරන් ඉඳහිට කතා කරන විට කියූ පරිදි ඇය දැන් වේගයෙන් මහලු විය සොයා යන්නීය. විමලධීර දැනටත් පෝදිනවල ධර්ම සාකච්ඡාවලට ගොස් නිරවුල් ගැඹුරු පහන් හඬින් දේශනා පවත්වයි. එහෙත් සාමා දැන් පෝ දිනයේ පසුදින පවාරණ වන්න දස සිල් සමාදන් වන්නීය.

“නොදකින එක හොඳයි. අන්තිමට දැක්ක රූප මතකය වෙනස් වෙයි කියල මට බයයි.”

විමලධීර සුවපත් සිතින් අහස දෙස බලා හිඳී. ඔහු නැහැය ගිරා හොටක් වැනිය. ඔහු නිසා මා කියවීම පුරුද්දක් කර ගත්තද ඔහු විඳින සොඳුරු සමාධිය මට හිමි නැත.

වතාවක් විමලධීර සමඟ වෙලකට මායිං වූ ගංසභා පාරක එන විට ඔහු අයින් කර රිය නවත්වන ලෙස මට කියුවේය. මුහුණ හඳුනාගත නොහැකි තරම් දුරක කුඹුක් හෙවණෙ ළිඳක තරුණ ගැහැනියක දිය නාන්නීය.

“අනුරාධපුර යුගයෙ ඉඳන් අපට තිබුණු සංස්කෘතික අලංකාරයක් තමයි ඔය දකින්නෙ. ඒත් බාත් රූම් නානකාරම අටං පහුර හැදුවට පස්සේ ඒ අලංකාරය විලිසංගෙ නැතිව පුංචි කාමරයකට කොටු වුණා.”

අපි මඳවේලාවක් නිශ්ශබ්දව සිටියෙමු. පියඹා යන කපුටෙකුගේ හඬක් නැගේ. දිය පිපාසිත ගවයෙකු පිල්ලෑවක හිඳ වැලපෙයි.

විමලධීර එක් වරම මා දෙස බැලීය. කතාවේ සමාප්තිය කරා ඔහු පැමිණ ඇතිව විය හැකිය.

මං සාමත් එක්ක යාළු නොවුණ නම් එයා ගමේ ම හාදයෙක් බැඳල ළමයි හදාගෙන අපූරුවට ඉන්නවා.

දැන් අධි බලැති විදුලි රැහැන් මත වී කුරුල්ලන් බො‍හෝය. උන් නිහඬව බලා සිටින්නේ බටහිර අහස දෙසය. කල්තබා නින්දට යෑමට පෙර බටහිර අහසේ නෙක වරුණ සිත්තම දකින්න උන් ප්‍රිය කළා විය හැකිය.

රෑ හඳ පායන්නට තව කල් තිබේ. හිරු සමුගෙන හමාරය. නැගෙනහිර අහස සමුගත් හිරු නිසා ඇඳිරිය. එහි දුර ඈත කඳුක සිහිල හැගෙන සුසුමින් යුතු හාංකාවක් වැතිරී ඇතැයි මම සිතුවෙමි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.