ඒ අස­රණ ගෑනි මරලා හැංගු­වාද දන්නේ නෑ | සිළුමිණ

ඒ අස­රණ ගෑනි මරලා හැංගු­වාද දන්නේ නෑ

ඔවුන් රැගත් ජිප් රථය නොපෙනී ගිය පසු සිරිමෙවන් මන්ත්‍රිවරයා අමතා යමක් කියන්නට සූදානම්ව යළි නිහඬ විය.

“සිරිමෙවන් මහත්තයා මොකක්ද කියන්න හැදුවෙ?”

“මට සර් ගැන පුදුමයි.”

“ඇයි?”

“සර් අද කිව්වනෙ ගෑනු වුණත් අවශ්‍ය තැන කතා නොකර කටවහගෙන ඉන්න ඕනෙ නැහැ කියලා. ඔය වැටහීම මීට අවුරුදු දහයකට විතර කලින් තිබුණා නම් ජීවිතේ කොයි තරම් ලස්සනට වෙනස් වෙන්න තිබුණද?”

“සිරිමෙවන් උන්නැහෙත් අවස්ථාව වෙලාව බලලා විෂඝෝර සර්පයෙක් විදිහට පෙණේ පිප්පුවා. නෑ දෂ්ට කළා. ඔය කියන්නෙ කා ගැනද මං දන්නවා.”

“අපිට ප්‍රියදෝණි මැඩම් අමතක කරන්න බැරි චරිතයක් සර්”

“මට පුළුවන්. ඒත් ඔයා එයා ගැන මුළු ජීවිත කාලෙ පුරාම හිත හිතා ඉන්න. කමක් නෑ, මගෙන් ඈත්වෙලා ගිය ගෑනු ගැන මං හිතන්නෙ නෑ. මට තව වැඩ තියෙනවා. කොහොමටත් සිරිමෙවන් එයාගෙ පන්දම්කාරයා. මං දන්නවා.”

කුමන හේතුක් නිසා හෝ මන්ත්‍රිවරයාගේ වචන දුක්බරව ඇත. එම ශෝකී ස්වරය ‍ෙල්කම්වරයා තුළ ද සියුම් ශෝකයක් ඇති කළේ ඔහු මෙතරම්වත් මුදු මිනිසෙකු වූයේ ඇය නොපෙනී යෑමෙන් පසුව බව ඔහු දැන සිටි නිසාය.

“ඒ කාලෙ ප්‍රියදෝණි මැඩම් එක්ක අපේ නෝනලා ගත්ත පින්තූර දෙකක් ඇල්බම් එකක තිබිලා ඊයෙ පෙරේදා දවසක නෝනා මට පෙන්නුවා. ඇත්තට ම එයාට ‍මොකද වුණේ සර්?”

“මං දන්නෙ කොහොම ද? ඉන්න තැනකින් හොයා ගෙන ඒක එයාගෙන් ම අහගන්නවා.”

මන්ත්‍රිවරයා ශාලාවේ එක් කෙළවරකට ගොස් ජනේලයක් හැර අවට බලන්නට විය.

ප්‍රියදෝණි මහමායා තම ජීවිතයෙන් පලා යෑම ඔහුට සතුටක් වී නැතැයි ලේකම්වරයාට එක් වරක් නොව දහස් වාරයක් සිතී ඇත. අංශු මාත්‍රයකින් හෝ සිත පෙළෙන දුක අන් අයෙකුට නොපෙන්වීමට ඔහු ප්‍රවේශම් විය. තවමත් ඔහුගේ සිත එතරම් ම දැඩිය.

නරේන්ද්‍ර ආපසු මේසයට ආවේය. යළිත් නිහඬව ලිපි ගොනුවක් පෙරළන්නට ගත්තේය. ලේකම්වරයා ද නිහඬව ඔහු දෙස බලා සිටියත් සිතෙහි විවිධ අදහස් පහල වෙමින් තිබිණි.

