අපේ ආර්ථිකය නංවාලන්නේ කෙසේද?

අපේ රටේ කෘෂිකර්මයට සම්බන්ධ වතු පෞද්ගලික සමාගම් සතුව පැවැති කාලයේ එම සමාගම් මඟින් රජයට බදු ගෙවන ලද නමුත් එම සමාගම් රජයට පවරාගැනීම නිසා අද සිදුව ඇත්තේ එම සමාගම් නඩත්තුවට රජය මඟින් ජනතාවගෙන් බදු අය කරගැනීමය. රජය මඟින් ව්‍යාපාර සිදු කළ යුතුය යන මිථ්‍යාවක සිටින්නන් නිසා මේ තත්ත්වය උදා වී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථිකය කාලයෙන් කාලයට ඉහළ පහළ යෑම තුළ ජනතාවගේ සාක්කුවට තදින් දැනෙන අවස්ථා බොහෝ විය. මේ තත්ත්වය නිසාම දේශපාලන ලෝකයේ පෙරළි පවා සිදු විය.

පළමුව අප කල්පනා කර බැලිය යුත්තේ ලෝකයේ අපට හිමි ස්ථානය ගැනය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ රටවල් 8 අතුරින් පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස හඳුන්වා දිය හැකිය. දකුණු ආසියාවේ ඇෆ්ගනිස්ථානය හා නේපාලය හැරුණු විට සෙසු රටවල් සියල්ල පහළ මැදි ආදායම් රටවල්ය. මාලදිවයින ඉහළ මැදි ආදායම් රටක් ලෙස හැඳින්විය හැකිය.

අපටද ඒ ආකාරයෙන් ආර්ථික තත්ත්වය ඉහළ නංවාගත හැකිය.

ඒ සඳහා ආර්ථික වෘත්තීය ඉහළ මට්ටමකට ගෙන ආ යුතුය. අපේ රටේ 2015 වසරේදී 5%කට ආසන්න ව තිබූ මේ ප්‍රතිශතය 2016 වසරේදී දැක්වුණේ 4.4%ක් ලෙසිනි. එය 2014 වසරේදී 5%ක් ලෙස දැක්වුණු අතර, 2013 වසරේ දැක්වුණේ 3%ක් ලෙසිනි. එහෙත් 2010 වසරේ එය 7%ක් වූ අතර එය 2011 වසරේ 7.4%ක් විය. 2012 වසරේදී එම ප්‍රතිශතය දැක්වුණේ 9%ක් ලෙසිනි.

එතරම් ඉහළ මට්ටමක ආර්ථික වෘත්තීන් ඉහළ නැඟ තිබිණි.

එහෙත් අද වන විට ආර්ථික වෘත්තීය මට්ටමෙන් බොහෝ රටවල් අප පසු කරගෙන ගොසිනි. 1977 වසරේදී අප විවෘත ආර්ථිකය ඇති කරගත් පසුව තම ආර්ථිකය විවර කළ චීනය අද අපට වඩා වැඩි දුරක් ගොසිනි. එයට හේතුව වූයේ චීනයේ ආර්ථික නිෂ්පාදන වැඩි කරගැනීමේ ක්‍රියාවලිය දිගින් දිගටම පවත්වාගෙන යෑමයි. ඒ සඳහා මෙරට දශක තුනක් පුරා තිබූ යුද්ධයත් 1988/1989 වසරවල ඇති වූ භීෂණයත් හේතු වී ඇත. එසේම එක් එක් අවස්ථාවන්හි වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද උද්ඝෝෂණ මෙන්ම වර්ජනද මේ ආර්ථිකයේ අඩපණ වීම් සඳහා හේතු පාදක විය.

මීට අමතරව ස්වාභාවික උවදුරු මෙන්ම විවිධ ලෙඩ රෝග පැතිර යෑම්ද මෙරට ආර්ථික වර්ධනය අඩු වීමට හේතු සාධක විය.

