ක‍ීමෝ ප්‍රතිකාරයෙන් පිළිකා සෛල පැතිරීම වැඩි වෙන හැඩ

පිළිකා රෝගය සුව කිරීම සඳහා දෙනු ලබන කීමෝ ප්‍රතිකාරය Chemotherapy මඟින් පිළිකාව සුව වෙනවා වෙනුවට එය තවදුරටත් වර්ධනය විය හැකි යැයි අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ම‍ෑතදී කරන ලද පර්යේෂණයකින් අනතුරුව ඔවුන් මේ බව පවසා තිබේ. පියයුරු පිළිකාව මර්දනය කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ පළමු ප්‍රතිකාරය ලෙස කීමෝ ප්‍රතිකාරය සලකනු ලැබිණි. එහෙත් එය තාවකාලික පිළියමක් පමණක් වෙතැයි එකී පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් පවසන පරිදි ක‍ීමෝ ප්‍රතිකාරය මඟින් පිළිකා ගෙඩි හකුළුවන අතර එම පිළිකා සෛලවලට රුධිර සංසරණ පද්ධතියට ඇතුළුවීමට මාර්ගය සලස්වයි. එමඟින් පසුකලෙක වඩා බලවත්ව පිළිකාව වර්ධනය වීමට ඉඩ සැලසෙන බව ද ‍ඔවුහු පවසති.

සිරුරේ වෙනත් අවයව වෙත පිළිකා සෛල පැතිරී ගිය පසුව පිළිකාව සුවපත් කිරීම අසීරු කාරියකි. මේ තත්ත්වය පිළිකාවේ හත‍රවෙනි මට්ටම ලෙස හැඳින්වේ‍. මෙම පර්යේෂණයෙහි ප්‍රධානියා වන වෛද්‍ය ජෝර්ජ් කැරගේනිස් පවසන්නේ කීමෝ ප්‍රතිකාරය පිළිබඳ රෝගීන් බිය ගන්වනවා වෙනුවට පිළිකා ගෙඩිවල සෛල පැතිරීම අධ්‍යයනය කරමින් ප්‍රතිකාර කිරීම වඩාත් සාර්ථක ක්‍රමයක් සොයා ගත යුතු බවය. සැත්කමට පෙර දෙනු ලබන ක‍ීමෝ ප්‍රතිකාර වේල් කිහිපයකින් අනතුරුව පිළිකා ගෙඩිවලින් ඉවත් කරගන්නා සෛල පරීක්ෂාවට බඳුන් කර බලා පැතිරීම වැඩිවන ස්වභාවයක් පෙනේ නම් කීමෝ ප්‍රතිකාරයට පෙර සැත්කම සිදු කිරීම එක් විකල්පයක් විය හැකි බව ද වෛද්‍ය කැරගේනිස් කියයි. එසේ වූ විට සැත්කමින් අනතුරුව ක‍ීමෝ ප්‍රතිකාරය කිරීමට උපදෙස් දෙන බව ද ‍‍ඔහු කියයි.

කීමෝ ප්‍රතිකාරය පෙති හෝ රුධිර වාහිනිගත කිරීමෙන් (සේලයින් වැනි ආකාරයෙන්) ලබාදිය හැකි ය. පිළිකා ගෙඩිය හකුළුවා එහි සෛල ගෙඩියෙන් ඈත් කරවීම එමඟින් සිදු කෙරේ. කීමෝ ප්‍රතිකාර මඟින් පිළිකාව පැතිරීම ඉක්මන් කෙරෙන බව කියැවුණු පළවැනි වතාව මෙය නොවේ. 2012 දී සීට්ල් හි ෆ්‍රෙඩ් හච්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් කරන ලද පර්යේෂණ වාර්තාවකින් ද පෙන්වා දුන්නේ කීමෝ ප්‍රතිකාරය මඟින් පිළිකා සෛලවලට රුධිරයට ඇතුළුවීම පහසු කරවන බවයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කීමෝ ප්‍රතිකාරයේදී පිළිකා සෛල මැරීමට වඩාත් සැර විෂ මාත්‍රාවක් ඖෂධයට ඇතුළු කළ යුතු බව මානව ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් නෙල්සන් පවසයි. එලෙස විෂ වැඩි මාත්‍රාවක් එක් කිරීම රෝගීන්ට මාරාන්තික වන බව ද ඔහු කියයි. එසේ හෙයින් කීමෝ ප්‍රතිකාරයෙහි ඖෂධය පිළිකා සෛල මැරීම සඳහා බලගැන්වීමේදී අඩු විෂ මාත්‍රාවක් යෙදීම මැනැවින් පාලනය කිරීමට වෛද්‍යවරුන් විසින් වගබලා ගත යුතු බව ද මහාචාර්යවරයා කියයි. මෙය දෙ ආකාරයකින් හානිදායක ය. පිළිකාවේ අවසන් අදියර නැත්නම් හතරවැනි අදියර ලෙස සැලකෙන මෙහිදී පිළිකාවට ප්‍රතිකාර කිරීම ඉතාම අසීරු ය. ඒ වනවිට පිළිකා ගෙඩි වඩා බලවත් වන අතර ප්‍රතිකාරවලට ප්‍රතිරෝධී බවක් දක්වයි. බොහෝ අවස්ථාවල ඒ වනවිට පිළිකාව ශරීරයේ සැත්කම්වලට බඳුන් කළ නොහැකි තරම් සියුම් ඉන්ද්‍රියයන් වෙත පැතිරේ.

මෙම ගැටලුව සඳහා විසඳුමක් සෙවීමට ඔවුහු තවමත් වෙහෙසවෙමින් සිටිති. දැනට පර්යේෂණයට බඳුන් කරන ලද්දේ පියයුරු පිළිකාවට එරෙහිව කීමෝ ප්‍රතිකාරය ක්‍රියාත්ම වන ආකාරය පමණක් වන අතර ඉදිරියේදී වෙනත් පිළිකා සඳහා එය ක්‍රියාකරන ආකාරය පිළිබඳ පර්යේෂණ ද දියත් කරන බව වෛද්‍ය කැරගේනිස් පවසයි.

ද ටෙලිග්‍රාෆ් ඇසුරිනි.

සාගරිකා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.