ප්‍රියදෝණි මහමායාගේ ඥාති දියණියක් වන් සොඳුරු තරුණියක් මේ දිනවල නරේන්ද්‍ර නිවෙසට යන එන බව ලේකම්වරයාට කීවේ බන්දුලය. ඒ ගමනට රාජඍෂි පුංචි සර්ගේ මව කිපී සිටින්නීය. ලේකම්වරයාට අසන්නට ලැබුණු පරිදි නරේන්ද්‍ර මන්ත්‍රිවරයා එම තරුණියට දරුවෙකුට සේ ඇලුම් කරයි. ඇය හා වචනයක් කතා කරන්නට ලේකම්වරයාට තවමත් අවස්ථාව ලැබී නැත.

“අපේ නෝනා කියනවා වගේ මේ මනුස්සයා ඒ අසරණව ගෑනිව මරලා හැංගුවද දන්නෙත් නැහැ. නෑ. නෑ සර් ඒ වගේ නපුරුකමක් නම් කරන්නෙ නැහැ. එහෙම හිතන එකත් පව්. දෙන්නට දෙන්නා තේරුම් ගත්තෙ නැති එක තමා වුණේ. තාම විඳවනවා. ඇත්තට ම ප්‍රියදෝණි මැඩම්ට මොකද වුණේ?”

ප්‍රියදෝණි මහමායා නිසා උපන් දුකක් කෙමෙන් වැඩෙන බවක් ලේකම්වරයාට දැනෙන්නට විය. ඇය තමාට ගෞරවනීය වැඩහිටියෙකුට සේ මිතුරෙකුට සේ සැලකූ ආකාරය ඔහුගේ මතකයට ආවේය.

“සිරිමෙවන් මහත්තයා.”

පෙරළමින් සිටි ලිපි ගොනුව වසා සෙමින් පසකට කළ නරේන්ද්‍ර ලේකම්වරයා ඇමතුවේය.

“ඇයි සර්? දැන් මොකද කෙරෙන්න ඕන? දින පොතේ නම් වෙන වැඩක සටහනක් නැහැ.”

“හොඳට බලන්න. මේ දැන් ඔයා කිව්වා නේද අර ගෑනු මනුස්සයගෙ පින්තූර වගයක් තියෙනවා කියලා. ඒවා මටත් පෙන්වන්න ඕන කියලා සටහනක් නැද්ද?”

ලේකම්වරයා මවිත විය. ඔහු මන්ත්‍රිවරයා දෙස බලා සිටියේ ඇස පිය නොහෙළන දෙනෙතිනි.

“මොකද සිරිමෙවන් මහත්තයා ගල් වුණේ?”

“නෑ... මං කල්පනා කළේ... මට මතක නැහැ එහෙම කතාවක්.”

“කලබල වෙන්න එපා. ජීවිතේ හැටි එහෙම තමා. පූර්වාත්මවල කරපු අකුසල කර්මවල විපාක විදිහට සමහර සිදුවීම් සමහර චරිත අපිට අමතක කරන්න බැහැ. ආයෙත් ආයෙත් හිතට ඇවිත් හිත රිද්දනවා. දැන් බලන්න. ප්‍රියදෝණි කිව්වා විතරයි සිරිමෙවන් මහත්තයගෙ මූණ කළු වුණා. ඇස්වල දුක පිරුණා. හිත අඬන්න ගත්තා. ඒ විපාක. පෙර ආත්මෙ කරපු අකුසලයක විපාක.”

“එහෙමද? මං හිතුවෙ මේ ආත්මෙ කරපු අකුසලයක විපාක කියලා.”

“අන්න අන්න නයා ආයෙත් දෂ්ට කළා. සිරිමෙවන් මහත්තයා ඔයත් ඇනුම්පදවලට දක්ෂයි නේද?”

“නෑ.. නෑ.. ඇනුම්පද නෙමේ. ඔය පුරාණ කතන්දර අමතක කරලා දාන්න. ගිය දේ ගියා. වෙච්ච දේ වෙලා ඉවරයි. ඕනම මනුස්සයෙකුට වරදින අවස්ථාවක් එනවා. කරන්න ඕන කඳුළු පෙරන එක නෙමේ. වැරැද්ද නිවැරදි කරගෙන ඉස්සරහට යන එක. වැටෙන්න වැටෙන්න නැගිටින මිනිහයි ලෝකය දිනා ගත්තෙ.”