දැන් අප කළ යුත්තේ මෙරට ආර්ථික වර්ධනය පිණිස කළ යුතු ක්‍රියා මාර්ගයන් මොනවාද යන්න සොයා බැලීමයි. ලොවට ණය වී මෙරට ආර්ථිකය කිසි දින ඉහළ නංවාගත නොහැකිය. අප විසින් කළ යුතු එකම කාර්යය වනුයේ පවුලේ ආදායම වර්ධනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි පළමුව සොයා බැලීමයි. දෙවැන්න වනුයේ ගමේ ආර්ථිකය වර්ධනය සොයා බැලීමයි. එසේම ගම අයත් පළාතේ ආර්ථිකය නංවාලීම පිණිස සොයා බැලීමයි. ඒ අයුරින් රටේම ආර්ථිකය නංවාගත හැකි ආකාරය අපට වටහාගැනීම අසීරු නොවනු ඇත.

මේ වන විට මෙරට පිරිමි ශ්‍රම දායකත්වය 70%ක් වන අතර, කාන්තා ශ්‍රම දායකත්වය 35%ක් පමණ වේ. විශේෂයෙන්ම ග්‍රාමීය වශයෙන් කාන්තා දායකත්වය ඉතා පහළ මට්ටමක පැවතීම නිසා මෙරට ආර්ථික වෘත්තීය මට්ටම ඉහළට ඔසවා තැබීමට එම කාන්තා දායකත්වයද යොදාගත යුතුය. ලෝකයේ ඇති වන ආර්ථික වෙනස්කම්ද අපේ රටේ ආර්ථිකයට බලපාන බව තේරුම්ගත යුතු වේ.

කෙසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ශ්‍රමිකයන්ගේ විශාල හිඟයක් ඇතිව තිබෙන බව නොරහසකි. ඒ සඳහා ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම මෙන්ම නගර නිර්මාණයේදී ග්‍රාමීය ආර්ථිකය හා ග්‍රාමීය පරිසරයත් යම් ආකාරයකට නිර්මාණය කරගත යුතුය. මේ වන විට පෙදරේරුවන්, වැද්දුම්කරුවන්, ජලනල සේවකයන් වැනි ක්ෂේත්‍රයන්හි ඇතිව තිබෙන පුරප්පාඩු සංඛ්‍යාව අතිවිශාල බව පෙනී ගොස් ඇත. මේ වන විට වේවැල් කර්මාන්තය වැනි කර්මාන්ත මෙන්ම කෘෂිකර්මාන්තයට අදාළ ක්ෂේත්‍රයන්හි පවා විශාල ශ්‍රම හිඟයක් ඇතිව තිබේ.

කෘෂිකර්මයේ ඇතිව තිබෙන ශ්‍රමහිඟය හමුවේ මේ වන විට සහල් මිලද අහස උසට නඟිමින් තිබේ. මේ ශ්‍රම හිඟය නිසා මේ වන විට බොහෝ ඉඩකඩම් පුරන්ව යන තත්ත්වයක්ද දක්නට ලැබේ. එමෙන්ම මේ වන විට ඵලදාවද කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඉවතට යන තත්ත්වයක් දක්නට ලැබේ. සියඹලා වැනි අපට නැතිවම බැරි ඵලදාව ගස් යට වැටෙමින් පවතින අතර, ඒවා කඩා එකතු කිරීමට ශ්‍රම බළකායක් නැත. එවන් ඇතැම් ඵලදාවන්ද ප්‍රයෝජනයක් නොගෙනම මෙසේ විනාශ වී යනු පෙනේ.

මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතත් ඒ කිසිවක් කෙරෙහි අවධානයක් ඇති බවක්ද නොපෙනේ. උදාහරණයක් ලෙස: තමා සතු භූමිභාගයක් ඇත් නම් එය තමන්ට නිසියාකාරව ඵලදාව ලබන ලෙස කටයුතු කළ නොහැකි නම් හෝ වගා කළ නොහැකි නම් ඒ සඳහා යම් අයකුට බද්දට දිය හැකිය. එමඟින් තමන්ට ආර්ථික ලාභයක් ලබාගත හැකි වනවා සේම ඉඩම කුලියට හො බද්දට ගන්නා තැනැත්තාටද ආදායමක් උපයාගත හැකි වනු ඇත. ඒ හරහා රටේ සමස්ත ආර්ථිකයම ඉහළ නඟිනු ඇත.

