ඔබේ පැනයට අපෙන් පිළිතුරු | Page 2 | සිළුමිණ

ඔබේ පැනයට අපෙන් පිළිතුරු

වීරකැටියේ තනුජා

ප්‍රශ්නය :- අමා, මම රජයට සම්බන්ධ ව්‍යාපෘතියක සේවය කරන කෙනෙක්. විවාහ වෙලා ඉන්නේ වෙ‍ළඳාම් කරන අයෙකු සමඟ. එදා දවසේ වැඩ එදාම කරන්න කැමති කෙනෙක්. නමුත් මගේ සේවා ස්ථානයේ සිටින අය එහෙම වැඩ ගැන උනන්දුවක් නැහැ. මම, මගේ වැඩ කරගන්නවා. ෆොටෝ කොපි ගහනවා. පරිගණක වැඩ කර ගන්නවා. පොත් බයින්ඩ් කරගන්නවා. ඔය වගේ හැමදේම මම කර ගන්නවා. කාර්යාලයේ සේවය කරන පරණ අය ‍ෙම් ක්‍රමයට කැමති නැහැ. ඒවගේම මට ඒ ගැන නිතර ඇනුම්පද කියනවා. ඒ වගේම කාර්යාලයේ සේවය කරන පිරිමි අයෙක් නිතරම ගැහැනු අය ගැන නරක කතා කියනවා. ඔහු කියන ගොඩක් කතා ලිංගික තේරුමක් සහිත ඉතා ජුගුප්සා ජනක ඒවා. ඒ නිසා ඒ කාර්යාලයේ රැඳී ඉන්නත් මම කැමති නැහැ. මට ඒ ගැන කියන හැම විටම ඇඟ හිරි වැටෙනවා. ඔහු මේවා කියන්නේ මාව ඉලක්ක කර නෙ‍මෙයි. ගොඩක් පරණ අය මේ ගැන සද්ද නැතුව ඉන්නවා. මට නං මේවා තවදුරටත් අහගන ඉන්න බැහැ. මට මේ නිසා රස්සාවෙන් අස් වෙන්න හිතෙනවා. මා කළ යුත්තේ කුමක් ද?

පිළිතුර:-

‍තනුජා, ඔබගේ පැනය මා ‍තෝරා ගත්තේ එය ඔබට පමණක් පොදු නොවන ප්‍රශ්නයක් නිසා. රැකියා ස්ථානවල සේවයකරන නරුම පිරිමින් නිසා සැලකිය යුතු කාන්තා ප්‍රතිශතයක් රැකියාව හැර යනවා. එහෙත් ‘ගැහැනිය’ කියන්නේ එහෙම පළා යන්න ඕන කෙනෙක් නෙමෙයි. පෞරුෂයක් නැති පිරිමියෙක් කියන කරන දේවල් අසා ඔබ ඔබේ වටිනා රැකියාව අත ඇර දමන්නේ ඇයි? ඔය වැනි පිරිමින් මං දැක තියෙනවා. හොඳින් ඔවුන්ගේ මුහුණ බැලුවොත් ඔවුන්ගේ මුහුණේ ලේ පොදක් නැති අය වග ඔබ හොඳින් බැලුවොත් පෙනේවි. ඒ වගේ හැසිරෙන්නේ තදබල ලෙස පෞරුෂ ආබාධ තියන අය. බොහෝ විට ඔවුන් කිසියම් මානසික ව්‍යාකූල තාවයකින් පෙළෙන අය වෙන්න පුළුවන්. භින්න පෞරුෂය නිසා ඔවුන් තමා වටා සිටින සියලු දෙනාටම ඉතා නරක ආකාරයෙන් සලකනවා. අවාසනාව තමයි තමන් මානසික අසමතුලිතතාවයෙන් සිටින අය බව ඔවුන්වත් නොදැන සිටීම. ඔවුන් කාර්යාලයේදී හැසිරෙන විදිහ ඔබ නිරීක්ෂණය කළාද? ඔවුන් ඉතා හයියෙන් හිනා වෙනවා. ඔවුන් කෑගහනවා. වැඩිදුර හිතන්නෙ නැහැ. ඒ නිසා ඔවුන් කියන දේ ගැන වැඩිය කලබල වෙන්න එපා. ඔවුන් ඔවුන්ගේ ඉලක්ක කරා ළඟා වෙලා නැහැ. ඒ වගේම තව කෙනෙක් ඒ ඉලක්ක කරා ළඟා වෙනවාට කැමතිත් නැහැ. ඔබ හොඳ කෙනෙක්. හොඳ සහ නරක සාපේක්ෂ දෙයක්. කෙනෙක් නරක විදිහට දකින දේ තව කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්. කෙනෙක් නරක විදිහට දකින දේ තව කෙනෙක්ට හොඳ වෙන්නේ ඒ අවස්ථාවේ ඔහු අත්දකින සිද්දිය හා මනෝභාවය අනුව අදාළ කෙනා විවිධ අවස්ථාවල විවිධ විධියට හැසිරෙන්න පුළුවන්. ඒ නිසා ඔහුගේ හැසිරීම ගැන ඔබ තැවෙන්න එපා. කාර්යාලයේ තමන්ගේ වැඩ තමන්ම කරගන්න එක කොච්චර හොඳ ද. දියුණු රටවල එහෙම තමයි. උසස් නිලධාරියාට ඔහුගේ වැඩකටයුතු කරගෙන යන්න දැනුමක් තියෙන්න ඕන. අපි එක එක්කෙනා මත යැපෙන විට ඔවුන් අපිව වැරදි විදිහට තේරුම් ගන්නවා. ඒ නිසා තමන් තමන්ගේ වැඩ කරගන්න එක කොච්චර හොඳ ද. ඔය බොරුවට ලොකු ආඩම්බරකමක් පෙන්නන ගොඩක් බොහෝවිට හීන මානයක් තියන අය. ඔවුන් තමන්ගේ අඩුව වහගන්න ‍මොනව හරි වෙන ක්‍රමයකට කැපිලා පේන්න හදනවා. ඉතින් ඒ නිසා අනිත් අය කරන දේවල් උඩට තමන්ගේ වැඩ කටයුතු සම්බන්ධකරගෙන දුක් වෙන්න එපා. තමන්ගේ වැඩ නතර කර ගන්නත් එපා. ඔබ ඔබේ වැඩ කරගෙන යන්න. ඔබ වටේ ඉන්න අයගේ තැවුල් කතාවලින් ඔබේ හිත රිදවාගන්නෙ නැතුව ඉන්න ශක්තිය ඔබට ලැබේවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,
දියත දිනන කත,
සිළුමිණ, ලේක්හවුස්,
කොළඹ 10 

Comments