කඩිනම් ඩෙංගු මර්දන ක්‍රමෝපාය සැලැස්ම සුව ඇමැතිට බාර දේ

ඩෙංගු රෝග මර්දනය සඳහා කඩිනම් ක්‍රමෝපාය මාර්ගයක් සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් පසුගියදා දිවයිනට පැමිණියහ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ලෝක සෞඛ්‍ය සංවිධාන‍යෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම කණ්ඩායම පැමිණියහ.

තායිලන්තයේ ඩෙංගු රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වසංගත රෝග විශේෂඥයකු ඇතුළු තවත් විද්වත් පිරිසක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. මාසයක් ඇතුළත ඩෙංගු මදුරු ඝණත්වය සහ රෝගීන්ගේ සංඛ්‍යාව 50% දක්වා අඩු කිරීමෙහි සැලසුම් සහිත එම විශේෂඥ කණ්ඩායම විසින් සකස් කරන ලද ක්‍රමෝපාය සහිත වාර්තාව පසුගියදා සෞඛ්‍ය ඇමැතිවරයාට බාර දෙන ලදී.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා ඉන්දියාව, නේපාලය, ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් වෛද්‍යවරුන් සිව් දෙනෙකු ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබූ අතර ඔවුහු දිවයින පුරා සංචාරය කරමින් මෙම වාර්තාව සකස් කළහ. පසුගිය 11 වැනිදා එම කණ්ඩායම මෙම සැලැස්ම පිළිබඳව ඇමැති මඬුල්ල දැනුවත් කළහ. ඩෙංගු රෝගය පැතිරීම ඇරැඹුමේ සිටම ලංකාව රෝහල් ප්‍රතිකාර සේවා නිසි අයුරින් සිදු කර ඇති බවත් මරණ සංඛ්‍යාව 2%ට අඩු ප්‍රතිශතයක් දක්වා පාලනය කිරීමට සමත්වීම සුභවාදි ලකුණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

මේ වන විට මෙරට ඩෙංගු රෝගීන් 80732 ක් වාර්තා වී ඇති අතර රෝගීන් 245 ක් මරණයට පත්ව තිබේ. රෝග මර්දනය සඳහා මෙරට සෞඛ්‍ය අංශ මඟින් ගෙන ඇති පියවර ප්‍රශස්ථ මට්ටමක පවතින බවද ඔවුහු පැවැසූහ. ඩෙංගු රෝගය සඳහා ලබා දෙන ඩෙක්ස්ට්‍රෑන් 40 ඖෂධ තොග ප්‍රමාණවත් තරම් ලබාදීමට ද තායිලන්ත රජය පොරොන්දු වී තිබේ. මේ අතර කොළඹ ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් සඳහා ම විශේෂිත වාට්ටු දෙකක් අලුතින් වෙන් කොට තිබේ. දිවයිනේ රෝහල් 18 කට ඩෙංගු ප්‍රතිකාර සඳහා හෙද කාර්ය මණ්ඩලයෙන් 940 අනුයුක්ත කර ඇතැයිද අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඩෙංගු පිටු දැකීම අමාත්‍යාංශයේ පමණක් වගකීමක් නොවන අතර ර‍ෙට් සෑම පුරවැසියකුගේ ම දායකත්වය හා වගකීමක් වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.