ආසියාතික රටක් වන අපේ රටේ විරකියාව හා දරිද්‍රතාව හෙවත් දුප්පත්කම අඩු මට්ටමක තිබෙන බවද මෙහිදා සිහි තබාගත යුතු වේ. දරිද්‍රතාව 7%ක් පමණ වන අතර විරැකියාව 4.6ක් පමණ වන ප්‍රතිශතයක පවතී. එසේ වුවත් උගත් හා තරුණ පරපුරේ රැකියා වියුක්තිය 10%ක් පමණ අගයක් ගෙන තිබේ. විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ රැකියා අඩුව බලවත් ගැටලුවක්ව තිබේ.

එම පිරිස් සඳහා රැකියා අවස්ථා තිබුණත් ඔවුන් එවන් රැකියා කරා යොමු නොවී හැකිතරම් දුරට විදෙස් රැකියා කෙරෙහි අවධානය යොමු කර ඇති බවද පෙනෙන්නට ඇත. අපේ විගමනිකයන් විසින් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ ආදායමක් මෙරටට ගෙන එනු ඇත.

එසේ වුවත් එසේ විදේශ කරා ඇදී යන පිරිස් මේ රට තුළම රඳා පවත්වාගෙන ඔවුන්ට මෙරට තුළම රැකියා කිරීම සඳහා ක්‍රමවේදයන් සකස් කරන්නේ නම් ඒ මඟින් ඔවුන්ගේ ජීවනෝපාය රැක දිය හැකි අතර, අපේ භාණ්ඩ නිෂ්පාදනයද ඉහළ නංවාගත හැකි වනු ඇත. අපේ රටේ ඇතැම් රැකියා නොසලකා හැරීම නිසා එම ක්ෂේත්‍රයන්ට අදාළ රැකියාවන් මෙන්ම එම ක්ෂේත්‍ර ඉදිරියේදී පවත්වාගෙන යෑමේදී ගැටලු රැසක් මතුව ඇත.

විශේෂයෙන්ම තේදළු නෙළීම මෙන්ම කෘෂිකර්මාන්තයන්ට සම්බන්ධ අංශවල ක්‍රමයෙන් ඊට අදාළ ශිල්පීන් ඉවත්ව යන බවක්ද පෙන්නුම් කර ඇත. එසේ වුවත් අප රටේ ආර්ථිකය නංවාලීම පිණිස නම් කළ යුත්තේ විදෙස් රටවලින් හෝ ශ්‍රමිකයන් ගෙන්වා අපේ රටේ ආර්ථිකය ඉහළ නංවාගැනීමය.

එහෙත් අපේ රටේ බොහෝ දෙනා තුළ ඇති මිථ්‍යාවන්නේ පිරුණු බොහෝ කරුණු නිසා රටේ ආර්ථිකය ඉහළ නංවාගැනීමට නොහැකිව තිබේ. අපේ රටේ සිටින සියලු දෙනාටම විදේශගතව රැකියා කිරීමට හැකියාව ඇත. එහෙත් විදෙස් රටවලින් ශ්‍රමික පිරිස් ගෙන්වාගැනීමට ඔවුහු විරුද්ධ වෙති. එවන් ක්‍රියා මාර්ග නොගත හොත් තව පරම්පරා දෙකක් පමණ ගත වන විට කෘෂික්ෂේත්‍රය ගොඩගත නොහැකි ලෙසින්ම බිඳවැටීමය. ඒ සඳහා නවීන තාක්ෂණයද යොදාගැනීම මෙහිලා වැදගත් වේ. එම ශ්‍රමික පිරිස් ඉන්දියාව හෝ බංග්ලාදේශය නේපාලය වැනි කුමන රටකින් හෝ ගෙන්වාගැනීමට හැකියාව තිබේ.

