පැරණි නවකතාකරුවාගේ අතාර්කික දෘෂ්ටිය

 ධනය පිළිබඳ සංකල්පය ස්ථාපිත වී ප්‍රබල ලෙස වැඩෙන්නට වූයේ ඉංග්‍රීසි පාලනයෙනුත් ඉක්බිතිවය. අනගාරික ධර්මපාල තුමන්ට පවා ධනයේ ඇති වටිනාකම වැටහී ගොස් ඇත. එතුමා දඹදිව සිට ලියූ ලිපි කිහිපයකම මේ වග සඳහන් වෙයි. ධර්මපාල තුමාගේ ආගාරික අනුගාමියෙකු වූ පියදාස සිරිසේනට මෙය වඩාත් තදින් දැනෙන්ට ඇත. ධනවත් වීම, බූදලයක් ලබා ගැනීම ඔහුගේ නවකතාවල ඉතා වැදගත් තැනක් ගනී. ධනයක්, බූදලයක් හෝ නිධානයක් හිමි කර ගැනීම ප්‍රධාන තේමාව කොට ගත් නවකතා රැසක්ම පැරැණි සිංහල නවකතා අතර වෙයි. පැරණි හා නූතන නවකතා එක් කරන ඩබ්ලියු. ඒ. සිල්වාගේ කෘතිවල ද මෙය ප්‍රමුඛ තැනක් ගනී. මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය, විකාසනය වන්නේ එහි ප්‍රධාන චරිතය වූ පියල් ධනෝපායනය සඳහා කොළඹ පැමිණීමෙනි.

නූතන සිංහල නවකතා අතර පෞද්ගලික ආර්ථික අභිවෘද්ධිය පදනම් කර ගත් කෘති ඇත්තේ ඉතා ස්වල්පයකි. පුදුමයකට මෙන් ධනයට හා බූදලයට අනවශ්‍ය වැදගත්කමක් ආරෝපණය කරන නූතන ප්‍රසිද්ධම ලේඛකයා සමාජවාදියෙකු වූ ටී. බී. ඉලංගරත්නය. ගැටවර වියේ වූවන්ගේ ජීවිත සටන ගැන කියන අඹ යහළුවෝ වැනි නවකතාවකට පවා ඔහු ධනයේ වැදගත්කම ප්‍රවේශ කර ඇත. වීර්යවන්ත දුප්පත් දරුවාගේ ගැලවුම්කාරයා වී ඇත්තේ ඔහුගේ උත්සාහයවත් ශක්තියවත් ගුණ යහපත්කමවත නොව ස්වීප් දිනුමකි! මේ වනාහි මනුෂ්‍යයා තමාගේ ශක්තිය කෙරේ ඇති විශ්වාසය ඔහු කෙරෙන් ඉවතට ගෙන වාසනාව කෙරේ පටවන අන්ත ප්‍රතිගාමී දෘෂ්ටියකි. මල්සරාව පිරිහුණු ධනවාදී සමාජයක පමණක් බිහි විය හැකි නවකතාවකි.

පරිපීඩක පරිසරයට එරෙහිව මනුෂ්‍යයා කරන සටන තනිව කළත් සාමූහිකව කළත් එය පුද්ගල අභිවෘද්ධිය සඳහා කෙරෙන්නක් නොවේ. පොදු අර්ථවත් භාවයක් එම අරගලය තුළ ඇති බැවිනි. පෙත්සම තුළින් දක්නට ලැබෙන්නේ එම අරගලයයි. එහි කථා නායකයා වූ තිලකරත්න මනුෂ්‍යයාගේ එම වෑයම නියෝජනය කරයි. නැතහොත් නිරූපණය කරයි. එහෙත් ‘අත්සන’ ‘මං නැති දා’ යන නවකතා දෙකෙන් වරින්වර පෞද්ගලිකත්වයේ විරූපි හිස එසවී එන බව පෙනේ. ‘විරාගය’ ධනය රැස් කරමින් ගතානුගතික ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරන මේනකා අවඥාවට හෝ උපහාසයට ලක් නොකරයි. කතුවරයා ඈ දෙස බලන්නේ උපේක්ෂාවෙනි. එහෙත් ගන්ධබ්බ අපදානය ලක්ෂ මාමාත්, ‘පිතාමහ’ පරාක්‍රමසිංහත් අවඥාවට නැතහොත් උපහාසයට ලක් කරයි. හෙවණැලි ඇද මිනිස්සු ජස්ටින් උපහාසයට ලක් කරන නමුත් කෙළවර ඔහු හරිය යන්නක් ප්‍රතීයමාන කරයි. එහි අන්තිමේදී උපහාසයට ලක් කරන නමුත් කෙළවර ඔහු හරිය යන්නක් ප්‍රතීයමාන කරයි. එහි අන්තිමේදී උපහාසයට ලක්වනුයේ කලා ශිල්ප දර්ශනාදියෙහි ඇල්මක් දක්වන ජීවිතයයි. තුංමං හන්දිය හා මනෝ මන්දිර වඩා හරවත් සාරධර්ම ගැන කතා කරතත් ධනය නැතිකම ගැන පසුතැවිලි වන බවක් පෙනෙන්නට ඇත.

