හොටු ගෑනිත් එකයි කැහි ගෑනිත් එකයි

“ඉන්දෝ... මොකෑ ටිකිරි පැටියෝ, බොව හේලංකඩට වෙලා හූල්ලන්නේ... ඈ?”

“ම.. ම.. මං හිතාමතා හූල්ලනවා නෙවෙයි ලොක්කප්පච්චී...”

“හෙ.. නං...?”

“මට... මට ඉබේටම හීල්ලෙනවා...”

“හ්-හෑ... අර මොකෑ පැටියෝ... බොගේ ඇඟපොතට (සිරුරට) ගායක්බායක්වත් (අසනීපයක්වත්) පටලෝලාවත්ද (වැලඳිලාවත්ද)?”

“ඉ-න්-දා... ලොක්කප්පච්චී, ගායක්බායක් නං බේතක්හේතක් හරි කොරන්ඩ බැරියැ...”

“එහේනං...?”

“හිතේ ගායට කොයින්දෑ මයෙ ලොක්කප්ච්චී බේත් හේත්... ඈ...?”

“මො-කා... හිතේ ගායක්...? ඒ මොකටැයි පැටියෝ...?”

“කියලා වැඩක් නෑ ලොක්කප්ච්චී, ඒ කරුමදෝසේ මතකේට එනකොට මයෙ පපු බිස්සේ (පපුව ඇතුළේ) ගින්දර පත්තු වෙනවා හෝස් ගාලා ඕං...”

“හුඃ කඳුළු ඇහැරෙන්නැතුව තියෙයියැ... මයැප්පච්චියි, මයමැමයි, මගෙ මනාපෙට වැට බඳින කොට... (තහංචි දමන විට)”

“හරි... හරි... ටිකිරි පැටියෝ වැල්වටාරං නැතුව (ගැටලු නැතිව) කියාපං කොයි බොගෙ ම-නා-පේ...”

“කීවාම‍ මොකෑ, ලොක්කප්පච්චි... ඇහැ ගැටිලා ඇතිනෙ අර බණ්ඩප්පු කෝරාළ මාමගේ මැණිකේ නඟා...?”

“ඇයි නැත්තේ, කෝරාළ ගොය්යට ඉන්නේ ඔය කෙළී විතරයි නෙවැ. ඔව් ඉතිං?”

“ඉතිං... ඒ මැණිකේ නඟා මට පණෑරලා ඕං ඉන්නේ (දැඩි ළෙන්ගතුකමකිනි සිටින්නේ)”

“හැ... බෑ...ට...?, ඒත් ටිකිරා පුතේ කෝරාළ උන්දැ කියන්නේ හිටුවරයෙක් වා‍ගේ වස්තුව වළදුව වකාරෙට (අසීමිතව) තියෙන නම්බු කාරයෙක් නෙවැ. ඉතිං ඒ ඇත්තලා මනාප වෙයියැ ඒ එක ම කෙලී බොගේ මාය්යා කොරලා දෙන්ඩ (බිරිඳ කර ගැනීමටදෙන්ඩ)?”

“ඒ උණාට මැණිකේ නඟා මට දොහක් (දවසක්) ගහපහ දුන්නේ (ස්ථිරව ම පැවසූයේ) උන්දැලා ගේ මනාපේ බුරුල් කොර ගන්නං කියලයි (කැමැත්ත ලිහිල් කර ගන්නා බවයි)”

“හොදා.. හොඳා... එහෙනං පැටියෝ, බොගේ දෙහෙට්ටෝ (වැඩිහිටියො මොකටෑ මේ කාරියට කරාරින්නේ... ඈ...(අකමැති)?”

“මයැම්මා කියන්නේ නං මැණිකේ නඟා ලෙම්බියක් (පීනස් රෝගියක්) කියලයි.”

“හ්ම්, මැණිකේ නඟා හිතේ වට්ටාගන්ඩ කලියෙන් මං ඇඟෑලුම්කම් පෑවේ (මා ළෙන්ගතුව සිටියේ) පුංචිරාල මාමගේ බඩපිස්සීට තමයි ලොක්කප්පච්චියේ...” (පවුලක අවසන් දරුවාය ගමේ ඇත්තන් බඩපිස්සී කියන්නේ)

“හැ..බෑ..ට...? බොව ඔය කිය්නනේ පුන්චිරාල ගොය්යගෙ සිරිදරී කෙලී ගැනද ඈ? හැබැයි ඒ කෙලීනං බොහෝ ම ලකේ ඇති කෙලිත්තික් නොවැ ටිකිරා පැටියෝ...”

“ඒ උණාට මයැම්මා ඒ සිරිදරී නඟා ගැනත් කීවේ, ඒ ඇත්තී තිස්ස‍දෙවේලේම කැහි ගාය අල්ලපු කැහිකටියක් කියලා ඕං ලොක්කප්පච්චී..”

“ඔහෙපලයං! හෙනං ටිකිරා පුතේ, ඒ කෙලීගෙන් බොව කඩංබාදු වෙච්චිඑක (ඉවත් වීම) බොගෙ හොඳ ගිරහ කල දසාවක් කියලා හිතාගනිං. ඔය කැහිගායට වෙදැත්තෝ කියන්නේ (වෙදවරු පවසන්නේ) කාසේ කියලයි...”

“එත‍කොට... එතකොට... ලොක්කප්පච්චීත් දොඩන්නේ ඒ නඟාලා බානම සහේට ගන්ඩ මම පූරුවේ ජාතියේ පින් කොරලා නෑ කියලෑ ඈ... (පෙරාත්මයේ මා පින් කර නැති බවද)?”

“නැතුවා... නැතුවා, බොගෙ මෝයි - අප්පයි (මවයි - පියයි) ඒ කෙල්ලියෝ බානගෙන්ම (දෙදෙනාගෙන්ම) බොව ආරස්සා කොරගන්ඩ ගත්තු තීන්දු තිරට්ටුනං බොහෝම පන්කාදුයි ඕං පැටියෝ...”

“එහෙනං, ලොක්කප්පච්චිගේ බහත් මයේ දෙහෙට්ටන්ගෙ බහටද නැම්බෝරු (මගේ දෙමහල්ලන්ගේ තීරණයට මහප්පාත් - ලොක්කප්පච්චීත් අවනතයිද) ඈ...?

“ඔව්... ඔව්... මේ කාරිණාව කදිමට පපුවට වට්ටාගනිං කොයි. දැන් බොව මනාපයි කියාපු සාගරේ වාගේ වස්තු කන්දරාවක් තියෙන කෝරාළ ඇත්තා මැණිකේ දුව හැමදොහේම ලෙම්බියක් නැත්තං හොට්ටියක් නෙවැ? ඒ වාගේම පුංචිරාලගෙ බොහෝම ඔපලංගුවට ඉන්න සිරිදිරී කෙලී කැහිකටියක්නෙ. එත‍කොට උන් බානම ලෙඩ්ඩු නේද ඈ...? ඇයි පැටියෝ ඩිංගිත්තක් හිතලා මතලා බලාපංකොයි. ඒ බානගෙන් බොට මොකී සහේට ගත්තත් බොට නහිනකං වෙන්නේ උන්ඩ බේත්හේත් කොරන්ඩ නෙවැ... ඒ හින්දා පුතේ 'හොටුගෑනිත් එකයි - කැහිගෑනිත් එකයි.' කොහොම උණත් මේ උපහැරණේ නං එදාට වඩා වලංගු අදට නෙවැ...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.