අද වන විට අත්හැරදමා ඇති තේවතු, රබර්වතු වැනි කෘෂිකර්මයට නව පණක් මේ මඟින් දිය හැකිය. ඩුබායි වැනි මැදපෙරදිග රටවල සිටින ජනගහනයෙන් 80%ක් පමණ විදෙස් රටවල ශ්‍රමිකයෝ වෙති. එහෙත් ඔවුන් කිසිවකුට පුරවැසිභාවය හිමිව නැත. මේ අයුරින් අපේ රටටද විදෙස් ශ්‍රමිකයන් ගෙන්වා හෝ අපේ රටේ කෘෂි ආර්ථිකය ඇතුළු අඩපණව ඇති කර්මාන්ත නංවාගත යුතු වේ. එහෙත් අපේ රටේ ඇතැමුන් තුළ පවත්නා විවිධ දෘෂ්ටිමය තත්ත්වයන් නිසා මේ තත්ත්වය ඉටු කරගැනීම අපහසු වී ඇත.

යම් කර්මාන්තයක් සිදු කිරීමට අපේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ලබා දීමට කටයුතු කළ හොත් අනිවාර්යයෙන්ම උද්ඝෝෂණ රැල්ලක් මතු වනු ඇත. මේ උද්ඝෝෂණ නායකයන් කිසිදු ආකාරයක කෘෂිකර්මයට සම්බන්ධයක් නැත. යම් යම් ගිවිසුම්වල අඩපාඩු තිබෙන්නට පුළුවන් නමුත් සියල්ල දේශීය වශයෙන් හෝ රජය මඟින් කළ යුතුය යනුවෙන් නියමයක් නැත. ලෝකයෙන්ම උදාහරණ මේ සඳහා ගත යුතුය. අපේ රටේද අතීතයේ පැවතුණු ක්‍රමවේදයන් අනුව සොයා බැලිය යුතු වේ.

මෙරට තිබූ තේවතු, පොල්වතු, රබර්වතු ආදිය 70 දශකයේ රජයට පවරා ගන්නා ලදි. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ යටතේය.

දැන් එහි තත්ත්වය කෙබඳුද? රජයට පවරාගැනීමෙන් පසු මේ සියලු වතු කර්මාන්ත පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත. දැන් එම කර්මාන්ත පවාතවාගෙන යෑමට රජයට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුව ඇත. ඒ ප්‍රතිපාදන ලබාගත යුත්තේ ජනතාවගෙනි.

රජය මඟින් රටේ ආර්ථිකය හැසිරවිය යුතු නමුත්, සියලු ආර්ථික ව්‍යූහයන් රජය මඟින් සිදු කළ යුතුය යන වැරැදි මිනුම් දණ්ඩක් භාවිත කිරීම නිසා මේ තත්ත්වය අපෙ රටට සිදුව ඇත. කිසිදු ආකාරයක වෙහෙසීමක් නැතිව ලැබෙන ජලය විකිණීමෙන් හෝ රජයට ලාභයක් උපයාගත නොහැකිය. එවන් තත්ත්වයක් මත ගුවන් සේවා සමාගම් ආදිය පවත්වාගෙන යෑමෙන් රජයට ලාභ ඉපැයිය නොහැකිය. එමිරේට්ස් සමාගමට එයාර් ලංකා ලබා දී තිබූ සමයේ අපට යම් ආදායමක් හිමි විය. එහෙත් අද වන විට පවතින තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ආණ්ඩුවම ව්‍යාපාර හැසිරවිය යුතුය යන වැරදි මතයක එල්බගෙන සිටීමේ ප්‍රතිපත්තිය නිසා මෙවන් තත්ත්වයක් අපෙ රටට සිදුව තිබේ. රජයට අයත් වතු සමාගම් මීට පෙර පෞද්ගලික අංශයේ පවතිද්දී එම සමාගම් විසින් රජයට බදු ගෙවන ලදි. එහෙත් අද පොඩි මිනිහාගෙන් බදු ලබාගෙන එම සමාගම් නඩත්තු කිරීමට සිදුව තිබේ. එම බදු ඍජු බදු හෝ වක්‍ර බදු වශයෙන් හෝ අය කරගැනීමට රජයට සිදුව ඇත. ඒ සමාගම් නඩත්තුවට වෙන් කරනු ලබන මුදල රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය අංශවලට යොමු කිරීමට හැකියාව තිබිය යුතු වේ.

