නිකරුණේ වැළලෙන ධන නිධානය

වාර්ෂිකව ලංකාවේ දළ වශයෙන් පැසුණ කොස් ගෙඩි 29ක් පමණ නිෂ්පාදනය වුවද මෙරට අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනෙනුයේ කෝටි 09 ක පමණ සුළු ප්‍රමාණයකි. එක ගසකින් වාර්ෂිකව කොස් ගෙඩි සීයක් දෙසීයත් අතර ප්‍රමාණයක් නිපදවන ලබයි. කොස් ගෙඩි කෝටි 29ක පමණ නිපදවන ලැබූව ද වාර්ෂිකව කොස් ගෙඩි කෝටි 20ක පමණ අපතේ යෑම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක් ද? මේ පිළිබඳ අධ්‍යයනය කර තීරණයකට එළැඹිය හැකිය. අනාගත අවශ්‍යතා වෙනුවෙන් කොස් කල්තබා ගැනීමේ හැකියාව ති‍බේ.

කොස් මදුලේ සංයුතිය සහ ඔ‍ෟෂධීය ගුණය

ලංකාවේ නිෂ්පාදනය වන කොස් සම්පතෙන් තුනෙන් දෙකක් පමණ අපතේ යන්නට ඉඩ දී බලා සිටිය ද ලොව බොහෝ රටවල කොස් ආශ්‍රිත නිෂ්පාදනවල ඵල හට ගන්නා කාලයේදී පමණක් නොව වාර්ෂිකව වෙළෙඳපොළ වෙත යැවීමට හැකි ලෙස නව නිෂ්පාදන සිදු කරනු ලබයි.කොස් සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ මඟින් කොස් මදුලේ රසායනික සංයුතිය ප්‍රධාන සංඝටක 38කින් යුක්ත බව සොයාගෙන තිබේ.කාබෝහයිඩ්‍රේට් හා ශක්තිය ඉන් ප්‍රධාන තැනක් ගනියි. කොස් මදුලුවල කාබෝහයිඩ්‍රේට් 18.9%ක්ද කොස් ඇටවල කාබෝහයිඩ්‍රේ‍ට් 38.47% ද අඩංගු වේ. කොස් ඇට ග්රෑම් 100ක කැලැරි 151ක ශක්තියක් ඇති බැවින් ඒවා ශක්ති ජනක ආහාරයකි.කොස්වල ඇති ඛනිජ ලවණ බහුලත්වය නිසා ඇස් පෙනීම වර්ධනය කරයි. එමෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණය සපිරි ඖෂධීය ආහාරයක් බැවින් මුඛ පිළිකා, අන්ත්‍රා බඩ වැල් ආශ්‍රීත පිළිකා ආදිය හටගැනීමේ අවදානම අඩු කිරීමේ විශ්මිත හැකියාව ද පවතී. ආමාශයේ තුවාල සුව කිරීමට මෙන්ම ශ්වසන රෝග මඟ හරවා ගැනීමට හැකියාව ද ඇත.කොස් කොහොල්ලෑ නම් කිරි මඟින් ඉදීමීම, රත් පැහැති ලප, හන්දි චලන අක්‍රමිතා දුරු කිරීමේ හැකියාව ද බැක්ටීරීයා දිලීරවලට එරෙහිව ක්‍රියා කිරිමේ හැකියාව ද පවතී.

කොස් ආහාර සදා ගන්නා ආකාරය

රුධීරයේ සිනි මට්ටම වැඩි රෝගින්ගේ එම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට ඉදුණු කොස් කොළ තම්බා පානය කරනු ලබයි.එසේම ඉදුණුකොස් කොළ වියළා කුඩු කර (කෝපි ලෙස) සිනී රහිතව බීමෙන් ගුණ ලැබිය හැකිය. ඉදුණුකොස් කොළ අඹරා තල තෙලෙන් තෙම්පරාදු කර කෝපි ගෙඩි ප්‍රමාණයේ ගුළි සාදා උදෑසන පානය කිරීමෙන් රුධීරයේ සිනි මට්ටම පාලනය කර ගත හැකි බව ද පැවැසේ. කොස් පොතු වල නිද්‍රාකාරී බවක් හෙවත් නින්ද ඇතිකිරිමේ ගුණය පවතින බැවින් නින්ද නොයෑමෙන් පීඩා විඳින අයට කොස් ගහේ පොතු තැම්බු වතුර පානය කිරීම ගුණදායකය.කොස් සිබිඩි වල අධික ලෙස පොටෑසියම් පවතින නිසා මේ ආහාර හෘදයට හිතකර අතර හෘද ස්පන්දනයේ අක්‍රමිතා දුරු කිරීමට මෙන්ම අධික රුධීර පීඩනය වැනි තත්ත්වයන්ගෙන් මිදීමට හැකිය.පුරුෂ පාර්ශ්වයේ වඳ භාවයට හේතුවන ශුක්‍රාණු වර්ධනය කර ගැනීම සඳහා උදේ සවස වැල වරකා මදුලු කිහිපයක් ආහාරයට ගත යුතුය.මේ ආදී ගුණයන් හේතුවෙන් කොස් වැවෙන බොහෝ රටවල් මෙකී බෝගය ආහාරයට එක් කර ගැනීමට පුරුදුව ඇත.