පෞද්ගලික ලේකම්වරයාගේ අවවාද අනුශාසනා උපදෙස් නරේන්ද්‍ර කෝප කරන්නේ නැත. අසා සිටීමට පුළුවන. කඳුළු පෙරීමේ කතාව නම් අසි සිටීමට මෙන්ම, විරුද්ධ නොවී සිටීමට ද නොහැකි කතාවකි.

ප්‍රියදෝණි මහමායා තමා අමතක කරමින් මකා දමන්නට උත්සාහ ගනිමින් සිටි කාලයේ දිනක තම තර්ජනාත්මක දෝෂාරෝපණයට ඇය දුන් පිළිතුර නරේන්ද්‍රට හැමවිටම සිහිපත් කරවන්නේ කඳුළු කතාවකි.

“නරේන් ඔයා මට තර්ජනය කරනවා. ඔයා කතා කළත් නොකළත් මං ඔයාට කතා කරන්න ඕන කියලා. ඒක කරන්න බැහැ මට.”

“ඇයි? මං ඒ තරම් ම නරක මිනිහෙක් ද? නොවටිනා මිනිහෙක් ද?”

“නරේන් තේරුම් ගන්න මාව. ඔයා පුදුම විදිහට මාව අසරණ කළා. දුකට තල්ලු කළා. මගේ වචන මගේ සිතුවිලි මගේ හැඟීම් සේරම කඳුළු වලින් පෙඟිලා. මට මේ ජීවිතේ එපා වෙලා.”

“ජීවිතේ එපා වෙලා නම් මැරෙනවා. මාව යක්ෂයෙක් කරන්න එපා. ගෑනියෙ.”

“යක්ෂයෙක් කරන්න දෙයක් නෑ. ඔයා මට කතා කරන්නෙ ගෑනියෙ කියලා. ඔයා යක්ෂයෙක්.”

“ඔව් මං යක්ෂයෙක්.”

ඒ යක්ෂ චෝදනාව පිළිබඳව කරුණු විමසීමේ සරල තරුණ සිතක් පසුකාලයේ නරේන්ද්‍ර සිත ඇති විය.

මල් හා විසිතුරු තුරුලතා වැවීම ජීවනෝපාය මාර්ගය කර ගත් වැවිලිකරුවන්ගේ එකමුතුවක ප්‍රධාන අනුශාසකවරයා වූයේ නරේන්ද්‍රයි.

වරක් ඔහු ඔවුන්ගේ ප්‍රදර්ශනයකට ගියේ ප්‍රධාන අමුත්තා වශයෙන් ආරාධනයක් ලබමිනි. එම ඇරයුමට ප්‍රියදෝණි සහභාගීකරවා ගැනීමේ කාරුණික සිතක් නරේන්ද්‍ර තුළ උපන්නේ නියමිත දින උදෑසනය.

“ගෑනු දරුවා අද මොකද කරන්නේ?”

ඔහු ඇයගෙන් විමසුවේ දුරකථනයෙනි.

“අද ගෙදර”

“යමු මාත් එක්ක ලස්සන ගමනක්. ඤාව් ඤාව් කියන්න එපා. ලෑස්තිවෙලා ඉන්න. නමය වෙනකොට. මං එනවා.”

“ඇයි හදිස්සියෙ? කොහෙද යන්නෙ?”

“මාව විශ්වාස නම් ඔයා මෝඩ ප්‍රශ්න අහන්න එපා. ඔයා හැම වෙලේම මට චෝදනා කරනව‍ෙන මං ඔයාට කරුණාවන්ත නැහැ කියලා. මං තාම ඇ‍ඳේ. කල්පනා කළා කාටද අද මං මගේ කරුණාවන්තකම පෙන්නන්න ඕනැ කියලා. ඔයා තමා ස්ක්‍රීන් එකට වැටුණෙ.”

“තාම ඇ‍ඳේ. මොකද කරන්නෙ? නැගිටින්න නැගිටින්න කම්මැලියා.”

“මාව කම්මැලි කරන්නෙ ඔයානෙ ළමයො. ඔයාට මාව විශ්වාස නැහැ. ඒකනෙ මට කේන්ති යන්නෙ. එතකොට මං ඇඳට වෙලා කල්පනා කරනවා.”