මෙවන් වතු සමාගම් ආදිය රජය සතු කරගෙන සිටිනවාට වඩා පෞද්ගලික අංශයට ඉතා සුළු මුදලකට හො අලෙවි කිරීම වටිනා බව පෙන්වා දිය යුතුය. එහෙත් ඇත්ත වශයෙන්ම සිදු කළ යුත්තේ මේ සමාගම්හි අයිතිය රඳවාගෙන එම මාගම් පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වයට බදු දීමයි. අපේ රටේ නියාමනයේ ඇති විශාල අඩුපාඩුකම් නිසා මේ තත්ත්වයන් උරුමව තිබේ. විවෘත ආර්ථිකයෙන් පසුව පෞද්ගලික අංශයට බස් රථ සේවාවට පිවිසීමට ඉඩ ලබා දුන්නද ඒවා සම්බන්ධව කිසිදු නියාමනයක් නොවීය. මේ නිසා අද පෞද්ගලික බස් රථ සේවාව ඉබාගාතේ යන තමන්ට අවශ්‍ය පරිදි නීති රීති සකස් කරගන්නා ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ලංගම බස් රථ සේවාව පාඩු ලබද්දී පෞද්ගලික බස් රථ සේවාව ලාබ ලබන්නේ කෙසේද යන්න ගැන අවධානයක් යොමු කර නැත. නියාමනය පළමුවෙන්ම සිදු කළ යුත්තකි.

අපේ රටේ අපනයන ආදායමට වඩා ආනයන වියදම ඉහළ ගොස් තිබීම නිසා ආර්ථිකයේ තවත් ගැටලු මතුව ඇත. ආනයන අපනයන වැය පරතරය අමෙරිකානු ඩොලර් බිලියන 10ක් පමණ වන නිසා ආර්ථිකය සවිමත් කිරීම විශාල ගැටලු මතුව තිබේ. විදෙස් රටවලින් මෝටර් රථ ආනයනය කිරීමෙන් අධික ලාභ ඉපැයිය හැකිය යන මතයක අපේ ව්‍යාපාරික ප්‍රජාව සිටින නිසා ඔවුහු ඒ වෙනුවෙන් තම ධනය වෙන් කර සිටිති. යුද්ධයක් පවතින්නේයැයි රටේ ආර්ථිකය නංවාලිය නොහැකි බවට පසුගිය කාලයේ ජනතාවට දන්වා සිටියද මේ වන විට යුද්ධයක් නොපවතී. එහෙත් ප්‍රතිලාභද ජනතාවට ලැබී නැත. තමතමන්ගේ දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කාර්යයන් සිදු කිරීම නිසා මේ ආර්ථික ව්‍යූහය පහළ වැටී ඇත. උතුරු නැ‍ඟෙනහිර එකදු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හෝ නැත. සූරියවැව ක්‍රීඩාංගණය උතුරේ හෝ නැ‍ඟෙනහිර ඉදි කළේ නම් එය ජාතික සංහිඳියාවටද විශාල මඟ පෑදීමක් වනු ඇත. හම්බන්තෙට වෙනුවට පලාලි ගුවන් තොටුපොළ දියුණු කළා නම් එය ඉන්දු-ලංකා වන්දනාකරුවන්ට මෙන්ම යුරෝපය වැනි රටවල පදිංචිව සිටින ද්‍රවිඩ ජනයාටද විශාල රුකුලක් වනු ඇත. කර්මාන්තපුර ඉදි කිරීමද එසේමය. රටේ ආර්ථිකය යන්න දේශපාලයත් සමඟ පටලවාගැනීම නිසා මේ තත්ත්වයන් පැනනැඟී ඇත. මේ නිසා කළ යුත්තේ රජය මඟින් ව්‍යාපාර කළ යුතුය යන වැරදි මානසිකත්වය පසෙක තබා, පෞද්ගලික අංශ දායකත්වයද ගෙන රටේ ආර්ථිකය නංවාලීමයි. දියුණු වූ රටවල් දෙස බැලීමෙන් මේ සඳහා ආදර්ශ ලබාගත හැකිය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.