මෝස්තර නිර්මාණයෙන් ලොව දිනූ විරංගා

මෙරට ප්‍රමුඛතම මෝස්තර නිර්මාණ තරගාවලියකින් ප්‍රවීණයන් හැටකට ආසන්න සංඛ්‍යාවක් අබිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා විට ඇයට යන්තම් වයස අවුරුදු 16 සපිරුණා පමණි. මේ සුවිශේෂ ජයග්‍රහණය නිසාම ඇයට මෝස්තර නිර්මාණ අධ්‍යාපනය පිළිබඳ ලොව ඉහළ පිළිගැනීමක් ඇති ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක් විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනමනු ලදුව එහි අධ්‍යාපනය ලබන අතරවාරයේ කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ‘සිළුමිණ’ හා පිළිසඳරකට එක් වන ඇය නමින් හේරත් මුදියන්සේලාගේ විරංගා දම්සාරි බණ්ඩාර.

“මම අධ්‍යාපනය ලැබුවේ ගේට්වේ කොලේජ් එකේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගත්තේ. සිංහල භාෂාව විෂයක් හැටියට පහවසර වෙනකල් ඉගෙන ගත්තා. ඊට පස්සේ දෙවන භාෂාව හැටියට ඉගෙන ගත්තේ ප්‍රංස භාෂාව. මම O/L වෙනකල් මෙහෙ ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් ඔස්ට්‍රේලියාවේ Homesglens (මෙල්බර්න්) සරසවියේ Fashion Designing ඉගෙන ගන්නවා.

ඔබ ඇයි Fashion Designing තෝරා ගත්තේ?

පුංචි කාලේ ඉඳලම මම චිත්‍රවලට ආසයි. කලාවට ආසයි. අප්පච්චිටත් චිත්‍ර කලාව පුළුවන්. ඉතිං මම නිතරම විවිධ දේ අඳිනවා. අවුරුදු දහතුනක් විතර වෙනකොට ඕනේ ගෑනු ළමයෙක් ආසයිනේ ලස්සනට අඳින්න. ඉතිං මම ආසා නෑ කඩේ ඇඳුම්වලට. ඒවා ගෙනාවට මම ඒවා එක එක තැන්වලින් කපලා කොටලා මට ආසා විදියට මම හදා ගන්නවා. ඉතිං ඒවා දැක්කම කට්ටිය කියනවා “ෂා හරි ෂෝක්නේ මේ ගවුම. හරිම ලස්සනයි මේ පැට්න් එක...” කියලා මම කරපු ඒ දේවල අලුත් දෙයක් තියෙනවා කියලා ඒ කතාවලින් මට දැනුණම මට හිතුණා මට ෆැෂන් ඩිසයිනින් කරන්න පුළුවන් කියලා. මුලදි අම්මට මේක හරිම කරදරයක් වුණා. ඒත් අම්මාවත් අප්පච්චිවත් මටයි අක්කටයි කිසිම දවසක අපි කරන දේවලට අකුල් හෙළුවේ නැහැ. අම්මට අප්පච්චිට ඕනෑ දේවල් කරන්න අපිට බලපෑම් කළේ නැහැ.

එතකොට කොහොමද මේ ෆැෂන් ෂෝ එකට ඔයා ගි‍ෙය්?

මම පාසලේ විෂයක් හැටියට චිත්‍ර ඉගෙන නොගත්තට පාසලේ තිබුණ Art Club එකට මම සම්බන්ධ වෙලා හිටියේ. ඒක භාරව හිටිය මිස් විජිනි තමයි මාව බලෙන්ම මේ තරගයට යොමු කළේ. පළමු වටයට යැවිය යුතු මෝස්තරයට අදාළ චිත්‍ර සටහන් එයා එක්ක එකතු වෙලා ඇඳල යැව්වා. එතකොට මට O/L විභාගේ අවුරුද්ද. ඉතිං මුලින්ම යැවූ චිත්‍ර බලලා ඒ අය මාව ඉදිරියට යා යුතුයි, semi finals වලට තේරුණා කියලා දවස් තුනකින් විතර මට කතා කරලා කිව්වා. මේ තරගාවලිය කළේ මිචෙල් ගුණසේකර. Chocolate “Mother Daughter - DISIGNER OF THE YEAR.” චොකොලාටේ කියන සඟරාවෙන් තමයි මේ තරගය සංවිධානය කරන්නේ. මේ තරගයට මුල් වටයේ කී දෙනෙක් හිටියද දන්නේ නැහැ. සෙමි ෆයිනල් එකේ පනහකට වඩා හිටියා. Final වලට 16ක් තෝරා ගත්තා. එතන එක එක වයසේ අය හිටියා. මම තමයි බාලම එක්කෙනා. උපාධි තියෙන උපාධි කරන අය විවිධ වෘත්තීන්වල ඉඳිමින් ෆැෂන් ඩිසයිනින් කරන අය හිටියා.