“අනේ ඉතින් උදේම විශ්වාසභංග ‍චෝදනාවක් ගේන්න එපා. අර ලස්සන ගමන මොකක්ද කියන්නකො?”

නරේන්ද්‍ර ඇයට ගමන ගැන කීවේ නැත. සූදානම්ව සිටින්නැයි පවසමින් දුරකථනය විසන්ධි කළේ සිනාවෙනි.

ඇයට දුන් පොරොන්දුවට අනුව ඔහු උදෑසන නමයට ඇගේ නිවහනට ගියේ ප්‍රීතිමත් සිතකිනි. ඇය සූදානම්ව සිටියාය. ඇගේ මුහුණ වෙනදා නොදුටු සතුටකින් බැබළෙන සැටියක් ඔහු දුටුවේය.

“අද ළමයා ලොකු සතුටකින් වගේ?”

ඔහු කීවේ ඕනෑකමින් ඇය දෙස බලමිනි.

“ලස්සන ගමනක් යන කොට හිතට සතුටක් දැනෙනවනෙ. ඔයාත් අද ලස්සනයි.”

ඔවුන් සිටියේ ජිෆ් රථය තුළ ය. ඇය දෙස බලා හිස සැලූ නරේන්ද්‍ර රථයේ වේගය මඳක් වැඩි කළේය.

“හෙමින් යමු. කලබලයක් නැහැනෙ.”

“ඔයාට කලබලයක් නැහැ. මං දන්නවා. ඒත් මට කලබලයි.”

ඔහුගේ ශෘංගාරාත්මක ආත්ම කථනයට ඇය ලජ්ජා බර සිනාවක් පානු ඔහු දුටුවේය.

“ප්‍රියදෝණි මහමායා. මට ඔයාගෙන් ඉතිහාස ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. මැතිනිය.”

අනතුරුව ඔහු කීවේ කලබල කතා අමතක කරමිනි.

“අහන්න නරේන්. දන්න දෙයක් නම් කියන්නම්.”

“ඉස්සර කාලෙ ලංකාවෙ හිටියා කියනවනෙ යක්ෂ නාග රාක්ෂ්‍ය, දේව කියලා ගෝත්‍රික කණ්ඩායම්. මට පොඩ්ඩක් ඒ ගොල්ලො ගැන කියන්න.”

“ඔයාට දැන ගන්න ඕන ලේඛනගත ඉතිහාස කරුණුද?

“ඒකත් පුංචි ප්‍රශ්නයක් නේද? හරි ඔයාගෙ අදහස් ගැන මුලින් ම කියන්නකො.”

“නරේන්...”

ඇය ඉතා සෙමින් වුවද සතුටකින් ගැඹුරකින් ඇය පිළිගන්නා ඉතිහාසයට ගිය සැටි නරේන්ද්‍ර සිහිපත් කරන්නට විය.

“නරේන් යක්ෂ කියන්නෙ ලෝකයේ මුලින් ම යකඩවලින් වැඩ කරපු මනුෂ්‍යයො. ශක්තිමත් ශරීර, යකඩ උණු කරන තාක්ෂණය, ප්‍රමිතියක් ඇතිව අවි ආයුද හැදීමේ ශිල්ප කලාව, නිර්භීතකම අඩුවක් නැතිව තියෙන්නෙ ඇති. මේ අය යකඩ උණුකරලා අවි ආයුධයි වෙනත් අවශ්‍ය භාණ්ඩයි හදන එක මේ රටට ආගිය වෙළෙඳ නැව්වලට පුදුමයක් වුණා. යකඩින් වැඩ ගත්ත බුද්ධිමත් ශක්තිමත් ජාතියක් මිනීකන්නන් බවට පත් කළේ ආත්මාර්ථකාමී වෙළෙන්දෝ. යකඩින් වැඩ කරන කොට මිනිස්සුන්ගෙ අතපය හුඟක් අපවිත්‍ර වෙනවා. දැන් කාලෙ වගේ මැෂින් තිබුණෙ නැහැනෙ. අතපයේ ශක්තිය විතරයි. රට ගැන දන්න හුරු පුරුදු ‍වෙළෙන්දො වෙළෙඳාම තමන්ට ඕන විදිහට කර ගන්න අනිත් වෙළෙන්දන්ට කිව්වෙ මේ රට යක්ෂයින්ගෙ රටක් කියලා. යක්ෂ අය ඔය තරම් දරුණු නම් මහියංගනයට වැඩම කරපු බුදුන්ගෙන් බණ අහලා පැහැදිලා මේ භූමිය බුදුන්ට පූජ කරයිද? බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ යක්ෂ දෙපිරිසක් අතර යුද්ධය නතර කරන්න.”

