පර නොවන මල් | සිළුමිණ

පර නොවන මල්

සිබිල් වෙත්තසිංහ අප රටේ ජීවත් වන විශිෂ්ටතම සාහිත්‍යවේදිනියකි. දරුවන් උදෙසා ලිවීමේ හා ඇඳීමේ කලාව අතින් ඇය තවමත් මුදුන් තලයේ සිටින බව මාගේ හැඟීම යි. සිබිල් තම දිවියෙහි නවවැනි දශකය ද සම්පූර්ණ කරමින් සිටී.

ඇගේ විශේෂත්වය වන්නේ වැඩිහිටියන්ගේ දෘෂ්ටි කෝණයෙන් දරුවන් දෙස නො බලා දරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලෝකය දෙස බැලීම ය. ඇගේ බොහෝ ළමා කතාවල සීයලා ආච්චිලා දක්නට ලැබෙයි. මේ අයගේ මුහුණුවල මන්දස්මිතය දරුවන්ගේ සිත් පැහැර ගනී.

මෑත අවධියෙහි මා සහභාගි වූ සාහිත්‍ය වැඩමුළු ගණනාවක දී රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියූ ‘පර මල්’ කාව්‍ය නිර්මාණය සාකච්ඡාවට ගත්තෙමි.

 

බලන් මේ මල්හි පර මල් සුවඳ
කැඩුණු පෙතිවල තිබෙන මුදු මෙලෙක
මහලු මවු කෙනකුගේ මුව රැඳුණු
සිනාවක් සේ ප්‍රේමයෙන් පිරුණු

 

‘පර මල්’ කවියෙහි ඇතුළත් වන මේ පේළි හතරෙහි මහලු වියෙහි ජීවන සත්තාව පිළිබඳ අපූරු නිරීක්ෂණයක් පවතී.

මහලු මවු කෙනකුගේ මුව රැඳුණු සිනාව ප්‍රේමයෙන් පිරී පවතී. මිත්තණියකගේ සීදේවීකමෙහි රහස එම සිනාව සහ සීමිත ඇඳුමෙහි නොකිලිටි ගතිය යැයි සිතමි. රත්න ශ්‍රී කවියාගේ කව් පද මඳක් විස්තර කිරීමෙන් පසු ව මන්දස්මිතයෙන් සුන්දර වුණු වියපත් කාන්තාවකගේ මුහුණෙහි චිත්‍රය මවිසින් කාව්‍යාභ්‍යාසලාභීන්ගේ අවධානය සඳහා යොමු කරනු ලැබේ. ඒ මන්දස්මිතයෙහි රහස ඔවුන්ට වැටහේ දැයි පිරික්සා බලමි. එය වැටහෙන තරමේ නුවණක් හා මුදු හදක් ඇත්තාට රත්න ශ්‍රී ගේ කවියේ අරුත වටහා ගැනීම පහසු වෙයි. තරුණ යුවළක් තම සිඟිති දරුවාගේ හැඬීම නවත්වා ගැනීමෙහි අසමත් වෙයි. දන්නා නැළවිලි ගීයක් ද නැති නිසා වඩාත් අසරණ වෙයි.

“කෝ දියල්ල ඔය පැටිය මෙහාට”

මෙ වන් අවස්ථාවෙක මිත්තණිය මැදිහත් වෙයි. මිත්තණියගේ ළයෙහි උණුසුමෙන් දරුවා සන්සුන් වෙයි. ඇයගේ සීදේවී සිනහව දරුවාට රසඳුනකි. පරවුණු, කැඩුණු මල් පෙතිවල ද මුදු මොලොක් බවක් තිබේ. ප්‍රේමයෙන් පිරුණු සිනාවක් තිබේ. එසේ හෙයින් ඒ මල් පාගා දැමිය යුතු නැත. රත්න ශ්‍රී ගේ කවියෙහි යටිපෙළ අරුත සුන්දර ය.

රත්න ශ්‍රීගේ කවිය සමඟ සිහිපත් වන සිබිල්ගේ ළමා කතාවල මහලු චරිත නිහඬ ව අපට බොහෝ දේ කියයි.

සිබිල් සමඟ කලකට පෙර මා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ කීවා ය:

“මගේ අකමැත්තෙන් ගමේ ඉඳල කොළඹ එක්කගෙන එනකොට මට අවුරුදු හයක් විතර ඇති. මම හරි ම දුකින් ආවේ. ඒ මගේ පුරුදු පරිසරය දාලා එන්න බැරි ව. මගේ හදවත එතන නැවතුණා. ඒ හදවතේ හැඟීම් එලෙස ම පැවතුණා. වැඩිහිටියකු හැටියට මම ලියන අඳින හැම දේම අවුරුදු හයේ දැරියගේ හැඟීම් ස්පර්ශ කරනවා. ඒ තමයි ම‍ෙග් චිත්‍රය; මගේ සාහිත්‍යය. ඒ කුඩා දැරිය තමයි මගේ අභ්‍යන්තරයේ ජීවත් වන්නේ.”

සිබිල්ගේ මේ ප්‍රකාශය අව්‍යාජ ය. සිබිල්ගේ කතාවල මිත්තණියගේ අතේ එල්ලී ගමන් කරන දැරිය ප්‍රීතිමත් ය. මිත්තණියගේ ප්‍රසන්න බව, ආදරය, මුදු මොලොක් ඇමතුම දැරියගේ හදවතට ජීවන රසාකරයකි.

පඩි පෙළින් බැස අයින් වී එන්න
අලුත් මල් පොකුරු අරගෙන එන්න
පින්වතුනි එන අයට ඉඩ දෙන්න
එපා පර මල් පයින් පා ගන්න

රත්න ශ්‍රීගේ ‘පර මල්’ කවිය ඇරඹෙන්නේ එසේ ය. ඔහුගේ දෙවැනි කවි පොත වන 1985 දී පළ වූ ‘වස්සානේ’ කෘතියට එය ඇතුළත් ය. රත්න ශ්‍රී ගේ කවිය, සිබිල්ගේ ළමා කතා හා චිත්‍ර සසඳමින් කාව්‍යාභ්‍යාස ලාභීන් සමඟ ගත කෙරුණු කාලය සුන්දර ය; අරුත් බර ය. ඒ බව හැ‍ඟෙන්නේ පර මල් සුවඳ දැනුණා කවි අංකුර එක්පෙති දෙපෙති වී පොළොවෙන් උඩට නැගෙන කල්හි ය.

Comments