කොස් ඉල්ලුම

බ්‍රසීලයේ මුහුදු බඩ ප්‍රදේශ වල බහුල වශයෙන් කොස් වගාව සිදු කරන අතර ඒවා බොහෝ සෙයින් වෙළෙඳපොළට යොදවනු ලබයි. උතුරු ඕස්ට්‍රේලියාවේ ඩාවින්(Drawin) හි උණුසුම් සෘතුවේ එළිමහන් වෙළෙඳපොළවල කොස් ඵල ආශ්‍රිත නිෂ්පාදනයන්ට විශාල ඉල්ලුමක් පවතී. කොස් ටින් කරන ලද සීනි- සිරප්, ශීත කළ ටින් මෙන්ම වියළන ලද කොස් කැබැලි ද මෙකී රටවල අලෙවි වන වෙළෙඳ මණ්ඩයන්ය.ලංකාවේද කොස් ආශ්‍රිත නිෂ්පාදනය සිදු කිරීමට තාක්ෂණය සපයන ආයතන පවතින බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. විදාතා මධ්‍යස්ථානය, රඹුක්කන වීර්යය සේවා සංවිධානය, අයි.ඩී.බී. ආයතනය ද කොස් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආකාරය පිළිබද දැනුවත් කිරීම් සිදු කරනු ලබයි. ඔවුන් වෙතින් කොස් ආශ්‍රිත ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියි.

කොස් ආහාර

කොස් ගෙඩියක් පරිභෝජනය පිණිස ගත්තද ඉන් සීයට හැත්තෑවක් පමණ ප්‍රයෝජනයට ගැනෙන අතර ඉතිරිය ප්‍රයෝජනයට ගත හැකි වුවත් ඒ පිළිබඳ බහුතර පිරිසක් අවධානය යොමු නොකරයි. කොස් ඉරි මඟින් ගුණාත්මයෙන් ඉහළ බයිට් තනා ගැනීමේ හැකියාව පවතී.කොස් මදුලු උපයෝගී කරගනිමින් කැපූ කොස්, මැල්ලුම් කොස්, කොස් ව්‍යාංජන, ටින් කළ කොස්, විජලිත කොස්, අටුකොස්, කොස් බයිට් ආදිය නිපදවනු ලැබේ.එමෙන්ම කොස් මදුලු මඟින් බඳින ලද කොස්, කොස් කිරිබත් ආදී රසවත් ආහාර සකස් කර හැකිය. එමෙන්ම කොස් මදුලු පිටි, කොස් ඇට පිටි රසවත් මෙන්ම ගුණදායී ආහාර නිෂ්පාදනයන්ට යොදා ගනු ලැබේ. කොස් ඇට තැම්බීම, බැදීම, මෙන්ම කොස් පිටි මගින් රොටී වැනි රසවත් ආහාර වර්ග සකස් කිරීම සිදුවේ.කොස් වරකා මඟින් ඉතාමත් රසවත් පුඩින්, අයිස්ක්‍රීම් නිපදවීමේ හැකියාව ඇත.අතීතයේ කොස් කොහොල්ලෑද භාණ්ඩ සිදුරු වැසීම යොදා ගනු ලබයි. ගුණාත්මයෙන් පෝෂණයෙන් ඉහළ කොස් උපයෝගී කරගනිමින් විශාල වෙළෙදපොළක් ඉතාමත් පහසුවෙන් ජය ගැනීමට හැකියාව පවතී. ඕස්ට්‍රේලියාව වැනි රටවල් කොස් ආශ්‍රිත නිෂ්පාදනයන් ජනතාව අතර ජනප්‍රිය කිරීමට සමත්ව ඇති අතර ඉන්දියාව වැනි ආසියාතික රටවලද කොස් මඟින් විශාල ආදායමක් උපද්දවයි. කොස් ඵලය පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම දේශීය ජනයා රුචි ආහාරයක් වුවද එම ඵලයේ ඇති විශාලත්වය මෙන්ම භාවිතයට ඇති අපහසුතාවය හේතුවෙන් මේවා පරිහරණයෙන් ඈත්ව තිබේ.එසේ වුවත් නිරෝගී හා ශක්තිමත් පෝෂණීය ජාතියක් බවට පත් කිරීමට නම් පැරැණි ආහාර රටාව නවතාවයකින් ගෙන ඒමට සමත් කමක් තිබිය යුතුය. කොස් ලෑල්ලෙන් ඔබ්බට ගොස් සුපිරි වෙළෙඳසැලක ඉඩ කොස් ගෙඩියට තැනක් නිර්මාණය කළ හැකි අතර ඒ මඟින් කොස් ගසට හා කොස් ගස් හිමියාට විශාල වටිනාකමක් දීමට හැකිවනු ඇත.

දීපිකා මලවර ආරච්චි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.