“ඇයි ඒ යක්ෂ මිනිස්සු දෙපිරිසක් යුද්දෙකට පැටළුණේ?”

“ජනගහනය වැඩ වෙන ‍කොට අලුත් ජනාවාස ඇති කරන්න ඕන. බුදුහාමුදුරුවො මහා ‍ලේ වැගිරීමක් නතර කරලා ඒ මිනිස්සුන්ව ගිරි දිවයිනට යැව්වා කියලනෙ කියන්නෙ. ඈත අතීතයේ අපේ මාතෘ භූමිය බෙදිලා තිබුණෙ ගිරි රාජ්‍ය සංකල්පයකට අනුව. මහේන්ද්‍රගිර රත්නගිර වගේ නම් භාවිතා වුණා.”

“රාක්ෂයො කියන්නෙ කාටද?”

“රට ආරක්ෂා කරපු අය. රාවණා මහරජතුමා රාක්ෂ්‍ය පරපු‍රේ. රාමගෙ ඉන්දියානු ආක්‍රමණය සාර්ථක වුණේ මේ රටේ හිටපු විභීෂණලා වගේ ද්‍රෝහීන් නිසා.”

“ඒකත් එහෙමද? එත‍කොට නාග ගෝත්‍රිකයො?”

“මුහුදු වෙළෙන්දො. ඒ අය නාවිකයො. විභීෂණත් නාග ගෝත්‍රික බිසවකගෙ පුතෙක්.”

“මං අහලා තියෙනවා දේව කියන්නෙ ගොවියොලු.”

“ඔව්. ගොවිතැන ශුද්ධ වූ ජීවනෝපාය මාර්ගයක්. ගෞරවනීය ගොවියො සමාජයේ බැබළෙන චරිත වුණා. ඒකනෙ අපේ අය කියන්නෙ මඩ සෝදලා ගත්තම ගොවියා සිංහාසනේට සුදුසුයි කියලා.”

“ඒ කතාව කිව්වෙ රොබට් නොක්ස්?”

“නෑ එයා එහෙම කියලා නෑ. මේ රටේ මිනිස්සු ගොවියා රජකමට වුණත් සුදුසුයි කියලා විශ්වාස කරනවලු. නොක්ස් කියලා තියෙන්නෙ එහෙම. ඒකටත් හේතුවක් තියෙනවා.”

“මොකක්ද ඒ?”

“සුද්දා රට අල්ලාගත්තට පස්සෙ සමහර රජ දරුවන්ටත් කුඹුරට බහින්න සිද්ධ වුණා. ඒ ගොවියෙකුට හරි සිංහාසනේ ගියාට කමක් නැහැ කියලයි මිනිස්සු සිතුනෙ”

“හොඳයි පිළිගන්නම්. කොහොම වුණත් මං වගේ අයටත් මේ රටේ හොඳ තැනක් තිබිලා තියෙනවා. ඒත් ඔයා මට බණින්නෙ ම යක්ෂයා කියලා.”

“නරේන්ද්‍ර කීවේ වචනවලට මහා ගැඹුරක් දෙමිනි. එවිට ඇය තමා වෙතට හැරුණේ හිනැහෙන දුක්වෙන කඳුළු තෙතක් නෙත ඇතිව බව අමතක කරනු නොහැකිය.

“ඔයාට හොඳ හදවතක් තියෙනවා නරේන්. දුර්වලකම ඔයා ඒ හදවතට කතා කරන්නෙ නෑ.” ඇය හෙමිහිට කීවාය.

ලබන සතියට

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.