අපි තේමාවක් (Theme) උඩයි නිර්මාණය ඉදිරිපත් කරන්න ඕනෑ. මගේ‍ තේමාව වුණේ Golden era. ඒ කියන්නේ 1950 යුගය. ඒ කාලේ ලෝකේ මෝස්තර නිරූපණයට අදාළ ප්‍රස්තුත මත තමයි මම අම්මගෙයි දුවගෙයි මෝස්තර කළේ. ඒක නිසා මම ගත්තේ රතු පාට. මොකද ඒ කාලේ රතු සහ රන් වර්ණ තමයි මෝස්තර කලාවේ ඉහළින් ම තිබුණේ. ඒ පාට ඉතාම ඉහළ ප්‍රභූත්වයෙන් යුතු වර්ණ විදියට තමයි සලකලා තියෙන්නේ. මේ තරගයේ අංශ (segment) තුනක් තියෙනවා. අපි ඒ තුනට ම මව සහ දුව ආශ්‍රිතව ඇඳුම් මෝස්තර නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනෑ. මගේ තේමාව මත පිහිටා සරල සාමාන්‍ය අවස්ථාව (Cashual) ක්‍රීඩා (sport) සහ සැඳෑ ඇඳුම (Evening wear)

මගේ මෝස්තර නිරූපණයට සහභාගි වුණේ මිස් ශ්‍රී ලංකා ලෙස ජයගත් අම්රිතා ඩි සිල්වා සහ ඇයගේ අම්මා, kavin zauner යි. ඔවුන් අපේ පවුලේ මිතුරන්. ඔවුන් ඉතාම සතුටින් ආරාධනාව භාර ගත්තා. විශාල කැප කිරීමක් කළා. මාස එකහමාරක් රිහසල්ස් තිබුණා. ඒ සේරම කළේ මගේ O/L විභාගේ අතරදීයි. මම විභාගෙට ලියලා කෙළින් ම එන්නේ BMICH එකට රිහසල්ස් වලට. ඇඳුම් මම ඩිසයින් කළාට මට මහන්න බැහැ. වෙන කෙනෙක් ලවා තමයි මැස්සෙව්වේ. අම්මා තමයි ඒවා ‍සේරම බලමින් කළේ. මෙතනදි තමයි මට මහන්න බැරිකමේ අඩුව තේරුණේ. මොකද මගේ හිතේ තියෙන මෝස්තරය මහන පුද්ගලයාට හරියටම අවබෝධ වුණේ නැතිනම් මට ඉස්සරහට යන්න බැහැ. මම ඉතිං මට අවශ්‍ය විදියට එනකල් ඒ ඇඳුම නැවත නැවත හරි ගස්සමින් මැස්සුවා.

ඒත් අද මට හොඳට මහන්න පුළුවන්. අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විෂයක් තමයි ඇඳුම් මැසීම, කැපීම.මේ තරගයේ ක්‍රීඩා විලාසිතාව (sport wear) තරගයෙන් තමයි මම ප්‍රථම ස්ථානය දිනා ගත්තේ. ඒකට මම ගත්තේ Horse riding. ඒක හරිම සුවිශේෂි තේරීමක් වුණා. කාගෙත් අවධානය ඊ‍ට යොමු වුණා මම හිතන්නේ.

මගේ ජයග්‍රහණයෙන් පස්සේ මම මේ ගැන දිගටම ඉගෙන ගන්න තීරණය කළා. මගේ අම්මයි අප්පච්චියි ඒකට පූර්ණ නිදහස දුන්නා. ඊට පස්සේ මම මේ ගැන විස්තර හොයලා හොයලා තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි Homesglen විශ්ව විද්‍යාලය මම තෝරා ගත්තේ. ඒකෙදි මම ගොඩක් දේවල් සලකා බැලුවා. මට මගේ අක්කයි (සමාධි බණ්ඩාර) අයියයි (ආචාර්ය අමිල කංකානම්ගේ) ගොඩක් උදවු කළා. ඒ අය තමයි මේවට කතා කර කර මට තොරතුරු හොයලා දුන්නේ.

අද ලෝකයේ මෝස්තර කලාව ඉගෙන ගැනීමට තියෙන උනන්දුව ‍වැඩියි. ‍මොකද ලෝකයේ අද ඇඳුම් පැලඳුම් ගැන දක්වන අවධානය දවසින් දවස ඉහළ යනවා. ලෝකයේ ඇඟලුම් විලාසිතා නිර්මාණයේ යෙදෙන ළාබාල පුද්ගලයන් පිළිබඳ අන්තර්ජාලයේ සැරිසැරූ විට අපට හමුවන ළාබාලතමයා Sydney keiser හෙවත් mayhem ය. ඇය අවුරුදු හතරේදියි සිය විලාසිතා නිර්මාණයන් අරඹා ඇත්තේ. එසේම kira plastinina (රුසියාව) අවුරුදු 14 දි, Jerome La Maar අවුරුදු 15 දි kabie Ermillio අවුරුදු 12 දි. Isabella Rose අවුරුදු 13 දි විලාසිතා නිර්මාණයට එක්වූ අය. එහෙත් අද ලොව සිටින ළාබාලතම මෝස්තර නිර්මාණ ශිල්පිනිය මෙන්ම, විලාසිතා නිර්මාණ තරගයකින් ප්‍රථම තරගයේදීම ප්‍රථම ස්ථානය දිනාගත් ලොව ප්‍රථම යුවතිය ශ්‍රී ලංකාවේ විරංගා ධම්සාරි බණ්ඩාර ය. ‍‍‍

උපුල් ජනක ජයසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.