පියදාස සිරිසේන නවකතා ලියන අවදියේ ධනය ඉපයිය යුතු වූයේ කාලයක් වෙළෙඳ ව්‍යාපාරයන්හි යෙදී දුක සේය. අද ඇතැමුන්ට ධනෝපායනය ඒ තරම් දුෂ්කර දෙයක් නොවේ. කිසිදු ව්‍යාපාරයක නොයෙදී උසස් නිලධාරීන් දේශපාලනඥයන් මාර්ගයෙන් හිටි හැටියේ පොහොසත් වීමේ පහසුකම් ඇත. වෙනත් වංචනික මාර්ග ද පෙරට වඩා ඇත. ‘රිදී නිම්නය’ ධනය ඉපයීමේ තවත් මාර්ගයක් ගැන කියයි. එමගෙහි යෑමට කැමැත්ත හා පහසුකම හැම දෙනා හටම ඇත්තේ නැත. ධනය නවකතාවල තේමාවෙන් ඉවත්වීම මේවාට නවකතාකරුවන් දැක්වූ නිහඬ විරෝධයක් විය හැකි ද? එසේ නැත්නම් ධනය උසස් කොට සැලකූ ඉංග්‍රීසි නවකතාවල ග්‍රහණයෙන් මිදී රුසියානු නවකතාව දෙසට නැඹුරු වීමක් ද?

හේතුව කුමක් වුවත් මෙහි ප්‍රතිඵලය වශයෙන් ධනය හා සම්බන්ධ ආර්ථික අංශය බොහෝ නවකතාවලින් සම්පූර්ණයෙන් ඉවත් වී ගොස් ඇත. නවකතාවක් ලිවීමේදී එහි පාත්‍ර වර්ගයා හා සම්බන්ධ හැම අංශයක්ම විවරණය කිරීම අවශ්‍ය නොවේ. එසේ වුවත් යළි උපන්නෙමි, ගන්ධබ්බ අපදානය වැනි කෘතිවල පාත්‍රයා මනස් ලෝකයෙන් ඇද මෙලොවට බැඳ තැබීමට නම් ඔවුන් ආර්ථික ගැටලු විසඳා ගත් ආකාරය ගැනත් තරමක සඳහනක් විය යුතුව තිබිණි. ඒවායේ ප්‍රධාන චරිත තම පාවෙන දිවියේදී වියහියදම් කරන්නේ දිව්‍යමය බලයක් ඔවුන් සතුව පැවැති පරිද්දෙනි. මෙම කතුවරයාගේ කෘති තුළින් ආර්ථික ගැටලු ලිස්සී යෑමට හේතුව අසාධාරණ ධනෝපායනයට එරෙහිව නැගූ නිහඬ විරෝධයකට වැඩියෙන් ඒ චරිතවල ලිංගික ගැටලු කෙරේ ඔහු දැක්වූ සීමාන්තික සැලකිල්ල විය හැකිය. ඔහු ගමන් කර ඇත්තේ වාතමිග ජාතකයෙහි රස තෘෂ්ණාවෙහි බැඳුණු මුවා ගමන් ගත් මාර්ගයෙහිය. අද නවකතාවලට විෂය වන්නේ මනුෂ්‍යත්වය ඉක්මවා නොයන සිදුවීම් හා ගති පැවතුම්ය. එසේ වද්දීත් කිසියම් චරිතයක් විශ්වසනීය නොවෙතොත් හුදු චිත්තජයක් වතොත් එය කතුවරයාගේම දුර්වලකමකි.

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව යුරෝපයේ, විශේෂයෙන් බටහිර යුරෝපයේ ජීවිතය කෙරෙහි සාංදෘෂ්ටිකවාදය බොහෝ සෙයින් බලපෑවේය. ඒ අවස්ථාවේ එය එම දර්ශනයේ නිර්මාතෘවරුන් වන හයිඩෙගර්, කීකර්ගාඩ් ආදීන්ගේ මත පවා ඉක්මවා යන්නක් ලෙස පෙනිණ. ජීවිතයේ වෙනත් අංශ මෙන්ම එය නවකතා ක්ෂේත්‍රය ද ආක්‍රමණය කරන්නට විය.

මෙය ග්‍රීක සුඛ වින්දනවාදයට සම්බන්ධ වූවක් ද නොදනිමු. කෙසේ වුවත් එහි සමාන්තරය පෙරදිග ද දක්නට ලැබිණ.

‘යාවත් ජීවෙත් සුඛං ජීවෙත්
ඍණං කෘත්වා ඍතං පිවෙත්’

(ජීවත් වන තාක් කල් සැප සේ ජීවත් වන්න. ණය වී ගිතෙල් රැගෙන බොන්න.) චාර්වාක නම් වූ භෞතිකවාදී දර්ශනයේ සාරය මෙය විය. හෙටක් හෝ යුතුකමක් ගැන නොසලකා ජීවිතය ගෙන යන්න යනු ඉන් ධ්වනිත වේ. එක් දහස් නවසිය හැට ගණන්වල සිංහල නවකතා බොහොමයකින් ද කියන්නේ මීට සමාන දෘෂ්ටියක් යැයි කිව හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.